Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිම්බාබ්වේ පිළෙහි 1999 ලෝක කුසලාන පෙරළිය​

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම ලෝක කුසලාන තරගාවලිය ලෙස අවිවාදයෙන් ම සැලකිය හැක්කේ 1999 ලෝක කුසලානයයි. ඇලිස්ටෙයාර් කැම්බල්ගේ නායකත්වයෙන් යුතු වූ සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයෙන් සුපර් සික්ස් වටයට සුදුසුකම් ලැබූයේ ප්‍රබල කණ්ඩායම් දෙකක් පරාජය කිරීමෙන් අනතුරුව ය​.

1999 ලෝක කුසලාන තරගාවලිය පවත්වන ලද්දේ එංගලන්තයේ ය​. මෙයට එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් නවයට අමතරව බංග්ලාදේශය​, කෙන්යාව සහ ස්කොට්ලන්තය යන රටවල් ද ක්‍රීඩා කළා. මෙම කණ්ඩායම් 12, එක් කාණ්ඩයකට හය බැගින් වන සේ ‘ඒ කාණ්ඩය​’ සහ ‘බී කාණ්ඩය’ යන කාණ්ඩ දෙකකට බෙදා තිබුණා.

සිම්බාබ්වේ කණ්ඩායම අයත් වූයේ මෙයින් ‘ඒ’ කාණ්ඩයටයි. ශ්‍රී ලංකාව​, සත්කාරක එංගලන්තය​, දකුණු අප්‍රිකාව​, ඉන්දියාව සහ කෙන්යාව ද මෙම කාණ්ඩයට අයත් කණ්ඩායම් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකයන්

සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ හොඳම කණ්ඩායම හෝ කණ්ඩායම්වලින් එකක් ලෙස 1999 ලෝක කුසලානය සඳහා සහභාගී වූ කණ්ඩායම හඳුන්වා දිය හැකියි. ටෙස්ට් ක්‍රිකට් වරම් ලද පසු එරටින් බිහිවූ හොඳම ක්‍රීඩකයන් පිරිසකගෙන් එම පිළ සමන්විත වූ අතර ඒ බොහෝ ක්‍රීඩකයන් හොඳ තත්ත්වයකින් ලෝක කුසලානයට මුහුණ දුන්නා.

මෙම පිළේ නායකත්වය දැරුවේ ඇලිස්ටෙයාර් කැම්බල්. ඔහු වමත් පිතිකරුවකු වුණා. විකට් රකින ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් සිම්බාබ්වේ පිලේ හොඳම පිතිකරුවකු ද වූ අතර ඔහුගේ සොයුරු ග්‍රාන්ට් ෆ්ලවර් ද හොඳ දකුණත් පිතිකරුවකු සහ වමත් දඟ පන්දු යවන්නකු වුණා. තුන් ඉරියව් ක්‍රීඩක නීල් ජොන්සන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු මෙන්ම ආරම්භක පන්දු යවන්නකු ද වූ අතර මරේ ගුඩ්වින් ප්‍රහාරක දකුණත් පිතිකරුවකු වුණා. ජොන්සන් කලක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වුණ අතර මරේ ගුඩ්වින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරඟවලට සහභාගී වී පළපුරුද්දක් ඇති ක්‍රීඩකයකු ලෙස ප්‍රකටව සිටියා. මීට අමතරව ඇන්ඩි විටෝල්, ගයි විටෝල්, ඩර්ක් විල්ජෝන් සහ ඇඩම් හක්ල් ආදී ක්‍රීඩකයන් සිම්බාබ්වේ පිළට ඇතුලත් ව සිටියා.

කළු ජාතික වේග පන්දු යවන්නන් දෙදෙනකු වූ හෙන්රි ඔලොන්ගා සහ පොමී ම්බන්ග්වා මෙන්ම සිම්බාබ්වේ පිළේ වත්මන් පුහුණුකරු මෙන් ම එරටින් බිහි වූ හොඳම වේග පන්දු යවන්නකු වූ හීත් ස්ට්‍රීක් පන්දු යවන බල ඇණිය ශක්තිමත් කළා. ප්‍රවීණ ක්‍රීඩක එඩෝ බ්‍රැන්ඩස් ද මෙම පිළට අයත් වුණ අතර ඒ වනවිටත් නමක් දිනා සිටි පා දඟ පන්දු යවන පෝල් ස්ට්‍රෑංග් සිම්බාබ්වේ පිළේ එදා මෙදාතුර බිහිවූ හොඳම පා දඟ පන්දු යවන්නා යයි සැලකීමේ වරදක් නැහැ.

මූලික වටයේ වික්‍රමය​

සිම්බාබ්වේ පිළ සිය පළමු තරගයට සහභාගී වූයේ 1999 මැයි 15 වනදා කෙන්යාව සමඟයි. එහිදී සිම්බාබ්වේ පිළ ජයග්‍රහණය කරවීමට විශාලම දායකත්වය දැක්වූයේ නීල් ජොන්සන්. ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගත් ඔහු පන්දු 70 කදී ලකුණු 59 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නා. කෙන්යාව ලබාදුන් ලකුණු 230 ක ඉලක්කය සිම්බාබ්වේ පිළ විසින් හඹාගෙන ගියේ පන්දුවාර 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් ද අතැතිවයි.

මැයි 19 වනදා ලෙස්ටර්හි ග්‍රේස් රෝඩ් ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරඟය ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන තරගයක් වුණා. සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සිය පියාගේ අභාවය හේතුවෙන් මෙම තරගයට සහභාගී වූයේ නැහැ. එහෙත් ඉන්දියාව මෙම තරඟය පරාජය වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැහැ.

ඉන්දියාව පරාජය වූ තරඟය (Cricbuzz)​

සිම්බාබ්වේ කණ්ඩායම සිය ඕවර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තේ ඇන්ඩි ෆ්ලවර් ලබාගත් ලකුණු 68 සහ ඔහුගේ සොහොයුරු ග්‍රාන්ට් ෆ්ලවර් ලබාගත් ලකුණු 45 උපකාරයෙන්. ඉන්දීය ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 56 ක් තුළ බිඳ වැටුණ නමුත් සඳගෝපන් රමේෂ්, රොබින් සිං සහ නයන් මොන්ගියා ඉන්දීය පිළ ජයග්‍රාහී ඉලක්කය ආසන්නයට ගෙන ගියා. අවසන් ඕවර දෙකේදී ඉන්දියාවට ලබාගැනීමට තිබුණේ ලකුණු 9 ක් පමණයි. විකට් තුනක් ඔවුන් අතැතිව තිබුණා. මේ අවස්ථාවේදී කැම් බල් විසින් පන්දුව ලබා දුන්නේ හෙන්රි ඔලොන්ගාටයි. එම තීරණය නිවැරදි බව පෙන්නුම් කරමින් ඔලොන්ගා අවසන් කඩුලු තුනම දවා ගත්තේ ලකුණු තුනක ජයක් සිය පිළට ගෙන දෙමින්.

පන්දු යැවීමේ වේගය අඩු වීම හේතුවෙන් මෙම තරඟයේදී ඉන්දියානු ඉනිමෙන් ඕවර 4 ක් අඩු කිරීමට තරඟ තීරක කැමී ස්මිත් කටයුතු කිරීම ද සිම්බාබ්වේ පිළට වාසිදායක වුණා.

ශ්‍රී ලංකාව සමඟ මැයි 22 වනදා පැවති තරඟය සිම්බාබ්වේ පිළ පරාජය වූයේ ඔවුන් ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලබා නොගැනීම හේතුවෙන්. සිම්බාබ්වේ පිළ ලබාගත් ලකුණු 197 හඹා යාමට ශ්‍රී ලංකාවට ඕවර 46 ක් අවශ්‍ය වුණා. එංගලන්තය සමඟ පැවති තරඟයේදී ද ඔවුන් මුලින් පන්දුවට පහර දුන් අතර ඔවුනට ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි. එම තරඟයද ඔවුන් පරාජය වුණා.

නීල් ජොන්සන් දකුණු අප්‍රිකානු විකට්ටුවක් ලබාගෙන (Getty)

මූලික වටයේදී සිම්බාබ්වේ පිළේ අවසන් තරඟය පැවතියේ දකුණු අප්‍රිකාව සමඟයි. මේ වනවිටත් දකුණු අප්‍රිකාව ඊළඟ වටය හෙවත් සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබා තිබුණා. සිම්බාබ්වේ පිළ මුලින් පන් දුවට පහර දී ලකුණු 233 ක් ලබාගත්තේ කඩුලු 6 ක් දැවී යද්දී. නීල් ජොන්සන් ලකුණු 76 ක් ලබා ගත්තා. දිවා ආහාරය සඳහා තරඟය නතර කළ අවස්ථාවේ ක්‍රීඩාංගණයට වැසි ඇද වැටුණ අතර දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ වෙද්දී වේග පන්දු යවන්නන්ට සුදුසු තෙත් කාළගුණයක් පිටියේ දක්නට තිබුණා. ජොන්සන් මෙහි ඵල​ නෙලාගත්තේ පළමු පන්දුවෙන් ම ගැරී කර්ස්ටන් දවාලමින්. 12 වන ඕවරයේදී දකුණු අප්‍රිකාවේ 6 වන කඩුල්ල බිඳ වැටෙද්දී ලකුණු සංඛ්‍යාව වූයේ 40 ක් පමණයි. ලාන්ස් ක්ලූස්නර් සහ ශෝන් පොලොක් ලකුණු 52 බැගින් ලබාගත් නමුත් දකුණු අප්‍රිකාව ලකුණු 185 කට සීමා කිරීමට සිම්බාබ්වේ පිළ සමත් වුණා. මේ සමඟම සිම්බාබ්වේ පිළ සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබද්දී එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසි වුණා.

සුපර් සික්ස් වටයේ පරාජය​

කෙසේ නමුත් සුපර් සික්ස් වටයේදී සිම්බාබ්වේ පිළට එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. නවසීලන්තය සමඟ තරගය වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තීරණයකින් තොරව නිම වූ අතර ඔස්ට්‍රේලියාව සමඟ තරගයේදී සිම්බාබ්වේ පිළ ලකුණු 44 කින් පරාජය වුණා. ඕස්ට්‍රේලියාව ලකුණු 303 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ පිළ කඩුලු 6 ක් දැවී ලකුණු 259 ක් ලබාගත්තා. නීල් ජොන්සන් නොදැවී ලකුණු 132 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ සමස්ථ ඉනිම පුරාම පිත්ත හසුරවමින්.

සක්ලේන් මුෂ්ටාක් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව​ (Getty)

තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී පාකිස්ථානය හමුවේ ලකුණු 148 කින් පරාජය වීමට සිම්බාබ්වේ පිළට සිදු වුණා. පාකිස්ථානය ලකුණු 271 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිළ ලකුණු 123 කට දැවී ගියා. ඔවුනගේ අවසන් කඩුලු තුන 41 වන පන්දු වාරයේ පළමු පන්දු තුනෙන් දවාගත් සක්ලේන් මුස්ටාක් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවා. මෙම ඉනිමේදී නැවතත් නීල් ජොන්සන් ලකුණු 54 ක් ලබාගනිමින් දස්කම් දැක්වූවා.

මෙම තරගාවලියේදී ඉතාම හොඳ දස්කම් දැක්වූ සිම්බාබ්වේ පිළ තවත් වසර කිහිපයකට පසු කඩා වැටුණේ දේශපාලන අර්බුද හේතුවෙන්. විශේෂයෙන් ම කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් එම පිළ හැර යාමත් සමඟ හොඳ අනාගතයක් තිබූ සිම්බාබ්වේ පිළ කඩා වැටුණා.

මූලාශ්‍ර​

  1. ESPN Cricinfo
  2. Zimbabwe in World Cups, ICC World Cup 1999, Cricbuzz

Cover Image: ඔලොන්ගා විසින් අවසන් ඉන්දියානු කඩුල්ල ලෙස වෙන්කටේශ් ප්‍රසාද් දවා ගනී (Getty)

Related Articles