Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර 20/20 ලෝක කුසලානයට එක් වන සුපිරි තරු 6ක් 

2022 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් මේ වන විට සිය ලෝක කුසලාන සංචිත ප්‍රකාශයට පත් කර අවසන්. ඒ අතුරින් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය, සහ දකුණු අප්‍රිකාව යන රටවල් ප්‍රබල සංචිත ඉදිරිපත් කර තිබෙනවා. එම සංචිතවලට ඇතුළත් ඇතැම් ක්‍රීඩකයන් පසුගිය කාලයේ දී 20/20 ක්‍රිකට් පිටියේ දිගින් දිගට ම දස්කම් දැක්වීමට සමත් වුණා. 

එයින් මෙවර 20/20 ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කරන සුපිරි ක්‍රිකට් තරු 6ක් පිළිබඳ යි මෙම ලිපිය.   

6) ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව)

වර්තමාන 20/20 ක්‍රිකට් පිටියේ සිටින හොඳ ම ඉනිම අවසන් කරන්නන් කිහිපදෙනා අතරට දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ගේ නම ද අයත්. සාමාන්‍යයෙන් පිතිකරු ලැයිස්තුවේ අංක 5 සහ 6 යන පිතිකරණ ස්ථානවල පන්දුවට පහර දෙන මෙම පිතිකරුවා 2022 වසරේ දී 20/20 ඉනිම් 10ක දී පන්දුවට පහර දෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 283ක් ලබා ගත්තා. එහි දී ඔහු ඉන්දියාවට එරෙහි ව හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් පන්දු 47කින් නොදැවී ලබා ගත් ලකුණු 106 විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා. මිලර් ක්‍රීඩා කළ 20/20 ඉනිම් 10න් 5ක දී ම නොදැවී පන්දුවට පහර දුන් නිසා මෙම වසරේ ඔහුගේ 20/20 පිතිකරණ සාමාන්‍යය 56.60ක් ලෙසින් සටහන් වුණා.

ඩේවිඩ් මිලර් ඉන්දියාවට එරෙහි ව 20/20 ශතකය වාර්තා කළ මොහොත – gettyimages.com

2022 IPL තරගාවලියේ දී මිලර්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළා. එම තරගාවලියේ දී ඔහු විශිෂ්ට ආකාරයේ ඉනිම් අවසන් කිරීම් කිහිපයක් ම සිදු කළා. චෙන්නායි කණ්ඩායමට එරෙහි ව පන්දු 51කින් නොදැවී ලබා ගත් ලකුණු 94, රාජස්තාන් කණ්ඩායමට එරෙහි ව පන්දු 38කින් නොදැවී ලබා ගත් ලකුණු 68 ඒ අතුරින් විශේෂ යි. මිලර්ගේ පිත්තෙන් වාර්තා වුණු එම විශිෂ්ට ඉනිම් නිසා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට IPL ශූරතාව දිනාගැනීමට ද හැකි වුණා. එලෙස මෙම වසරේ පැවති T20 තරගාවලිවල දී දිගින් දිගට ම සාර්ථක වුණු මිලර් හොඳ ඉනිම අවසන් කිරීම් කිහිපයක් සිදු කළා. 2022 T20 ලෝක කුසලාන තරගාවලියේ ඉනිමේ අවසන් පන්දුවාරවල දී බොහෝ පන්දු යවන්නන්ට මිලර්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වනු ඇති බවට සැකයක් නැහැ.  

5) ජෝස් බට්ලර් (එංගලන්තය)

මෙවර 20/20 ලෝක කුසලානය සඳහා සහභාගි වන එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙන ජෝස් බට්ලර් වේගයෙන් පන්දුවට පහර දිය හැකි ආරම්භක පිතිකරුවෙක්. 2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත ඉනිම ආරම්භ කළ බට්ලර් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ඉනිම් 6ක දී ලකුණු 269ක් රැස් කළා. එහි දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව පන්දු 67කින් නොදැවී ලකුණු 101ක් ද, ඕස්ට්‍රේලියාවට එරෙහි ව පන්දු 32කින් නොදැවී ලකුණු 71ක් ද වාර්තා කළා. 

2021 T20 ලෝක කුසලානයේ දී දස්කම් දැක්වූ බට්ලර් – gettyimages.com

මෙම සුපිරි පිතිකරුවා 2022 IPL තරගාවලියේ ඉනිම් 17ක දී පන්දුවට පහර දෙමින් ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 863ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එහි දී බට්ලර් ඉනිම් 7ක දී පන්දුවාර 16කට වඩා කඩුල්ලේ රැඳී සිටීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම ඉනිම්වලින් සමහරක දී ඔහු තරමක් මන්දගාමී ව ඉනිම ආරම්භ කර 10 වන පන්දු වාරයෙන් පසුව වේගයෙන් ලකුණු රැස් කළා. එයින් පැහැදිලි වන්නේ ඔහු වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු රැස් කළ හැකි ආරම්භක පිතිකරුවෙක් බව යි. බර්ලට් මෙවර 20/20 ලෝක කුසලානයේ දීත් එම පිතිකරණ ශෛලිය අනුගමනය කළොත් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ඔහු පාලනය කිරීම විශාල අභියෝගයක් වනු ඇති.  

4) සූර්යකුමාර් යාදව් (ඉන්දියාව)

මේ දිනවල 20/20 පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල අංක 2 ස්ථානයේ රැඳී සිටින්නේ සූර්යකුමාර් යාදව් නම් ඉන්දීය පිතිකරුවා යි. 2022 දී 20/20 පිටියේ දෙවනියට වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත් වුණු සූර්යකුමාර් ඉනිම් 23ක දී පන්දුවට පහර දෙමින් ශතක 1ක් සහ අර්ධ ශතක 6ක් සමඟ ලකුණු 801ක් ලබා ගැනීමට සමත් වුණා. එහි දී ඔහු එංගලන්තයට එරෙහි ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 117 කාගේත් කතාබහට ලක් වුණු ඉනිමක් බවට පත් වුණා. 

එංගලන්තයට එරෙහිව ලකුණු 117ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පන්දු 44කින් ලබා ගත් ලකුණු 76, දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු 22කින් ලබා ගත් ලකුණු 61 මෙම වසරේ සූර්යකුමාර්ගේ පිත්තෙන් වාර්තා වුණු අනිකුත් සුපිරි ඉනිම් ලෙස දක්වන්නට පුළුවන්. එසේ දිගින් දිගට ම ලකුණු අතර සිටින සූර්යකුමාර් යාදව් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී හොඳින් ලකුණු අතරට පැමිණෙනු ඇති බවට මේ වන විටත් ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කර තිබෙනවා.  

3) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) 

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී පන්දුවෙන් ඉහළ ම දස්කම් දැක්වූ වනිඳු හසරංග තරග 8ක දී කඩුලු 16ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා. එය 20/20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දඟපන්දු යවන්නෙක් ලබා ගත් එකම කඩුලු ත්‍රිත්වය යි. එම 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිඳු දවා ගත් කඩුලු 16 එදා මෙදාතුර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල දී යම් පන්දු යවන්නෙක් දවා ගත් වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා.  

2021 T20 ලෝක කුසලානයේ දී සුපිරි දස්කම් දැක්වූ වනිඳු – gettyimages.com

2022 IPL තරගාවලිය වනිඳුට අමතක නොවන එකක් වුණා. එහි දී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ වනිඳු, තරග 16කදී කඩුලු 26ක් දවා ගෙන තරගාවලියේ දෙවන වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. 2022 වසරේ දී ජාත්‍යන්තර 20/20 පිටියේ දීත් සැලකිය යුතු තරම් දස්කම් පෑ වනිඳු තරග 11ක දී කඩුලු 19ක් බිඳ දැමුවා. එලෙස ඔහු ජාත්‍යන්තර 20/20 ක්‍රිකට් පිටියේ පෑ සුපිරි දස්කම් නිසා අද වන විට 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල 3වන ස්ථානයේ රැඳී සිටිනවා.

 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි, ඇඩිලේඩ් වැනි තණතීරු දඟපන්දු යවන්නන්ට විශාල සහායක් ලබා දෙනවා. එනිසා මෙවර 20/20 ලෝක කුසලානයේ දී වනිඳුගේ පන්දු හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ වීමට විශාල ඉඩකඩක් පවතිනවා. 

2) මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)

මේ දිනවල 20/20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්වල අංක 1 ස්ථානයේ පසුවන්නේ මොහොමඩ් රිස්වාන් නම් පාකිස්තාන පිතිකරුවා යි. 2021 වසරේ දී ජාත්‍යන්තර 20/20 ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දැක්වූ රිස්වාන් ඉනිම් 26ක දී ශතකයක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 1326ක් ලබා ගත්තා. එය යම් පිතිකරුවෙක් වසරක දී 20/20 ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහි දී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු 64කින් නොදැවී ලබා ගත් ලකුණු 104 විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා. එම වසර තුළ ඔහුගේ 20/20 පිතිකරණ සාමාන්‍ය 73.67ක් තරම් ඉහළ අගයක් ගත්තා.

මොහොමඩ් රිස්වාන් 20/20 තරගයක දී දස්කම් දක්වමින් – gettyimages.com

2021 දී 20/20 ක්‍රිකට් පිටියේ වැඩි ම ලකුණු ලාභියා වුණු රිස්වාන් 2022 දීත් එම දස්කම දැක්වීමට සමත් වුණා. ඔහු මෙම වසරේ 20/20 ඉනිම් 18ක් ක්‍රීඩා කරමින් අර්ධ ශතක 9ක් සමඟින් ලබා ගත් ලකුණු ප්‍රමාණය 821ක්. එහි දී ඔහු එංගලන්තයට එරෙහි ව අවස්ථා 2කදී ලකුණු 88 බැගින් ලබා ගැනීමට සමත් වුණා. එලෙස දිගින් දිගට ම ලකුණු අතර සිටින රිස්වාන් මෙවර 20/20 ලෝක කුසලානයේ දී පන්දු යවන්නන්ට ප්‍රබල ම තර්ජනයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන පිතිකරුවන් අතර ඉදිරියෙන් ම සිටිනවා. 

1) ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායම යි. එම ජයග්‍රහණය සඳහා පිත්තෙන් විශාල දායකත්වයක් ලබා දුන් ඩේවිඩ් වෝනර් අර්ධ ශතක 3ක් සමඟින් ඉනිම් 7කදී ලකුණු 289ක් ලබා ගෙන තරගාවලියේ දෙවන වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු පාකිස්තානයට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී ලකුණු 49ක් ද, නවසීලන්තයට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ලකුණු 53ක් ද ලබා ගැනීම අමතක කරන්නට බැහැ. වෝනර් තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

වෝනර් 2021 T20 ලෝක කුසලානයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

2022 T20 ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාව යි. එනිසා මෙවර 20/20 ලෝක කුසලානයේ දී වෝනර්ට සිය රටේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ හුරුපුරුදු තණතීරුවල ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වෙනවා. සාමාන්‍යයෙන් වෝනර් ඕස්ට්‍රේලියානු තණතීරුවල හොඳින් ම ලකුණු රැස් කරන පිතිකරුවෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ දී අවසන් වරට ක්‍රීඩා කළ 20/20 ඉනිම් 10දී අර්ධ ශතක 4ක් සහ ශතකයක් සමඟින් ලකුණු 463ක් ලබා ගත්තා. එහි දී නොදැවීම් 5ක් වාර්තා වුණු නිසා ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 92.60ක් තරම් ඉහළ අගයක් ගත්තා. එනිසා මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී වෝනර් බොහෝ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වීමට ඉඩ තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- වනිඳු හසරංග- gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricbuzz.com
icct20worldcp.com

Related Articles