Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩා

ක්‍රිකට්, පා පන්දු, වොලිබෝල්, රගර්, ගොල්ෆ් හා ටෙනිස් වැනි ක්‍රීඩාවන් ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩා ලෙස හඳුන්වා දිය හැකියි. මෙම ක්‍රීඩා සාමාන්‍යයෙන් අප කා අතරත් ඉතා ප්‍රසිද්ධයි. නමුත් ලෝකය පුරා එතරම් ප්‍රසිද්ධ නොවූ, නරඹන්නන් ත්‍රාසයෙන් මුසපත් කරන ක්‍රීඩා කිහිපයක් පිළිබඳව කෙටි විස්තරයක් ඔබ වෙත ගෙන ඒමටයි සැරසෙන්නේ.

සාමාන්‍ය දැක්මකින් ඔබ්බට ගිය මිනිසුන් විසින් මෙම ක්‍රීඩා නිර්මාණය කර තිබෙනවා. මෑතක සිට ලෝකයේ විවිධ ප්‍රදේශ වල ජනප්‍රිය වෙමින් පවතින මේවා extreme sports හෝ adventurous sports ලෙස හඳුන්වයි. මේ වන විටත් නිසි පුහුණුවක් සමඟ වෘත්තීය මට්ටමෙන් ඒ සඳහා සහභාගී වන්නන්ගේ ගණන සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. ත්‍රාසජනක බව, හදීසි අනතුරුවලින් බහුල බව හේතුවෙන් ජීවිත අවදානම පවා ඉහළයි. මෙම ක්‍රීඩාවන්හි නියැලීමට ක්‍රීඩකයා සතුව මනා ආත්ම ශක්තියක් මෙන්ම හොද ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතු වෙනවා.

කන්දෙන් පැනීම (Cliff diving)

Pinterest

හවායි දුපත් වල ක්‍රි:ව 1770 තරම් ඈත අතීතයේ එහි වාසය කළ නිර්භීත පුද්ගලයන් හදුනා ගැනීම සඳහා මුහුද අවට ඇති මීටර් 200 පමණ උස ගල් පර්වතයන්ට නැග මුහුදට පනිමින් ආරම්භ කළ මෙම ක්‍රීඩාව වර්තමානය වන විට ලොව පුරා ඉතා ජනප්‍රියයි.

මෙතරම් උසක සිට ජලයට පනින විට ඉතා දැඩි වේදනාවක් සිරුරට දැනෙන නමුත්  වීරත්වය හා ත්‍රාසජනක බවින් පිරුණු මෙම ක්‍රීඩාව මානසික ඒකාග්‍රතාවක් ඇති ක්‍රීඩකයන්ට එතරම් අභියෝගයක් නොවෙයි. ඔබ ගාලු කොටුවේ සංචාරය කරන විට Cliff diving අනිවාර්යෙන්ම දැක ගන්නට පුළුවන්. හැබැයි ඒ ක්‍රීඩාවක් විදිහට නම් නෙවේ, එසේ එම ක්‍රීඩාවේ ඔවුන් නිරත වන්නේ ජීවනෝපායක් ලෙසයි.

බන්ගී පැනීම් (Bungee Jumping)

Bucharest Apartments

පාලමක්, උස් ගොඩනැගිල්ලක් හෝ ඉතා උස් බෑවුමක් සහිත කඳු මුදුනක සිට Bungee ලණුවක් පාද වල වළලුකර දෙකේ ගැටගසාගෙන පහළට පැනීම මෙහිදී සිදු වෙනවා. පනින පුද්ගලයාගේ බරට අනුව bungee ලණුවේ දිග ප්‍රමාණය වෙනස් වෙනවා. අතීතයේ මෙලෙස පැනීම් සිදුකර තිබෙන්නේ ස්ථාවර ස්ථානයක සිට වුවත් වර්තමානයේ වඩා ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වායු බැලුන, හෙලිකොප්ටර වැනි සචල ස්ථාන වල සිටද පහළට පනිනු දකින්නට පුළුවන්.

පැනීම හේතුවෙන් ක්‍රීඩකයාගේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත්වෙන අතර ලණුව ඇදෙන සුළු බැවින් ක්‍රීඩකයා විශාල වෙලාවක් උඩට හා පහළට පැද්දෙමින් මෙම ත්‍රාසජනක අත්දැකීම විඳගනු ලබනවා. 1979 අප්‍රේල් මස 1 වෙනිදා මෙම ක්‍රීඩාව ලොවට හදුන්වා දෙන්නේ Bristol නගරයේ Clifton පාලමෙන් පහළට පනින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඩේවිඩ් ක්‍රයික් හා සයිමන් කෙලීන් විසිනුයි.

රළ මත ලිස්සීම (Surfing)

Mpora

ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට බලපාන එක් කරුණක් ලෙස surfing හදුන්වා දිය හැකියි. ආරුගම්බේ මුහුදු තීරය මේ සඳහා නම් දරන ලොව පුරා ප්‍රසිද්ධ මුහුදු තිරයක්. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ gold cost, දකුණු අප්‍රිකාවේ jeffery’s bay වැනි වෙරළ තීරයන්ද මේ සඳහා සුදුසු වෙනවා. මෙම මුහුදු තීර වල විශේෂ ලක්ෂණ වන්නේ හොඳින් රළ නැගීමයි. මෙලෙස නැගෙන යෝධ රළ සමඟ surfing board එකක් මත නැගී දණ ගසා හෝ දිගා වී වැනි ඉරියව් වලින් ක්‍රීඩාවේ යෙදෙනවා. ඉතා විශාල ලෙසින් උසට නැගෙන රළ යටින් රිංගා යමින් ක්‍රීඩකයන් විදින ත්‍රාසජනක අත්දැකීම නරඹන්නට surfing ක්‍රීඩා ලෝලීන් ඉතා කැමතියි.

පාකර් (Parkour)

Blogs – Financial Times

ප්‍රංශයේ රේමන්ඩ් බෙල් විසින් 1990 වසරේ හඳුන්වා දුන් ක්‍රීඩාවක් වන parkour ලොව පුරා ප්‍රසිද්ධ කරන්නේ ඔහුගේ පුත් ඩේවිඩ් බෙල් විසින්. ඒ ඔහු හා ඔහුගේ මිතුරන් එක් වී නිර්මාණය කරන ලද yamakasi(යමකාසි ) හා පාකර් යන ක්‍රීඩා කණ්ඩායම් දෙක අතර පැවති අභියෝගාත්මක තරඟ වට කිහිපය හේතුවෙන්.

නිදහස් දිවීම (free running) ලෙසත් හදුන්වන මෙම ක්‍රීඩා අංගය බොහෝ චිත්‍රපටයන්හි දර්ශනයන් සඳහාද වර්තමානය වන විට යොදාගෙන තිබෙනවා. දිවීමට අමතරව අතරමගදී හමුවන විවිධ වර්ගයේ බාධක ඉතා කාර්යක්ෂම අයුරින් පසුකර යාම මෙහිදී කළ යුතුයි. මේ සඳහා දිවීම සමඟම පැනීම්, රින්ගීම් පැද්දීම්,පෙරලීම් හා කරණම් ගැසීම් උචිත අවස්ථාවන්හි සිදු කළ යුතුයි. ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බාධක මත මෙහි ත්‍රාසජනක බව තීරණය වෙනවා.

පියෑඹීම (Wingsuit flying)

Wikipedia

ඈත අතීතයේ සිටම පියෑඹීමේ නොතිත් ආශාවකින් පසු වූ මිනිසා පක්ෂීන් සේ අත්තටු පැළඳගෙන උස් ස්ථාන වලින් බිමට පැන්න බව අප අසා තිබෙනවා. නමුත් එවැනි පැනීම් හේතුවෙන් ඔවුන්ට අත් වී තිබෙන්නේ මරණයයි. 1912 වසරේදී ප්‍රංශයේ ජීවත් වූ ඇදුම් මසන්නෙක් ඉගිලීමට සුදුසු ඇඳුමක් මසා අයිෆල් කුලුනෙන් පැන පියාඹීමට දැරූ උත්සාහය නතර වී තිබෙන්න ඔහු මරණයට පත් වීමෙන්.

මෙසේ 1990 වසරේදී පැට්‍රික් ද ගෙයා(ක්)හොං  (Patrick de Gayardon) විසින් නිර්මාණය කරන ලද ඇඳුම මේ සඳහා සුදුසු විය. එම birdman ඇඳුම ලෙස ලොවපුරා ජනප්‍රිය වෙනවා. මෙලෙස නිර්මාණය වූ ඇඳුම් අතරින් පක්ෂීන් සේ අහසේ සැරි සැරීමට අද වන විට යොදා ගනු ලබන්නේ wing suit නම් ඇඳුමයි. මෙහි කොටස් වල වර්ගඵලය වැඩි බැවින් වායු ගෝලය තුළ නිදහසේ පා වීමට හැකියාව ලැබෙනවා. මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ගුවන් යානයක සිට පහළට පැන පක්ෂීන් මෙන් වායුගෝලයේ නිදහසේ පා වෙමින් පසුව, අවසානයේදී පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීම සිදු කරනවා. චකිතය හා මානසික ආතතිය මැනවින් පාලනය කරන ක්‍රීඩාවක් ලෙස මෙය නම් කර තිබෙනවා.

ස්කේටිං (Skating)

Shutterstock

1950 දශකය තුළ ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ තිරයේ surfing ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයන් විසින් මුහුදේ රළ නොමැති අවස්ථාවන්හිදී, ඒ වෙනුවට කළ හැකි ක්‍රීඩාවක් ලෙස මෙම සංකල්පය බිහිකර තිබෙනවා. රෝද සවිකළ ලී පුවරු මත නැගී ඔවුන් ප්‍රාථමික skateboarding ක්‍රීඩාව නිර්මාණය කළ අතර අද වන විට වේගයෙන් පාර පුරා, පඩි පෙළවල් මතින් මෙන්ම පඩිපෙළවල අත්වාරු මතින් පවා ගමන් කිරීමට ක්‍රීඩකයන් සමත් වෙලා තිබෙනවා. ක්‍රීඩාව අතරතුර කුඩා අත්වැරැද්දක් සිදු වුවහොත් එය මාරක අනතුරක් බවට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහළ බැවින් මේ සඳහා මූලික පුහුණුවීම් ඉතා හොඳින් කළ යුතු වෙනවා.

ඉතින් මෙම ත්‍රාසජනක ක්‍රීඩා කිහිපයක් පිළිබඳව කෙටි විස්තරය නිමා කරන්නයි සුදානම් වෙන්නේ. ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද භීතියට පත්කරවන මෙම ක්‍රීඩාවන්හි නිරතවීමට මනා පුහුණුවක් මෙන්ම දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි.

කවරයේ ජායාරූපය – F Magazine Luxury

  

Related Articles