Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම්

වසර 140 ක ඉතිහාසයකට උරුමකම් කියන ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශතක හා ද්විත්ව ශතක රාශියක් වාර්තා වී තිබුණත් සිය ඉණිම ඊටත් ඉහළ මානයකට ගෙන එමින් ත්‍රිත්ව ශතකයක් කරා ගෙන ගිය අවස්ථා ඇත්තේ ඉතා අල්පයක් පමණයි. තාක්ෂණය, දක්ෂතාවය පමණක් නොව ඉවසීම හා දරාගැනීමේ හැකියාවත් මැනවින් ප්‍රගුණ කරන පිතිකරුවෙකුට වාසනාවත් යම් පමණකට හෝ දායක වූ දුර්ලභ අවස්ථාවකදී වාර්තා කළ හැකි ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් තමන් සතු කර ගැනීම ඕනෑම විශිෂ්ට ක්‍රීඩකයෙක් තමන් ලද මහඟු භාග්‍යයක් ලෙස සළකනවා. ගණනින් 30ක් වන ඒවා වාර්තා කර ඇත්තේ ක්‍රීඩකයන් 26 දෙනෙකු පමණයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දහස් ගණනක් අතුරින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර සේවාග් හා ක්‍රිස් ගේල් පමණක් මේ දස්කම දෙවරක් බැගින් ප්‍රදර්ශනය කොට තිබෙනවා.

ක්‍රිස් ගේල් (dominicanewsonline.com)

ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමෙන් අනතුරුව එම ඉණිම තව දුරටත් ගෙනයමින් ලොව හොඳම පෞද්ගලික ඉණිම් කිහිපය අතරට ගෙනයන්නට යමෙක් සමත් වේ නම් එය ඔහුට සිය ජීවිතයේ කිසිම දිනෙක අමතක නොවෙන සිදුවීමක් විය හැකියි. මේ සටහන ඒ ආකාරයෙන් දක්ෂතාවයත් වාසනාවත් මුසුකොට ලබාගත් ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් පෞද්ගලික ඉණිම් ගැනයි.

බ්‍රයන් ලාරා 400 (නොදැවී)

Getty Images

එංගලන්තය 2004 වසරේදී කැරිබියානු දූපත්වල සංචාරය කළ අතර සිවුවැනි ටෙස්ට් තරඟය පැවතියේ ඇන්ටිගුවා හි ශාන්ත ජෝන් හි දීයි. මෙය ලෝක ටෙස්ට් වංශකතාවේ 1696 වන තරඟය වූ අතර කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ බ්‍රයන් ලාරාටයි.

බ්‍රයන් ලාරා 1994 වසරේදී මේ තරඟය පැවැත්වෙන පිටියේදීම එංගලන්තයට එරෙහිව ලකුණු 375ක් ලබාගනිමින් ලෝක වාර්ථාවක් තබා තිබුණු අතර පසුව එය ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් විසින් බිඳ දමා තිබුණා.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක බ්‍රයන් ලාරා මුලින්ම පන්දුවට පහරදීමේ වාරය ලබාගත් අතර ලකුණු 33 වන විට ඩැරන් ගංගා හා 98 වන විට ක්‍රිස් ගේල් දැවී ගියත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි බ්‍රයන් ලාරා එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමින් පිටියේ ස්ථාවර වන බවක් පෙන්නුම් කරන්නට වුණා. ඔහු අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි රම්නරේශ් සර්වාන් සමඟ ලකුණු 232 කත්, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි කඩුළු රකින ක්‍රීඩක රිඩ්ලි ජේකබ්ස් සමඟ ලකුණු 282 කත් දැවැන්ත සම්බන්ධතා 2ක් පවත්වා ගනිමින් ලොව හොඳම ටෙස්ට් පෞද්ගලික ඉණිම නැවතත් සිය නමට ලියවාගත්තේ නොදැවී ලකුණු 400ක් ලබා ගනිමින්. මේ සඳහා පන්දු 582ක් වැය වී තිබුණු අතර මේ ඉණිම 4 පහර 43 කිනුත් 6 පහර 4 කිනුත් වර්ණවත්ව තිබුණා. ඉණිම අත්හිටුවන විට කොදෙව්වන් එදා මෙදා තුර වාර්තා කරගත්දෙවන ඉහළම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව වාර්තා කරගනිමින් කඩුළු 5 කට ලකුණු 751 ක් ලබාගෙන තිබුණා.

කොදෙව්වන්ගේ දැවැන්ත ඉණිමට පිළිතුරු වශයෙන් එංගලන්තය සිය පළමු ඉණිමට ලබාගත්තේ සියල්ලන්ම දැවී ලකුණු 285ක් පමණයි. ඔවුනට දෙවන වරද පන්දුවට පහර දීමට ආරාධනා ලැබුණු අතර එවර සටන්කාමීත්වයක් පිළිබිඹු කළ ඔවුන් කඩුළු 5 කට ලකුණු 422 ක් ලබා සිටියදී දින අවසන් වීමෙන් ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. තරඟ 4 කින් යුතු ටෙස්ට් තරඟාවලිය කොදෙව්වන් ජයගත්තේ 3-0 වශයෙන්.

මැතිව් හේඩන් 380

Getty Images

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ 1661 වැනි තරඟය පැවතියේ ඕස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ අතරයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වැකා ක්‍රීඩාංගනයේ 2003 වසරේ ඔක්තෝබර් 9 සිට 13 දක්වා  පැවති මේ තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක හීත් ස්ට්‍රීක් ඕස්ට්‍රේලියාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කරනවා. ආරම්භක පිතිකරුවන් වශයෙන් මැතිව් හේඩන් හා ජස්ටින් ලැන්ගර් පිටියට බසින අතර ලකුණු 43ක් ලකුණු පුවරුවේ සනිටුහන් වන විට ලැන්ගර් දැවී ගියත් ඉන් පසුව පිටියට බසින ක්‍රීඩකයන් සමඟ ඉතා හොඳින් සම්බන්ධතා පවත්වාගත් හේඩන් 6 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට පන්දු 622ක් තුල ලකුණු 380 ක් ලබා තිබුණු අතර ඊට 4 පහර 38ක් ද දැවැන්ත 6 පහර 11 ක්ද අන්තර්ගතව තිබුණා. ඔහුගේ දැවී යාමත් සමඟ ඕස්ට්‍රේලියානු පළමු ඉණිම අත්හිටුවීමට නායක ස්ටීව් වෝ තීරණය කළ අතර ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කියැවුණේ කඩුළු 6 කට ලකුණු 735 ක් ලෙසයි.

පිළිතුරු ඉණිම ක්‍රියාත්මක කළ සිම්බාම්වේ  කණ්ඩායමට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු බල ඇණිය අවස්ථාවක් නොදුන් අතර ලකුණු 239 කට සියල්ලන්ම දැවී යාම නිසා පිට පිටම දෙවන වරටත් පන්දුවට පහර දීමට සිදු වුණා. එවරත් ඒ තරම් සාර්ථක වීමට ඔවුන්ට නොහැකි වූ අතර සියළු දෙනා ලකුණු 321 කට දැවී යාමත් සමඟ තරඟය නිමා වූයේ ඕස්ට්‍රේලියානුවන්ට ඉණිමක හා ලකුණු 175 ක ජයක් අත් කර දෙමින්.

බ්‍රයන් ලාරා 375

bbc.co.uk

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1259 වන තරඟය පැවැත්වුණේ 1994 වසරේ අප්‍රේල් මස 16 සිට 21 දා දක්වා එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතරයි. මේ තරඟය පැවැත්වුණේ කැරිබියන් දූපත්වලට අයත් ඇන්ටිගුවා හි ප්‍රධාන නගරය වන ශාන්ත ජෝන් හියි. මෙහිදී කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක කර්ට්නි වොල්ෂ් පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් අතර ලකුණු තත්ත්වය 11 වන විට පළමු කඩුල්ල ලෙස ස්ටුවර්ට් විලියම්ස්ව පිටියෙන් ඉවත් කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ගස් ෆ්‍රේසර් සමත් වෙනවා. ලකුණු තත්වය 12 වන විට අනෙක් ආරම්භක පිතිකරු ෆිල් සිමන්සුත් පිටියෙන් ඉවත් වන අතර එක් අවස්ථාවක ලකුණු 12 කට කඩුළු 2ක් දැවී කොදෙව්වන් සිටියේ අසීරු අඩියකයි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසුන බ්‍රයන් ලාරා මේ අවස්ථාවේදී ජිමී ඇඩම්ස් සමඟ සෙමින් සෙමින් ඉණිම ගොඩ නගන්නට පටන්ගත් අතර ඔවුන් දෙදෙනා ලකුණු 179 ක දැවැන්ත සබඳතාවයක් පවත්වනවා. ලකුණු 191 දී ජිමී ඇඩම්ස් ලකුණු 59 කට දැවී ගියත් ඉන් පසු පැමිණි කීත් ඇතර්ටන් සමඟ ලකුණු 183 කත්, ශිවනරීන් චන්ද්‍රපෝල් සමඟ ලකුණු 219 කත් සම්බන්ධතා දෙකක් පවත්වාගත් ලාරා අවසානයේ ඇන්ඩෲ කැඩික්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 538 ක් තුළ ලකුණු 375ක් ලබාගෙන තිබුණා. මෙය පසුව මැතිව් හේඩන් විසින් බිඳ දමන තුරු ලෝක වාර්තාවක් වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉණිම කඩුළු 5 කට ලකුණු 593 ක් ලෙස සටහන් වුණා.

පිලිතුරු ඉණිම වශයෙන් එංගලන්ත කණ්ඩායමත් සිය පළමු ඉණිමට සියළු දෙනාම දැවී ලකුණු 593 ක් ලබාගත් අතර බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉණිම ආරම්භ වූ සැණින්ම වාගේ දින නිමා වීම නිසා තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වුණා. මෙය තරඟ 5 කින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය වූ අතර කොදෙව්වන් තරඟාවලිය 3-1 ක් ලෙස ජයගත්තා.

දකුණු අප්‍රිකාවට එරෙහි මහේල ජයවර්ධනගේ වටිනා ඉණිම, ශ්‍රීමත් ලෙන් හටන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ත්‍රිත්ව ශතකය ඇතුළු තවත් වටිනා ඉණිම් කිහිපයක් ගැන දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය : sports.vice.com/ PA Images

Related Articles