Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම් – 3 කොටස

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම පෞද්ගලික ඉණිම් 6 හෙවත් එතෙක් මෙතෙක් වාර්තා වී ඇති එක්දින ද්විත්ව ශතක 6 පිළිපඳව සවිස්තර තිරතුරු අපි පසුගිය ලිපි දෙකෙන් ඔබ වෙත ගෙන ආවා. එම ද්විත්ව ශතක 6න් 4 ක්ම ඉන්දියානුවන් සතු වීමත් විශේෂයක්. එමෙන්ම ඒ සියල්ලම වාර්ථා වුණේ පසුගිය වසර 8 ක පමණ කාලය තුළ වීමත් විශේෂයි. ද්විත්ව ශතක නොවුණත් තවත් ඉණිම් 6ක් මේ ඉහළම හා සුවිශේෂී ඉණිම් සඳහන් කිරීමේදී අමතක කළ නොහැකියි. ඒවායින් සමහරක් පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දුන් කාලයන් හීදී රැස් කර තිබීම නිසා ඒවායේ වටිනාකම පෙර කී ද්විත්ව ශතක වලටත් වඩා ඉහළ යැයි කෙනෙක් තර්ක කරන්නටත් පිළිවන්. මේ ලිපි පෙළෙහි අවසාන ලිපි දෙක වන තුන් වන හා සිව්වන කොටස් වලින් අපි අවධානය යොමන්නේ එම ඉණිම් පිළිබඳවයි.

චාල්ස් කවන්ට්‍රී -194 (නොදැවී)

espncricinfo.com/AFP

ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසයේ 2873 වන තරඟය පැවතියේ 2009 වසරේ අගෝස්තු මස 16 වන දින සිම්බාබ්වේ හි බුලවායෝ නුවර සත්කාරක සිම්බාබ්වේ පිළ හා සංචාරක බංගලාදේශ පිළ අතරයි. තරඟ 5 කින් යුතු එක්දින තරඟාවලියක සිවු වන තරඟය වූ මෙය සිම්බාබ්වේ පිල ජයගත යුතුම එකක් වී තිබුණේ ඒ වන විටත් බංගලාදේශය පැවැත්වූ තරඟ 3න් 2ක් ම ජය ගෙන තිබූ නිසායි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ප්‍රොස්පර් උට්සෙයා පළමුව පන්දුවට පහර දීමට තෝරාගත් අතර සිම්බාබ්වේ පිළෙහි පළමුවන කඩුල්ල ලකුණු 5 ක් ව තිබියදී බිඳ වැටෙනවා. ඒ කෙසේ නමුත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන චාල්ස් කවන්ට්‍රී විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දෙන්නට ගන්නවා. ඒ වන විට එක්දින් තරඟ 20 කවත් අත්දැකීම් නොතිබුණු මේ නවක ක්‍රීඩකයා ලෝක වාර්තාවක් තබාවි කියානම් කිසිවෙකුත් විශ්වාස නොකරන්නට ඇති. තම පිළෙහි අන් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 50 සීමාවට ලඟා වීමට නොහැකි වෙද්දී හුදෙකළා සටනක නිරත වුණු කවන්ට්‍රී පන්දු ඕවර 50 නිම වන විටත් නොදැවී සිටිමින් පන්දු 156 ක් තුළ ලකුණු 194 ක් ලබාගන්නේ පාකිස්තානයේ සයිඩ් අන්වර් සතුව එවකට තිබූ ලෝක වාර්තාව සම කරමින්. මේ ඉණිමේදී ඔහු විසින් 4 පහර 16 කුත් 6 පහර 7 කුත් එල්ල කර තිබුණා. සිම්බාබ්වේ ලකුණු පුවරුව කියැවුණේ 312/8 ක් ලෙසයි.

කෙසේ නමුත් කවන්ට්‍රීගේ ලෝක වාර්තාවේ ජය පැන් බොන්නට සිම්බාබ්වේ දේශයට නොහැකි වන්නේ බංගලාදේශය සිය පන්දු ඕවර වලින් 47 කුත් පන්දු 5 ක් පමණක් වැය කරමින් කඩුළු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉළක්කය වෙත ළඟා වීම නිසායි. මේ ඉණිමේදී තමීම් ඉක්බාල් අගනා ලකුණු 154 ක් ලබාගෙන බංගලාදේශ ජය තහවුරු කළා. බංගලාදේශ ඉණිමේද ඔහු හැර වෙන කිසිවෙකුටත් ලකුණු 50 සීමාවට ලඟා වීමට නොහැකි වීම විශේෂත්වයක්. පස් වන තරඟයද ජයගත් බංගලාදේශය තරඟාවලිය 4-1 ලෙස ජයගත්තා. මෙය අදටත් එක්දින ජාත්‍යන්තර තරඟයක පරාජිත පිළක ක්‍රීඩකයෙකු ලැබූ ඉහළම පෞද්ගලික ලකුණු ප්‍රමාණය හැටියට සටහන් වී තිබෙනවා.

සයිඩ් අන්වර් –194

ICC Twitter

ඉන්දියාව නිදහස ලබා වසර 50 ක් ගත වීම නිමිත්තෙන් ඉන්දියාවේ පැවැත්වූ ‘පෙප්සි නිදහස් කුසලානය’ පැවතියේ 1997 වසරේදීයි. ඉන්දියාව, ලෝක ශූර ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා නවසීලන්තයේ සහභාගීත්වයෙන් සිවුකොන් තරඟාවලියක් ලෙස පැවති මෙහි එක් තරඟයක් ඉන්දියාව හා පාකිස්ථානය​ අතර 1997 මැයි මස 21 වනදා චෙන්නායි හි පැවැත්වෙනවා. මෙය එක්දින ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ 1209 වන තරඟයයි.

පාකිස්ථානය රමීස් රාජාගේ නායකත්වයෙන් තරඟ වැදුණු අතර ඉන්දියාව මෙහෙයවීමේ වගකීම භාරව තිබුණේ සචින් තෙන්ඩුල්කාර්ටයි. කාසියේ වාසිය දිනා ගන්නා පාකිස්ථානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමේ වාරය තෝරාගන්නා අතර එම තීරණය නිවැරදි බව පසක් කරමින් පාකිස්ථානය ස්ථාවරව පන්දුවට පහර දීමට පටන් ගන්නවා. ආරම්භක පිතිකරු ශහීඩ් අෆ්‍රිඩි ලකුණු 8 වන විට දැවී ගියත් නායක රමීස් රාජා, ඉජාස් අහමඩ් හා ඉන්සමාම් උල් හක් සමඟ එක්ව සාර්ථක සම්බන්ධතා ඇති කරගන්නා අනෙක් ආරම්භක පිතිකරු සයිඩ් අන්වර් එවකට ලෝක වාර්ථාව වූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ ලකුණු 189 ද අභිබවා යනවා. ඔහු ලොව ප්‍රථම එක්දින ද්විත්ව ශතකය ලබාගන්නා සෙයක් දිස් වූවත් ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 194ක් ලබා සිටියදී දැවී යනවා. මේ අනුව කාන්තා හා පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ද්විත්ව ශතක රැස් වූ වසර ලෙස 1997 සනිටුහන් වීම වැළකෙනවා (ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ බෙලින්ඩා ක්ලාක් 1997 දෙසැම්බර් මස ඩෙන්මාර්කයට එරෙහිව ලකුණු 229 ක් නොදැවී ලබාගන්නවා). අන්වර්ගේ මේ ඉණිමට පන්දු 146 ක් වැයව තිබුණු අතර එය 4 පහර 22 කින්ද 6 පහර 5 කින්ද වර්ණවත්ව තිබුණා. පන්දු ඕවර 50 නිමාවේදී පාකිස්ථාන ඉනිම කියැවුණේ 327/5 ලෙසයි.

පිලිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාව ජයග්‍රාහී ඉළක්කයට යාමට දැඩි ලෙස උත්සාහ කළත් අකීබ් ජාවෙඩ් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එය ව්‍යර්ථ වනවා. ඔහු ලකුණු 61 කට කඩුළු 5 ක් දවාගන්නා අතර 50 වන ඕවරයේදී ඉන්දීය ඉණිමේ අවසන් කඩුල්ලද දැවී යන්නේ ලකුණු 292ක් ව තිබියදීයි. ඉන්දියාව වෙනුවෙන් රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 107 ක්ද විනෝද් කම්බ්ලි ලකුණු 65 ක්ද ලබාගත්තත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ. පාකිස්ථානයට ලකුණු 38 ක ජයක් ලැබෙනවා.

තරඟාවලිය පැවතියේ ඉන්දියාවේ වුවත් ඉන්දීය කණ්ඩායමට අවසන් තරඟයට පැමිණීමට නොහැකි වෙනවා. තරඟ 3 කින් සමන්විත අවසන් තරඟාවලියට ශ්‍රී ලංකාව හා පාකිස්ථානය සුදුසුකම් ලබන අතර එහි පළමු තරඟ 2 ම ලෝක ශූරයන් හමුවේ පරාජය වීම නිසා අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට පාකිස්ථානයට සිදු වුණා.

මාටින් ගප්ටිල් -189 (නොදැවී)

Reuters

ක්‍රි.ව 2013 මැද භාගයේ නවසීලන්ත පිළ එංගලන්තයේ සංචාරයක නිරතවුණු අතර එහි එක්දින තරඟාවලියට තරඟ 3 ඇතුළත් වුණා. එහි දෙවන තරඟය පැවතුණේ 2013 වසරේ ජුනි මස දෙවනදා එක්දින තරඟ ඉතිහාසයේ 3361 වන තරඟය ලෙසයි. පළමු තරඟය නවසීලන්තය ජයගෙන තිබූ නිසා එංගලන්තයට තරඟාවලිය ගැන බලාපොරොත්තු තබාගැනීමටනම් මේ තරඟය ජයගැනීම අනිවාර්යය කාරණයක් වී තිබුණා.

එංගලන්තයේ සදම්ටන් හි පැවති මේ තරඟයේ කාසියේ වාසිය දිනාගන්නා නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ලූක් රොන්චි ජේම්ස් ඇන්ඩර්සන් හමුවේ දැවී යනවා. කෙසේ නමුත් පිටියේ ස්ථාවර වන අනෙක ආරම්භක පිතිකරු වන මාටින් ගප්ටිල් ඉන් පසු පිටියට පැමිණෙන කේන් විලියම්සන් සමඟ ශතක සබඳතාවක් ඇති කරගන්නා අතර අර්ධ ශතකයක් රැස් කිරීමෙන් පසු විලියම්සන් දැවී යනවා. අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණෙන රොස් ටේලර් සමඟ නැවතත් ශතක සබඳතාවක් ඇති කරගන්නා ගප්ටිල් ලකුණු 60 කට සිදු වුණු ටේලර්ගේ දැවී යාමෙන් අනතුරුවත් ස්ථාවරව පන්දුවට පහර දෙනවා. නායක මැකලම් ඔහුට එක්වන අතර එම දෙදෙනා පන්දු ඕවර 50 අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටිනවා. ඉතා ප්‍රවේගකාරී ඉණිමක් දියත් කරන මැකලම් පන්දු 19 කින් ලකුණු 40 ක් ලබාගද්දී, අනෙක් අන්තයේ ඕවර් 50 ම කඩුල්ලේ රැඳී සිටි ගප්ටිල්ගේ ලකුණු කි‍යැවුණේ නොදැවී 189 ක් ලෙසයි. එයට 4 පහර 19 ක් හා 6 පහර 2ක් අන්තර්ගතව තිබුණු අතර වැයවී තිබුණේ පන්දු 155ක් පමණයි. නවසීලන්ත ලකුණු පුවරුව නියමිත ඕවර ගණන නිමාවේ 359/3 ලෙස දිස් වුණා.

පිළිතුරු ඉණිම දියත් කර එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ තබන්නෙ නැහැ. එංගලන්ත පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී අනෙක් අන්තයේ හුදෙකලා සටනක් දියත් කළ ජොනතත් ට්‍රොට්  ශතකයක් ලබා ගන්නවා. ඒ කෙසේ නමුත් එය එංගලන්ත කණඩායම පරාජයෙන් මුදවාගැනීමට ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ගේ සියළු පිතිකරුවන් පන්දු ඕවර 44.1 දී ලකුණු 273 කට දැවී යන්නේ නවසීලන්තයට ලකුනු 86 ක ජයක් ලබා දෙමින්. එංගලන්තය තෙවන තරඟය ජයගත්තත් නවසීලන්තය 2-1 ලෙස තරඟාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගන්නවා.

හැත්තෑව හා අසූව දශකයේ කොදෙව් පිතිකරණ බල කණුව ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ විශිෂ්ට එක්දින ඉණිම, ශ්‍රී ලාංකීය වමත් කසකරු සනත් ජයසූරිය ඉන්දියාව දණගැස්වූ හැටි හා දකුණු අප්‍රිකාවේ නැංගුරමක් වන් ගැරී කර්ස්ටන් ගේ හොඳම ලෝක කුසලාන ඉණිම ගැන අවසන් කොටසින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය -alchetron.com

Related Articles