Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පෞද්ගලික ඉණිම් – 4 කොටස

එක්දින ජාත්‍යන්තර පිටියේ එදා මෙදාතුර ක්‍රීඩකයෙකු විසින් රැස් කරන ලද ඉහළම පෞද්ගලික ඉණිම 9ක් පිළිබඳ සවිස්තර තොරතුරු අපි මේ ලිපි පෙළෙහි පසුගිය ලිපි 3 න් සාකච්ඡා කළා. අද එහි අවසන් කොටස වන මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 10, 11 හා 12 යන ස්ථාන වල වර්තමානය වන විට රැඳී ඇති ඉණිම් 3 පිළිබඳවයි. වර්තමානය වන විට මේ දක්වා පසුබැස තිබුණද එක් කලෙක මේ එක් ඉණිමක් ලෝක වාර්තාව ද දැරුවා. අනෙක් ඉණිම් දෙක එක් කලෙක ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 2 හා 3 ස්ථානයන් වල රැඳී තිබුණා.

ශ්‍රීමත් විවියන් රිචඩ්ස් – 189 (නොදැවී)

Getty Images

එක්දින ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ 264 වන තරඟය පැවැත්වූයේ 1984 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරය අනුබද්ධවයි. ක්‍රි.ව 1984 මැයි මස 31 වනදා මැන්චෙස්ටර්හි පැවති මෙම තරඟය පිළකට පන්දු ඕවර 55 කට සීමා වුණු එකක් වුණා.

සංචාරයේ පළමු එක්දින තරඟය වූ මෙහි කාසියේ වාසිය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් විසින් දිනාගන්නවා. එහෙත් එම තීරණය ඒ තරම් නිවැරදි නොවන බව පසක් කරමින් කොදෙව්වන්ගේ පළමු කඩුළු දෙක ලකුණු 11ක් තුළ බිඳ වැටෙනවා. මේ අවස්ථාවේදී පිටියට පිවිසෙන විවියන් රිචඩ්ස් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය අරඹනවා. අනෙක් අන්තයේ කඩුළු වැටීම දිගටම සිදු වූවත් ඉන් නොසැළෙන ඔහු හුදෙකළා සටනක නිරත වෙනවා. කොදෙව් මැද පෙළට රිචඩ්ස් හට සහයක් දීමට අපොහොසත් වුවත් කොදෙව්වන්ගේ අවසන් පිතිකරු ලෙස පිටියට පැමිණෙන මයිකල් හෝල්ඩිං සමඟ වාර්තාගත, නොබිඳුණු ශතක සම්බන්ධතාවක් ඇති කරගන්නා ඔහු කොදෙව් ඉණිමේ නියමිත ඕවර ගණන නිමා වන විට නොදැවී ලකුණු 189 ක් ලබාගෙන සිටියේ ඉහළම එක්දින ඉණිමේ ලෝක වාර්තාව තමන් සතු කරගනිමින්. පන්දු 170 ක් වැය වී තිබූ ඔහුගේ ඉණිමට අලංකාර 4 පහර 22ක් ද යෝධ 6 පහර 5 ක්ද අන්තර්ගතව තිබුණා. ඔහු හැරුණු විට ප්‍රබල කොදෙව් පිතිකරණ කොඳු නාරටිය සුණු විසුණු කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වී තිබුණා. කොදෙව් ඉණිමේ දෙවන වැඩිම ලකුණ අංක 9 පිතිකරු වූ එල්ඩින් බැප්ටිස් (26) ගෙන් වාර්තාව තිබූ අතර ලකුණු 10 පසු කළ අනෙක් එකම පිතිකරු වූයේ අංක 11 පිතිකරු මයිකල් හෝල්ඩිනුයි. ඔහු නොදැවී ලකුණු 12ක් ලබා තිබුණා. කොදෙව් ලකුණු පුවරුව කියැවුණේ 272/9 ලෙසයි.

පිළිතුරු ඉණිම දියත් කළ එංගලන්ත කණ්ඩායමට සාර්ථක වීමට කොදෙව් වේගපන්දු බලඇණිය ඉඩ තබන්නේ නැහැ. ඇලන් ලෑම්බ් ඉණිමේ වාර්ථා වූ එකම අර්ධශතකය වන ලකුණු 75 ක් ලබාගත් අතර පන්දු ඕවර 50 ක් නිමාවේ එංගලන්ත කණ්ඩායමේ සියළු දෙනා දැවී යන්නේ ලකුණු 168 කටයි. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 104 ක ජයක් හිමි වූ අතර දෙවන තරඟය එංගලන්තය ජයගත්තත් නැවතත් තෙවන තරඟය ජයගන්නා කොදෙව්ව්වන් තරඟාවලිය 2-1 ලෙස ජයගන්නවා.

සනත් ජයසූරිය -189

wisdenindia.com

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් තුන සහභාගී වූ 2000 වසරේ සාජා කුසලානයේ (කොකාකෝලා ශූරතා කුසලානය) අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාව හා තරඟාවලියේ අපරාජිත ශ්‍රී ලංකාවයි. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ 1652 වන තරඟය ලෙස පැවති මෙහි අවසන් තරඟය 2000 වසරේ ඔක්තෝබර් 29 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කළා. ශ්‍රී ලංකා පිල වේගවත් ආරම්භයක් ගත්තත් ලකුණු 44 වන විට ආරම්භක පිතිකරු රොමේෂ් කළුවිතාරණට නැවත ක්‍රීඩාගාරයට යාමට සිදු වනවා. ඒ කෙසේ නමුත් අනෙක් ආරම්භක පිතිකරු වන නායක සනත් ජයසූරිය පිටියේ ස්ථාවර වන අතර එක් විටෙක 116/4 ලෙස ලකුණු පුවරුව යම් පසුබෑමකට ලක් වුණත් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසෙන රසල් ආනෝල්ඩ් සමඟ එක්ව ලකුනු 166 ක සබඳතාවක් පැවැත්වීමට ඔහු සමත් වෙනවා. රසල් ආනෝල්ඩ් නොදැවී ලකුණු 52 ක් ලබාගත්තත් ලොව ප්‍රථම එක්දින ද්විත්ව ශතකයට හා සයිඩ් අන්වර්ගේ ලෝක වාර්ථාවට යමින් සිටි ජයසූරියගේ ඉණිම ලකුණු 189 ක් ලබා තිබියදී ඉතා අවාසනාවන්ත ලෙස අවසන් වන්නේ ඉන්දීය නායක ගංගුලිගේ වයිඩ් පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට භාජනය වීම නිසායි. මේ ඉණිමට පන්දු 161ක් වැය වී තිබුණු අතර 4 පහර 21 කින් හා 6 පහර 4 කින් වර්ණවත් වී තිබුණා. පන්දු ඕවර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 299ක් ලබා තිබුණා.

පිළිතුරු ඉණිම දියත් කිරීමට පිටියට බසින ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුණු විසුණු කරන්නට ශ්‍රී ලාංකීය පන්දු යවන්නන් සමත් වෙනවා. ආරම්භයේ සිටම ඉන්දියාවට හිසරදයක් වූ චමින්ද වාස් ලකුණු 14 කට කඩුළු 5 ක් ලබාගන්නා අතර මුත්තයියා මුරලිදරන් කඩුළු 3 ක් ලබාගන්නේ ලකුණු 6 කටයි. ලකුණු 245 ක ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකා පිළ කුසලානය තමන් සතු කරගන්නා අතර තරඟයේ හා තරඟාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයටම සනත් ජයසූරිය හිමිකම් කියනවා.

ගැරී කර්ස්ටන් -188 (නොදැවී)

Getty Images

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 1049 වන තරඟය පැවතියේ 1996 වසරේ පෙබරවාරි මස 16 වැනිදා පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවර දී දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරයි. 1996 විල්ස් ලෝක කුසලානයේ මූලික වටයේ තරඟයක් ලෙස මෙය පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ එ.අ.එමීර් නායක සුල්තාන් සරවානි මුලින්ම පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කරනවා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් දකුණු අප්‍රිකානුවන් අත්දැකීම් මද එමීර් පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙනවා. පන්දු ඕවර 50 නිම වන තුරුම සිය අන්තය ආරක්ෂා කරගත් ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් දකුණු අප්‍රිකාණු ඉණිම නිමා වන විට නොදැවී ලකුණු 188 ක් ලබාගන්නේ ඒ වන විට ලෝක කුසලානයක වාර්තා වූ ඉහළම පෞද්ගලික ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්. කර්ස්ටන්ගේ මේ ඉණිමට පන්දු 159 ක් වැය වී තිබුණු අතර ඔහු විසින් 4 පහර 13 ක්ද 6 පහර 4ක් ද එල්ල කර තිබුණා. ඔහුට අනගි සහයක් ලබා දුන් දකුණු අප්‍රිකාණු නායක හැන්සි ක්‍රොන්යේ අර්ධ ශතකයකින් සම්මාදම් වී තිබුණු අතර ඩැරල් කලිනන් නොදැවී ලකුණු 41 ක් ලබා තිබුණා. පන්දු ඕවර 50 නිමාවේ දකුණු අප්‍රිකාණු ඉණිම කියැවුණේ 321/2 ලෙසයි.

දකුණු අප්‍රිකා ප්‍රබල පන්දු බලඇණියට එරෙහිව සිය පිළිතුරු ඉණිම ඇරඹූ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් ඒ තරම් සාර්ථක වන්නේ නැහැ. සිය පන්දු ඕවර 50 නිමා වන තුරු කඩුල්ලේ රැඳී සිටින්නට ඔවුන් සමත් වූවත් රැස් කරගැනීමට හැකි වෙන්නේ කඩුළු 8 ක් දැවී ලකුණු 152 ක් පමණයි. මේ අනුව ලකුණු 169 ක දැවැන්ත ජයක් දකුණු අප්‍රිකානුවන්ට ලැබෙනවා.

දකුණු අප්‍රිකාව 1996 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙන මුත් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වැළඳගන්නා නිසා තරඟාවලියෙන් ඉවත් වෙනවා. තරඟාවලිය පුරාවටම අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගන්නවා.

කවරයේ පින්තූරය – www.cricketcountry.com

Related Articles