Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකාලයේ මිය ගිය ක්‍රිකට් තරු

අද වන විට ජගත් ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට වසර 140 ක් වෙනවා. ඒ වාගේම ජගත් එක්දින තරඟ ආරම්භ කර අවුරුදු 46 කුත්, ටී 20 ජාත්‍යන්තර තරඟ කරළියට පැමිණ වසර 12 කුත් ගත වෙලා. මේ දීර්ඝ කාලය තුළ විවිධ කණ්ඩායම්වලට අයත් දක්ෂ ක්‍රීඩකයන් සිය ගණනක් ප්‍රේක්ෂකයන් නෙත ගැටෙන්නට ඇති. මොවුන්ගෙන් සමහරක් තම දක්ෂතාවයට උපරිම සාධාරණයක් ඉටුකරමින් ක්‍රිකට් ඉතිහාසය නැවත ලියූ අතර සමහරකට තරඟ තහනම් පැනවීම, විවිධ ආබාධ අාදිය නිසා ඒ තත්වයට යන්නට නොහැකි වුණා.

ඒ අතරිනුත් ඉතාම අවාසනාවන්තයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතාම දීප්තිමත් අනාගතයක පෙර මං පෙනි පෙනී සිටියදී, එහෙමත් නැතිනම් හොඳ ස්ථානයකට පත්ව, තමන්ගේ රට වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබියදී තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට ක්‍රීඩකයෙක්ට සිදු වුණොත් ඒක කොයි තරම් අවාසනාවක්ද? ඒ වාගේම ඔහුගේ රටට, ප්‍රේක්ෂකයින්ට කොයි තරම් බලවත් කණගාටුවක්ද? මේ ලිපියෙන් කියැවෙන්නේ ලෝකයම හැඬවූ ක්‍රිකට් ලොවේ එවැනි අති දක්ෂ අවාසවන්තයින් කිහිප දෙනෙක් ගේ ඉරණම් ගැන‍යි.

පිලිප් හියුස් – ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 25)

(espncricinfo.com)

මේ හුරුබුහුටි ඕස්ට්‍රේලියානුවාගේ ඛේදජනක මරණය නම් තවමත් ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට මතක ඇතුවා නිසැකයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 26ක් හා එක්දින තරඟ 25 ක්‍රීඩා කර ඇති මොහු ශ්‍රී ලංකාවට එරෙහිවද හොඳින් දස්කම් දක්වා තිබෙනවා. ඉතාම ප්‍රිය මනාප ක්‍රීඩකයෙක් වූ මොහු තාක්ෂණයෙන් ඉතා පිරිපුන් නිසා අනාගාතයේ ඉතා හොඳ ටෙස්ට් ක්‍රිකට් තරුවක් වේ යැයි බොහෝ දෙනා අනාවැකි කීවා.

ෆිල් හියුස් 2014.11.25 දින ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පළමුපෙළ ක්‍රිකට් තරඟාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ ශූරතාවයට අයත් තරඟයකදී පන්දුව ගෙළේ වැදීමෙන් අනතුරකට ලක් වෙනවා. ප්‍රතිවාදී පිළේ ෂෝන් ඇබොට් විසින් එවන ලද වේගපන්දුව සිය වම් කණට පහළින් ගෙළේ වැදීම නිසා ඔහු සිහි විසඥ වෙනවා. වහාම ළඟම ඇති ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළු කළත් ඔහුගේ තත්වය හොඳ අතට හැරෙන්නේ නෑ. මේ අතර වෛද්‍යවරු පන්දුව වැදීම නිසා ඔහුගේ මොළයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාළයක් පුපුරා ඇති බවත්, අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් සොයා ගන්නවා.

ලෝකයම හඬවමින් ඊට දින දෙකකට පසු ෆිල් හෙවත් පිලිප් හියුස් ලොවෙන් සමුගන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වෙන්නට තිබුණු තවත් සුපිරි තරුවක් ලෝකයට අහිමි කරමින්. ඒ වන විට ඔහුගේ 26 වන උපන්දිනයට තිබුණේ දවස් 3 ක වාගේ කාලයක්.

අනතුරෙන් පසුව හියුස් ඇද වැටී (espncricinfo.com)

හැන්සි ක්‍රොන්යේ – දකුණු අප්‍රිකාව (වයස අවුරුදු 32)

(post.jagran.com)

හැන්සි ක්‍රොන්යේ කියන්නේ දකුණු අප්‍රිකාව බිහි කළ විශිෂ්ටම ක්‍රිකට් නායකයෙක් වගේම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. නමුත් 2000 වසරේදී ඉන්දියාවේ කළ සංචාරයකදී ඔහු තරඟයක් මුදලට පාවා දෙනවා. වරද පසුව හසු වන අතර ඔහු එය පිළිගත්තත් ඉන් ඔහුව ජීවිත කාලය පුරා තරඟ තහනමකට ලක්වෙනවා.

ඊට අවුරුදු දෙකකට පසු එනම් 2002 දී හදිසියේම ඔහු ගමන් කළ කුඩා ගුවන් යානයක් කඳුකර පෙදෙසකට කඩා වැටී ඔහු මරණයට පත් වෙනවා. ඒ වන විට තරඟ පාවාදී ප්‍රේක්ෂක ගැරහුමට ලක්ව සිටියත් ඔහුගේ මරණය දකුණු අප්‍රිකාණුවන් සංවේගයට ලක් කළේ ඊට පෙර ඔහු සිය රට වෙනුවෙන් දැක්වූ දස්කම් නිසයි. මිය යන විට 32 වියේ පසු වුණු ක්‍රොන්යේ එවකට තහනමකට ලක්ව සිටියත් තවත් අවුරුදු 6 ක පමණ කාලයක් ක්‍රිකට ක්‍රීඩාවේ නිරත වීමට තරම් ශරීර යෝග්‍යතාවක් ඔහු තුළ තිබුණා.

රුනාකෝ මෝටන් – බටහිර ඉන්දීය කොදෙවු (වයස අවුරුදු 33)

(espncricinfo.com)

බටහිර ඉන්දීය කොදෙවු හි රුනාකෝ මෝටන් පිතිකරුවෙක් ලෙස කුඩා කාලයේදීම විශිෂ්ට දක්ෂතා දැක්වූ අයෙක්. කෙදිනක හෝ ජාතික වර්ණ ලැබෙනු ඇතැයි ඔහුගේ උපන් රට වන ට්‍රිනිඩ්‍රෑඩ් හා ටොබේගෝ හි වැසියන් විශ්වාස කළා. සිතූ ලෙසම ඔහුට එ් අවස්ථාව ලැබුණත් නිසියාකාර දක්ෂතා නොපෙන්වීම නිසා වරින් වර කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුට සිදු වුණා.

වරින් වර සිය නිසඟ හැකියාව උපරිමයෙන් පෙන්වීමට ඔහුට හැකි වුණා. විශේෂයෙන්ම 2006 වසරේ නේපියර් හීදී සත්කාරක නවසීලන්තයට එරෙහිව ඔහු ලද ශතකය ඊට නිදසුනක්. අසාර්ථක වීම නිසා 2010 දී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වන ඔහු ඉන් පසු වසර දෙකක්ම ජාතික කණ්ඩායමට තේරෙන්නේ නෑ. තවත් වසර කිහිපයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාව මෝටන් තුළ ඉතිරිව තිබීම නිසා ප්‍රේක්ෂකයන් ඔහු නැවතත් කණ්ඩායමට පැමිණේ යයි බලාපොරොත්තුවෙන් සිටියත් කිසිදා එය ඉටු නොවුණේ 2012 මාර්තු 4 වැනි දින සිදු වූ රිය අනතුරකින් ඔහු අකාලයේ මරු වසඟයට යාම නිසායි.

බෙන් හොලියොක් – එංගලන්තය (වයස අවුරුදු 24)

(mid-day.com)

ඇඩම් හොලියොක් හා බෙන් හොලියොක් සොහොයුරන් දෙදෙනා එංගලන්තයට හිමි වූ වටිනා සම්පත් දෙකක්. ඕස්ට්‍රේලියාවේ ඉපිද එංගලන්තයට පැමිණෙන මොවුන් දෙදෙනාගෙන් බාල සොහොයුරු වන බෙන් හොලියොක් ජාතික වර්ණ දිනා ගන්නේ වයස අවුරුදු 20ක් පමණ වන විටයි. නමුත් ඔහු ජාතික කණ්ඩායමේදී ඒ තරම් සාර්ථක වන්නේ නෑ. ඔහුට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ ටෙස්ට් තරඟ 2ක් හා එක්දින තරඟ කිහිපයක් පමණයි.

අසාර්ථක වුවත් උපන් දක්ෂයෙක් වූ නිසාම ඔහු ගැන එංගලන්ත ක්‍රිකට් බලධාරීන් හැම විටම අවධානයෙන් සිටි අතර වයසින් මුහුකුරා යාමත් සමඟ දක්ෂතා අතරට පැමිණීමට ඔහුට හැකි වෙනු ඇතැයි විශ්වාස කෙරුණා. නමුත් ඒ ප්‍රාර්ථනා සුන් කරමින් 2002 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදී සිටි බෙන් හොලියොක්ගේ කාරය තාප්පයක වැදී දරුණු අනතුරක් සිදු වෙනවා. මින් බරපතල තුවාල ලබන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වෙන්නේ නෑ. මිය යන විට ඔහු 24 වැනි වියේ පසු වුණා. බෙන් හොලියොක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වෙන්නේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ 200 වන ටෙස්ට් ගොදුර වීම නිසායි.

ආචි ජැක්සන්- ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 23)

(youtube.com)

ආචි ජැක්සන් යන නාමය වර්තමානයේ ක්‍රිකට් නරඹන්නන්ට ඒ තරම් හුරු පුරුදු නැති වුණත් 1920 දශකයේ ක්‍රිකට් නැරඹූවෙකුට නම් ඒ තරම් නුපුරුදු නමක් නෙවෙයි. ලොව විශිෂ්ටම පිතිකරු ලෙස අදටත් සැළකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ සමකාලීනයෙක් වූ ආචි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම ලබන්නේ වයස අවුරුදු 19දී. සිය පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමෙදීම සිය දක්ෂතාවය ප්‍රකට කරන මේ හිරිමල් යෞවනයා ආරම්භක පිතිකරු හැටියට පැමිණ මනරම් ලකුණු 164ක් ලබා ගන්නේ එම කණ්ඩායමේම සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන්වත් පහසුවෙන් අභිබවමින්.

එම ඉනිමත් සමඟ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් අනාගතයේ ඔහුගෙන් බ්‍රැඩ්මන්ගෙන් මෙන්ම ශතක වරුසාවක් බලාපොරොත්තු වෙන්නට ඇති. නමුත් සියළු දෙනාගේ අවාසනාවට ඔහුට එවකට සුව කළ නොහැක්කක් වූ ක්ෂ‍ය රෝගය වැළඳෙනවා. සිය ක්‍රිකට් ජීවිතයේ රැස් කළ එකම ශතකය ලෙස මංගල තරඟයේ ලකුණු 164 හි මතක සටහන පමණක් ඉතිරි කරන අාචි ක්‍රීඩා කරන්න සමත් වන්නේ ටෙස්ට් තරඟ 8කට පමණයි.

ආචි ජැක්සන් එංගලන්තය ඕස්ට්‍රේලියාවට හොඳ හැටි බැට දුන් ‘බොඩි ලයින්’ තරඟාවලිය අතරතුර මෙලොවින් සමුගන්නේ මද කාලයක් දුක් විඳීමෙන් අනතුරුවයි. ඒ වන විට වයස අවුරුදු 23ක් පමණක් වූ මොහු ජීවත්ව සිටියා නම් සමහර විට ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට සිය වාර්තා කිහිපයක්ම ඔහුට පුදන්නට සිදු වනු නිසැක බවට ක්‍රිකට් විද්වතුන් මත පළ කර තිබෙනවා.

ට්‍රෙවෝ මැඩොන්ඩෝ – සිම්බාබ්වේ (වයස අවුරුදු 24)

(news.bbc.co.uk)

සිම්බාම්වේ කණ්ඩායම නියෝජනය කළ පළමු කළු ජාතික පිතිකරු වන ට්‍රෙවෝ මැඩොන්ඩෝ ගැන එහි ප්‍රේක්ෂකයන් දැක්වූයේ යහපත් ආකල්පයක්. ලැබුණු අවස්ථාවල හොඳින් දක්ෂතා අතරට එන්නට නොහැකි වුණත් මදින් මද ඔහු තම දක්ෂතා වර්ධනය කරගන්නා බව පෙණුනා. නමුත් 2001 වසරේදී ඔහු ගොදුරු වුණු මොළයේ මැලේරියාවෙන් සුවය ලබන්නට තරම් වාසනාවක් මැඩොන්ඩෝ ට තිබුණේ නැහැ. 2001 වසරේදී මිය යන විට ඔහුට යාන්තම් වසර 24ක්ව තිබූ අතර ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරඟ 3 කට හා එක්දින තරඟ 13 කට පමණයි.

විශේෂ සිහි කිරීම : මලික් අලස් – ශ්‍රී ලංකාව (වයස අවුරුදු 17)

මලික් අලස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තබා පළමු පෙළ ක්‍රිකට්වත් ක්‍රීඩා කර නොතිබූ යෞවනයෙක්. නමුත් ඩී.ඇස් සේනානායක විද්‍යාලයට ක්‍රීඩා කරන සමයේදී බොහෝ දෙනා අනාවැකි කීවේ මොහුත් අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා මෙන්ම පාසල් අධ්‍යාපනය නිම වූ සැණින් ජාතික කණ්ඩා‍යමට ක්‍රීඩා කරනු ඇති බවයි.

1984 වසරේ එක් දිනයක පාසල් තරඟයක් අතරතුර එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි මලික් දෙසට වේගයෙන් පැමිණි පන්දුවක් රැක ගැනීමට යාමේදී ඔහුගේ හිසේ පිටුපස පන්දුව වැදී ඔහු සිහි විසඥ වෙනවා. වහාම ප්‍රතිකාර සඳහා රැගෙන ගියත් ඔහුගේ දිවි බේරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නට ගිය විශිෂ්ට සම්පතක් ජාතික ක්‍රිකට් අත්පොත් තබන්නටත් පෙර ජාතියට අහිමි වෙනවා. මිය යන විට මලික්ගේ වයස අවුරුදු 17ක් පමණයි.

අපි මේ කියා අැති ක්‍රීඩකයන්ට අමතරව අකාලයේ මිය ගිය තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන දන්නවා නම් ඔවුන් ගැන අනෙක් පාඨකයන් එක්ක තොරතුරු බෙදා ගන්නත් ඔබට පුළුවන්.

1 කවරයේ පින්තූරය (espncricinfo.com)

මූලාශ්‍ර

  1. www.independent.co.uk
  2. www.cricwaves.com
  3. espncricinfo.com
  4. sundaytimes.lk

Related Articles