Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිදු වූ අගෞරවාන්විතම සිදුවීම්

අපි කුඩා කාලයේ ගමේ කොතැනක හෝ එකතු වී ක්‍රිකට් ක්‍රීඩා කරන විට සුළු සුළු අඬදබර ඇති වුණා. සමහර විටෙක දැවී යාමකට, එම දැවී යාමට ලක්වූ මිතුරා එකඟ නොවීම නිසා ඔහු උරණව හෝ හඬමින් එතැනින් ඉවත්ව ගියා. එදින උපයෝගී කරගන්නා පිත්ත හෝ පන්දුව ඔහුට අයත් එකක්නම් තත්ත්වය මඳක් බැරෑරුම් වෙන්නේ ඒ දෙකත් ඔහුත් සමඟම නිවෙස බලා ගමන් ගන්න නිසායි. මේ නිසා සමහර තරග අත්හැර එකෙනෙහිම නිවෙස් බලා යන්නට පොඩිත්තන්ට සිදු වුණා. ඒ වාගේම පිත්ත හා පන්දුව රඳවා ගැනීමේ නියාවෙන් නිවැරදි නොවන තීරණ නිවැරදියයි සළකා ක්‍රීඩාව දිගටම කරගෙන යාමද සිදු වුණා.

ගමේ, වෙල් එළියේ විනෝදයට ක්‍රිකට් ක්‍රීඩා කරන විට මෙවැනි මත ගැටුම් හා දබර අවසානයේ සියල්ලන්ටම විනෝදයක් ගෙනාවා. ඒ කෙසේ නමුත් මෙවැනි දේ වෘත්තීය හා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිදු වුණොතින් නම් ඒවා ඒතරම් විනෝදජනක මට්ටමින් සළකන්නට හැකි වෙන්නේ නැහැ. මෙවනි සිදුවීම්, සිදු වීම අවසානයේ එම සිද්ධියට සම්බන්ධ රටවල් දෙකට පවා අගෞරවයක් ගෙන දෙන්නට පිළිවන්. ඒ කෙසේ නමුත් වෘත්තීමය ක්‍රීඩකයන් සහභාගීවන අන්තර්ජාතික ක්‍රීඩා තරගත් ගමේ ගොඩේ ක්‍රීඩා කරන තරගයක් ගණනට වැටුණු අවස්ථා කලාතුරකින් දකින්නට ලැබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිදුවුණු පහත දැක්වෙන සිදුවීම් පෙළ ඒ ඒ රට වලට කොයි තරම් අගෞරවයක් ගෙන දුන්නා දැයි මඳක් සිතා බලන්න.

මොහොමඩ් අමීර් හා මොහොමඩ් අසිෆ්ගේ තරග පාවා දීම (2010)

මොහොමඩ් අමීර් නිපන්දු යවමින් -dailymail.co.uk

අතීතයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැළකුණත් මුදලට තරග පාවා දුන් අවස්ථා ඉඳ හිට හෝ ඉතිහාසයේ හමු වෙනවා. නිපන්දු යැවීම, අඩු ලකුණු ගණනකට දැවී යාම වැනි කුප්‍රකට ක්‍රියා මඟින් තරග පාවා දෙන්නවුන් තම කණ්ඩායම පමණක් නොවෙයි සුවහසක් වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්වද අගතියට ඇද දැම්මා. 2010 වසරේ පැවැත්වූ පාකිස්ථානයේ එංගලන්ත සංචාරයේදී එක් ටෙස්ට් තරගයක දී පාකිස්ථානු වේග පන්දු යවන ක්‍රීඩකයන් වන මොහොමඩ් අමීර් හා මොහොමඩ් අසිෆ් හිතා මතාම නිපන්දු යැවූ අතර පාකිස්ථානු නායක සල්මන් බට්ද මේ පාවා දීමට හවුල් වී සිටියා. තරගයේ වීඩියෝ දර්ශන මඟින් ස්වභාවිකත්වය ඉක්මවා යන ලෙස මේ පන්දු යවන්නන් නිපන්දු යවනු පැහැදිළි ලෙසම දැකගත හැකි වුණා. සල්මන් බට්ගෙන් හා වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් තිදෙනා මුදලට තරග පාවා දුන් බව හෙළි වුණා. මේ නිසා මොවුන් තිදෙනාටම දීර්ඝ කාලීන ක්‍රිකට් තහනම් හා කෙටි කාලීන සිර දඬුවම් පැනවුණු අතර එවකට ගැටවරයෙකු වූ මොහොමඩ් අමීර් සිය පස් අවුරුදු තහනම නිම වී අළු ගසා දමා නැඟිට වර්තමානයේ නැවත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත වුණත් අසිෆ් හා බට්ට ඒ වාසනාව හිමි වුණේ නැහැ.(1)

ට්‍රෙවෝ චැපල් – අත යටින් පන්දු යැවීමේ සිද්ධි‍ය (1981)

ට්‍රෙවෝ චැපල් අවසන් පන්දුව යවමින් -heraldsun.com.au

මේ සිද්ධිය එදා මෙදාතුර ක්‍රිකට් ලොවේ සිදු වූ අවාසනාවන්තම සිද්ධියක් ලෙස සැළකෙන අතර නවසීලන්ත ජාතිකයන්ට කිසිදා අමතක නොවෙන එකක්.

තරග තුනකින් සමන්විත, ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු, බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලානයේ අවසන් තරග වල තෙවන අවසන් තරගය ජයග්‍රහණය කිරීම සඳහා නවසීලන්තයට තනි පන්දුවකින් ලකුණු 7ක් ලබා ගැනීමට සිදු වී තිබුණා. ඕස්ට්‍රේලියාව නීත්‍යානුකූල පන්දුවක් යැවුවහොත් ඔවුනට වන්නට තිබූ අවාසිදායකම ප්‍රතිඵලය වූයේ තරගය සම වීමයි. නමුත් මේ අවස්ථාවේ ජය පෙනෙන මානයේ සිටි ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඔවුන්ගේ නායක ග්‍රෙග් චැපල් පුදුමාකාර තීරණයක් ගන්නවා. ඒ නවසීලන්ත පිතිකරුවන්ට 6 පහරක් එල්ල කිරීමට නොහැකි වන ලෙස ඒ වන විට පන්දු යවමින් සිටි සිය සොයුරු ට්‍රෙවෝ මඟින් ‘අත යටින්’ හෙවත් Underarm පන්දුවක් යොමු කිරීමයි. මේ ආකාරයට පන්දුව යැවීම නිසා එය ඉහළින් එල්ල කිරීමට කිසිදු අවකාශයක් නොලැබෙන අතර ඕස්ට්‍රේලියාව ලකුණු 6 කින් තරගය ජය ගන්නවා. ඒ කෙසේ වෙතත් නවසීලන්තය 6 පහරක් එල්ල කර තරගය සම කිරීමට තිබූ සම්භාවිතාවය ඉතා අල්ප අවස්ථාවක මේ ක්‍රියාව සිදු කිරීම ඉතා බියගුළු හා ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන ලද එකක් බව තරගය නැරඹීමට පැමිණි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පවා ප්‍රතිචාර දක්වමින් කියා සිටියා. ඒ වන විට අත යටින් පන්දු යැවීම නීති විරෝධි යැයි කොතනකවත් සඳහනක් නොතිබුණු අතර ඕස්ට්‍රේලියානුවන් නීති පොතේ එම හිඩැස සූක්ෂම ලෙස පාවිච්චි කර තිබුණා. ඒ කෙසේ වෙතත් මේ නිසාම ඉක්මණින්ම අත යටින් පන්දු යැවීමට නොහැකි වන ලෙස ක්‍රිකට් නීති සකස් වුණා. (2)

ඉන්දීය ප්‍රේක්ෂකයන් තරගය අතර මැද යකා නැටීම (1996)

ප්‍රේක්ෂකාගාර වල සිදු වූ ගිණි තැබීම් -republicworld.com/Getty

1996 පැවති විල්ස් ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම වශයෙන් අපරාජිතව සිටි ශ්‍රී ලංකා පිළ හා සම සත්කාරක ඉන්දීය පිළ අතර පවත්වන්න්නට යෙදුණු අවසන් පූර්ව තරගය කල්කටාවේ ඊඩන් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව දේවත්වයෙන් සළකන ඉන්දියාවට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට මේ තරගය ජය ගත යුතුම වූ අතර දෙවනුවට පන්දුවට පහර දුන් ඉන්දියානු ඉණිමේ පළමු භාගය වන තුරු වැඩි වාසි තිබුණේ ඉන්දියාවට වන අතර ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 65ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන සෙයක් දක්නට තිබිණි. මෙයින් අමන්දානන්දයට පත් ඉන්දීය ප්‍රේක්ෂකයින් ‘දැනටමත් තරගය දිනා ඇත’ යනුවෙන් සිතාගන්නට ඇත. නමුත් ඉන් පසු ගත වූ විනාඩි කිහිපය තුල සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එක් වරම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රියාත්මක වී ඉන්දියානු ඉණිම සුණු විසුණු කරන්නට පටන්ගත් අතර වරෙක 98/1 ලෙස තිබුණු ලකුණු පුවරුව 120/8 සේ දැක්වුණා.

එක් වරම සිදු වූ දේ විශ්වාස කරගත නොහැකි වූඔ ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ප්‍රේක්ෂකාගාරයේ පුටු කඩමින්, ගිණි තබමින්, ක්‍රීඩා පිටියට විවිධ දෑ විසි කරමින් ඉතා අශෝභන හා අනතුරුදායක ලෙස හැසිරෙන්නට වුණා. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා තරගය නතර කෙරුණු අතර තරග තීරක ක්ලයිව් ල්යිඩ් විසින් තරගයේ ජය නිතරගයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකාව පසුව ඕස්ට්‍රේලියාව පරදවා 1996 ලෝක ශූරයන් වූ අතර ඉන්දීය ජනයා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ලෝකයේම දෝෂ දර්ශනයට ලක් වුණා. (3)

විරේන්ද්‍ර සේවාග්ට ශතකය අහිමි කිරීම (2010)

රන්දීව් නිපන්දුව යවමින් -baysidejournal.com

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 2010 වසරේදී පැවති තරගයකදී ඉන්දියාවට ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 1ක් වුවමනා වී තිබුණු අතර ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සේවාග් නොදැවී ලකුණු 99ක් ලබා පිතිකරණ අන්තයේ රැඳී සිටියා. මේ අවස්ථාවේදී තරග උණුසුමෙන් කලබල වුණු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු යවමින් සිටි සුරාජ් රන්දීව්ට උපදෙස් ලබා දෙන්නේ නිපන්දුවක් යවන ලෙසයි. තරග නීති රීති වලට අනුව නිපන්දුව යැවූ සැණින් ජයග්‍රාහී ලකුණ සම්පූර්ණ වන නිසා සේවාග් ඉන් පසු ගන්නා කිසිදු ලකුණක් වලංගු ඒවා නොවී ඔහුට ශතකය අහිමි වනවා.

රන්දීව් ස්වභාවිකත්වය ඉක්මවා ගිය විශල නිපන්දුවක් යැවූ අතර සිතූ පරිදිම සේවාග්ට ශතකය අහිමි වෙනවා. තරගයෙන් පසුව මුළු ලෝකයාම එම ක්‍රියාව පිළිකුල් කළ අතර නායක ඩිල්ශාන්ට දඩයක්ද රන්දීව්ට තරග 3ක තහනමක්ද පැනවුණා. තරග ආතතිය යටතේ තමන් අතින් වුණු වරද ඉක්මණින් වටහාගත් රන්දීව් කෙටි කලක් තුල සේවාග් ගෙන් සමාව අයැද තිබුණා. (1)

එංගලන්ත ක්‍රීඩකයින් තණතීරුවට මුත්‍රා කිරීම (2013)

2013 අළුබඳුන ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම -metro.co.uk

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ 2013 තරගවාරයේ ජයග්‍රහණය හිමි වූයේ එංගලන්තයටයි. අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අවසානයේ එංගලන්ත ක්‍රීඩකයින් ජය සැමරුවේ ඉතා විශේෂිත ආකාරයකටයි. ඒ, තරගය පැවති ඕවල් ක්‍රීඩාංගණයේ තණතීරුවට ‘මුත්‍රා කිරීමෙනු‍යි’. මෙය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස මාධ්‍ය ප්‍රකාශ කළ අතර පසුව එංගලන්ත කණ්ඩායම ඕවල් තණතිල්ල සකසන්නාගෙන් හා නිසි බාලධාරීන්ගෙන් සමාව ගත්තා. (3)

කවරයේ පින්තූරය- espncricinfo.com

මූලාශ්‍ර

  1. cricwizz.com
  2. bleacherreport.com
  3. sportzwiki.com

Related Articles