ලෝකයේ ප්‍රධානතම ටෙනිස් තරගාවලි

ආරම්භයේදී ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර ප්‍රචලිත පැවති, අද වන විට ලෝකයේ මිලියන ගණනක් නරඹන ජනප්‍රියතම ක්‍රීඩාවක්ව පවතීන ටෙනිස් ක්‍රී‍ඩාව පිළිබඳව ගැන තොරතුරු යි මේ.

ටෙනිස් ක්‍රීඩාවේ ආරම්භය

ටෙනිස් ක්‍රීඩාවේ ආරම්භය 11 වන ශත වර්ෂයේ මුල භාගයේ ප්‍රංශයේ ඇතිවු බවට සලකන අතර, ආරම්භයේදි අත්ල යොදා ගනිමින් ක්‍රීඩා කරන ලදී. එය “‍Jeu De Paume” ‍ (අත්ලෙන් කරන ක්‍රීඩාව) යනුවෙන් එකල හඳුන්වා ඇත. ටෙනිස් යන වචනය “Tenez” යන ප්‍රංශ වචනයෙන් ඉංග්‍රිසි භාෂාවට බිඳී ආවක් වන අතර, අල්ලාගන්න හෙවත් රැකගන්න යන අර්ථය ලබා දේ. 15 වන ශත වර්ෂය වන විටදී මෙම ක්‍රීඩාව පෝලන්තය කරා පැමිණි අතර ටෙනිස් පිති භාවිතා කිරීම එහිදි ඇරඹිණි. නූතන ටෙනිස් ක්‍රීඩාව 19 වන ශතවර්ෂයේ අගභාගය වන විට මහා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ අතර, ප්‍රධාන වශයෙන් ඉහළ පැලැන්තියේ පුද්ගලයන් විසින් පමණක් ක්‍රීඩා කරන ලදී. නමුත් මේ වන විට එය සියලු සමාජ පන්තීන්හි ජනයා අතර ප්‍රචලිතව පවතී.

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි ආරම්භය

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලීන් මේ වනවිට ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධව ඇති ප්‍රධාන මෙන්ම වැදගත්ම වාර්ෂික ටෙනිස් තරඟාවලි එකතුව වේ. විධිමත් ආකාරයකින් මෙම තරග පැවැත්වීම 1968 දී පමණ ආරම්භ වූ අතර එහිදී වෘත්තීමය ටෙනිස් ක්‍රීඩකයන් සමග නවකයන්ට තරඟ කිරීමේ අවස්ථාව සැලසුණි. මෙයට පෙර එසේ ප්‍රවීනයන් සමග තරග කිරීමේ අවස්ථාව නවකයන්ට නොලැබුණු අතර, වර්තමානයේ දී එයට අමතරව තරඟ ජයග්‍රහණය කරන්නන්ට වඩා යහපත් වෘත්තීය තත්වයක් මෙන්ම මූල්‍යමය ත්‍යාගද පිරිනැමීම අරඹන ලදී.

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි පැවැත්වීම

2002 වසරේ පැවති විම්බල්ඩන් තරඟාවලියේ කාන්තා කේවල අංශයේ ශුරතාව හා අනුශුරතාව දිනු විලියම්ස් ‍සෙ‍ායුරි

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලින් තුළ ප්‍රධාන තරඟාවලි 4ක් තිබේ. එනම්, ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය, ප්‍රංශ විවෘත තරඟාවලිය, විම්බල්ඩන් තරඟාවලිය, සහ ඇමෙරිකානු විවෘත තරඟාවලියයි. මෙයින් ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය ජනවාරි මාසයේ පැවැත්වෙන අතර,  ප්‍රංශ විවෘත තරඟාවලිය මැයි මාසයේදී පැවැත්වේ. විම්බල්ඩන් තරඟාවලිය ජුනි මාසයේ පවත්වන අතර, සැප්තැම්බර් මාසයේ පවත්වන ඇමෙරිකානු විවෘත තරඟාවලියෙන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි අවසාන වේ.

යම්කිසි ක්‍රීඩකයෙක් එක් වසරකදී තරඟාවලි 4ම ජයග්‍රහණය කළහොත් ඔහු රන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය ලබා ගත්තා සේ සැලකේ. එසේම යම් ක්‍රීඩකයෙක් සියලුම තරඟාවලින් එක් වසරකදී නොව තම වෘත්තීය ජීවිතය තුළදී ජයග්‍රහණය කළහොත් ඔහු/ඇය වෘත්තීමය ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයෙකු ලෙස සැලකේ. රන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයන් (පිරිමි) ලෙස 1938 දී ඩොනල්ඩ් බජ් ද, 1962 සහ 1969 දී රොඩ් ලැවර්ද දැක්විය හැකි අතර, කාන්තා අංශයෙන් මොරින් කොනොලි 1953 දීද, මාගරට් කෝට් 1970 දීද, ස්ටෙනි ග්‍රාෆ් 1988 දීද ජයග්‍රහණය කරන ලදී. වෘත්තීමය ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයන් (පිරිමි) ලෙස ෆ්‍රෙඩ් පෙරී, ඩොනල්ඩ් බජ්, රෝයි ඉමර්සන්, රොඩ් ලැවර්, ඇන්ඩ්‍රේ අගාසි, රොජර් ෆෙඩරර්, රෆායෙල් නඩාල් දැක්විය හැකි අතර කාන්තා අංශයෙන් මොරින් කොනොලි, ඩොරිස් හාට්, ෂර්ලි ‍ෆ්‍රයි අර්වින්, මාග්‍රට් කෝට්, බිලී ජීන් කින්ග්, ක්‍රිස් එවර්ට්, මාටිනා නව්රටිලෝවා, ස්ටෙෆි ග්‍රාෆ්, සෙරීනා විලියම්ස් දැක්විය හැක.

මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලින්හි වැදගත්කම ඒවායේ ත්‍යාග මුදල් ප්‍රමාණයන්, සම්ප්‍රදායන් මෙන්ම ක්‍රීඩාංගන ආදිය මතද වෙනස් වේ. මීළඟට අපි මේ තරඟාවලි පිළිබඳව වෙන් වෙන්ව විමසා බලමු.

විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය

2015 වස‍රේ පැවති විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියට විශේෂිත ආරාධිතයෙකු ලෙස සහභාගි වු සංගක්කාර

මෙම තරඟාවලිය ප්‍රධාන තරඟාවලි හතර අතරින් පැරණිතම මෙන්ම ගාම්භීරතම තරඟාවලිය වේ. 1877 වසරේදී අරඹා ලන්ඩන්හි විම්බල්ඩන් නගරයේ පිහිටි “All England Club”  ක්‍රීඩා පිටියේ ස්වාභාවික තණ පිට්ටනියකදී මෙම තරඟාවලිය ජුනි මස සිට ජූලි මස දක්වා පැවැත්වේ. මෙය තවමත් සම්ප්‍රදායන් සමගින් පවත්වන තරඟාවලියක් වන අතර ක්‍රීඩකයන් සුදු පැහැ ඇඳුම් පමණක් ඇඳිය යුතු වීම, තණ බිස්ස මත වාඩිවී තරඟාවලිය නරඹන ප්‍රේක්ෂකයන් ක්‍රීම් සමග ස්ට්‍රෝබෙරි අනුභව කිරීම ආදිය දැකගත හැකිවේ. මාධ්‍ය මගින් වැඩිම ප්‍රචාරයක් ලබාදෙන සහ ක්‍රීඩකයන් අතර වඩාත්ම ප්‍රචලිත තරඟාවලියද මෙය වේ. 2017 වසර වන විට මෙයින් ලබාදෙන සම්පූර්ණ ත්‍යාග මුදල යුරෝ මිලියන 31.6ක් වන අතර තනි ජයග්‍රාහකයෙකු සඳහා යුරෝ මිලියන 2.2 ක මුදලක් ලබා දේ.

ඇමෙරිකානු විවෘත තරඟාවලිය

මෙය වර්ෂ 1881 දී ආරම්භ වූ අතර දෙවැනියට පැරණිතම තරඟාවලිය වේ. මෙය සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී සති දෙකක කාලසීමාවක් තුළදී පැවැත්වේ. මුල් කාලයේදී මෙය රොඩ් (Rhode)දිවයිනේ නිව්පෝර්ට් නගරයේදී පැවැත්වූ අතර, පිරිමි පක්ෂයට සහ U.S National Lawn Tennis Association සමග අනුබද්ධිත සංගම්වල ක්‍රීඩකයන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව ලැබුණි.මේ වනවිට මෙම තරඟාවලිය නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් මෙම තරඟාවලිය ප්‍රංශ විවෘත තරඟාවලිය හා සම මට්ටමේ පවතී. 2017 වසර වන විට මෙයින් ලබාදෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50.4 ක් වන අතර තනි ජයග්‍රාහකයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලක් ලබා දේ.

ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය

2017 ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියේ රොජර් ෆෙඩරර් හ‍ා රෆායෙල් නඩාල් අතර තරඟ‍යේ අවස්ථාවක්

මෙය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී ජනවාරි මාසයේදී පවත්වනු ලබන්නකි. මෙය වර්ෂ 1905 දී ආරම්භ කළ අතර මෙය අනෙකුත් ටෙනිස් තරගාවලි අතරින් විශේෂ වන්නේ සජීවී ප්‍රේක්ෂක සහභාගිත්වය අතින් ඉහළම ස්ථානයේ පැවතීම නිසායි. උදාහරණයක් ලෙස වර්ෂ 2010 දී එක්දිනයකදී පැවැත්වූ දිවා/රාත්‍රී තරග කාලසීමාව තුළදී 77,000 ක ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබිණි. 2017 වසර වන විට මෙයින් ලබාදෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් වන අතර තනි ජයග්‍රාහකයෙකු සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් ලබා දේ.

ප්‍රංශ විවෘත තරඟාවලිය

මෙම තරඟාවලිය ප්‍රංශයේ පැරිස් නුවරදී සෑම වසරකම මැයි අග සිට ජුනි මුල භාගය දක්වා සති දෙකක පමණ කාලයක් තුළ රෝලන්ඩ් ගැරොස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ මැටි විශේෂයකින් තැනූ ක්‍රීඩා පිටියක තරඟාවලිය පැවැත්වීමයි. මෙය ඇමෙරිකානු විවෘත තරඟාවලිය හා සමානවම වැඩිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබන තරඟාවලියක් වන අතර ක්‍රීඩකයන් අතර දෙවැනියට ප්‍රචලිතම තරඟාවලිය මෙය වේ.මුල් කාලයේදී ප්‍රංශ ක්‍රීඩකයන් පමණක් මෙයට සහභාගි වූ අතර ප්‍රථම කාන්තා තරඟාවලිය 1897 දී පැවැත්විණි. 2017 වසර වන විට මෙයින් ලබාදෙන සම්පූර්ණ ත්‍යාග මුදල යුරෝ මිලියන 36 ක් වන අතර තනි ජයග්‍රාහකයෙකු සඳහා යුරෝ මිලියන 2.1 ක මුදලක් ලබා දේ.

අද වන විට ටෙනිස් ක්‍රීඩාව ලෝකයේ කෙතරම්  ජනප්‍රියතම ක්‍රීඩාවක් වුව ද ආසියා ක‍ලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ටෙනිස් ක්‍රීඩාවට නිසි පිළිගැනිමක් දක්නට නොලැබේ. වර්තමානයේ ශ්‍රී ලංකාව ක්‍රිඩා අංශ කිහිපයකින් පමණක් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ඇති අතර මෙවැනි ක්‍රීඩා වලට රජය නිසි අනුග්‍රහය දැක්විම තුලින් ජාත්‍යන්තර  ජයග්‍රහණ හඹා යා යුතුය‍‍.

Cover Photo: රොජර් ෆෙඩරර් තරඟයක් අතරතුර

Related Articles