Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර හයක් පුරා පාපන්දු ලොව අණසක පැතිරූ හන්ගේරියාවේ “ස්වර්ණමය කණ්ඩායම​​”

ඒ 1981 වසරයි. වසර 25 කට පසු එක්තරා ක්‍රීඩකයකු සිය මව් රට වූ හන්ගේරියාවට​ යළි පැමිණියා. ඒ ඔහුගේ පැරණි ක්‍රීඩක සගයන් සමඟ ප්‍රදර්ශන තරඟයකට සහභාගී වීම සඳහා යි. ඔහු ගුවන් තොටුපළේදී සිය ස්පාඤ්ඤ ගමන් බලපත්‍රය ඉදිරිපත් කරමින් තමන් සිය ජීවිතයේ පළමු වසර 29 ජීවත් වූ රටට ඇතුලු වුණා. ඔහුගේ පැරණි සගයින් ඔහුව ඉතාම හැඟීම්බරව පිළිගත්තේ වසර 25 කින් සියලු දෙනා එක්වීමේ ප්‍රීතිය භුක්ති විඳිමින්.

බුඩාපෙස්ට් අගනුවර පැවති ප්‍රදර්ශන තරඟය දැක ගැනීමට ප්‍රේක්ෂකයන් අතුරු සිදුරු නැතිව ක්‍රීඩාංගණයේ පිරී සිටියා. ක්‍රීඩාංගණයට රොක් වී සිටි ප්‍රේක්ෂකයන් හන්ගේරියානු ධජ ලෙළවමින් “පුෂ්කාස්, පුෂ්කාස්” යනුවෙන් ඔල්වරසන් දෙන්නට වුණා. එක්තරා පාපන්දු ලෝලීන් පිරිසක් 6:3 ලෙස කලු පැහැයෙන් ලියූ සුදු පැහැති කොඩියක් ඔසවාගෙන සිටියා. ස්පාඤ්ඤයෙන් පැමිණි මේ “අමුත්තා” මෙතරම් උණුසුම් පිළිගැනීමක් බලාපොරොත්තු වූයේ නැහැ. පිටියට පිවිසි අවස්ථාවේ විදේශයෙන් පැමිණි ක්‍රීඩකයා ඇතුලු ඇතැම් ක්‍රීඩකයන්ට කඳුලු සඟවාගත නොහැකි වුණා.

පුෂ්කාස් 1981 ප්‍රදර්ශන තරඟයේදී (Getty)

ලෝකයම තම අණසකට යටපත් කළ එම කණ්ඩායමේ ජීවත් ව සිටි සාමාජිකයන් එක් ස්ථානයකදී ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වූයේ වසර විසි පහකට පසුවයි. ස්පාඤ්ඤයේ සිට පැමිණ සිටි ක්‍රීඩකයා, ෆෙරෙන්ච් පුෂ්කාස්, දෙස විශේෂ අවධානයක් යොමු වූයේ ඔහු එම කණ්ඩායමේ නායකයා වීම හේතුවෙන්. ලොව එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස ඔහු සැළකෙනවා.

අද අප ඔබට විස්තර කරන්නේ වසර හයක් තිස්සේ පාපන්දු ලෝකයේ අණසක පැතිරවූ සහ දේශපාලන විප්ලවයක් හේතුවෙන් අකාලයේ සී සී කඩ වූ හන්ගේරියාවේ අරනික්සපාට් (Aranycsapat) හෙවත් “ස්වර්ණමය කණ්ඩායම” පිළිබඳවයි.

කොමියුනිස්ට් ප්‍රතිසංවිධානය​

20 වන සියවස මුල් භාගයේ ද හන්ගේරියාවේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් සිටියා. ඔවුන් 1938 දී පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයට පැමිණ එහිදී පරාජය වුණා. ඔවුන් පරාජය වූයේ එකළ ලොව හොඳම පාපන්දු කණ්ඩායම වූ ඉතාලියටයි.

දෙවන ලෝක යුද්ධය හන්ගේරියාවට දරුණු ව්‍යසනයක් වුණා. එමෙන්ම යුද්ධයේ අවසන් මාසවල සෝවියට් හමුදා හන්ගේරියාව අත්පත් කරගත්තා. යුද්ධාවසානයෙන් පසු හන්ගේරියාවේ බිහි වූයේ සෝවියට් ක්‍රමයේ පාලන ක්‍රමයක්. 1948 වනවිට කොමියුනිස්ට්වාදීන් හන්ගේරියාවේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් අතට ගත්තා. එමෙන්ම සෝවියට් රජය හන්ගේරියාව තම අණසක යටතේ තබාගන සිටියා.

කොමියුනිස්ට් ක්‍රමය හන්ගේරියාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රතිසංවිධානයට හේතු වුණා. 1949 දී හන්ගේරියානු ජාතික කණ්ඩායමේ කළමණාකරු ලෙස ගුස්ටාව් සෙබෙස් (Gustav Sebes) පත් කෙරුණා. කොමියුනිස්ට්වාදියකු වූ සෙබෙස්ට පාපන්දු ක්‍රීඩාව ප්‍රතිසංවිධානය සඳහා සීමා රහිත බලතල ලබා දෙනු ලැබුණා.

ගුස්ටාව් සෙබෙස් (magicalmagyars.wikispaces.com)

දේශපාලන පත්වීමක් ලෙස ජාතික කණ්ඩායමේ කළමණාකරු බවට පත් වුවද​, සෙබෙස් ඉතාම කාර්යශූර පුද්ගලයකු වුණා. එමෙන් ම ඔහු හොඳ උපක්‍රමික මනසක් තිබූ අයකු ද වුණා. ඔහු 1930 දශකයේ කළක් ලොව ප්‍රබලම පාපන්දු කණ්ඩායමක් වූ ඔස්ට්‍රියාවේ “Wunderteam” (වුන්ඩර්ටීම්) හෙවත් ආශ්චර්යයමත් කණ්ඩායම පිළිබඳ අධ්‍යයනය කළා. එහිදී ඔහු දුටුවේ වින්ඩර්ටීම් හි ක්‍රීඩකයන් ප්‍රධාන ක්‍රීඩා සමාජ දෙක තුනකින් පැමිණි අය බවයි. මේ අනුව හන්ගේරියානු ලීග් ක්‍රමය ද ජාතික කණ්ඩායමට සරිලන ලෙස වෙනස් කිරීමට සෙබෙස් තීරණය කළා.

බුඩාපෙස්ට් අගනුවර සාමාන්‍ය කම්කරු ජනතාව අතර ජනප්‍රිය වූ කිස්පෙස්ට් ක්‍රීඩා සමාජය රජය යටතට ගනු ලැබුණ අතර, එහි නම කිස්පෙස්ට් හොන්වෙඩ් ලෙස වෙනස් කරනු ලැබ, එය හන්ගේරියානු යුධ හමුදා පාපන්දු ක්‍රීඩා සමාජය ලෙස දියුණු කරනු ලැබුණා. එමෙන්ම රටේ හොඳම පාපන්දු ක්‍රීඩකයන් එයට එක් වුණා. ඒ අතර ෆෙරෙන්ච් පුෂ්කාස්, ජෝසෙෆ් බොෂික්, සොල්ටාන් සිබෝර්, සැන්දෝර් කොචිෂ් සහ ගෝල රකින ග්‍යුලා ග්‍රොසික් මේ අතර වුණා.

ලෝකය පුරා “ස්වර්ණමය කණ්ඩායම​”, “ශක්තිමත් මැග්යාර්වරු” ආදී නම්වලින් ප්‍රකට වූ ද හන්ගේරියාවේ “අරනික්සපාට්” ලෙස ප්‍රකට වූද හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් හතරෙන් තුන් දෙනෙකු පමණ හොන්වෙඩ් සමාජයට ඇතුලත් වුණා. එහෙයින් බොහෝ අවස්ථාවල මෙම ක්‍රීඩකයන් එක්ව පුහුණුවීම්වල නිරත වුණා.

1950 – 56 සමයේ මෙම හන්ගේරියානු කණ්ඩායම විසින් සමස්ථ පාපන්දු ලෝකයම තම ග්‍රහණයට නතු කරගනු ලැබුණා. එම සමය තුළ ඔවුන් තරඟ පරාජය වූයේ තරඟ දෙකක් පමණයි.

තරඟ උපක්‍රම​

ගුස්ටාව් සෙබෙස් විසින් හඳුන්වා දුන් තරඟ උපක්‍රමයෙහි එක් මූලික අංගයක් වූයේ සෙන්ටර් මිඩ් ෆීල්ඩර් (Centre Mid-fielder) ක්‍රීඩකයකු වූ නන්දෝර් හිඩෙග්කුටි විසින් කළ කාර්ය භාරයයි. ඔහු ක්‍රීඩක සැකැස්මේ මධ්‍යය වූ අතර ඔහු වටා අනෙක් ක්‍රීඩකයන් සැරි සැරුවා. කණ්ඩායම ප්‍රහාරක පියවරක් ගනිද්දී සියලුම ක්‍රීඩකයන් ඉදිරියට ගමන් කළා. ඉදිරි පෙළ ක්‍රීඩා කළ පුෂ්කාස් සහ කොචිෂ් වෙත පන්දුව යොමු කිරීමේදී ද හිඩෙග්කුටි වැදගත් කාර්යභාරයක් කළා. එමෙන් ම ඔහු ද අවශ්‍ය පරිදි ආක්‍රමණකාරී ලෙස පැමිණ ගෝල වාර්තා කරනු දකින්නට ලැබුණා.

මුලදී 2-3-3-2 ලෙස වූ පිටියේ ක්‍රීඩක සැකැස්ම පසු කළෙක 4-2-4 ලෙස පරිණාමය වුණා. මෙම ක්‍රීඩක සැකැස්ම පාපන්දු ලෝකයට අලුත් අත්දැකීම් වුණා. සියලුම ක්‍රීඩකයන් සියලු ස්ථාවනල ක්‍රීඩා කිරීම යන සංකල්පය 1970 දශකයේ නෙදර්ලන්තය විසින් භාවිතා කළ “ටෝටල් ෆුට්බෝල්” (Total Football) සංකල්පයේ මූලික පදනමයි. ටෝටල් ෆුට්බෝල් සඳහා මූලික ගුරුහරුකම ලැබුණේ සෙබෙස්ගේ හන්ගේරියානු පිළෙන් බව පිළිගැනෙනවා.

ඉදිරිපෙළ ක්‍රීඩාකළ පුෂ්කාස් සහ කොචිෂ් දෙදෙනාම ඉතා මනරම් ක්‍රීඩා විලාශයකින් යුතු වුණා. කොචිෂ් ලොව එතෙක් මෙතෙක් පහළ වූ හොඳම හෙඩර් පහර එල්ල කරන්නකු (හිසින් පන්දුවට පහරදීම​) ලෙස සළකනු ලබන අතර පුෂ්කාස් පාපන්දු ඉතිහාසයේ හොඳම ප්‍රහාරකයකු මෙන් ම හොඳම නායකයකු ද වනවා.

1952 හෙල්සින්කි ඔලිම්පික් පාපන්දු අවසන් තරඟයේදී පුෂ්කාස්ගේ පහරක් යුගොස්ලාව් ගෝල රකින ව්ලැඩිමීර් බියාරා විසින් රැක ගනී (Foto-net)

තරඟයකට පෙර උපක්‍රම සැකසීම පිළිබඳ වැඩි බරක් ගත්තේ කළමණාකරු වූ සෙබෙස් විසිනුයි. නමුත් පිටිය මැදදී එය පුෂ්කාස් විසින් කරනු ලැබුණා. ප්‍රතිවාදියාගේ දුර්වල ස්ථාන මනාව වටහා ගන්නා ඔහු එයින් උපරිම ප්‍රයෝජන ගන්නා අයුරින් සිය ක්‍රීඩකයන් මෙහෙයවූවා. තරඟයක් පටන් ගෙන ස්වල්ප වේලාවකින් ප්‍රතිවාදියා අවබෝධ කරගන්නා පුෂ්කාස්ගේ බල ඇණිය ඉන්පසු ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට පියවර ගත්තා.

1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙල​

හන්ගේරියානු කණ්ඩායම ලෝක තලයේ සිය ආධිපත්‍යය පිළිබඳ සලකුණු කළ අවස්ථාව වුණේ 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලයි. එහිදී රුමේනියාව සමඟ වූ ඔවුනගේ පළමු තරඟය අසීරු එකක් වූ අතර එයින් ඔවුන් 2-1 ක් ලෙස ජය ගත්තා. ඉන්පසු ඉතාලිය 3-0 ක්, තුර්කිය 7-1 ක් සහ එවක ඔලිම්පික් ශූරයින් වූ ස්වීඩනය 6-0 ක් ලෙස පරාජය කළ හන්ගේරියාව අවසන් තරඟයේදී 2-0 ක් ලෙස යුගෝස්ලාවියාව පරාජය කළා.

සියවසේ පාපන්දු තරඟය​

1953 දී හන්ගේරියානු පිළට එංගලන්ත පිළ සමඟ වෙම්බ්ලි පිටියේදී තරඟ වැදීමට ආරාධනාවක් ලැබුණා. එංගලන්තය ඒ වනවිට බ්‍රිතාන්‍ය දූපත්වල පිහිටි රාජ්‍යයන් හැරුණ විට වෙනත් කිසිදු රටකට තම රටේදී ම පරාජය වී තිබුණේ නැහැ. එමෙන්ම ඔවුනගේ කණ්ඩායම ද ඉතා හොඳ තත්ත්වයේ පැවතුණා.

පුෂ්කාස් (දකුණේ) සහ එංගලන්ත නායක බිලී රයිට් වෙම්බ්ලි තරඟයට පෙර (PA)

මෙම තරඟය එංගලන්තයේ ජනමාධ්‍ය අතර ප්‍රමුඛව කතාබහට ලක් වූ තරඟයක් වුණා. ඔවුන් ඊට නම තැබුවේ “සියවසේ තරඟය” නමින්. 1953 නොවැම්බර් 25 වනදා 100,000 කට වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් වෙම්බ්ලි පිටියට රැස් වූයේ මෙම ඓතිහාසික තරඟය නැරඹීමටයි.

තරඟය පළමු මිනිත්තුවේ සිට ම තම අණසකට ගන්නට හන්ගේරියානුවන් සමත් වුණා. පළමු මිනිත්තුවේදී හිඩෙග්කුටි එල්ල කළ මනරම් පහරකින් හන්ගේරියාව 1-0 ක් ලෙස ඉදිරියට පැමිණි අතර තරඟය අවසන් වුණේ ලකුණු සංඛ්‍යාව 6-3 ක් ලෙසයි. හිඩෙග්කුටි ගෝල ත්‍රිත්වයක් ලබාගත්තා.

පුෂ්කාස් වෙම්බ්ලිහිදී හන්ගේරියාව වෙනුවෙන් තුන්වන ගෝලය වාර්තා කරයි (Getty)

ඉන් මාස හයකට පසු එංගලන්තය හන්ගේරියාවේ සංචාරය කළ අතර වෙම්බ්ලි හි පරාජයෙන් ඔවුන් පාඩමක් ඉගෙනගත් වගක් පෙනුණේ නැහැ. ඔවුන් හන්ගේරියානුවන් අධ්‍යයනය කොට තිබුණු බවක් පෙනෙන්නට නොවීම ඊට හේතුවයි. මෙම තරඟය 7-1 ක් ලෙස හන්ගේරියානුවන් ජයගත් අතර එය එංගලන්ත පාපන්දු ඉතිහාසයේ විශාලම පරාජය ලෙස අදටත් වාර්තා වී පවතිනවා.

හිඩෙග්කුටි විසින් වෙම්බ්ලිහි ලබාගත් තුන්වන ගෝලය හන්ගේරියාවේ හයවන ගෝලය විය (Popperfoto)

1954 ලෝක කුසලානය​

හන්ගේරියාව 1954 පාපන්දු ලෝක කුසලානයට පැමිණියේ එය ජයග්‍රහණය කිරීමට වඩාත් ම ඉඩ ඇති කණ්ඩායම ලෙසයි. ඔවුන් දකුණු කොරියාව 9-0 ක් ලෙසත්, බටහිර ජර්මනිය 8-3 ක් ලෙසත් පරාජය කළා. සැන්දෝර් කොචිෂ් පළමු තරඟයේ ගෝල ත්‍රිත්වයක් ද දෙවැන්නේ ගෝල හතරක් ද ලබාගත්තා.

කෙසේ නමුත් බටහිර ජර්මන් කළමණාකරු සෙප් හර්බර්ගර් සිය හොඳම ක්‍රීඩකයන් හන්ගේරියාවට එරෙහි තරඟයට යෙදවූයේ නැහැ. එමෙන්ම ඔවුන් පුෂ්කාස්ව ඉලක්ක කරගෙන වෙට්ටු (tackle) දැමීමෙහි යෙදුණා. මෙහිදී වර්නර් ලීබ්‍රිෂ් (Werenr Liebrich) විසින් කරන ලද වෙට්ටුවකින් පුෂ්කාස් තුවාල ලද අතර ඔහුට ඊළඟ තරඟ දෙකම අහිමි වුණා. ලීබ්‍රිෂ්ගේ නම හන්ගේරියාවේ අපකීර්තිමත් නමක් බවට පත් වීමට මෙම සිද්ධිය හේතු වුණා.

පුෂ්කාස් නොමැතිව හන්ගේරියාව මීළඟ තරඟයට මුහුණ දුන්නා. ඒ බ්‍රසීලය සමඟයි. මෙම තරඟය ඉතිහාසයේ අපකීර්තිමත්ම තරඟයක් ලෙස සැළකෙන අතර තරඟය බර්න් නගරයේ පැවති හෙයින් ඊට “බර්න්හි සංග්‍රාමය​” යයි ද නමක් පටබැඳී තිබෙනවා. මෙහිදී දෙපිළ ම කකුල් මාට්ටු දැමීම් සහ ගුටි බැට හුවමාරුවල නිරත වූ අතර තරඟය අවසන් වූ පසුව පවා දෙපිරිස අතර ගුටි හුවමාරුවක් සිදු වුණා. මෙම තරඟය 4-2 ක් ලෙස හන් ගේරියාව ජයගත්තා.

උරුගුවේ සමඟ පැවති අවසන් පූර්ව තරඟය 4-2 ක් ලෙස හන්ගේරියාව ජයගත්තේ අතිරේක කාළය ද ක්‍රීඩා කිරීමෙන් පසුවයි.

අවසන් මහා තරඟයේදී හන්ගේරියාවට නැවතත් බටහිර ජර්මනිය මුණ ගැසුණා. පුෂ්කාස් මෙම තරඟයට සහභාගී වූ නමුත් ඔහුගේ ආබාධය සම්පූර්ණයෙන් සුව වී තිබුණේ නැහැ. මෙම තරඟයේදී හන්ගේරියාව බලාපොරොත්තු නොවූ අයුරින් 3-2 ක් ලෙස පරාජය වුණා.

මෙම තරඟය ද පැවැත්වුණේ බර්න් නගරයේදීයි. ඒ අනුව මෙයට “බර්න්හි ප්‍රාතිහාර්යය” යයි නම් කරනු ලැබුණා.

විප්ලවය​

මෙම පරාජය හන්ගේරියානු පිළේ කඩා වැටීමක් නොව එක් තරඟයකදී මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමක් බව පැහැදිලි වූයේ ලෝක කුසලානයෙන් පසු ඔවුන් සහභාගී වූ තරඟවලින්. 1956 ජූනි මාසයේ බෙල්ජියමට එරෙහිව එම රටේදී පැවති තරඟය හැරුණ විට වෙනත් කිසිදු තරඟයක් ඔවුන් පරාජය වූයේ නැහැ.

මේ සමය වනවිට සෝවියට් දේශය සහ හන් ගේරියාව අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණා. හන්ගේරියාවේ බහුතරයක් සාමාන්‍ය ජනතාව සෝවියට් අණසක යටතේ ජීවත් වීම රිස්සුවේ නැහැ. මෙම පසුබිමේදී 1956 සැප්තැම්බර් 23 වනදා මොස්කව්හි පවත්වන ලද පාපන්දු තරඟයකදී පුෂ්කාස්ගේ පිළ හමුවේ සෝවියට් පිළ 1-0 ක් ලෙස පරාජය වුණා.

මෙය ඔවුනගේ අවසන් තරඟය වනු ඇතැයි ස්වර්ණමය කණ්ඩායම කිසි විටෙකත් සිතන්නට නැතිව ඇති.

1956 ඔක්තෝබරයේදී හන්ගේරියාවේ කොමියුනිස්ට් විරෝධී කැරැල්ලක් මතු වුණා. ඔක්තෝබර් 24 වනදා ඉම්ර නාගි යටතේ ප්‍රතිසංස්කරණවාදී රජයක් බලයට පත් වුණා. නමුත් ඊට බලයේ සිටීමට හැකි වූයේ දින කිහිපයක් පමණයි. නොවැම්බර් මස මුලදී සෝවියට් හමුදා හන්ගේරියාව ආක්‍රමණය කර කැරැල්ල මැඩ පැවැත්වූවා.

හන්ගේරියානු විප්ලවය (Getty)

කැරලි කෝලාහල ඇරඹෙද්දී පුෂ්කාස් ඇතුලු හොන්වෙඩ් කණ්ඩායම ක්‍රීඩා සමාජ තරඟයක් සඳහා ස්පාඤ්ඤය වෙත ගොස් තිබුණා. විප්ලවය මර්ධනය කළ පසු ඉන් ඇතැමෙක් යළි හන්ගේරියාව වෙත පිටව ගිය නමුත් පුෂ්කාස්, සිබෝර් සහ කොචිස් සියරට බලා යාම ප්‍රතික්ෂේප කළා. ඒ සමඟම ස්වර්ණමය කණ්ඩායම බිඳ වැටුණා.

පසු කළෙක පුෂ්කාස් ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් පිළ වෙනුවෙන් ද කොචිෂ් සහ සිබෝර් බාර්සිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කළ අතර පුෂ්කාස් ස්පාඤ්ඤ පුරවැසිභාවය ලබාගෙන එරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ද තරඟ හතරකට ක්‍රීඩා කළා.

1980 දශකයේ අග භාගයේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුණ අතර 1990 දශකයේ මුල් කාළයේදී රටින් පිටවූ පැරණි වීරයන්ට යළි එරටට පැමිණෙන්නට හන්ගේරියාව අවසර දුන්නා. මේ වනවිට කොචිෂ් ජීවතුන් අතර නොසිටි නමුත් පුෂ්කාස් සහ සිබෝර් හන්ගේරියාවට යළි පැමිණියා.

Cover Image: ස්වර්ණමය කණ්ඩායම 1953 දී. ඉදිරිපස මැද පුෂ්කාස් ද ඉදිරිපස දකුණේ ග්‍රොසික් ද වෙති. පිටිපස පේළියේ වමේ සිට තෙවැන්නා හිඩෙග්කුටි ය​. සිව් වැන්නා කොචිෂ්, හයවැන්නා සිබෝර්, හත් වැන්නා බොසික් (Pic: Tibor Erky-Nagy)

මූලාශ්‍ර​:

Football’s Greatest International Teams, Hungary 1950s, FIFA Documentary

Related Articles