Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු – ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය​

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මෙවර ටෙස්ට් තරඟාවලිය අවසන්ව ඇති පසුබිමක , මෙතෙක් ඉන්දු – ලංකා ටෙස්ට් තරඟ ඉතිහාසය පිළිබඳ ආපසු හැරී බැලීමට අප අදහස් කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුලින්ම ටෙස්ට් තරඟයකට සහභාගී වූයේ ශ්‍රී ලංකාව සිය පළමු ටෙස්ට් තරඟයට සහභාගී වී මාස හතකට පසුවයි. මෙම තරඟය පැවැත්වුණේ ඉන්දියාවේදී.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගත් පසු පළමු වරට විදෙස් ක්‍රීඩා සංචාරයකට පිටත් වූයේ පාකිස්ථානයටයි. එහිදී ඔවුන් තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය 2-0 ක් ලෙස පරාජය වුණා. කෙසේ නමුත් ඉන්දියාවේදී ඔවුන් වඩා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වුණා.

චෙන්නායි (එකල මදුරාසිය ) නගරයේ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පවත්වන ලද මෙම තරඟයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 346 ක් ලබාගත්තේ දුලිප් මෙන්ඩිස්ගේ ලකුණු 105 ක ඉනිම ආධාරයෙන්. සුනිල් ගවස්කාර් සහ සන්දීප් පටෙල් දෙදෙනා ලබාගත් ශතක දෙකත් සමඟ ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 566 ක් ලබා ගත්තා. දිලිප් වෙන්සාකර් ලකුණු 90 ක් ලබා ගත්තා.

දෙවන ඉනිමේදී දුලිප් මෙන්ඩිස් යළිත් ලකුණු 105 ක් ලබාගත්තේ ටෙස්ට් තරඟයකදී එකම තරඟයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වෙමින්. මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 394 ක් ලබාගත්තා.

අවසන් දිනයේදී ලකුණු 175 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවේ කඩුලු කිහිපයක්ම ළඟ ළඟ බිඳ වැටීම හේතුවෙන් ඔවුනට එම ඉලක්කය කරා යාමට නොහැකි වුණා. ඔවුනට ඒ සඳහා තිබුණේ ඕවර 28 ක් පමණයි. එම ඕවර 28 අවසනදී ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලකුණු 135 ක් ලබාගෙන සිටියා. අසන්ත ද මෙල් මෙම ඉනිමේදී ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගත්තා.

පළමු ටෙස්ට් ජයග්‍රහණය

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මුලින්ම පැමිණියේ 1985 වසරේදීයි. ඒ තරඟ තුනකින් යුතු තරඟාවලියක් සඳහා යි. මෙම කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිල් දේව් විසින්.

පළමු තරඟය අගෝස්තු 30 වනදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඇරඹුන අතර එහි වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වුණා. පන්දු යැවීම සහ පිතිකරණය යන අංශ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ තත්ත්වයක සිටි බව කිව හැකියි. ඉන්දියාව සිය පළමු ඉනිමේ දී ලකුණු 218 කට සීමා කරගත් ශ්‍රී ලංකා පිළ ලකුණු 347 ක් ලබාගත්තේ අර්ජුණ රණතුංග ලබාගත් ලකුණු 111 ක් ද සමඟයි. ඉන්දියාව දෙවන ඉනිමේ ලකුණු 251 කට දැවී ගිය අතර රුමේෂ් රත්නායක ලකුණු 85 කට විකට් 6 ක් දවාගත්තා. ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු කඩුලු 4 කට ලකුණු 61 ක් ලබා සිටියා.

සැප්තැම්බර් 6 වනදා ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඓතිහාසික තරඟයක් වුණා. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 385 ක් ලබා ගත්තේ අමල් සිල්වා වාර්තා කළ ලකුණු 111 ද සමඟයි. ඉන්දියාව ලකුණු 244 කට පළමු ඉනිමේදී දැවී ගිය අතර වේග පන්දු යවන රුමේෂ් රත්නායක කඩුලු 4 ක් දවාගත්තා. අරවින්ද ද සිල්වාගේ වේගවත් ලකුණු 75 ද සමඟ ශ්‍රී ලංකාව ඕවර 53 කදී කඩුලු 3 කට ලකුණු 206 ක් ලබාගෙන ඉන්දියාවට ලකුණු 348 ක ඉලක්කයක් ලබා දුන්නා. අනෙකුත් ක්‍රීඩකයන් දැවී යද්දී නායක කපිල් දේව් තනිව සටනක නිරත වූ නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 198 දී රුමේෂ් රත්නායකගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දී කපිල් දේව් දැවී ගියේ ශ්‍රී ලංකා පිළට ඓතිහාසික පළමු ටෙස්ට් ජයග්‍රහණය ලබා දෙමින්.

මහනුවරදී පැවති තෙවන ටෙස්ට් තරඟයේ වැඩි ගෞරව ඉන්දියාවට ලැබුණ නමුත් තරඟය ජය පරාජයකින් තොරව නිමාව දුටුවා.

ශ්‍රී ලංකාවට අසාර්ථක කාල පරිච්ඡේදයක්

කෙසේ නමුත් මෙම ජයග්‍රහණයෙන් පසුව ගතවූ වසර කිහිපයේදී ශ්‍රී ලංකාව දෙවරක් ඉන්දියාවෙහි සංචාරය කළ අතර, එම දෙවරම ඔවුන් අසාර්ථක වුණා. මේ සමයේ ලංකාවේ තිබූ දේශපාලන තත්ත්වය හේතුවෙන් බොහෝ විදෙස් කණ්ඩායම් මෙරටට නොපැමිණි අතර පිටරට සංචාර ද ලැබුණේ අඩුවෙන්. 1986 න් පසුව ශ්‍රී ලංකා පිළ ඉන්දියාවට සංචාරය කළේ 1990 දී. ඒ ද එක් ටෙස්ට් තරඟයකටයි.

1986/87 තරඟවාරයේදී කාන්පූර් හි පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව නිම වුණා. එහිදී ඉන්දියාවේ මොහොමඩ් අසාරුදීන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 199 ක් ලබා ගත්තා.

මීළඟ ටෙස්ට් තරඟ දෙකේදීම ශ්‍රී ලංකාව පරාජය වුණා. ඒ ඉනිමකින් සහ ලකුණු 106 කින් සහ ඉනිමකින් සහ ලකුණු 67 කින් වශයෙන්.

ශ්‍රී ලංකාව නැවත ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ වසර 4 කට පසු 1990/91 තරඟවාරයේදී. එහිදී ඔවුන් සහභාගී වූයේ එක් තරඟයකට පමණයි. එහිදී ද ඔවුන් ඉනිමකින් සහ ලකුණු 8 කින් පරාජය වුණා.

1993 දී ඉන්දියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී ටෙස්ට් තරඟ තුනකට දෙරට සහභාගී වුණා. මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවති පළමු තරඟයේ පළමු දිනයේ පමණක් ඕවර කිහිපයක් යැවීමට හැකිවූ අතර ඉන්පසු තරඟය වැස්සෙන් සේදී ගියා. මෙම තරඟය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අත් හැර නොදැමූ තරඟ අතර අඩුම පන්දු සංඛ්‍යාවක් යැවූ තරඟය වනවා. SSC පිටියේ පැවති දෙවන තරඟය ඉන්දියාව ලකුණු 235 කින් ජයගත් අතර තෙවන තරඟය ජය පැරදුමකින් තොරව නිම වුණා.

2010 දී ශ්‍රී ලංකාවේ පැවති තරඟාවලියේ අවස්ථාවක් (AFP)

එයින් මාස කිහිපයකට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේ පිළිතුරු තරඟාවලියක් කරා සංචාරය කළා. මෙම තරඟාවලිය තනිකරම ඉන්දීය ක්‍රීඩකයන් විසින් සිය ග්‍රහණයට නතු කරගත්තා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හෝ පිතිකරුවන් හෝ සිය දස්කම් අතරට පැමිණියේ නැහැ. මෙම තරඟ තුනම ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු සැළකිය යුතු ගණනකින් පරාජය වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඉන්දියාව 1994 ජනවාරියේ ලක්නව් හි පැවති පළමු තරඟය ඉනිමකින් සහ ලකුණු 119 කින් ජයගත් අතර බැංගලෝර් හි පැවති දෙවන තරඟය ඉනිමකින් සහ ලකුණු 95 කින් ජයගත්තා. පෙබරවාරියේදී අහමදාබාද් හි පැවති තෙවන තරඟය ඉන්දියාව ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 17 කින්.

මෙහි පළමු තරඟයේදී ඉන්දියානු විනිසුරන්ගේ තීරණ ශ්‍රී ලංකා පරාජයට ප්‍රබල බලපෑමක් කළ අතර කණ්ඩායම් කළමණාකරු බන්දුල වර්ණපුර කියා සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අස්ථාවර වීමට විනිසුරන් කෙරෙහි වූ අවිශ්වාසය බලපෑ බවයි. කෙසේ වෙතත් ඉන්දීය දඟ පන්දු යවන්නන් ප්‍රබල ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට ලක් කළ බවත් නොරහසක්.

තෙවන ටෙස්ට් තරඟයේදී ඉන්දියාවේ කපිල් දේව් හෂාන් තිලකරත්නගේ කඩුල්ල දවා ගනිමින් සිය 432 වන ටෙස්ට් කඩුල්ල දවා ගත්තා. ඒ අනුව ඔහු එකල වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වූයේ නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලිගේ කඩුලු 431 වාර්තාව පසු කරමින්.

වාර්තා බිඳ දැමූ 1997 තරඟාවලිය

අන්තර්ජාතික තරඟ අවස්ථා පුළුල්වීමත් සමඟ ශ්‍රී ලංකා පිළ වඩා හොඳින් ක්‍රීඩා කරනු දකින්නට තිබුණා. 1995 නවසීලන්ත ටෙස්ට් තරඟ ජයග්‍රහණය , 1995 සාර්ජා තුන්කොන් තරඟාවලිය ජය ගැනීම ආදිය එහිදී වැදගත් සන්ධිස්ථාන වුණා. ඉන් පසුව 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සතු වුණා.

සනත් ජයසූරියගේ වාර්තාගත ත්‍රිත්ව ශතකය (AP)

ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලියක් පැවතුණේ 1997 දී ශ්‍රී ලංකාවේදී. එය තරඟ දෙකකින් යුත් තරඟාවලියක් වුණා. ආර්. ප්‍රේමදාස පිටියේ පවත්වන ලද පළමු තරඟයේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම සමත් වුණා.

ඉන්දියාව මුලින් ම පන්දුවට පහර දුන් අතර ඔවුන් කඩුලු 8 කට ලකුණු 537 ක් ලබාගෙන සිය ඉනිම අත් හිටෙව්වා. නව්ජෝට් සං සිධූ (111), සචින් ටෙන්ඩුල්කාර් (143) සහ මොහොමඩ් අසාරුඩීන් (126) ශතක ලබා ගත්තා. ශ්‍රී ලංකාව දෙවන දිනය නිම වද්දී එක් කඩුල්ලකට ලකුණු 39 ක් ලබා සිටියා. නිලේෂ් කුල්කර්නි සිය ටෙස්ට් දිවියේ පළමු පන්දුවෙන්ම මාවන් අතපත්තු දවාගත්තා.

කුල්කර්නි මෙම තරඟයේ යැවූ ඊළඟ පන්දු 419න්ම කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

තරඟයේ තෙවන සහ සිව් වැනි දින තනිකරම අයත් වූයේ සනත් ජයසූරියට සහ රොෂාන් මහානාමටයි. තෙවන දිනය නිම වද්දී ශ්‍රී ලංකාව ලකුණු 322 ක ද සිව් වන දිනය නිම වෙද්දී ලකුණු 587 ක් ද ලබා තිබුණේ එක් කඩුල්ලක් දැවී යද්දී. ජයසූරිය ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතක ලාභියා වෙද්දී මහානාම ද ද්විත්ව ශතකයක් ලබා ගත්තා.

තරඟයේ අවසන් දිනයේදී විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් තරඟය නැරඹීමට පැමිණියේ සනත් ජයසූරිය ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලබාගනු ඇතැයි අදහසින්. ජයසූරිය ඒ වෙද්දී ලකුණු 325 ක් ලබා සිටි අතර එවකට වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වුණේ බ්‍රයන් ලාරාගේ ලකුණු 375 යි.

කෙසේ වෙතත් මුලු ලකුණු සංඛ්‍යාව 615 දී රොෂාන් මහානාම 225 කට සහ සනත් ජයසූරිය 340 කට දැවී ගිය අතර ලෝක වාර්තා බලාපොරොත්තුව සුන් වුණා. නමුත් එවකට ඕනෑම කඩුල්ලක් සඳහා වන වැඩිම සබඳතාවේ ලෝක වාර්තාව ඔවුන් සතු වුණා. ඒ ලකුණු 576 ක්. ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක ඉහළම ලකුණු සංඛ්‍යාව වූ කඩුලු 6 කට ලකුණු 952 ක් වාර්තා කළ අතර අරවින්ද ද සිල්වා (126), අර්ජුණ රණතුංග (86) සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ මහේල ජයවර්ධන (66) ඊට දායක වුණා.

මෙම තරඟාවලියේ දෙවන තරඟයත් ජය පරාජයෙන් තොරව නිම වුණා. එහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ජයසූරිය ලකුණු 199 ක් ලබාගත්තා.

මේ අතර පිළිතුරු සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව එම වසර අවසන දී ඉන්දියාවේ තරඟ සංචාරයක යෙදුණ අතර එහිදී පැවති තරඟ තුනම ජය පරාජයෙන් තොරව නිම වුණා.

ආසියානු කුසලානය

ආසියානු ටෙස්ට් ක්‍රිකට් කුසලානය සඳහා 1998 දී පවත්වන ලද තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයක් කොළඹ දී පවත්වනු ලැබුණා. එහි දී ඉන්දියාව වැඩි ගෞරව දිනාගත් නමුත් තරඟය ජය පැරදුමකින් තොරව නිම වුණා. ඉන්දියාව කඩුලු 7 කට ලකුණු 518 ක් සහ කඩුලු 5 කට ලකුණු 306 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 485 ක් ලබාගත්තා. මෙහිදී මහේල ජයවර්ධන ලබාගත් ලකුණු 242 මත ශ්‍රී ලංකා ඉනිම රඳා පැවතුණා.

පසුකාලීන තරඟාවලි

2001 දී ඉන්දියාව යළි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී පැවති ටෙස්ට් තරඟාවලිය තරඟ 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා. ඉන්පසු 2005/06 සමයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේදී තරඟ තුනකින් යුතු තරඟාවලියකට සහභාගී වී 2-0 ක් ලෙස පරාජයට පත් වුණා.

2008 දී නැවත ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණි අතර නැවතත් ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස ටෙස්ට් තරඟාවලිය ජයගත්තා. දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් ටෙස්ට් වරම් ලද්දේ මෙම තරඟාවලියේදීයි. ඔහු සිය මුල්ම තරඟයෙන් ම කඩුලු 8 ක් දවා ගත්තා. එමෙන්ම ගාල්ලේ පැවති තරඟය ඉන්දියාව ජයගනිද්දී විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 201 ක් නොදැවී ලබා ගත්තා.

සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරඟය (Getty)

2009 දී යළි ශ්‍රී ලංකා පිළ ඉන්දියාවේ සංචාරය කළ අතර එම ටෙස්ට් තරඟාවලිය ද 2-0 ක් ලෙස ඉන්දියාව විසින් ජයග්‍රහණය කළා. 2010 දී ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එවර තරඟාවලිය 1-1 ක් ලෙස සම සමව නිම වුණා. එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

2015 දී ශ්‍රී ලංකාවේ පැවති මීළඟ ටෙස්ට් තරඟාවලිය ඉන්දියාව විසින් ජය ගනු ලැබුණේ වසර 22 කට පසු පළමු වතාවට මෙරට දී ටෙස්ට් තරඟාවලියක් ජය ගනිමින්. එවර තරඟාවලියේ වීරයා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්. මෙම තරඟාවලියේ දෙවන තරඟය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරඟය වුණා.

2017 තරඟාවලිය

2017 තරඟාවලිය ශ්‍රී ලංකාවට අපකීර්තිමත් පරාජයක් ගෙන ආවා. තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිළට ඉන්දියාව ප්‍රබල අභියෝගයක් වේ යයි පෙර සිට ම අනාවැකි පළ වුවද මෙවර තරඟාවලිය මෙරටදීම 3-0 ක් ලෙස පරාජය වීමත්, ඉන් තරඟ දෙකක්ම ඉනිමකින් පරාජය වීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ රසිකයන් තුළ දැඩි කලකිරීමක් ඇති කිරීමට සමත් වුණා. ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟය ඉන්දියාව ලකුණු 304 කින් ජයගත් අතර කොළඹදී පැවති දෙවන තරඟය ඉනිමකින් සහ ලකුණු 53 කින් ද පල්ලෙකැලේදී පැවති තුන්වන තරඟය ඉනිමකින් සහ ලකුණු 171 කින් ද ඉන්දියාව ජයගත්තා.

තරඟ වාර්තා

ඉන්දු – ලංකා ටෙස්ට් තරඟවලදී ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව වන 340 ලබාගන ඇත්තේ සනත් ජයසූරියයි. ඉන්දියාවේ විරේන්ද්‍ර ශෙවාග් 2009 දී ලකුණු 293 ක් ලබා ගැනීමට ද සමත් වුණා.

පන්දු යවන්නන් අතින් මුත්තයියා මුරලිදරන් සමස්ථ ඉතිහාසය තුළ කඩුලු 97 ක් ලබාගෙන තිබෙන අතර අනිල් කුම්බ්ලේ කඩුලු 74 ක් ලබාගෙන තිබෙනවා. මොහොමඩ් අසාරුඩීන් උඩ පන්දු 27 ක් රැකගෙන වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයා ලෙස ඉන්දු – ලංකා ටෙස්ට් තරඟ ඉතිහාසයට එක් වනවා.

ශෙවාග් ඉන්දු – ලංකා ටෙස්ට් තරඟ ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් ලැබූ එකම ක්‍රීඩකයා වනවා. මේ අතර සචින් ටෙන්ඩුල්කාර් ශතක අටක් ලබාගෙන තිබෙනවා.

ඉන්දු – ලංකා ටෙස්ට් තරඟවල වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා වන්නේ අමල් සිල්වා යි. එම දවාගැනීම් සංඛ්‍යාව 22 ක්.

Cover Image: ඉන්දු – ලංකා ටෙස්ට් තරඟයක අවස්ථාවක් (AP)

Related Articles