Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා තැබූ ආරම්භක පිතිකරුවන්

මෙරට ක්‍රිකට් ඉතිහාසය වසර 180ක් පමණ පැරණි යි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම වැවිලිකරුවන්ට ක්‍රිකට් විනෝදාත්මක ක්‍රීඩාවක් විය. 1890 දශකය තෙක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බ්‍රිතාන්‍යයින්ට පමණක් සීමා වුවත් ක්‍රම ක්‍රමයෙන් දේශීය ක්‍රීඩකයින් ද ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන්නට සමත්කම් දැක්වී ය. මෙම ක්‍රීඩකයින් අතරින් මෙරට දේශීය ක්‍රිකට් සමාජ තරඟ, පාසල් මට්ටමේ තරඟ, සහ අන්තර්ජාතික තරඟ ඔස්සේ විවිධ වාර්තාවන් වලට හිමිකම් කියූ ආරම්භක පිතිකරු යුගලයන් පිලිබඳ කෙටි විස්තරයක් ගෙන ඒමටයි මේ සුදානම.

මොහොට්ටි ඇල්බට් සහ L.D.S. “චිප්පි” ගුණසේකර (සිලෝන් / SSC)

1929 – 1935 අතර කාලයේ සිලෝන් පිල නියෝජනය කරමින් ආරම්භක පිතිකරණ භූමිකාවේ යෙදුනේ මේ පිතිකරුවන් දෙපළ යි. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙන්ම කළුතර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සිංහල ක්‍රීඩා සමාජයට (SSC) එක්වූ මොහොට්ටි ඇල්බට් දකුණත් පිතිකරුවෙක් විය. ලේට් කට් පහරින් පන්දු රකින්නන් අතරින් නිවැරදිව ලකුණු රැස්කිරීමට හපන්කම් දැක්වූ ඔහු ගේ ක්‍රිකට් දිවියේ අවසන් භාගයේ දී චිප්පි ගුණසේකර ආරම්භක පිතිකරණයේ සහායකයා විය. ගුණසේකර වමතින් පන්දුවට පහර දුන් අතර ඔහු ද සිංහල ක්‍රීඩා සමාජයේ විශිෂ්ට නිමැවුමකි. මෙරට සිලෝන් පිල නියෝජනය කල ක්‍රීඩකයෙක් වූ බර්ටි විජේසිංහ මහතා ගේ “Love of a Lifetime (Cricket from the Heart)” කෘතියේ සඳහන් වන පරිදි මේ පිතිකරුවන් දෙපළ පමණක් එක්ව ශතක සම්බන්ධතා 11ක් පවත්වා තිබේ. මෙම කෘතියේ තවත් අපුරු සිදුවීමක් දක්වා ඇත. මොවුන් SSC පිළට ක්‍රීඩා කරන සෑම මොහොතක දී ම වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කරන අතර අනෙක් පිතිකරුවන්ට පිතිකරණයේ යෙදීමට ලැබූ අවස්ථාවන් සීමාසහිත විය. මෙයට පිළියමක් ලෙස කණ්ඩායමේ නායකයා තීරණය කලේ පිතිකරුවන් පැමිණෙන පිළිවල ප්‍රතිවර්ත කිරීම යි. ඒ අනුව පිතිකරණයට පැමිණි පිත්කරුවන් 9ම ඉක්මනින් දැවී ගිය අතර SSC කණ්ඩායම දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. ඔවුන්ට ඒ වනවිට ලකුණු 100 කට වඩා වැඩි ඉලක්කයක් හඹා යා යුතු වූ අතර අවසන් පිතිකරු ලෙස පැමිණි ගුණසේකර, මොහොට්ටි ඇල්බට් සමඟ අවසන් කඩුල්ලට එක් විය. ඒ අනුව ඔවුන් එම ජයග්‍රාහි ඉලක්කය හඹා ගියේ පැයක කාලයක් තුල දේශීය ක්‍රිකට් වාර්තාවක් ද බිහි කරමිනි.

මොහොට්ටි ඇල්බට් – credit – Love of a lifetime (Cricket from the Heart) by Bertie Wijesinha

L.D.S. ගුණසේකර – credit – Love of a lifetime (Cricket from the Heart) by Bertie Wijesinha

හර්බි ෆෙල්සින්ගර් සහ මකින් සාලිහ් (මුවර්ස් ක්‍රීඩා සමාජය)

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරඟය විනිශ්චය කළ විනිසුරුවරුන් දෙදෙනා ගෙන් අයෙකු වන හර්බි ෆෙල්සින්ගර් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වාර්තාවකට ද කලක් හිමිකම් කියූ ක්‍රීඩකයෙකි.  හර්බි 14 හැවරිදි වියේ දී කොළඹ කේරි විද්‍යාලය වෙනුවෙන් ද්විත්ව ශතකයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර 1952/53 තරඟ වාරයේ දී සිලෝන් පිල නියෝජනය කරමින් ඉන්දියාවට එරෙහි තරඟාවලියකට ද සුදුසුකම් ලැබිය.  ඔහු ක්‍රිකට් සමාජ 3ක් නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත් නමුත් මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රකට ආරම්භක පිතිකරුවෙකු වූ මකින් සාලිහ් සමඟ ප්‍රථම කඩුල්ලට පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව බොහෝ කලක් සුරැකිව පැවති ය. 1952/53 දේශීය ක්‍රීඩා තරඟාවලි වාරයේ දී මකින් සාලි සමඟ නොබිඳුණු ලකුණු 351 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට හර්බි සමත් විය. වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්තක් දැක්වූ මකින් සාලිහ් නොදැවී ලකුණු 237ක් ද හර්බි ෆෙල්සින්ගර් නොදැවී ලකුණු 114ක් රැස් කිරීමට සමත් විය.

අබ්දුල් ලාෆීර් සහ රොනී ස්ටීවන්ස් (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)

පාසල් ක්‍රිකට් තරඟ තුල සුවිශේෂී වාර්තාවක් පිහිටුවා ඇති අබ්දුල් ලාෆීර් සහ රොනී ස්ටීවන්ස් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ නිමැවුම් වේ. 1954 පාසල් ක්‍රිකට් තරඟ වාරයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව මේ ආරම්භක පිතිකරුවන් දෙපළ එවකට පිහිටුවා තිබු පාසල් වාර්තාව බිඳ දමමින් පළමු කඩුල්ලට ලකුණු 266ක් එක් කිරීමට සමත් වුහ. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටි සාන්ත අන්තෝනි පිලේ නායක අබ්දුල් ලාෆීර් ලකුණු 176 කුත් ඔහුගේ ආරම්භක පිතිකරණ සඟයා වූ රොනී ස්ටීවන්ස් ලකුණු 108 කුත් රැස්කරන ලදී. මේ තරඟ සමයේ දී අබ්දුල් ලාෆීර් ඔහුගේ ම පාසලේ ක්‍රීඩකයෙක් වූ ජැක් ඇන්ඩර්සන් 1918 වසරේ දී පිහිටවූ පාසල් ක්‍රිකට් තරඟ වාරයක වැඩිම පිතිකරණ සාමාන්‍යය බිඳ දැමීමටත් සමත් විය. (ජැක් ඇන්ඩර්සන් – 92.60 / අබ්දුල් ලාෆීර් 108.06)

අබ්දුල් ලාෆීර් සහ රොනී ස්ටීවන්ස් පාසල් වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව (quadrangle.lk)

අතුල සමරසේකර සහ වේන් ජෑන්ස් (ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය)

වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මකින් සාලිහ් සහ හර්බි ෆෙල්සින්ගර් ගේ ප්‍රථම කඩුල්ලේ දේශීය වාර්තාව බිඳ දමන්නට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර සහ වේන් ජෑන්ස් 1982 තරඟ වාරයේ දී සමත් වූහ. පොලිස් ක්‍රීඩා සමාජ පිලට එරෙහිව පළමු කඩුල්ලට ලකුණු 352ක් එක්කළ අතුල සමරසේකර සහ වේන් ජෑන්ස්, එම ඉනිමේ ශතක රැස්කරන ලදී. එමෙන්ම අතුල සමරසේකර එම වසරේ තරඟ වාරයේ දී ලකුණු දහස පසුකර යන්නට ද සමත් විය. මේ තරඟයට හා තරඟාවලියට පළමු පෙළ වරම් හිමිවුව ද එතැන් සිට වසර 6ක් පමණ වනතුරැ එකල මෙරට දත්ත සටහන්කරුවන් නියමිත අයුරින් තරඟ තොරතුරු එක්රැස්කිරීමට අසමත් වූ හෙයින් මේ තරඟ පිලිබඳ සවිස්තරාත්මක දත්ත ලබා ගැනීම අසීරු කාර්යයකි.

අතුල සමරසේකර සහ වේන් ජෑන්ස් වාර්තාව බිඳ දැමීමෙන් පසු – (අතුල සමරසේකර / Facebook)

සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ – ශ්‍රී ලංකාව

1995 බෙන්සන් සහ හෙජස් තරඟාවලියේ දී ප්‍රථම වරට ආරම්භක පිතිකරුවන්ගේ භූමිකාව සඳහා මේ පිතිකරුවන් දෙදෙනා පත්කරන්නට එකල ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කරන ලදී. එම තීරණය අතිසාර්ථක බවට ඔප්පු කරමින් එක්දින ක්‍රිකට් තරඟ ආකෘතියේ විශාල වෙනස්කමක් කරන්නට මොවුන්ට හැකිවිය. එකල ආරම්භක කඩුල්ලට සාම්ප්‍රදයික සෙමින් ලකුණු රැස්කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් ප්‍රථම පන්දුවාර 15 තුල වේගයෙන් ලකුණු රැස්කරන්නට මේ විශිෂ්ට පිතිකරුවන් දෙපළ ට හැකිවිය.

රොමේෂ් කලුවිතාරණ​ (Getty Images)

චමින්ද මෙන්ඩිස් සහ දුලිප් සමරවීර (කොල්ට්ස් ක්‍රිකට් සමාජය)

මෙරට පළමු පෙළ තරඟ තුල පළමු කඩුල්ලට වාර්තා කර ඇති ඉහලම ලකුණු සම්බන්ධතාවය පිහිටුවා ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන චමින්ද මෙන්ඩිස් සහ දුලිප් සමරවීර යි. 1998/99 පළමු පෙළ තරඟ වාරයේ දී මාතර ක්‍රීඩා සමාජයට එරෙහිව මේ පිතිකරුවන් දෙපළ පළමු කඩුල්ලට ලකුණු 373ක් එක් කිරීමට සමත් වුහ.  මෙන්ඩිස් නොදැවී ලකුණු 200ක් සහ සමරවීර ලකුණු 178 ක් රැස්කරගන්නා ලද අතර කොල්ට්ස් පිල ඉනිම අත්හිටු වුයේ ලකුණු 406 කට එක් කඩුල්ලක් බිඳ වැටීමෙන් අනතුරුව යි.

චමින්ද මෙන්ඩිස් (Getty Images)

දුලිප් සමරවීර (Alchetron)

සනත් ජයසූරිය සහ උපුල් තරංග – ශ්‍රී ලංකාව

එක්දින තරඟ ඉතිහාසයේ ප්‍රථම කඩුල්ලට වාර්තා කර ඇති ඉහලම ලකුණු සම්බන්ධතාවය හිමි පිතිකරුවන් දෙදෙනා හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය සහ වර්තමාන එක්දින සහ 20යි 20 නායක උපුල් තරංග යි. තරඟ 5 කින් සමන්විත වූ 2006 වසරේ එංගලන්තයට එරෙහි එක්දින තරඟාවලියේ අවසන් තරඟයේ දී ලකුණු 322 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස මොවුන් ප්‍රථම කඩුල්ලට 286ක් එක්කරන ලදී. මෙම ඉනිමේ දී සනත් ජයසූරිය ලකුණු 152ක් සහ උපුල් තරංග ලකුණු 109ක් රැස්කිරීමට සමත්කම් වූහ.

උපුල් තරංග සහ ජයසූරිය මෑත කාළයේදී. තරංග එක්දින පිළේ නායකයා සහ ජයසූරිය තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස​ (Getty Images)

Cover – සනත් ජයසූරිය 1996 ලෝක කුසලානයේ එංගලන්තය සමඟ තරඟයේදී (Getty Images)

Related Articles