ක්රීඩා

විනාඩි 4 ක කියවීමක්

යුද්ධයෙන් උපන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට්

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෑතකදී තීරණය කළ බව ඔබ දකින්නට ඇති. මෙම රටවල් දෙක අතරින් ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලැබූ මෙම පිළිගැනීම ඉතාමත් සුවිශේෂී වන්නේ එරටට ක්‍රිකට් ක්‍රීඩාව සාපේක්ෂව අලුත් ක්‍රීඩාවක් වීමත්, එරට පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයත් හේතුවෙන්.

යුද්ධය බොහෝ මානව ක්‍රියාකාරකම් අවුල් තත්ත්වයට පත් කරන අතර ඇෆ්ඝනිස්ථානයේද එ් තත්ත්වයේ කිසි වෙනසක් නැහැ. නමුත් ඇෆ්ඝනිස්ථානයට යුද්ධය හේතුවෙන් ලැබුණ එක් අලුත් දෙයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ගත හැකියි.

Advertisement

ඇෆ්ඝන් ජාතිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව හඳුනාගන්නට ලැබුණේ 1980 ගණන්වල මුල් කාලයේ පමණ සිටයි. ඔවුන් ක්‍රිකට් පාලක සමාජයක් (ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ෆෙඩරේශනය​) පිහිටුවාගත්තේ 1995 තරම් මෑතකදී.

සරණාගතයින්

1978 පමණ සිට ඇෆ්ඝනිස්ථානයේ මතුවූ යුධ තත්ත්වය නිසා ඇෆ්ඝන් ජාතිකයන් විශාල පිරිසක් අසල්වැසි පාකිස්ථානයට පළා ගියා. පාකිස්ථානය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ප්‍රචලිත රටක්. මේ හේතුවෙන් සරණාගත ඇෆ්ඝන් ජාතිකයන් අතර ද ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වන්නට පටන් ගත්තා. විශේෂයෙන් ම පකිස්ථානයේ ප්‍රකට “ටේප් බෝල ක්‍රිකට්” (ටෙනිස් පන්දුවක් වටා ටේප් ඇලවීමෙන් සාදාගත් පන්දුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට්) ඇෆ්ඝන් සරණාගතයන් අතරත් බෙහෙවින් ජනප්‍රිය වුණා.

පාකිස්ථානය 1992 දී ලෝක කුසලානය දිනාගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව තවත් එරට තුළ ජනප්‍රිය වූ අතර එය ඇෆ්ඝන් සරණාගතයන්ට ද බලපෑවා. මේ අතරවාරයේ ඇෆ්ඝන් සිවිල් යුද්ධය දිගටම ඇදෙමින් පැවතුණේ විසඳුමක් පිළිබඳ බලාපොරොත්තු තවත් ඈත් කරමින්. එහෙයින් බොහෝ සරණාගත ඇෆ්ඝන් ජාතිකයන් පාකිස්ථානයේ දිගටම රැඳී සිටියා.

1996 දී ඇෆ්ඝනිස්ථානයේ අගනුවර කාබුල් නගරය තලේබාන් පාලනය යටතට පත් වුණා. තලේබාන්වරුන්ගෙන් විශාල පිරිසක් ඇෆ්ඝන් සරණාගත කඳවුරුවල ආගමික පාසැල්වලින් පිටවූ අයයි. ඉතින් ඒ පිරිස් අතර ද ඇතැමුන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනුමෙන් යුතු වුණා.

ඇෆ්ඝන් ක්‍රීඩක මොහොමඩ් නබි 2016 දී බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජය කිරීමෙන් අනතුරුව​ (Getty)

තලේබාන් පාලනය කාන්තාවන් ක්‍රීඩාවන් හි නිරත වීම කෙරෙහි විරෝධාකල්ප දැක්වූ නමුත් ඇතැම් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙන් ක්‍රීඩාවන් කෙරෙහි පොදුවේ විරෝධයක් දැක්වූයේ නැහැ. එනම් පිරිමින් ක්‍රීඩාවන් හි නිරත වීම කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එපමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන් අනුග්‍රාහක ස්ථාවරයක සිටින බව පවා පෙනෙන්නට තිබුණා. තලේබාන් පාලනය සමය තුළත් කාබුල් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පිරිස් දකින්නට ලැබුණා. වර්තමාන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පිහිටි ස්ථානයට නුදුරින් වූ එළිමහන් බිමක් මේ ක්‍රීඩකයන් අතර එවක ජනප්‍රිය ක්‍රීඩා ස්ථානයක් ව පැවතියා.

1999 වසරේදී එංගලන්තයේ සුප්‍රකට මෙරිල්බෝර්න් ක්‍රීඩා සමාජය ඇෆ්ඝන් ක්‍රීඩකයන්ට උපකරණ ලබාදීමෙන් ආධාර කළා.

තලේබාන් පාලනයෙන් පසු

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව ඇෆ්ඝනිස්ථානය තුළ ප්‍රචලිත වීම වේගවත් වුණේ තලේබාන් පාලනය 2001 අවසන් භාගයේදී බිඳ වැටීමෙන් පසුවයි. දරදඬු තලේබාන් පාලනය ඇමරිකා එක්සත් ජනපදය​ ප්‍රමුඛ ත්‍රස්ත විරෝධී සන්ධානයේ සහ තලේබාන් විරෝධී උතුරුදිග සන්ධානයේ ප්‍රහාරයන් හමුවේ බිඳ වැටුණ පසු පාකිස්ථානයේ සිටි සරණාගතයන් විශාල පිරිසක් නැවත ඇෆ්ඝනිස්ථානයට එන්නට පටන් ගත්තා.

2003 දී පළමු වරට ජාතික කණ්ඩායමක් සඳහා තෝරාගැනීම් සිදු වුණා. මෙහිදී බොහෝ ක්‍රීඩකයන් කාබුල් වෙත පැමිණියේ මේ පිළිබඳ කට වචනයෙන් දැනගෙනයි. එම අවුරුද්දේම දේශීය තරඟාවලියක් පටන් ගත් අතර “ඛෝස්ට්” ක්‍රිකට් කණ්ඩායම (Khost Cricket Team) එය ජය ගත්තා.

2003 දී ම ඇෆ්ඝන් ජාතික කණ්ඩායම පළමු වරට පිටරට කණ්ඩායමක් සමඟ තරඟ වැදුණා. ඒ පාකිස්ථානයේ ක්‍රීඩා සමාජයක් සමඟයි. 2004 දී ඇෆ්ඝනිස්ථානය ආසියානු ක්‍රිකට් කවුන්සිල කුසලානය (ACC Trophy) සඳහා තරඟ වැදුණ අතර එහිදී ඔවුන් බහරේනය පරාජය කළා. ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එය ප්‍රමාණවත් වූ නමුත් එහිදී ඔවුන් කුවේටයට පරාජය වූ නිසා එතැනින් එහාට යාමට අවස්ථාව ලැබුණේ නැහැ.

වේගවත් ඉදිරි පිමි

ACC Trophy තරඟාවලිය නැවත පැවැත්වුණේ 2006 දී. කළින් වර එක් තරඟයක් පමණක් ජයගත් ඇෆ්ඝන් පිළ මෙවර තරඟාවලියේ සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඉන් වසරකට පසු ඔවුන් සිය පළමු තරඟාවලි ජය වාර්තා කළේ ආසියානු ක්‍රිකට් කවුන්සිල T20 ශූරතාව (ACC T20 Cup) ජය ගනිමින්. මෙහිදී අවසන් තරඟයේදී ලකුණු සම වූ බැවින් ඇෆ්ඝනිස්ථානය සහ ඕමානය යන දෙරටම කුසලානය සමව බෙදා ගත්තා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණය අනුව ලෝක ක්‍රිකට් ලීගය නමින් තරඟාවලියක් පවත්වනු ලබනවා. එහි ඩිවිෂන (කාණ්ඩ) කිහිපයක් පවතිනවා. ඇෆ්ඝනිස්ථානය මෙම තරඟාවලියට එක් වූ අලුත ම ඔවුන් අයත් වූයේ ඉන් පහළම හෙවත් පස්වැනි ඩිවිෂනයටයි. 2008 දී එම ඩිවිෂනය ජයගත් ඔවුන් එම වසරේදී ම ලෝක ක්‍රිකට් ලීගයේ සිව් වැනි ඩිවිෂන තරඟාවලිය ද ජයගත්තා. ඊළඟ වසරේදී ඔවුන් තෙවැනි ඩිවිෂනයේ ද ජයග්‍රාහකයන් වූ අතර ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවලට මේ අනුව ඔවුන්ට මාර්ගය විවර වුණා.

“ඛෝස්ට්” ක්‍රීඩාංගණය​. (Afghanistan Cricket Board)

ඔවුන්ට 2011 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වරම් නොලැබුණ නමුත් ඒ සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ පළමු රටවල් හය අතරට පැමිණීම හේතුවෙන් ඔවුනට එක්දින ජාත්‍යන්තර තරඟ තත්ත්වය ලැබුණා.

2010 දී සහ 2012 දී ඔවුන් ලෝක ශූරතාවට තේරී පත් වූ නමුත් එම දෙවතාවේම ඔවුන්ට කිසිදු තරඟයක් ජය ගැනීමට හැකි වූයේ නැහැ.

ඇෆ්ඝනිස්ථානය එක්දින ජාත්‍යන්තර තරඟයක් ලෙස වර්ගීකරණය කළ තරඟයකට මුලින් ම සහභාගී වූයේ 2009 දී ස්කොට්ලන්තය සමඟයි. 2012 දී ඔවුන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කළ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයට සහභාගී වුණා. ඒ පාකිස්ථානයට එරෙහිව සාර්ජා හිදී. එම තරඟය වෙනුවෙන් තලේබාන් සංවිධානය පවා සුබ පැතුම් එක් කර තිබුණා. කෙසේ නමුත් එම තරඟයේදී ඇෆ්ඝන් පිළ පරාජය වුණා.

2015 ලෝක කුසලානයට ඇෆ්ඝන් පිළ සුදුසුකම් ලද අතර එහිදී ඔවුන් හොඳ තරඟාවලියකට මුහුණ දුන්නා. කෙසේ නමුත් ඔවුන් ජයග්‍රහණය කළේ ස්කොට්ලන්තය සමඟ තරඟය පමණයි. ඊට වසරකට පසු පැවති T20 ලෝක කුසලානය ඔවුන්ට බෙහෙවින් වැදගත් තරඟයක් වුණා. එහිදී මූලික වටයෙන් සියලු තරඟ ජයගෙන සුපර් ටෙන් වටයට සුදුසුකම් ලද ඇෆ්ඝනිස්ථානය එංගලන්තය සමඟ හොඳ තරඟයක් දීමටත්, බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජය කිරීමටත් සමත් වුණා. කොදෙව්වන් මෙම තරඟාවලියේ ශූරතාව දිනා ගැනීම නිසා ඇෆ්ඝනිස්ථාන පිළ ලැබූ මෙම ජයග්‍රහණය තවත් වැදගත් වුණා.

2017 වසරේදී පළමු වරට ඇෆ්ඝන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කළා. ඒ මොහොමඩ් නබි සහ රශිඩ් ඛාන් යන දෙදෙනායි. ඒ දෙදෙනාම සන්රයිසර්ස් හයිද්‍රබාද් පිළ නියෝජනය කළා. එමෙන්ම රශීඩ් ඛාන් මෑතක දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පවත්වන ලද එක්දින ජාත්‍යන්තර තරඟයකදී ලකුණු 18 කට කඩුලු 7 ක් දවා ගන්නට ද සමත් වුණා.

අභියෝග

ඇෆ්ඝන් ක්‍රිකට් දියුණු වීමට ඇති ප්‍රධානම අභියෝගය එරට පවතින සිවිල් යුධ වාතාවරණය ම නොවේ. සාමාන්‍යයෙන් තලේබාන් සංවිධානය පවා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ධනාත්මක ස්ථාවරයක සිටින අතර ක්‍රිකට් රට පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් යටිතල පහසුකම් සහ මූල්‍යමය තත්ත්වය තවමත් එතරම්ම හොඳ තත්ත්වයක නොමැති වීම ඇෆ්ඝන් ක්‍රිකට් සඳහා ඇති ප්‍රධාන බාධකයයි.

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානයට ක්‍රිකට් දියුණු කිරීම සඳහා විදෙස් ආධාර උපකාර ලැබෙමින් පවතිනවා. අන්තර්ජාතික තරඟ ඔවුන්ගේ රටේ පැවැත්විය නොහැකි හෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය​, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඔවුන්ට ක්‍රීඩාංගණ ලබා දීමට විවිධ අවස්ථාවල ඉදිරිපත් වුණා. වර්තමානයේ ඇෆ්ඝන් ක්‍රීඩකයන් සිය තරඟ සඳහා ඉන්දියාවේ දිල්ලිය අසළ ග්‍රේටර් නොයිඩා හි ක්‍රීඩාංගණයක් භාවිතා කරනු ලබනවා. මේ අතර​, ඉන්දියාවේ ආධාරයෙන් කන්දහාර් නගරයේ එක් ක්‍රීඩාංගණයක් ඉදි වෙමින් පවතිනවා. ජර්මන් ආධාර යටතේ ඛෝස්ට් නගරයේ තවත් ක්‍රීඩාංගණයක් ඉදි වුණා.

රශිඩ් ඛාන් බටහිර ඉන්දීය පිළට එරෙහිව​. (Getty)

ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් තවමත් ප්‍රචලිතව පවතින්නේ “පශ්තුන්” ගෝත්‍රිකයන් අතරයි. රටේ උතුරු, මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල වසන උස්බෙක්, තජික්, හසාරා ආදී ජනතාව අතර එය එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වන්නේ නැහැ. නමුත් මේ වනවිට ඔවුන් අතර ද ක්‍රිකට් ප්‍රචලිත වීමට පටන් ගෙන තිබෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාව රටේ ජාතික තලයේ ක්‍රීඩාවක් බවට පත්වීමේ හොඳ ඉඩකඩක් තිබෙනවා.

කෙසේ වෙතත් ඇෆ්ඝන් කාන්තා ක්‍රිකට් නම් පවතින්නේ ඉතාම ප්‍රාථමික අවධියකයි. කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මීට වසර කිහිපයකට පෙර නිර්මාණය වූ නමුත් බලධාරීන්ගේ උදාසීන බව සහ කාන්තාවන් ක්‍රීඩාවල නිරත වීම කෙරෙහි සමාජයේ ඇති නොකැමැත්ත හේතුවෙන් කාන්තා ක්‍රිකට් දියුණු කිරීම අපහසු වී තිබෙනවා.

මූලාශ්‍ර​:

  1. Kate Clark and Sudhanshu Verma, The Great Game: The Rise of Afghan Cricket from Exodus and War, Afghanistan Analysts
  2. Shadi Khan Saif, Afghan cricket: From refugee camps to world arena, Anadolu Agency

කවරයේ රූපය: ඇෆ්ඝන් ක්‍රිකට් පිළ 2016 T20 ලෝක කුසලානයේදී (Getty)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්