Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකාලයේ මිය ගිය ක්‍රිකට් තරු – 2 කොටස

පාඨක ඔබේ වැඩි ප්‍රතිචාර හා ඉල්ලීම මත මෙන්ම යෝජනා වලට අනුකූලව අපි තීරණය කළා අකාලයේ මිය ගිය තවත් ක්‍රිකට් තරු  කීපයක් පිළිබඳව තොරතුරු ගෙන එන්නට. මොවුන් කිහිප දෙනාත් ජීවතුන් අතර සිටියානම් තමන් ක්‍රීඩා කළ ක්‍රිකට් කණ්ඩායම් හා නියෝජනය කළ රටට විශාල ගෞරවයක් ගෙන දෙනවා නොඅනුමානයි. මින් සමහරක් ඔබම යෝජනා කළ නම් බව ගෞරවයෙන් සිහිපත් කරනවා.

මන්සරුල් ඉස්ලාම්  – බංගලාදේශය (වයස අවුරුදු 22 යි )

en.prothom-alo.com

මන්සරුල් ඉස්ලාම් බංග්ලාදේශය වෙනුවෙන් ජාතික වර්ණ දිනාගන්නේ වයස අවුරුදු 19ක හිරිමල් යෞවනයෙක්ව සිටියදීයි. වමතින් දඟ පන්දු යවන මන්සරුල් ගැන ඔහුගේ උපන් ගම් ප්‍රදේශය වන කුල්නා හි වැසියන් කතා කළේ ආඩම්බරයකින්. විශේෂයෙන්ම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දක්වන මේ යෞවනයා එවකට ටෙස්ට් ක්‍රිකට ලෝකයේ අත දරුවන්ව සිටි බංග්ලාදේශයට අනාගතයේ රිදී ඉරක් වන ලකුණු පෙන්නුම් කරමින් සිටියා. එක්දින වරම් ලබා නොබෝ කලකින් ම ටෙස්ට් වරම් ද ලබන මොහු පන්දු යැවීමෙන් ඒ තරම්ම සාර්ථක නොවුණු නිසාත් ඒ යුගයේ බංගලාදේශ ටෙස්ට් කණ්ඩායම වමත් දඟ පන්දු යවන්නන්ගෙන් ගහණ වූ නිසාත් 2004 වසර අවසානයේදී කණ්ඩායමෙන් ඉවත් කෙරෙනවා. නමුත් එක්දින කණ්ඩායමේ දිගටම රැඳෙන මන්සරුල් තුන් ඉරියව් දස්කම් දක්වමින් ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට පත් වෙනවා.

2007 වසරේ ආරම්භය මන්සරුල්ට ඒ තරම් සුභදායක වුණේ නැහැ. 2007 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම බටහිර ඉන්දීය කොදෙව් දේශයට යන ජාතික සංචිතයට මන්සරුල් නම් වන්නේ නැහැ. තම සාමන්‍ය ගමන් බිමන් වලට යතුරු පැදිය භාවිතා කළ මොහු ජනවාරි මාසයේදී අනතුරකට ලක් වෙන්නේ මේ අතරයි. අනතුරෙන් හානියක් නොවුණත් යතුරු පැදි ගමන් නවත්වන ලෙස සියළු දෙනා ඔහුගෙන් ඉල්ලනවා. මේ අතර පෙබරවාරි මාසයේදී බංගලාදේශ ජාතික කණ්ඩායම ලෝක කුසලානය සඳහා පිටත්ව යන අතර මන්සරුල් බංගලදේශයේ රැඳෙනවා. මාර්තු 16 වැනිදා තමන් උපන් ප්‍රදේශය වන කුල්නා හිම යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී අහම්බයකින් බස් රථයක ගැටෙන මොහු විසිවී ගොස් පහන් කණුවක වදින්නේ හිසට දැඩි තුවාල ඇති කරමින්. වහාම  රෝහල් ගත කළත් මේ දක්ෂ ක්‍රීඩකයාගේ දිවිය රැක ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වෙන්නේ නැහැ.

ස්ටැන්ලි ද සිල්වා-ශ්‍රී ලංකාව (වයස අවුරුදු 23 යි )

1979 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය. වම්පස සිට්ස් 4 වෙනියට සිටගෙන සිටින්නේ ස්ටැන්ලි ද සිල්වා යි-sundaytimes.lk

දේවා ලෝකේශ් ස්ටැන්ලිද සිල්වා ජන්ම ලාභය ලබන්නේ 1956 වසරේ නොවැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩදී යි. මහින්ද විද්‍යාලයට ක්‍රීඩා කරන සමයේ සිට වේග පන්දු යවන්නෙක් හැටියට ඉතාම හොඳින් දස්කම් දැක්වූ මොහු එවකට හැඳින්වූයේ ලංකාව ටෙස්ට් වරම් ලද කාලයක අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරනු ඇති ක්‍රීඩකයෙක් ලෙසටයි. මේ බව තවත් ඔප්පු කරමින් 1979 ලෝක කුසලානයට නම් වෙන ස්ටැන්ලි ඒ වන විට 22 වියැති තරුණයෙක්ව සිටියා. ඔහුට ලැබුණු එක්දින තරග දෙකම ඔහු හොඳින් ක්‍රීඩා කරනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ඉන්දීය තරගයේ තීරණාත්මක කඩුල්ලක් වන කපිල් දේව් ගේ කඩුල්ල ලබා ගන්නේ ස්ටැන්ලි ද සිල්වා විසින්.

ක්‍රි.ව 1980 ආරම්භය වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමේ එළිපත්තේ සිටියා. තවමත් වයස 23ක් වූ ස්ටැන්ලිට පැහැදිලිවම වසර 15 කවත් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව තිබුණු නිසා ටෙස්ට් ක්‍රිකට ක්‍රීඩා කිරීමේ සිහිනය ඔහුගෙන් ඒ තරම් දුර එකක් වුණේ නැහැ. නමුත් ඔහුගේත් රටේ සියළුම ජනතාවගේත් සිහින බොඳ කරලමින් 1980 සිංහල හින්දු අළුත් අවුරුද්ද ලබන්න්ට දින දෙකක් තිබියදී මොහුගේ යතුරු පැදිය බලපිටියේදී අනතුරට ලක් වෙන්නේ ස්ටැන්ලිගේ ජීවිතයට නැවතීමේ තිත තබමින්. ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට එක් වෙන්නට තිබුණු රන්වන් පිටුවක් එලෙසින් උපන් ගෙයිම ගිලිහී යනවා.

රාමන් ලම්බා – ඉන්දියාව (වයස අවුරුදු 38 යි )

mid-day.com

රාමන් ලම්බා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 4 කට හා එක්දින තරග 32 කට ක්‍රීඩා කර ඇති දක්ෂ ක්‍රීඩකයෙක්. කවදත් තරගකාරී ඉන්දීය කණ්ඩායම තුළ 1989 වසර හෙවත් වයස අවුරුදු 29න් පසුව ස්ථානයක් හමු නොවුණත් ඉන් පසුවත් විටින් විට ජාතික වරම් ලබන එළිපත්තටම පැමිණෙන්නට ලම්බාට හැකි වෙන්නේ ඔහුගේ තිබුණු දක්ෂතාවයන් නිසාමයි. ඉතා හොඳ හස්ත-අක්ෂි සම්බන්ධතාවයක් තිබුණු ඔහු පසු කලෙක අයර්ලන්තයටත්, බංග්ලාදේශ පළමුපෙළ තරග වලටත් ක්‍රීඩා කරනවා. 1998 වසරේදී ෆෝවඩ් ශෝර්ට්ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් හිසේ වැදීමෙන් මිය යන විට 38 වි‍යැති වුවත් තවත් අවුරුද්දක් වත් ක්‍රීඩා කිරීමේ ශාරීරික යෝග්‍යතාවයක ඔහු සිටිය බව විචාරකයන් පවසනවා.

කොලී ස්මිත්- බටහිර ඉන්දීය කොදෙව් (වයස අවුරුදු 26 යි )

cricketwindies.com

කොලී ස්මිත් 1950 දශකයේදී ජැමෙයිකාවෙන් මතුවුණු සැබෑ දක්ෂයෙක්. දකුණත් පිතිකරුවෙක් වශයෙනුත් දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් වශයෙනුත් කුඩා කාලයේ සිටම දස්කම් පෑ කොලී පැහැබර අනාගතයක සළකුණු පෙන්නුම් කළා. මේ නිසාම වයස අවුරුදු 21 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබන මොහු එහි දෙවන ඉනිමේදී සටන්කාමී ශතකයක් ලබාගන්නේ ඉනිමක පරාජයකින් තම කණ්ඩායම ගලවමින්. ඊළඟ වසර 4 තුළ ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කරන කොලී ශතක 4ක් සමඟ පිත්තෙනුත්, කඩුළු 48ක් දවාගෙන පන්දුවෙනුත් එක සේ දස්කම් දක්වනවා.

1959 වසරේදී එංගලන්තයේදී තම මිතුරන් දෙදෙනෙක් සමඟ ගමනක් යමින් සිටියදී කොලී ගමන් ගත් රථය හදිසි රිය අනතුරකට මුහුන දෙනවා. මෙයින් මොහුගේ කොඳු ඇට පෙළට බරපතළ හානි සිදු වන අතර වෛද්‍යවරුන්ට ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වනවා. ඔහුගේ මිතුරන් දෙදෙනාගේ දිවි ගැලවෙනවා. අනතුරට ලත් රථය ධාවනය කළ කොලීගේ මිතුරා වෙන කවරෙකුවත් නොවේ පසු කලෙක ලෝක පූජිත ක්‍රීඩකයෙක් වූ එවකට 23 හැවිරිදිව සිටි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වීම විශේෂ කරුණක්.

ලෝරි විලියම්ස් – බටහිර ඉන්දීය කොදෙවු (වයස අවුරුදු 33 යි )

gettyimages.co.uk

ජැමෙයිකාවෙන් බිහිවුණු ලෝරි විලියම්ස් තවත් දක්ශයෙක්. මිය යන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මඳ වේග පන්දු යවන්නෙක් ලෙස ක්‍රියා කළ මොහු එක්දින තරග 15 කට සහභාගී වී කඩුළු 18ක් දවාගෙන හොඳින් දස්කම් දක්වා තිබුණා. 2002 වසරේ සැප්තැම්බර් 8 වැනිදා සිය මෝටර් රථයෙන් කින්ග්ස්ටන් නුවර ගමනක් යමින් සිටියදී මාරක අනතුරකට භාජනය වන ලෝරිට සිය ජීවිතය අහිමි වෙනවා. අනතුරෙන් ඔහුගේ අඩ සොහොයුරු කෙවින් ජෙනිසන් ද මිය යනවා.

මෞරිට්ස් වන් නියෙරොප් – නෙදර්ලන්තය (වයස අවුරුදු 25 යි )

twitter.com

අකාලයේ මරු තුරුලට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් අසාමාන්‍ය මරණයක් හිමිවුණු ක්‍රීඩකයෙක් හැටියට එක්දින තරග වලදී නෙදර්ලන්තය නියෝජනය කළ මෞරිට්ස් වන් නියෙරොප් හඳුන්වන්නට පුළුවන්. නෙදර්ලන්තයට ක්‍රීඩා කළත් දකුණු අප්‍රිකාවේ උපත ලද නියෙරොප් 2006 වසරේදී නැවතත් දකුණු අප්‍රිකාවට පැමිණෙන්නේ නෙදර්ලන්තය සතුව හොඳ පළමු පෙළ තරගාවලි නොමැති බැවින්, සිය හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහායි. රාත්‍රී සාදයකට සහභාගි වී බීමතින් තාප්පයකින් පැනීමට ගොස් හිස බිම වැදීමෙන් මරණීය තුවාල ලබන මොහු සිද්ධිය ඇසින් දුටු ආරක්ෂක නිලධාරියෙක් විසින් වහාම රෝහල් ගත කරනු ලැබුවත් ජීවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත වෙන්නේ නැහැ. මේ අවාසනාවන්ත සිද්ධිය වන විට ඔහු නෙදර්ලන්ත ජාතික සංචිතයට නැවතත් කලකට පසුව නම් කර තිබුණා.

1-(කවරයේ පින්තූරය -wirefarm.com)

මූලාශ්‍ර

  1. cricketcountry.com
  2. espncricinfo.com
  3. wikipedia.org

Related Articles