Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙසීට ගෞරවාන්විත සමු දීමක්: පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (18) රාත්‍රියේ දී නිමාවට පත් වුණා. ආජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවති එම තරගය සඳහා ලබා දුන් සම්පූර්ණ කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝල 3 බැගින් ලබා සිටියා. දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තීරණය කිරීමට අවසානයේ දී සිදු වුණා.

එම අවස්ථාවේ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම අභිබවා ගිය ආජන්ටිනා ක්‍රීඩකයන් දඬුවම් පහර 4-2ක් ලෙස තරගය ජයග්‍රහණය කළා. ආජන්ටිනාවට වසර 36කට පසුව පාපන්දු ලෝක කුසලානයක පහස විඳගැනීමට ඒ නිසා හැකි වුණා. පාපන්දු ලෝක කුසලානය දකුණු අමෙරිකානු රටකට 20 වසරකට පසුව නැවතත් හිමි වීම විශේෂත්වයක් වුණා.

පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායම – gettyimages.com

වසන් තරගයක් නැරඹීමට ආ වැඩි ම ප්‍රේක්ෂක පිරිස

ආජන්ටිනාව සහ ප්‍රංශය අතර මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය කටාර් හි ලුසායිල් ක්‍රීඩාංගණයේ දී යි පැවැත්වුණේ. ඒ 88,966ක් තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදී යි. එය 1994න් පසු ව පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක් නැරඹීම සඳහා වැඩි ම ප්‍රේක්ෂක පිරිසක් පැමිණි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක් වුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුල සිට ම ආජන්ටිනා ක්‍රීඩකයන් ප්‍රංශ ගෝල සීමාව ආක්‍රමණය කළා. තරගයේ 21 වන විනාඩියේ දී ප්‍රංශ දඬුවම් කලාපයට පන්දුව රැගෙන ආ ඈන්හෙල් ඩි මරියාට ප්‍රංශ ක්‍රීඩක ඔස්මන් ඩෙම්බෙලේ අනිසි බලපෑමක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුණා. ලියොනල් මෙසී එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමත් සමඟින් ආජන්ටිනාව තරගයේ පෙරමුණ ගත්තා.

මෙසී දඬුවම් පහර සාර්ථක කරගැනීමෙන් පසුව – gettyimages.com

එසේ වාර්තා වුණු ගෝලයත් සමඟින් උද්දාමයට පත් වුණු ආජන්ටිනා ක්‍රීඩකයන් අවස්ථා කිහිපයක දී ප්‍රංශ දැල නැවතත් ආක්‍රමණය කළා. එහි දී තරගයේ තරගයේ 36 වන විනාඩියේ දී ආජන්ටිනා මැද පෙළ ක්‍රීඩක මැක් ඇලිස්ටර් ප්‍රංශ දඬුවම් කලාපය වෙත යොමු කළ පන්දුව හොඳින් හසුරවා ගත් ඈන්හෙල් ඩි මරියා එය ප්‍රංශ දැල වෙත සාර්ථකව යොමු කරමින් ආජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළා.

තරගයේ පළමු භාගය අවසන් වෙද්දී ආජන්ටිනාව ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසු වුණා. ඉන් පසු ව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ දී ආජන්ටිනා ක්‍රීඩකයන් කිහිප වතාවක් ප්‍රංශ දඬුවම් කලාපයට පන්දුව රැගෙන ගිය ද ඒ කිසිදු අවස්ථාවක ගෝලයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ.

එම්බාපේගේ මැජික් ගෝල ද්විත්වය

එසේ ක්‍රියාත්මක වුණු තරගයේ 78 වන විනාඩිය අවසන් වෙද්දීත් ආජන්ටිනාව ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසු වුණු නිසා ඔවුන් පහසු ජයක් ලබනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුණා. එවැනි මොහොතක ආජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩකට නිකලස් ඔටමෙන්ඩි ප්‍රංශ ක්‍රීඩක කෝලෝ මුආනිට දඬුවම් කලාපයේ දී අනිසි බලපෑමක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුණා.

කිලියන් එම්බාපේ එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමත් සමඟ ප්‍රංශය තරගයට අවතීර්ණ වුණා. එම ගෝලය වාර්තා වී විනාඩි 2ක් ගත වීමටත් පෙර මාකස් තුරාම් ආජන්ටිනා දඬුවම් කලාපය වෙත යොමු කළ පන්දුව නිවැරදි අයුරින් ආජන්ටිනා දැල වෙත යොමු කළ එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළා. එසේ වාර්තා වුණු ගෝල නිසා තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී තරගයේ ගෝල තත්ත්වය 2-2ක් ලෙස සටහන් වුණා. ඒ හේතුවෙන් තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියා.

එම්බාපේ ගෝලයක් ලබා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

මෙසී සහ එම්බාපේ අතර කරට කර සටනක්

ඉන් අනතුරු ව ආරම්භ වුණු තරගයේ අතිරේක කාලයේ 18 වන විනාඩියේ දී යළි ක්‍රියාත්මක වුණු මෙසී ආජන්ටිනාව වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කළා. එම ගෝලය වාර්තා වී විනාඩි 8ක් ගතවෙද්දී ප්‍රංශයට තවත් දඬුවම් පහරක් හිමි වුණා. ඒ එම්බාපේ එල්ල කළ පහරක් ආජන්ටිනා දඬුවම් කලාපයේ දී ගොන්සාලෝ මොන්ටියල්ගේ අතේ ස්පර්ශ වීම (Handball) නිසා යි.

එසේ ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් තෙවන ගෝලයත් වාර්තා කළා. ඒ සමඟ එම්බාපේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක දී ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා. ඔහුට පෙර එංගලන්තයේ ජෙෆ් හර්ස්ට් 1966 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී බටහිර ජර්මනියට එරෙහි ව එම දස්කම දැක්වූවා. අතිරේක කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝල 3 බැගින් ලබා සිටි නිසා දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තේරීමට සිදු වුණා.

අවසන් තරගයේ තීරණාත්මක අවස්ථාවක් – gettyimages.com

ජයග්‍රාහකයන් තේරීම දඬුවම් පහර මඟින්

එය පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක ජයග්‍රාහකයන් දඬුවම් පහර මඟින් තෝරා ගත් තෙවන අවස්ථාව යි. ඊට පෙර 1994 සහ 2006 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී එලෙස ජයග්‍රාහකයන් තෝරා ගත්තා. 1994 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී දඬුවම් පහර 3-2ක් ලෙස ඉතාලිය පරාජය කරමින් බ්‍රසිලය ද, 2006 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී දඬුවම් පහර 5-3ක් ලෙස ප්‍රංශය පරාජය කරමින් ඉතාලිය ද ජයග්‍රහණ වාර්තා කළා.

දඬුවම් පහර 4-2ක් ලෙස තරග ජය ආජන්ටිනාවට

දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තෝරා ගත් ඒ මොහොතේ දඬුවම් පහර 4-2ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළේ ආජන්ටිනාව යි. එහි දී ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනෙස් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ තෙවන වරට යි. ඔවුන් ඊට පෙර 1978 සහ 1986 යන වසරවල දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබුණා.

ආජන්ටිනාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

කලකට පසුව පැවති වඩාත් තරගකාරී අවසන් තරගයක්

මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී කණ්ඩායම් දෙක ම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණා. එහි දී කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයන් අතින් සිදු වුණු අත්වැරදීම් නිසා දඬුවම් පහර 3ක් ලබා දීමට සිදුවීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට පෙර පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක දී වැඩිම දඬුවම් පහර ප්‍රමාණයක් ලබා දුන්නේ 1974 දී යි.

බටහිර ජර්මනිය සහ නෙදර්ලන්තය අතර පැවති එම අවසන් තරගයේ දී දෙපිලට ම දඬුවම් පහර බැගින් හිමි වුණා. ඊයේ පැවති ආජන්ටිනා-ප්‍රංශ අවසන් තරගයේ දී දෙපිලේ ම ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් පෙන්වූ යම් යම් දුර්වලතා නිසා තවත් ගෝල 3ක් වාර්තා වුණා. එය 21 වන සියවසේ දී පැවති වඩාත් තරගකාරීම පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය යැයි පැවසුවොත් වරදක් නැහැ.

තෙවන ස්ථානය ක්‍රොයේෂියාවට

තරගාවලියේ තෙවන ස්ථානය තේරීම සඳහා ක්‍රොයේෂියාව සහ මොරොක්කෝව අතර තරගයක් පසුගිය සෙනසුරාදා (17) පැවැත්වුණා. එම තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේ ක්‍රොයේෂියාව යි. එහි දී ජොස්කෝ ග්වාර්ඩියොල් සහ මිස්ලොව් ඔර්සිච් ක්‍රොයේෂියාව වෙනුවෙන් ගෝල වාර්තා කරද්දී අෂ්‍රෆ් ඩාරි මොරොක්කෝව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා.

ක්‍රොයේෂියා කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක තෙවන ස්ථානය දිනා ගත්තේ 24 වසරකට පසුව යි. ඔවුන් ඊට පෙර ප්‍රංශයේ දී 1998 පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තා. එය ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වුණු මුල් ම අවස්ථාව වීම විශේෂත්වයක් වුණා. ඊට අමතර ව ක්‍රොයේෂියාව 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තා.

තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත් ක්‍රොයේෂියා කණ්ඩායම – gettyimages.com

තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ආජන්ටිනාවේ ලියොනල් මෙසී

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට ලබා දෙන සම්මානය රන් පන්දුව (Golden Ball) ලෙස හඳුන්වනවා. එම සම්මානය පිරිනැමීම ආරම්භ වුණේ 1982 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිට යි. මෙවර පාපන්දු ලෝක කුසලානය පුරාවට දස්කම් දක්වමින් ගෝල 7ක් රැස් කරමින් ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා දීමට විශාල මෙහෙයක් සිදු කළ ලියොනල් මෙසීට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දු සම්මානය හිමි වුණා.

මෙසීට 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දීත් මෙම සම්මානය හිමි වුණා. ඒ හේතුවෙන් පන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ රන් පන්දුව දෙවරක් දිනා ගත් එක ම ක්‍රීඩකයා ලෙසින් ආජන්ටිනාවේ ලියොනල් මෙසී වාර්තා අතරට එක් වුණා. එසේ රන් පන්දුව ලියොනල් මෙසීට හිමි වෙද්දී රිදී පන්දුව ප්‍රංශයේ කිලියන් එම්බාපේට ද, ලෝකඩ පන්දුව ක්‍රොයේෂියාවේ ලුකා මොඩ්‍රිච්ට ද හිමි වුණා.

මෙසී රන් පන්දු සම්මානය සමඟ (gettyimages.com)

වැඩි ම ගෝල ලාභියා ප්‍රංශයේ කිලියන් එම්බාපේ

තරගාවලියේ වැඩි ම ගෝල ලාභියාට පිරිනමන සම්මානය රන් සපත්තුව (Golden Boot) යන නමින් හඳුන්වනවා. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ගෝල 8ක් වාර්තා කළ ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාපේට එම සම්මානය හිමි වුණා. එම්බාපේ පාපන්දු ලෝක කුසලානයක වැඩි ම ගෝල ලාභියා බවට පත් වුණු දෙවන ප්‍රංශ ක්‍රීඩකයා යි.

ඔහුට පෙර ජස්ට් ෆොන්ටේන් 1958 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී එම දස්කම දක්වා තිබුණා. එසේ රන් සපත්තුව එම්බාපේට හිමි වෙද්දී, රිදී සපත්තුව ආජන්ටිනාවේ ලියොනල් මෙසීට ද, ලෝකඩ සපත්තුව ප්‍රංශයේ ඔලීවියර් ජීරුට ද හිමි වුණා.

රන් සපත්තුව දිනා ගත් එම්බාපේ – gettyimages.com

හොඳ ම දැල් රකින්නා ආජන්ටිනාවේ එමිලියානෝ මාටිනෙස්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම දැල් රකින්නාට හිමි වන සම්මානය රන් අත්වැසුම් (Golden Gloves) ලෙසින් හැඳින්වෙනවා. එම සම්මානය පිරිනැමීම ආරම්භ වුණේ 1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිට යි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ආජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනෙස් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා එම සම්මානය ඔහුට හිමි වුණා. එය ආජන්ටිනා දැල් රකින්නෙක් මෙම සම්මානය දිනා ගත් මුල් ම අවස්ථාව වීම විශේෂත්වයක්.

එමිලියානෝ මාටිනෙස් දිනා ගත් සම්මානය සමඟ – gettyimages.com

හොඳ ම තරුණ ක්‍රීඩකයා ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී හොඳ ම තරුණ ක්‍රීඩකයා සම්මානය ලබා දීම ආරම්භ වුණේ 2006 වසරේ සිට යි. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී එම සම්මානයට නම් වුණේ ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස්. මැද පෙළ ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙස තරගාවලිය පුරාවට ඔහු දැක්වූ දස්කම් එම සම්මානය හිමිවීමට හේතු වුණා.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු මෙක්සිකෝවට එරෙහි ව විශිෂ්ට ගෝලයක් ලබා ගත්තා. මෙම සම්මානය මීට පෙර කිසිදු ආජන්ටිනා ක්‍රීඩකයෙක් දිනා ගෙන තිබුණේ නෑ.

එන්සෝ ෆර්නැන්ඩස් දිනා ගත් සම්මානය සමඟ – gettyimages.com

විනයගරුක ම කණ්ඩායම එංගලන්තය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී හොඳ ම විනයගරුක කණ්ඩායම තේරීම සිදු වන්නේ 1970 වසරේ සිට යි. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විනයගරුක ම කණ්ඩායම බවට පත් වුණේ එංගලන්තය යි.

එම සම්මානය ඔවුන්ට ලැබුණේ තරග 5කදී කහ කාඩ්පත් 1ක් පමණක් හිමි වුණු නිසා යි. එංගලන්තය මීට පෙර 1990 සහ 1998 තරගාවලිවල දී මෙම සම්මානය දිනා ගෙන තිබෙනවා.

එංගලන්ත පාපන්දු කණ්ඩායම – gettyimages.com

ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 42ක්

2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක ත්‍යාග මුදලක් හිමි වුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 15.5කට ආසන්න වටිනාකමක්. තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ප්‍රංශ කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 30ක ත්‍යාග මුදලක් හිමි වුණා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 11කට මදක් වැඩි අගයක්. තරගාවලියේ මුළු ත්‍යාග මුදල් සඳහා වැය වුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 440ක්. එය ශ්‍රී ලංකා මුදලින් බිලියන 162කට වැඩි අගයක්. ඒ අනුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ ජයග්‍රාහකයන්ට වැඩිම ත්‍යාග මුදලක් ලබා දුන් තරගාවලිය ලෙස ද මෙය ඉතිහාසගත වුණා.

කවරයේ ඡායාරූපය- පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආජන්ටිනා කණ්ඩායම - gettyimages.com
මූලාශ්‍ර:
fifa.com
goal.com
eurosport.com
augustman.com

Related Articles