Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉක්වදෝර්-කටාර් තරගයෙන් ඇරැඹි පාපන්දු ලෝක කුසලාන වගතුග

ලොව අසිරිමත් ම ක්‍රීඩා සැණකෙළි අතුරින් එකක් වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ දී ඊයේ දිනයේ ආරම්භ වුණා. මෙවර 22 වන වරට පැවැත්වෙන තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණේ සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය යි. එම තරගයෙන් ගෝල 2-0ක පහසු ජයක් හිමි වුණේ ඉක්වදෝර කණ්ඩායමට යි.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් – gettyimages.com

ඒ අනුව වසර 92ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ සමාරම්භක තරගයක් පරාජයට පත් වුණු මුල් ම සත්කාරක රට ලෙසින් කටාර් රාජ්‍යය වාර්තා අතරට එකතු වුණා. එසේ ම සමාරම්භක තරගයේ දී සත්කාරක රටට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වුණේ 1970 තරගාවලියෙන් පසුව වීම විශේෂත්වයක්. 1970 තරගාවලියේ දී මෙක්සිකෝව සහ සෝවියට් රුසියාව අතර පැවති සමාරම්භක තරගයේ දී දෙපිලට ම ගෝල ලබාගැනීමට හැකි වුණේ නැහැ.

ඉක්වදෝර්-කටාර් සමාරම්භක පාපන්දු තරගයේ තොරතුරු

2022 පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරමින් ඉක්වදෝරය සහ කටාර් කණ්ඩායම් තරග වැදුණේ අල් කෝර් හි, අල් බයිට් ක්‍රීඩාංගණයේ දී යි. 68,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවති එම තරගයේ පාලනය ආරම්භයේ සිට ම පැවතුණේ ඉක්වදෝර් ක්‍රීඩකයන් සතු ව යි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉක්වදෝර් නායක ඉනර් වැලෙන්සියා තරගයේ තෙවන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. එම අවස්ථාවේ දී VAR ක්‍රමය යොදාගෙන එය නිත්‍යනුකූල ගෝලයක් ද යන වග පරීක්ෂා කළා. එහි දී මයිකල් එස්ට්‍රාඩා නම් ඉක්වදෝර් ක්‍රීඩකයා අනිසි ස්ථානයක සිටින ආකාරය දක්නට ලැබුණු නිසා තරග විනිසුරුවරයා එම ගෝලය නිත්‍යනුකූල එකක් වශයෙන් පිළිගත්තේ නැහැ.

කටාර්-ඉක්වදෝර් තරගයේ අවස්ථාවක් – gettyimages.com

එයින් නොසැලුණු ඉනර් වැලෙන්සියා 15 වන විනාඩියේ දී කටාර් ගෝල සීමාව ආක්‍රමණය කළා. එම අවස්ථාවේ කටාර් දැල් රකින්නා වුණු සාඩ් අල් ෂීබ් දඬුවම් කලාපය තුළ දී වැලෙන්සියාට අනිසි බලපෑමක් සිදු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉක්වදෝරයට දඬුවම් පහරක් හිමි වුණා. ඒ මොහොතේ දඬුවම් පහර සාර්ථක කර ගත් වැලෙන්සියා ඉක්වදෝරය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

එම ගෝලය ලබා ගැනීමෙන් පසුව උද්දාමයට පත් වුණු ඉක්වදෝර් ක්‍රීඩකයන් සිය උපරිම ශක්තිය යොදමින් ක්‍රීඩා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ 31 වන විනාඩියේ දී ඇන්ජෙලෝ ප්‍රිසියාඩෝ යොමු කළ පන්දුවට හිසින් පහර දී ගෝලයක් ලබා ගැනීමට වැලෙන්සියාට හැකි වුණා.

ගෝල 2ක් වාර්තා කළ ඉනර් වැලෙන්සියා – gettyimages.com

එනර් වැලෙන්සියා ලබා ගත් එම ගෝල 2 නිසා තරගයේ පළමු අර්ධය අවසන් වෙද්දී ඉක්වදෝරය ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසු වුණා. ඉන් පසුව ආරම්භ වුණු තරගයේ දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙක ම කරට කර සටනක නිරත වුණා. ගෝල ලබා ගැනීමට තිබුණු අවස්ථා කිහිපයක් දෙපිලට ම ගිලිහී ගියා.

ඒ අනුව තරගයේ දෙවන භාගයේ දී කණ්ඩායම් දෙක ම ගෝල ලබා නො ගත් නිසා ගෝල 2-0ක් ලෙසින් තරගයේ ජයග්‍රහණය හිමි වුණේ ඉක්වදෝර් කණ්ඩායමට යි. එය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් ලබා ගත් 5 වන ජයග්‍රහණය බවට පත් වුණා.

ඉක්වදෝර් ක්‍රීඩකයන් ජයග්‍රහණයේ සතුට සමරමින් – gettyimages.com

පාපන්දු ලෝක කුසලානයේ ඉදිරි සතියේ තරග කාල සටහන

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරග රැසක් ඉදිරි සතියේ දී ක්‍රියාත්මක වෙනවා. මේ එම තරග පැවැත්වෙන දින සහ වේලා පිළිබඳ විස්තර යි. එම තරග ආරම්භ වන ශ්‍රී ලංකාව වේලාව මෙහි දක්වා තිබෙනවා.

නොවැම්බර් 21 වැනි දා – සඳුදා
1). එංගලන්තය සහ ඉරානය- සවස 6.30
2). නෙදර්ලන්තය සහ සෙනගාලය- රාත්‍රී 9.30

නොවැම්බර් 22 වැනි දා – අඟහරුවාදා
1). අමෙරිකාව සහ වේල්ස්- මධ්‍යම රාත්‍රී 12.30
2). ආජන්ටිනාව සහ සෞදි අරාබිය- සවස 3.30
3). ඩෙන්මාර්කය සහ ටියුනීසියාව- සවස 6.30
4). මෙක්සිකෝව සහ පෝලන්තය- රාත්‍රී 9.30

නොවැම්බර් 23 වැනි දා – බදාදා
1). ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව- මධ්‍යම රාත්‍රී 12.30
2). ක්‍රොයේෂියාව සහ මොරොක්කෝව- සවස 3.30
3). ජර්මනිය සහ ජපානය- සවස 6.30
4). ස්පාඤ්ඤය සහ කොස්ටරිකා- රාත්‍රී 9.30

නොවැම්බර් 24 වැනි දා – බ්‍රහස්පතින්දා
1). බෙල්ජියම සහ කැනඩාව- මධ්‍යම රාත්‍රී 12.30
2). ස්විට්සර්ලන්තය සහ කැමරූන්- සවස 3.30
3). උරුගුවේ සහ දකුණු කොරියාව- සවස 6.30
4). පෘතුගාලය සහ ඝානාව- රාත්‍රී 9.30

නොවැම්බර් 25 වැනි දා – සිකුරාදා
1). බ්‍රසීලය සහ සර්බියාව- මධ්‍යම රාත්‍රී 12.30
2). වේල්ස් සහ ඉරානය- සවස 3.30
3). කටාර් සහ සෙනගාලය- සවස 6.30
4). නෙදර්ලන්තය සහ ඉක්වදෝරය- රාත්‍රී 9.30

නොවැම්බර් 26 වැනි දා – සෙනසුරාදා
1). එංගලන්තය සහ අමෙරිකාව- මධ්‍යම රාත්‍රී 12.30
2). ටියුනීසියාව සහ ඕස්ට්‍රේලියාව- සවස 3.30
3). පෝලන්තය සහ සෞදි අරාබිය- සවස 6.30
4). ප්‍රංශය සහ ඩෙන්මාර්කය- රාත්‍රී 9.30

නොවැම්බර් 27 වැනි දා – ඉරිදා
1). ආජන්ටිනාව සහ මෙක්සිකෝව- මධ්‍යම රාත්‍රී 12.30
2). ජපානය සහ කොස්ටරිකා- සවස 3.30
3). බෙල්ජියම සහ මොරොක්කෝව- සවස 6.30
4). ක්‍රොයේෂියාව සහ කැනඩාව- රාත්‍රී 9.30

පාපන්දු ලෝක කුසලානය – gettyimages.com

එංගලන්තය හමුවේ ඕස්ට්‍රේලියාවට එක්දින තරගාවලි ජයග්‍රහණයක්

තරග තුනකින් සමන්විත ඕස්ට්‍රේලියා-එංගලන්ත එක්දින තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ පළමු තරග දෙක ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයක් ඉතිරි ව තිබිය දී තරගාවලිය ජය ගැනීමට සමත් වුණා. එසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මව්බිමේ දී එංගලන්තය හමුවේ එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ 2015 වසරෙන් පසුව යි. මේ ඕස්ට්‍රේලියාව ජය ගත් එම එක්දින තරග දෙකේ තොරතුරු යි.

ඕස්ට්‍රේලියා-එංගලන්ත එක්දින පළමු තරගය

ඇඩිලේඩ් ඕවල් පිටියේ පැවති මෙම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ එංගලන්ත කණ්ඩායම යි. එහි දී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සිදු කළ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත මුල් කඩුලු 4 ලකුණු 66ක් තුළ බිඳ වැටුණා. ඒ මොහොතේ ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදුන් ඩේවිඩ් මලාන් අනිත් අන්තයේ කඩුලු බිඳ වැටෙද්දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 128කින් ලකුණු 134ක් ලබා ගත්තා.

මලාන්ගේ පිත්තෙන් වාර්තා වුණු එම සුපිරි ඉනිම නිසා නියමිත පන්දු වාර 50 අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට එංගලන්තයට හැකි වුණා. එහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ඇඩම් සැම්පා සහ පැට් කමින්ස් කඩුලු 3 බැගින් බිඳ දැමුවා.

ඩේවිඩ් මලාන් ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

ලකුණු 288ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් පන්දු 118කින් ලකුණු 147ක වේගවත් ආරම්භක සබඳතාවක් ගොඩ නැඟුවා. ඔවුන් දෙදෙනා ලබා දුන් එම සාර්ථක ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය සෙසු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දු වාර 46.5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී තිබිය දී සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් වුණා.

එහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වුණු වෝනර් ලකුණු 86ක් ලබා ගනිද්දී ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 80ක් රැස් කළා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

එංගලන්තය- 287/9 (50), (මලාන්- 134, විලී- 34*, බට්ලර්- 29, සැම්පා- 55/3, කමින්ස්- 62/3)
ඕස්ට්‍රේලියාව- 291/4 (46.5), (වෝනර්- 86, ස්මිත්- 80*, හෙඩ්- 69, විලී- 51/2, ජෝර්ඩන්- 49/1)
ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්
තරගයේ වීරයා- ඩේවිඩ් මලාන්

ඕස්ට්‍රේලියා-එංගලන්ත එක්දින දෙවන තරගය

සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැත්වුණු තරගාවලියේ දෙවන තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් පහර දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එහි දී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ ලකුණු 43ක් සටහන් වෙද්දී ආරම්භක පිතිකරු යුගළය ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් පසුව පිටියේ එක් වුණු ස්ටීව් ස්මිත් සහ මානස් ලබුෂේන් ලකුණු 101ක සබඳතාවක් ගොඩ නඟමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 144/2 දක්වා ඔසවා තැබුවා. ඒ මොහොතේ ලකුණු 58ක් ලබා සිටි ලබුෂේන් දැවී ගිය ද ඉන් නොසැලුණු ස්මිත් අගනා ලකුණු 94ක් ලබා ගත්තා. ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු එම ලකුණු 94 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 280ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුණා.

දක්ෂ ලෙස පන්දුවට පහර දුන් ස්ටීව් ස්මිත් – gettyimages.com

ඉන් පසුව ජයග්‍රහණය සඳහා ලකුණු 281ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු තුන ම ලකුණු 34ක් තුළ බිඳ වැටුණා. එහි දී මිචෙල් ස්ටාක් ඉනිමේ පළමු පන්දු වාරයේ දී ම කඩුලු 2ක් දවා ගත්තා. ඉනිම ආරම්භයේ සිදු වුණු එම බිඳ වැටීමෙන් පසුව ඉවසීමෙන් පන්දුවට පහර දුන් සෑම් බිලින්ග්ස් සහ ජේම්ස් වින්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 136කින් ලකුණු 122ක සබඳතාවක් ගොඩනැඟුවා.

එංගලන්ත ඉනිම ස්ථාවර තත්ත්වයක පැවති එම අවස්ථාවේ දී ලකුණු 60ක් ලබා සිටි වින්ස් දැවී ගියා. ඉන් පසු ව එංගලන්ත කඩුලු එක පිට එක බිඳ වැටුණු නිසා ඔවුන්ට පන්දු වාර 38.5ක දී සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 208ක් පමණ යි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මිචෙල් ස්ටාක් සහ ඇඩම් සැම්පා කඩුලු 4 බැගින් බිඳ දැමුවා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පන්දුවෙන් දස්කම් දැක්වූ මිචෙල් ස්ටාක් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියාව- 280/8 (50), (ස්මිත්- 94, ලබුෂේන්- 58, මාෂ්- 50, රෂීඩ්- 57/3, වෝක්ස්- 42/2, විලී- 44/2)
එංගලන්තය- 208/10 (38.5), (බිලින්ග්ස්- 71, වින්ස්- 60, සෝල්ට්- 23, සැම්පා- 45/4, ස්ටාක්- 47/4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 72ක ජයක්
තරගයේ වීරයා- මිචෙල් ස්ටාක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු 4කට IPL කණ්ඩායම්වල තවදුරටත් ඉඩකඩ

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ කෝචි හි දී එළඹෙන දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත යි. එනිසා IPL කණ්ඩායම්වල තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් සහ කණ්ඩායමෙන් නිදහස් කරන ක්‍රීඩකයන් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කළා.

එහි දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිඳු හසරංග, පංජාබ් කිංග්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගැනීමට ඒ ඒ කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කළා.

එම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිව් දෙනා තවදුරටත් IPL කණ්ඩායම්වල රඳවා ගනිද්දී ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් චාමික කරුණාරත්න ද නිදහස් කිරීමට එම කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කළා.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග – sportslumo.com

කවරයේ ඡායාරූපය- ගෝලයක් ලබා ගැනීමේ සතුට සමරන ඉක්වදෝර ක්‍රීඩකයෝ - gettyimages.com
මූලාශ්‍ර:
fifa.com
goal.com
espncricinfo.com
howstat.com
iplt20.com

Related Articles