Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු දශක 5ක දී ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ පිය-පුතු යුගළ 5ක්

ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ෆ්රෑන්ක් වොරල් කුසලානය වෙනුවෙන් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පසුගිය මාසයේ දී පැවැත්වුණා. එම තරගාවලියේ දී ටැගනරීන් චන්ද්‍රපෝල් නම් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයාට ටෙස්ට් වරම් හිමි වුණා.

එහි දී ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා ඉනිම් 4කදී ලකුණු 160ක් ලබා දස්කම් දැක්වීමට සමත් වුණා. එය ප්‍රබල පන්දු යැවීමේ බළඇණියක් සිටින ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකට එරෙහි ව ආධුනික පිතිකරුවෙක් දැක්වූ ඉහළ දස්කමක් ලෙසින් සලකන්නට පුළුවන්.

ටැගනරීන් චන්ද්‍රපෝල් – gettyimages.com

ටැගනරීන්ගේ පියා වන ශිව්නරීන් චන්ද්‍රපෝල් 1994-2015 යුගයේ ජාත්‍යන්තර තරග 454ක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා. එහි දී ඔහු ශතක 41ක් සහ අර්ධ ශතක 125ක් සමඟ ලකුණු 20988ක් ලබා ගනිමින් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා.

ගෙවුණු දශක 5ක කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එසේ දස්කම් දැක්වූ පිය පුතු යුගළ රැසක් අපට හමු වෙනවා. ඒ අතුරින් පිය-පුතු යුගළ 5ක් පිළිබඳ තොරතුරු යි මේ.

ශිව්නරීන් චන්ද්‍රපෝල් (gettyimages.com)

1) වෝල්ටර් හැඩ්ලි සහ රිචඩ් හැඩ්ලි (නවසීලන්තය)

වෝල්ටර් හැඩ්ලි නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ මුල් යුගයේ සිටි දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු 1937-1951 යුගයේ ටෙස්ට් තරග 11ක දී නවසීලන්තය නියෝජනය කරමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 543ක් ලබා ගත්තා.

එහි දී එංගලන්තය හමුවේ ඔහු ලබා ගත් ලකුණු 116 ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණා. එසේ පිත්තෙන් දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා ටෙස්ට් තරග 8ක දී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීම විශේෂ සිදුවීමක් වුණා.

වෝල්ටර් හැඩ්ලි – gettyimages.com

වෝල්ටර් හැඩ්ලිගේ පුතුන් තිදෙනා වන ඩේල් හැඩ්ලි , රිචඩ් හැඩ්ලි සහ බැරී හැඩ්ලි 1970 දශකයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. 1975 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති එංගලන්ත-නවසීලන්ත තරගයේ දී ඩේල්, රිචඩ් සහ බැරී යන සොයුරන් තිදෙනා ම නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළා.

එය එක්දින ලෝක කුසලාන තරගයකට එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් ක්‍රීඩා කළ මුල් ම සහ එක ම අවස්ථාව යි. ඒ අයුරින් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ හැඩ්ලි සහෝදරයන් අතුරින් ලෝක පූජිත ක්‍රීඩකයෙක් බවට පත් වුණේ රිචඩ් හැඩ්ලි යි.

හැඩ්ලි සොයුරන් තිදෙනා 1975 ලෝක කුසලානය අතරතුර – gettyimages.com

සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය තුළ දී ටෙස්ට් තරග 86කට සහභාගි වුණු රිචඩ් හැඩ්ලි කඩුලු 431ක් බිඳ දමමින් එක්තරා යුගයක ලොව වැඩි ම ටෙස්ට් කඩුලු ලාභියා ලෙසින් වැජඹුණා. එසේ පන්දුවෙන් දස්කම් පෑ රිචඩ් 36 වතාවක් ඉනිමක කඩුලු 5 බැගින් සහ 9 වතාවක් තරගයක කඩුලු 10 බැගින් දවා ගත්තා.

එහි දී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුණේ 1985 දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 52කට දවා ගත් කඩුලු 9යි. පන්දුවට අමතර ව පිත්තෙන් ද දස්කම් දැක්වූ රිචඩ් ශතක 2ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3124ක් රැස් කළා. එක්දින තරගවල දීත් සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ මෙම සුපිරි ක්‍රීඩකයා තරග 115කට ක්‍රීඩා කර පන්දුවෙන් කඩුලු 158ක් බිඳ දමමින් පිත්තෙන් ලකුණු 1751ක් රැස් කළා.

රිචඩ් හැඩ්ලි – gettyimages.com

2). ලාලා අමර්නාත් සහ මොහින්දර් අමර්නාත් (ඉන්දියාව)

ලාලා අමර්නාත් නම් ක්‍රීඩකයා 1933-1952 යුගයේ ඉන්දියාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 24කට සහභාගි වුණා. එම තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණු ලාලා ඉන්දියාව වෙනුවෙන් මුල් ම ටෙස්ට් ශතකය ලබා ගත් පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. ඒ 1933 දී එංගලන්තයට එරෙහි ව ක්‍රීඩා කළ සිය මංගල ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු 118ක් ලබා ගනිමින්.

සිය ටෙස්ට් තරග දිවියේ දී අර්ධ ශතක 4ක් සහ ශතකයක් සමඟින් පිත්තෙන් ලකුණු 878ක් ලබා ගත් ලාලා පන්දුවෙන් කඩුලු 45ක් බිඳ දැමුවා. එසේ ම ටෙස්ට් තරග 15කදී ඉන්දිය කණ්ඩායම මෙහෙයවූ ඔහු එරට ක්‍රිකට් ඉතිහාසයේ මුල් ම ටෙස්ට් තරග සහ තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීම සඳහා නායකත්වය ලබා දුන්නා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව 1952 දී යි.

ලාලා අමර්නාත් – gettyimages.com

ලාලා අමර්නාත්ගේ පුතුන් දෙදෙනෙක් වන මොහින්දර් අමර්නාත් සහ සුරින්දර් අමර්නාත් 1970 දශකයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඒ අතුරින් වැඩි දස්කම් දැක්වූයේ මොහින්දර් අමර්නාත් නම් ක්‍රීඩකයා යි. ඔහු 1969-1988 යුගය තුළ ජාත්‍යන්තර තරග 154කදී ඉන්දියාව නියෝජනය කරමින් ශතක 13ක් සහ අර්ධ ශතක 37ක් සමඟින් ලකුණු 6302ක් රැස් කළා.

පන්දුවෙන් ද දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා කඩුලු 78ක් බිඳ දැමුවා. 1983 එක්දින ලෝක කුසලානය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණු මොහින්දර් එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූවා. එහි දී ඔහු එංගලන්තයට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පැවති අවසන් තරගයේ දී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් නිසා.

මොහින්දර් අමර්නාත් 1983 ලෝක කුසලාන අවසන් තරගයේ දී – gettyimages.com

3.) ජෙෆ් මාෂ් සහ මිචෙල් මාෂ් (ඕස්ට්‍රේලියාව)

1980 දශකයේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවන් කිහිපදෙනා අතරට ජෙෆ් මාෂ් ද අයත්. 1985-1992 යුගයේ ජාත්‍යන්තර තරග 167කට සහභාගි වුණු ජෙෆ් අර්ධ ශතක 37ක් සහ ශතක 13ක් සමඟින් ලකුණු 7211ක් ලබා ගත්තා. 1987 එක්දින ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ජෙෆ් එවර තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙක් ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ඒ ඉනිම් 8කදී ශතක 2ක් සමඟින් ලකුණු 428ක් ලබා ගනිමින්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරුවෙක් බවට පත් වුණු ජෙෆ් 1999 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළා. ඔහු ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් මුල් ම පුද්ගලයා ලෙස ඉතිහාසගත වුණා.

ජෙෆ් මාෂ් – gettyimages.com

ජෙෆ් මාෂ්ගේ පුතුන් දෙදෙනා වන ෂෝන් මාෂ් සහ මිචෙල් මාෂ් 2008 වසරෙන් පසු ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඒ අතුරින් මිචෙල් වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. 2011 සිට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමේ රැඳී සිටින මිචෙල් ජාත්‍යන්තර තරග 147ක දී ලකුණු 4160ක් ලබා ගනිමින් කඩුලු 111ක් බිඳ දමමින් කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

2015 එක්දින ලෝක කුසලානය සහ 2021 T20 ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම්වල සාමාජිකයෙක් බවට පත් වීම මිචෙල්ගේ ක්‍රිකට් තරග දිවියේ අමතක නොවන අවස්ථා බවට පත් වුණා. එහි දී 2021 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී නවසීලන්තයට එරෙහි ව නොදැවී ලකුණු 77ක් ලබා ගත් මිචෙල්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. එය ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ සුවිශේෂී ම ඉනිම බවට පත් වුණා.

මිචෙල් මාෂ් 2021 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී – gettyimages.com

4). ක්‍රිස් බ්‍රෝඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)

ක්‍රිස් බ්‍රෝඩ් නම් පිතිකරුවා 1984-1989 යුගය තුළ එංගලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 59 කට සහභාගි වුණා. එහි දී ඔහු ශතක 7ක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 3022ක් ලබා ගත්තා. ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වැඩි ම ලකුණු ප්‍රමාණය වුණු 162 රැස් කළේ ඕස්ට්‍රේලියාවට එරෙහිව යි.

1987 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීම ක්‍රිස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන අවස්ථාවක් වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව ක්‍රිකට් තරග තීරකවරයෙක් බවට පත් වුණු ක්‍රිස් අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 586ක තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ක්‍රිස් බ්‍රෝඩ් – gettyimages.com

ක්‍රිස් බ්‍රෝඩ්ගේ පුත් ස්ටුවර්ට් බ්‍රෝඩ් 2006 සිට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරනවා. එම වසර 16ක කාලයේ ජාත්‍යන්තර තරග 336කට සහභාගි වුණු ස්ටුවර්ට් පන්දුවෙන් කඩුලු 809ක් බිඳ දමමින් පිත්තෙන් ලකුණු 4197ක් ලබා ගැනීමට සමත් වුණා. සිය ටෙස්ට් තරග දිවියේ දී කඩුලු 566ක් බිඳ දැමූ මෙම දක්ෂ පන්දු යවන්නා ලොව වැඩි ම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් පස් දෙනා අතර රැඳී සිටිනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් 2010 T20 ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙක් ද වුණා. 2011-2014 යුගයේ T20 තරග 27ක් සහ එක්දින තරග 3ක් සඳහා එංගලන්ත කණ්ඩායමට නායකත්වය දුන් මොහු එයින් තරග 13ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

ස්ටුවර්ට් බ්‍රෝඩ් – gettyimages.com

5). හනීෆ් මොහොමඩ් සහ ෂොයිබ් මොහොමඩ් (පාකිස්තානය)

පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ බිහි වුණු දක්ෂතම පිතිකරුවෙක් ලෙස සැලකෙන හනීෆ් මොහොමඩ් 1952- 1969 යුගයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියා. එම කාලයේ දී ටෙස්ට් තරග 55කට සහභාගි වුණු හනීෆ් ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3915ක් රැස් කළා.

එහි දී ඔහු වාර්තා කළ ඉහළ ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණේ 1958 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා ගත් අගනා ලකුණු 337 යි. මිනිත්තු 970ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් ක්‍රීඩා කළ එම ඉනිම ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝත ම ඉනිම යි. එය පාකිස්තාන පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස තවමත් වාර්තා අතර රැඳී පවතිනවා.

හනීෆ් මොහොමඩ් පන්දුවට පහරදෙමින් – gettyimages.com

හනීෆ් මොහොමඩ්ගේ පුත් ෂොයිබ් මොහොමඩ් 1983-1995 යුගයේ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළා. එම කාලය තුළ ජාත්‍යන්තර තරග 108කට සහභාගි වුණු ෂොයිබ් ශතක 8ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3974ක් ලබා ගත්තා.

එහි දී ඔහු ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් 2කදී නොදැවී ලකුණු 203 බැගින් රැස් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඇතැම් අවස්ථාවල පිත්තට අමතර ව පන්දුවෙන් ද දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේ දී කඩුලු 25ක් බිඳ දැමුවා.

ෂොයිබ් මොහොමඩ් – gettyimages.com

කවරයේ ඡායාරූපය- රිචඩ් හැඩ්ලි සහ වෝල්ටර් හැඩ්ලි - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricbuzz.com
wisden.com

Related Articles