Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොරොක්කෝ ජයෙන් උණුසුම් වුණු පාපන්දු ලෝක කුසලාන තරග බිම

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ම පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා වුණා. සෞදි අරාබිය හමුවේ ආජන්ටිනාව පරාජය වීම, ජපානය හමුවේ ජර්මනිය සහ ස්පාඤ්ඤය පරාජය වීම, කැමරූන් හමුවේ බ්‍රසීලයත්, ටියුනීසියාව හමුවේ ප්‍රංශයත් පරාජය වීම ඒ සඳහා හොඳ ම උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්.

අප්‍රිකානු කණ්ඩායමක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් මුල් ම අවස්ථාව

එලෙස පෙරළිකාර ජයග්‍රහණ වාර්තා වන අතරතුර එක්තරා අප්‍රිකානු කණ්ඩායමක් දිගින් දිගට ම සුපිරි දස්කම් දක්වමින් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් ව සිටිනවා.

ඒ උතුරු අප්‍රිකාවෙන් පාපන්දු ලෝක කුසලාන තරග බිමට පිවිසි මොරොක්කෝ කණ්ඩායම යි. මූලික තරග වටයේ දී බෙල්ජියම, ක්‍රොයේෂියාව වැනි ප්‍රබල කණ්ඩායම් අභිබවා යමින් සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් මොරොක්කෝව කණ්ඩායම් 16 තරග වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම පරාජය කළා.

ඉන් නොනැවතුණු මොරොක්කෝ ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ප්‍රබල පෘතුගාල කණ්ඩායම හමුවේ ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එය අප්‍රිකානු කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් මුල්ම අවස්ථාව යි.

2022 පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාරයන් වුණු මොරොක්කෝ කණ්ඩායම – gettyimages.com

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තොරතුරු

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සතියේ දී පැවැත්වුණා. එහි දී ජයග්‍රහණ වාර්තා කළ ක්‍රොයේෂියාව, ආජන්ටිනාව, මොරොක්කෝව සහ ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. මේ එසේ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ තොරතුරු යි.

බ්‍රසීලය සහ ක්‍රොයේෂියාව (දඬුවම් පහර 4-2ක් ලෙස ජය ක්‍රොයේෂියාවට)

ලෝක පාපන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයේ පසු වන බ්‍රසීලය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ නියමිත කාලය තුළ දෙපිලට ම ගෝල වාර්තා කිරීමට හැකි වුණේ නැහැ. එනිසා තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියා. එහි දී සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් බ්‍රසීල ඉදිරි පෙළ ක්‍රීඩක නෙයිමාර් ද සිල්වා තරගයේ 106 වන විනාඩියේ දී සුපිරි ගෝලයක් වාර්තා කළා.

ඉන් අනතුරු ව ක්‍රොයේෂියා ක්‍රීඩකයන් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රොයේෂියා ක්‍රීඩක බෘනෝ පෙට්කොවික් තරගයේ 117 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්ත්වය සම කළා. ඉන් පසු දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තෝරා ගත් අවස්ථාවේ දඬුවම් පහර 4-2ක ජයක් හිමි වුණේ ක්‍රොයේෂියාවට යි. එහි දී ක්‍රොයේෂියා දැල් රකින්නා වන ඩොමිනික් ලිවකොවික්ගේ දස්කම් කැපී පෙනුණා. එය ක්‍රොයේෂියා කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලාන තරගයක දී බ්‍රසීලය හමුවේ ලබා ගත් මුල් ම ජයග්‍රහණ ලෙස ඉතිහාසගත වුණා.

ක්‍රොයේෂියාව බ්‍රසීලය හෙ පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව -gettyimages.com

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය (දඬුවම් පහර 4-3ක් ලෙස ජය ආජන්ටිනාවට)

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබල ප්‍රතිවාදීන් යුගළයක් වන ආජන්ටිනාව සහ නෙදර්ලන්තය දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී උරෙනුර ගැටුණා. එම තරගයේ 35 වන විනාඩියේ දී ආජන්ටිනා නායක ලියොනල් මෙසී උපක්‍රමශීලී ලෙස දඬුවම් කලාපය වෙත යොමු කළ පන්දුව නෙදර්ලන්ත දැල වෙත යොමු කළ ආරක්ෂක පෙළ ක්‍රීඩක නවෙල් මොලීනා ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. එනිසා තරගයේ පළමු භාගය අවසන් වෙද්දී ආජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසු වුණා.

මොලීනා ගෝලය ලබා ගත් මොහොත -gettyimages.com

ඉන් පසුව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ 71 වන විනාඩියේ දී නෙදර්ලන්ත ආරක්ෂක පෙළ ක්‍රීඩක ඩෙන්සෙල් ඩම්ප්‍රිස් දඬුවම් කලාපය තුළ දී ආජන්ටිනා ක්‍රීඩක මාකෝස් අකුනාට අනිසි බලපෑමක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුණා. ආජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී එම දඬුවම් පහර සාර්ථක කර ගත්තා.

ඉන් පසුව තරගයේ 78 වන විනාඩියේ දී ආදේශක ක්‍රීඩකයෙකa ලෙස පැමිණි වවුට් වෙග්හෝස්ට් පිළිවෙළින් 83 සහ 101 යන විනාඩිවල දී ගෝල වාර්තා කළා. එනිසා දෙපිලේ ගෝල සම වීම හේතුවෙන් අතිරේක කාලයක් ලබා දුන්නා. එම කාලය තුළ ගෝල වාර්තා නොවුණු නිසා දඬුවම් පහර මඟින් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගත්තා. එහි දී දඬුවම් පහර 4-3ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ ආජන්ටිනා කණ්ඩායම යි.

මොරොක්කෝව සහ පෘතුගාලය (ගෝල 1-0ක ජයක් මොරොක්කෝවට)

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ 42 වන විනාඩියේ දී පෘතුගාල දැල් රකින්නා සහ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් සිදු කළ අත් වැරැද්දක් නිසා මොරොක්කෝ ඉදිරි පෙළ ක්‍රීඩක යූසෙෆ් නසෙරි ගෝලයක් වාර්තා කළා. එනිසා තරගයේ පළමු භාගය අවසන් වෙද්දී මොරොක්කෝව ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසු වුණා.

නසෙරි ජයග්‍රාහී ගෝලය ලබා ගත් අවස්ථාව -gettyimages.com

තරගයේ දෙවන භාගයේ දී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු පෘතුගාල ක්‍රීඩකයන් අවස්ථා කිහිපයක දී ම මොරොක්කෝ දැල ආක්‍රමණය කළා. මොරොක්කෝ දැල් රකින්නාගේ සහ ආරක්ෂක පෙළ ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා ඒ කිසිදු අවස්ථාවක ගෝලයක් වාර්තා වුණේ නැහැ. එනිසා ගෝල 1-0ක ජයක් හිමි කර ගත් මොරොක්කෝව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එය අප්‍රිකානු රටක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි මුල් ම අවස්ථාව බවට පත් වුණා.

ප්‍රංශය සහ එංගලන්තය (ගෝල 2-1ක ජයක් ප්‍රංශයට)

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග අතුරින් කාගේත් අවධානය යොමු ව තිබුණේ මෙම තරගය දෙසට යි. මෙම තරගය ආරම්භ වුණු මොහොතේ සිට ප්‍රංශ ක්‍රීඩකයන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රංශ මැද පෙළ ක්‍රීඩක ඔරෙලියන් ටුවෙමිනි තරගයේ 17 වන විනාඩියේ දී ගෝලයක් වාර්තා කළා. එනිසා තරගයේ පළමු භාගය අවසන් වෙද්දී ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසු වුණා.

ඉන් පසුව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ 52 වන විනාඩියේ දී ප්‍රංශ ක්‍රීඩක ඔරෙලියන් ටුවෙමිනි දඬුවම් කලාපය තුළ දී එංගලන්ත ක්‍රීඩක බුකායෝ සාකාට අනිසි බලපෑමක් කළා. එනිසා එංගලන්තයට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් එංගලන්ත නායක හැරී කේන් තරගයේ ලකුණු තත්ත්වය සම කළා. තරගයේ 78 වන විනාඩියේ දී ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩක ඔලිවියර් ජිරූ වාර්තා කළ ගෝලය නිසා ප්‍රංශය නැවතත් තරගයේ පෙරමුණ ගත්තා.

ජිරූ ජයග්‍රාහී ගෝලය ලබාගැනීමෙන් අනතුරුව -gettyimages.com

ඊට විනාඩි 3කට පසු ව එංගලන්ත ක්‍රීඩක මේසන් මවුන්ට්ට දඬුවම් කලාපය තුළ දී සිදු වුණු අනිසි බලපෑමක් නිසා එංගලන්තයට දඬුවම් පහරක් යළි හිමි වුණා. එය සාර්ථක කර ගැනීමට හැරී කේන්ට නොහැකි වුණු නිසා තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමි වුණේ ප්‍රංශයට යි.

එය පාපන්දු ලෝක කුසලාන තරගයක දී එංගලන්තය හමුවේ ප්‍රංශය ලබා ගත් මුල් ම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් වුණා.

පෘතුගාල තරගය ජයගැනීමේ සතුට සමරන මොරොක්කෝ රසිකයෝ – gettyimages.com

කැන්ඩි ෆැල්කන්ස් LPL සටනේ පෙරමුණට

2022 LPL තරගාවලිය පසුගිය අඟහරුවාදා (6) ආරම්භ වුණා. එම තරගාවලියේ තරග 8ක් ගෙවුණු සතියේ නිමාවට පත් වුණා. එහි දී තමන් සහභාගි වුණු තරග 3 ම ජයග්‍රහණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙනවා. ඒ අතුරින් කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහි ව පැවති තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එය LPL තරගාවලි ඉතිහාසය තුළ වාර්තා වුණු මුල්ම කඩුලු ත්‍රිත්වය බවට පත් වුණා.

වනිඳු හසරංග කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වය ලබා ගත් අවස්ථාව – thepapare.com

එලෙස දස්කම් අතර සිටින කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කරට කර සටනක් ලබා දෙමින් සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග 4කින් ජයග්‍රහණ 3ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. තරග 3කට සහභාගි වී ජයග්‍රහණය බැගින් ලබා සිටින ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථානවල පසු වෙද්දී තරග 3කට සහභාගි වී කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොකළ දඹුල්ල ඕරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වෙනවා. මේ ගෙවුණු සතියේ පැවති LPL තරගවල ප්‍රතිඵල යි.

1). ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්- ජැෆ්නා කිංග්ස්ට ලකුණු 24ක ජයක්
2). කැන්ඩි ෆැල්කන්ස් සහ කළම්බු ස්ටාර්ස්- කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 109ක ජයක්
3). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- ජැෆ්නා කිංග්ස්ට කඩුලු 9ක ජයක්
4). කැන්ඩි ෆැල්කන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්- කැන්ඩි ෆැල්කන්ස්ට කඩුලු 5ක ජයක්
5). කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ඕරා- කළම්බු ස්ටාර්ස්ට ලකුණු 9ක ජයක්
6). කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස්- කැන්ඩි ෆැල්කන්ස්ට කඩුලු 3ක ජයක්
7). ගෝල් ග්ලැඩියේටර්ස් සහ කළම්බු ස්ටාර්ස්- ගෝල් ග්ලැඩියේටර්ස්ට ලකුණු 25ක ජයක්
8). ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ඕරා- ජැෆ්නා කිංග්ස්ට ලකුණු 51ක ජයක්

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම – gettyimages.com

වසර 7කට පසුව බංග්ලාදේශයට සුපිරි එක්දින තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත බංග්ලාදේශ-ඉන්දියා එක්දින තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ බංග්ලාදේශය යි. එසේ බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාව හමුවේ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 7කට පසුව වීම විශේෂත්වයක්. එහි දී මුල් තරග දෙකේ ජයග්‍රහණය හිමි වුණේ බංග්ලාදේශයට යි. එම පරාජයේ අවමානය යම් තරමකට අකාමකා ගත් ඉන්දියාව අවසන් එක්දින තරගය ලකුණු 227කින් ජයග්‍රහණය කළා. එම තරගයේ දී ඉන්දීය පිතිකරු ඉෂාන් කිශාන් පන්දු 131කින් ලකුණු 210ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ එම තරගවල කෙටි ලකුණු පුවරු යි.

පළමු තරගය
ඉන්දියාව- 186/10 (41.2), (රාහුල්- 73, රෝහිත්- 27, ශකීබ්- 36/5, එබඩොට්- 47/4)
බංග්ලාදේශය- 187/9 (46). (ලිටන්- 41, මෙහිදි- 38*, සිරාජ්- 32/3, සුන්දර්- 17/2)
බංග්ලාදේශයට කඩුලු 1ක ජයක්
තරගයේ වීරයා- මෙහිදි හසන් මිරාස්

දෙවන තරගය
බංග්ලාදේශය- 271/7 (50), (මෙහිදි- 100*, මහමදුල්ලා- 77, සුන්දර්- 37/3, මලික්- 58/2)
ඉන්දියාව- 266/9 (50), (ෂ්‍රෙයාස්- 82, අක්සාර්- 56, රෝහිත්- 51*, එබඩොට්- 45/3, ශකීබ්- 39/2)
බංග්ලාදේශයට ලකුණු 5ක ජයක්
තරගයේ වීරයා- මෙහිදි හසන් මිරාස්

තෙවන තරගය
ඉන්දියාව- 409/8 (50), (කිශාන්- 210, කෝලි- 113, සුන්දර්- 37, ශකීබ්- 68/2)
බංග්ලාදේශය- 182/10 (34), (ශකීබ්- 43, තාකූර්- 30/3, අක්සාර්- 22/2)
ඉන්දියාවට ලකුණු 227ක ජයක්
තරගයේ වීරයා- ඉෂන් කිශාන්
තරගාවලියේ වීරයා- මෙහිදි හසන් මිරාස්

ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායම – gettyimages.com

ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී රන් පදක්කම් 3ක් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව
2022 ආසියානු පාසල් චෙස් තරගාවලිය වස්කඩුව සිට්‍රස් හෝටලයේ දී පසුගිය සතියේ පැවැත්වුණා. ඒ සඳහා රටවල් 13ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුණා. එම තරගාවලියේ දී අවුරුදු 11න් පහළ බාලිකා වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔෂිණි ගුණවර්ධන Classical, Rapid සහ Blitz යන අංශ තුනෙන් ම රන් පදක්කම් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එහි දී ඇය Classical තරග අංශයේ දී තරග 9කින් ලකුණු 8.5ක්, Rapid තරග අංශයේ දී තරග 7කින් ලකුණු 7ක්, Blitz තරග අංශයේ දී තරග 7කින් ලකුණු 7ක් ආදී ලෙස දස්කම් දක්වමින් එම ජයග්‍රහණ වාර්තා කළා.

ඔෂිනි ගුණවර්ධන – facebook.com/Akila Kavinda Chess Academy

ඕස්ට්‍රේලියාවට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

ෆ්රෑන්ක් වොරල් කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතර පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඇඩිලේඩ් ඕවල් පිටියේ දී ඊයේ දිනයේ (11) නිමාව දුටුවා. එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි.

එම තරගාවලිය පුරාවට පිත්තෙන් සුපිරි දස්කම් දක්වමින් ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් ලබා ගත් මානස් ලබුෂේන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මේ එම ටෙස්ට් තරග දෙකේ කෙටි ලකුණු පුවරු යි.

මානස් ලබුෂේන් – gettyimages.com

පළමු ටෙස්ට් තරගය
ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 598/4 (ලබුෂේන්- 204, ස්මිත්- 200, කවාජා- 65, බ්‍රැත්වේට්- 65/2)
කොදෙව් පළමු ඉනිම- 283/10 (බ්‍රැත්වේට්- 64, චන්ද්‍රපෝල්- 51, කමින්ස්- 34/3, ස්ටාක්- 51/3)
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 182/2 (ලබුෂේන්- 104*, වෝනර්- 48, රෝච්- 30/1)
කොදෙව් දෙවන ඉනිම- 333/10, (බ්‍රැත්වේට්- 110, චේස්- 55, ලයන්- 128/6, හෙඩ්- 25/2)
ඕස්ට්‍රේලියාවට ලකුණු 164ක ජයක්
තරගයේ වීරයා- මානස් ලබුෂේන්

දෙවන ටෙස්ට් තරගය
ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 511/7 (හෙඩ්- 175, ලබුෂේන්- 163, කවාජා- 62, තෝමස්- 53/2)
කොදෙව් පළමු ඉනිම- 214/10 (චන්ද්‍රපෝල්- 47, පිලිප්- 43, ලයන්- 57/3, නේසර්- 34/2)
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 199/6 (කවාජා- 45, හෙඩ්- 38, ජෝශප්- 33/3, චේස්- 25/2)
කොදෙව් දෙවන ඉනිම- 77/10, (චන්ද්‍රපෝල්- 17, බෝලන්ඩ්- 16/3, නේසර්- 22/3, ස්ටාක්- 29/3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 419ක ජයක්
තරගයේ වීරයා- ට්‍රැවිස් හෙඩ්
තරගාවලියේ වීරයා- මානස් ලබුෂේන්

ජයග්‍රාහී ඕස්ට්‍රේලියා කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- පෘතුගාල තරගය ජයගැනීමේ සතුට සමරන මොරොක්කෝ රසිකයෝ - gettyimages.com

මූලාශ්‍ර- espncricinfo.com
cricbuzz.com
fifa.com
howstat.com
chessresults.com

Related Articles