Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උපන් බිමට පිත්තෙන් බැට දුන් දඩබ්බරයා: කෙවින් පීටර්සන්

පසුගිය දශක 5ක කාලයේ දී දකුණු අප්‍රිකාවේ ඉපදුණු ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ටෝනි ග්‍රේග්, බැසිල් ඩි ඔලිවේරා, ඇලන් ලෑම්බ්, රොබින් ස්මිත්, ඇන්ඩෘ ස්ට්‍රාවුස්, කෙවින් පීටර්සන්, මැට් ප්‍රයර්, ජොනතන් ට්‍රොට්, ජේසන් රෝයි වැනි ක්‍රීඩකයන් ඒ අතරට අයත්. එම ක්‍රීඩකයන් අතුරින් කෙවින් පීටර්සන් ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයෙක්.

ඒ එංගලන්තයට ක්‍රිකට් ලෝක කුසලානයක් මුල් ම වරට දිනා දීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ නිසා යි. ඔස්ට්‍රේලියාවට එරෙහි ව 2010 පැවති 20-20 තරගාවලිය පුරාවට පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ පීටර්සන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ඉහළ තලයකට රැගෙන ගිය මෙම ක්‍රීඩකයා දකුණු අප්‍රිකාව අත හැර සිය මවගේ රට වුණු එංගලන්තයට පැමිණියේ එරට ක්‍රිකට් බලධාරීන් කළ කෙනෙහිලිකම් නිසා යි. මෙතැන් සිට ඔබ හමුවේ දිග හැරෙන්නේ පිට දේශයක සිට පැමිණ එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කළ කෙවින් පීටර්සන්ගේ කතා පුවත යි.

කෙවින් පීටර්සන් 2010 T20 ලෝක කුසලානය සමඟ – gettyimages.com

ජීවිතයේ මුල් කාලය

කෙවින් පීටර්සන් දකුණු අප්‍රිකාවේ පීටර්මැරිට්ස්බර්ග් හි දී 1980 ජූනි 27 වැනිදා උපත ලැබුවා. දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වුණු ජැනී පීටර්සන් ඔහුගේ පියා වුණු අතර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වුණු පෙනී ඔහුගේ මව වුණා. කෙවින්ගේ පවුලේ ටෝනි ග්‍රේග් සහ බ්‍රයන් නමින් තවත් පිරිමි දරුවන් තිදෙනෙක් සිටියා.

කෙවින් කුඩා කාලයේ සිට සිය සහෝදරයන් සමඟ ක්‍රීඩාවේ යෙදීමට පුරුදු ව සිටියා. 1980 දශකයේ දී දකුණු අප්‍රිකාවේ දරුවන් අතර වඩාත් ප්‍රසිද්ධ වුණේ රග්බි සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙක යි. කුඩා කෙවින් 11 හැවිරිදි වියේ පසුවෙද්දී රග්බි ක්‍රීඩා කිරීමට ගොස් දකුණු අතේ වැලමිටෙන් පහළ කොටස කැඩී ගියා.

එනිසා ඔහු රග්බි ක්‍රිඩා කිරීමට යළි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු ක්‍රිකට්, ටෙනිස්, ස්කොෂ් සහ හොකී වැනි ක්‍රීඩාවල නිරත වුණා. එම ක්‍රීඩා අතුරින් කෙවින් වඩාත් ප්‍රිය කළේ ක්‍රිකට් ක්‍රීඩාවට යි. ඒ සඳහා තමන් තුළ යම් කිසි දක්ෂතාවක් තිබෙන බව කෙවින්ට ඒත්තු ගියා. එනිසා ඔහු පීටර්මැරිට්ස්බර්ග් විද්‍යාලයේ දී වඩාත් උනන්දුවෙන් ක්‍රිකට් පුහුණුවීම්වල නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට වයස අවුරුදු 17දී නටාල් B කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබුණා. එම යුගය වන විට හැන්සි ක්‍රොන්යේගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නිල නොවන ක්‍රිකට් ලෝක ශූරයන් ලෙසින් හැඳින්වුණා. එනිසා කෙවින්ගේ සිහිනය වුණේ යම් දිනක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එකතු වී ක්‍රිකට් පිටියේ සාර්ථක ඉදිරි ගමනක් යාම යි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දස්කම් දැක්වීම

කෙවින් නටාල් B කණ්ඩායම වෙනුවෙන් දිගින් දිගට ම දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා 1999 දී ඔහුට නටාල් ප්‍රධාන කණ්ඩායමට එක්වීමට වරම් ලැබුණා. 1999 දෙසැම්බරයේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළා. එහි දී එංගලන්තය සහ නටාල් කණ්ඩායම අතර සිව්දින පුහුණු තරගයක් පැවැත්වුණා. ඒ සඳහා ක්‍රීඩා කළ කෙවින් නටාල් පළමු ඉනිමේ දී අංක 9 පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 57කින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා.

ඉන් නොනැවතුණු කෙවින් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 141කට කඩුලු 4ක් දවා ගත්තා. එහි දී ඔහුගේ පන්දු හමුවේ මයික් ඇතර්ටන්, නසාර් හුසේන් සහ මයිකල් වෝන් යන නම් දැරූ පිතිකරුවන් තිදෙනා දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. එම තරගයේ දී කෙවින් දැක්වූ කැපී පෙනුණු දක්ෂතා නිසා ඔහු වෙත බොහෝ දෙනකුගේ අවධානයට යොමු වුණා.

පීටර්සන් එංගලන්තයට එරෙහිව ලකුණු 61ක් රැස් කළ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

නටාල් පිලෙන් ඉවතට විසිවීමත් සමඟින් එංගලන්තය බලා යාම

2000 වසර වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව වර්ණභේදවාදයේ බලපෑමට යටත් ව තිබුණා. එනිසා එරට පළමු පෙළ කණ්ඩායම්වලට පවා අනිවාර්යයෙන් කළු ජාතික ක්‍රීඩකයන් 4ක් ඇතුළු කිරීමට නීති සකස් කර තිබුණා. එවැනි වටපිටාවක කෙන්වින්ට නතාල් කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

එයින් දැඩි ලෙස කිපුණු කෙවින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනය පවා විවේචනය කළා. එහි දී ඔහු දැරූ මතය වුණේ සමේ පාටින් නොව දක්ෂතාවලින් ක්‍රීඩකයන් කණ්ඩායම සඳහා තේරිය යුතු බව යි. කෙවින් ස්වභාවයෙන් ම නිර්භීත පුද්ගලයෙක්. ඔහු තරාතිරම නොබලා අනිත් අය විවේචනය කිරීමට පුරුදුව සිටියා. කෙවින්ගේ එම පුරුද්ද නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් ඔහු සමඟ උරණ වුණා.

ඒ වන විට තරුණ වයසේ පසු වුණු කෙවින් ඉතාමත් දක්ෂයෙක් බව ක්ලයිව් රයිස් නම් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාට අවබෝධ වුණා. කෙවින්ට යම් අසාධාරණයක් වුණු බව ඔහු පිළිගත්තා. එම යුගය වන විට රයිස් එංගලන්තයේ නොටිංහැම්ෂයර් ප්‍රාන්තයේ පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

ඔහු කෙවින් අති දක්ෂයකු බව හඳුනා ගෙන සිටි නිසා දෙවරක් නොසිතා නොටිංහැම්ෂයර් කණ්ඩායමට එක් වන මෙන් ආරාධනයක් කළා. ඒ වන විට කෙවින්ට සිය උපන් රට වුණු දකුණු අප්‍රිකාව පිළිබඳ ව කලකිරී තිබුණා. එහි දිගට ම රැඳී සිටියොත් කිසිදු දිනක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලැබෙනු ඇති බව කෙවින්ගේ අනුමානය වුණා. එනිසා ඔහු රයිස්ගේ ආරාධනය පිළිගෙන නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එක් වීමට තීරණය කළා.

නොටිංහැම්ෂර් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම්

2001 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී නොටිංහැම්ෂර් කණ්ඩායම වෙනුවෙන් මුල් ම වරට ක්‍රීඩා කළ කෙවින් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ එවර තරග වාරයේ දී ඉනිම් 26ක දී පන්දුවට පහර දෙමින් ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1275ක් රැස් කරමින්. එහි දී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 57.95ක් ලෙස සටහන් වුණා.

එම තරග වාරයේ දී ඔහු ඩර්බිෂයර් කණ්ඩායම සමඟ නොදැවී ලකුණු 218ක්ද, මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සමඟ නොදැවී ලකුණු 165ක්ද ලබා ගනිමින් සුපිරි ඉනිම් 2ක් ක්‍රීඩා කළා. ඉන් පසු 2002 ප්‍රාන්ත තරගාවලියේ දී දස්කම් අතරට යළි පිවිසි කෙවින් ඉනිම් 15ක දී ශතක 3ක් සමඟින් ලකුණු 737ක් රැස් කළේ 61.41ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්. එහි දී ඔහු මිඩ්ල්සෙක්ස් පිලට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 254 විශිෂ්ට ගණයේ ඉනිමක් වුණා.

කෙවින් පීටර්සන් නොටිංහැම්ෂයර් පිල වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

2003 එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා ඉනිම් 29කදී ශතක 4ක් සමඟින් ලකුණු 1488ක් ලබා ගෙන තරගාවලියේ තෙවන වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු වර්වික්ෂයර් සහ සසෙක්ස් යන කණ්ඩායම් හමුවේ පිළිවෙළින් ලකුණු 221ක් සහ 166ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන් පසුව 2004 ප්‍රාන්ත තරගාවලියේ දීත් සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ කෙවින් ඉනිම් 19කදී ශතක 4ක් සමඟින් ලකුණු 965ක් ලබා ගත්තා. මෙම දක්ෂ පිතිකරුවා පිට පිට ම ප්‍රාන්ත තරග වාර 4කදී ලකුණු 50කට වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත්තා.

එංගලන්ත එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි වීම

2004 වසර අග භාගය වෙද්දී එංගලන්ත ක්‍රිකට් තේරීම කමිටුව කෙවින් පීටර්සන් නම් තරුණ ක්‍රීඩකයා ගැන දැඩි අවධානයකින් පසු වුණා. ඒ වන විට දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට කෙවින් තබා තිබුණු සියලු ම බලාපොරොත්තු බිඳ වැටෙමින් පැවතුණා. ඒ එවකට දකුණු අප්‍රිකානු නායකයා වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ස්මිත් මෙම යොවුන් ක්‍රීඩකයාට දැක්වූ දැඩි අකමැත්ත යි.

ඉන් නොනැවතී ස්මිත් දිගින් දිගට ම මෙම ක්‍රීඩකයා විවේචනය කළා. ඒ අනුව දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමේ සිහිනය අත් හැර දැමීමට කෙවින්ට සිදු වුණා. එවැනි වටපිටාවක එංගලන්ත තේරීම් කමිටුව කෙවින්ට එක්දින වරම් ලබා දුන්නා. 2004 නොවැම්බරයේ දී සිම්බාබ්වේ දේශයේ පැවති එම එක්දින තරගාවලියේ දී ඉනිම් 3කදී ලකුණු 104ක් ලබා ගැනීමට කෙවින්ට හැකි වුණා. එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 104ක් තරම් ඉහළ අගයක් ගත්තා.

කෙවින් පීටර්සන් මංගල එක්දින තරගාවලියේ දී – gettyimages.com

පරදේශක්කාර තුරුලේ සිට උපන් බිමට බැට දුන් දඩබ්බරයා

සිම්බාබ්වේ එක්දින තරගාවලිය නිම වී මාස 2කට පසුව කෙවින් සිය උපන් බිම වුණු දකුණු අප්‍රිකාවට ගියා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ව එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා යි. එම තරගාවලියේ දී සිය උපන් රට වුණු දකුණු අප්‍රිකාවට එරෙහි ව අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ මෙම ක්‍රීඩකයා ඉනිම් 6කදී නොදැවීම් 4ක් සහ ශතක 3ක් සමඟින් ලකුණු 454ක් ලබා ගත්තා.

එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 227ක් තරම් ඉහළ අගයක් ගත්තා. එහි දී කෙවින් ඊස්ට් ලන්ඩන් හි බෆලෝ පාක් පිටියේ දී පන්දු 69කින් නොදැවී රැස් කළ ලකුණු 100 එකල එංගලන්ත පිතිකරුවෙක් ලබා ගත් වේගවත් ම අර්ධ ශතකය ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඒ අයුරින් දකුණු අප්‍රිකාවට එරෙහි ව දැක්වූ සුපිරි දස්කම් නිසා කෙවින් පීටර්සන් නම් ක්‍රීඩකයා වෙත සමස්ත ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමු වුණා.

කෙවින් පීටර්සන් සිය මංගල එක්දින ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

මංගල ටෙස්ට් තරගාවලියේ දී 18 වසරක එංගලන්ත සිහිනයක් සැබෑ කර දීම

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති 2005 අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දී කෙවින්ට ටෙස්ට් වරම් හිමි වුණා. එහි දී ලෝඩ්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්ත පළමු ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 21ක දී බිඳ වැටුණා. ඒ මොහොතේ මෙම පිතිකරුවා අගනා ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන් නොනැවතුණු කෙවින් දෙවන ඉනිමේ දීත් නොදැවී ලකුණු 64ක් රැස් කළේ. එසේ කෙවින් සිය මංගල ටෙස්ට් තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වුව ද සිය කණ්ඩායමට දැවැන්ත පරාජයක් උරුම වුණා.

කෙවින් පීටර්සන් මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

එම පරාජයෙන් පාඩම් ඉගෙන ගත් එංගලන්ත ක්‍රීඩකයන් එතැන් සිට ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තයට 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඒ අනුව ඔවුන් අළු බදුන තරගාවලිය ජයග්‍රහණය කළේ වසර 18කට පසුව යි.

එහි දී තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණු කෙවින් පීටර්සන් ඉනිම් 10ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 473ක් රැස් කළා. එම තරගාවලිය යටතේ කෙනිංටන් ඕවල් පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී කෙවින්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 158 දැකුම්කලු ඉනිමක් වුණා.

කෙවින් පීටර්සන් ජයග්‍රාහී 2005 අළුබඳුන කුසලානය සමඟ – gettyimages.com

එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත් වීම

එලෙස එක්දින සහ ටෙස්ට් තරග රටා තුළ 2005 වසර පුරාවට දැක්වූ දස්කම් නිසා එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්වීමට කෙවින්ට අවස්ථාව ලැබුණා. ඉන් පසුව පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ මෙම ක්‍රීඩකයා 2007 වසර අවසන් වෙද්දී ටෙස්ට් ලකුණු 3000 සහ එක්දින ලකුණු 2400 සීමාවන්ට පැමිණ තිබුණා. ඒ වන විට ඔහු එංගලන්තයට නැතුව ම බැරි ක්‍රීඩකයෙක් බවට පත්ව තිබුණා. එනිසා 2008 දී ඔහුට එංගලන්ත එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකත්වය දැරීමට අවස්ථාව ලැබුණා.

2008 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළා. ඒ කෙවින්ගේ නායකත්වය යටතේ යි. එහි දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගවල දී දැඩි ලෙස අසාර්ථක වුණා. එම සංචාරයෙන් පසුව කෙවින් සහ එංගලන්ත පුහුණුකරු පීටර් මුවර්ස් අතර ගැටුමක් ඇති වුණා. ඉන් පසු කෙවින් නායකත්වයට සදහට ම සමු දුන්නා. එසේ නායකත්වයට සමුදීමෙන් පසුව ඔහු ක්‍රීඩකයෙක් ලෙස සිය කණ්ඩායමට උපරිමය ලබා දුන්නා.

කෙවින් පීටර්සන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් – gettyimages.com

එංගලන්තයට මුල් ම ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් හැටි

2010 T20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වුණා. එම තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගවල දී කෙවින්ට විශේෂ දස්කමක් දැක්වීමට හැකි වුණේ නැහැ. ඉන් පසුව පැවති සුපිරි 8 තරග වටයේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණි කෙවින් පාකිස්තානයට එරෙහිව පන්දු 52කින් නොදැවී ලකුණු 73ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 33කින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු එම සුපිරි ඉනිම් නිසා එංගලන්තයට අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට කල්වේලා ඇතිව ම හැකි වුණා. ඒ අතරතුර කෙවින්ගේ බිරිය සිය කුළුඳුල් දරුවා බිහි කළා. එනිසා කෙවින් සුපිරි 8 වටයේ නවසීලන්ත තරගයට ක්‍රීඩා නොකර සිය දරුවා බැලීමට එංගලන්තයට ආපසු ගියා.

පාකිස්තානයට එරෙහි ව ක්‍රීඩා කළ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී යළි කණ්ඩායමට එක් වුණු කෙවින් පන්දු 26කින් නොදැවී ලකුණු 42ක් ලබා ගෙන සිය කණ්ඩායම අවසන් තරගයට රැගෙන ගියා. ඉන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවති අවසන් තරගයේ දී නැවත වරක් දස්කම් අතරට පිවිසි කෙවින් පන්දු 31කින් ලකුණු 47ක් රැස් කළා.

ඔහු එංගලන්තයට මුල් ම වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමට ඉහළ දායකත්වයක් ලබා දුන්නා. එම තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දක්වමින් ඉනිම් 7කදී ලකුණු 248ක් ලබා ගත් මෙම ක්‍රීඩකයාට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා.

කෙවින් පීටර්සන්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණු මොහොත – gettyimages.com

21 වන සියවසේ දී එංගලන්තය නියෝජනය කළ සුපිරි ක්‍රිකට් තරුවක්

කෙවින් පීටර්සන් නම් ක්‍රිකට් තරුව 2004-2014 යුගයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග 277ක දී එංගලන්තය නියෝජනය කළා. එහි දී ඔහු ඉනිම් 342කදී පන්දුවට පහර දෙමින් ශතක 32ක් සහ අර්ධ ශතක 67ක් සමඟ ලකුණු 13797ක් ලබා ගත්තා. මෙම ක්‍රීඩකයා එංගලන්ත ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායමේ පුහුණුකරුවන් සමඟ විටින් විට ගැටුම් ඇති කර ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට කල් ඇතිව ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට සිදු වුණා. කෙවින් පීටර්සන් නම් විශිෂ්ටයා දශකයකට ආසන්න කාලයක් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කළා. එනිසා 21 වන සියවසේ දී එංගලන්තය නියෝජනය කළ සුපිරි ක්‍රිකට් තරු කිහිපය අතර කෙවින් පීටර්සන් නාමය ද රැඳී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- කෙවින් පීටර්සන් 2005 දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
\wisden.com
KP: The Autobiography- Autobiography of kevin pietersen

Related Articles