Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ද?

2023 ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පසුගිය සිකුරාදා (28) නිමාවට පත් වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 10ක ජයග්‍රහණයක් හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළා.

එසේ ලබා ගත් ජයග්‍රහණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වාර්තා වුණු 100 වන ටෙස්ට් තරග ජයග්‍රහණය බවට පත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. අඩුම තරග ප්‍රමාණයකින් ටෙස්ට් තරග ජයග්‍රහණ 100ක් ලබා ගත් ආසියානු රට බවට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාව තරග 311කින් එම කඩඉම වෙත ළඟා වෙද්දී පාකිස්තානයට සහ ඉන්දියාවට එම කඩඉම වෙත ළඟා වීමට පිළිවෙළින් තරග 320ක් සහ 432ක් වැය වුණා.

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගයේ දී බිහි වුණු වාර්තා

පසුගිය සතියේ නිමාවට පත් වුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ දී වාර්තා කිහිපයක් අලුත් වුණා. ඒ අතුරින් කාගේත් අවධානය දිනා ගත්තේ ප්‍රභාත් ජයසූරිය බිහි කළ ලෝක වාර්තාව යි. එහි දී ඔහු අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයකින් කඩුලු 50 කඩඉම වෙත පැමිණි දඟපන්දු යවන්නා ලෙස වාර්තා අතරට එකතු වුණා.

එම දස්කම දැක්වීම සඳහා ඔහු ටෙස්ට් තරග 7ක් වැයකොට තිබුණා. එහි දී ඔහු අභිබවා ගියේ බටහිර ඉන්දීය කොදෙව් දඟපන්දු යවන්නෙක් වුණු ඇල්ෆ් වැලන්ටයින් ටෙස්ට් තරග 8කදී කඩුලු 5ක් දවා ගෙන තබා තිබුණු වාර්තාව යි.

ලෝක වාර්තාවක් බිහි කළ ප්‍රභාත් ජයසූරිය – gettyimages.com

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග ගණනක දී ටෙස්ට් කඩුලු 50 සීමාව වෙත ළගා වුණේ චාල්ස් ටර්නර් නම් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා යි. ඔහු එම දස්කම දැක්වූයේ ටෙස්ට් තරග 6කට පමණක් සහභාගි වෙමින්. මේ එදා මෙදාතුර අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයක දී කඩුලු 50 සීමාව වෙත ළඟා වුණු පන්දු යවන්නන්ගේ ලැයිස්තුව යි.

අඩුම තරග ගණනක දී ටෙස්ට් කඩුලු 50ක් ලබාගත් පන්දු යවන්නෝ – twitter.com

පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වුණු තණතීරුවක පැවති එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 704ක් රැස් කළා. එම ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ මුල් පිතිකරුවන් සිව්දෙනා ම ශතක ලබා ගැනීම විශේෂත්වයක් වුණා.

එහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 245ක්, නිෂාන් මදුෂ්ක ලකුණු 205ක්, දිමුත් කරුණාරත්න ලකුණු 115ක්, සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100ක් ලෙසින් එම ශතක රැස් කළා. එය ටෙස්ට් ක්‍රීකට් ඉතිහාසයේ එවැනි සිදුවීමක් වාර්තා වුණු තෙවන අවස්ථාව බවට පත් වුණා. ඊට පෙර 2007 දී ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ද 2019 දී පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ද එම දස්කම දක්වා තිබුණා.

ශ්‍රී ලංකාවට පෙර ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයන් ඉහත දස්කම දැක්වූ අයුරු – espncricinfo.com

ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ දී කාගේත් අවධානයට ලක් වුණේ කුසල් මෙන්ඩිස් වාර්තා කළ අගනා ලකුණු 245 යි. එම ඉනිමට හයේ පහර 11ක් ඇතුළත් වීම විශේෂත්වයක් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක දී වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ පිතිකරුවා බවට පත් වීමටත් ඔහුට හැකියාව ලැබුණා.

එහි දී ඔහු අභිබවා ගියේ කුමාර් සංගක්කාර 2014 දී බංග්ලාදේශයට එරෙහි ව පැවති ටෙස්ට් තරගයක දී හයේ පහර 8ක් එල්ල කරමින් තබා තිබුණු වාර්තාව යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් – gettyimages.com

වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙද්දී අයර්ලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල 12 වන ස්ථානයේ පසුවෙනවා. එනිසා මෙම ටෙස්ට් තරගාවලිය යටතේ පැවති තරග 2ක ඉනිමකින් ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට යාමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි හොඳින් ක්‍රීඩා කිරීම සඳහා සිය මානසික මට්ටම ඉහළ නංවා ගත හැකි යි. 

නවතම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුව – icc-cricket.com

ජූනි මස ඇරඹෙන 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සිම්බාබ්වේ දේශයේ දී එළඹෙන ජූනි 18 වනදා ආරම්භ වෙනවා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකාව, නේපාලය, සහ ඕමානය යන රටවල් දැනටමත් සුදුසුකම් ලබා ගෙන අවසන්.

ඊට අමතර ව දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය යන රටවල් අතුරින් එකක් මෙම තරගාවලිය සඳහා එකතු වීමට නියමිත යි. මෙහිදී ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා 1979 වසරෙන් පසුව සහභාගි වීම විශේෂත්වයක්.

1979 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල – gettyimages.com

තරගාවලිය පැවැත්වෙන්නේ කොහොමද?

මෙම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 10 මුලින්ම කාණ්ඩ 2කට බෙදා වෙන් කරනවා. ඉන් පසුව සෑම කණ්ඩායමක් ම තමන්ගේ කාණ්ඩයේ සිටින අනිකුත් කණ්ඩායම් 4 සමඟින් තරග වදිනවා. එහි දී සෑම කාණ්ඩයකින් ම වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2ක ඊළඟට පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 6 තරග වටයට සුදුසුකම් ලබනවා.

සුපිරි කණ්ඩායම් 6 තරග වටයේ දී සෑම කණ්ඩායමක් ම අනිත් කණ්ඩායම් 5 සමඟ තරග වැදිය යුතු යි.එම තරග වටය අවසනයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා කණ්ඩායම් 2කට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා එකතු වීමට වරම් ලැබෙනවා.

සිම්බාබ්වේ තණතීරුවල හැසිරීම කෙබඳු ද?

සිම්බාබ්වේහි තිබෙන ප්‍රධාන ක්‍රීඩාංගණ දෙක වන්නේ හරාරේ ක්‍රීඩා සමාජ පිටිය සහ බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජ පිටිය යි. එනිසා මෙම තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක් එම ක්‍රීඩාංගණවල දී ක්‍රියාත්මක වෙනු ඇති. පසුගිය තරගවල දී එම තණතීරුවල හැසිරීම කුමන ආකාරයට සිදුවුණා ද යන කාරණය සොයා බැලීම වැදගත්.

ඒ අතුරින් හරාරේ ක්‍රීඩා පිටිය ප්‍රසිද්ධ ව තිබෙන්නේ පිතිකරුවන්ට පන්දුවට පහර දීමට තරමක් අපහසු මන්දගාමී තණතීරුවක් තිබෙන ක්‍රීඩා පිටියක් ලෙස යි. මෙම තණතීරුව අතීතයේ දී වඩාත් යෝග්‍ය වුණේ දඟපන්දු යවන්නන්ට යි. මෙම තණතීරුවේ පැවති එක්දින තරගවල දී පන්දුවට මුලින් පහර දුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු සාමාන්‍යය 225ක් තරම් පහළ අගයක් ගෙන තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ මෙම තණතීරුව පිතිකරුවන්ට අභියෝගාත්මක එකක් බව යි.

හරාරේ පිටියේ පැවති එක්දින තරගවල දී වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ සිම්බාබ්වේ දඟපන්දු යවන්නෙක් වුණු ප්‍රොස්පර් උට්සෙයා යි. එහි දී ඔහු දවා ගත් කඩුලු ප්‍රමාණය 52ක්. මෙම පිටියේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් විදෙස් පන්දු යවන්නා වන ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් දවාගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 22ක්. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී මෙම පිටියේ දී කඩුලු 21 බැගින් දවාගෙන තිබෙනවා. ඔවුන් තිදෙනා ද දඟපන්දු යවන්නන් වීම විශේෂත්වයක්.

ප්‍රොස්පර් උට්සෙයා – gettyimages.com

එම දත්තවලට අනුව පැහැදිලි වන්නේ හරාරේ පිටියේ තණතීරුව පිතිකරුවන්ට පන්දුවට පහරදීමට තරමක් අපහසු, දඟපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් බව යි. මෙම පිටියේ තණතීරුව ගැන තිබෙන සාමාන්‍ය මතය එය වුණත් මෙහි පැවති අවසන් එක්දින තරග 5දී තණතීරුව පෙන්වා තිබෙන්නේ තරමක් දුරට වෙනස් හැසිරීමක්.

එම එක්දින තරග 5දී පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු සාමාන්‍ය 267ක් බවට පත් වුණා. එයින් නිගමනය කළ හැක්කේ වර්තමානය වන විට හරාරේ තණතීරුව පිතිකරුවන්ට තරමක් යෝග්‍ය තත්ත්වයට පත්ව ඇති බව යි. එම තරගවල දී වේගපන්දු යවන්නන් කඩුලු 40ක් දවා ගනිද්දී දඟපන්දු යවන්නන් දවාගෙන තිබෙන්නේ කඩුලු 29ක් පමණක් වීම ද විශේෂත්වයක්.

බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජ පිටියේ තණතීරුව

බුලවායෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජ පිටියේ තණතීරුව අතීතයේ සිට ම ප්‍රසිද්ධව තිබුණේ වේගපන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට තරමක් අපහසු තණතීරුවක් ලෙස යි. මෙම තණතීරුවේ පැවති එක්දින තරගවල දී පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු සාමාන්‍ය 229ක් වැනි පහළ අගයක් ගෙන තිබෙනවා.

මෙම තණතීරුව අතීතයේ දී පිතිකරුවන්ට යෝග්‍ය අයුරින් හැසිරී නැති බව එයින් පැහැදිලි වෙනවා. බුලවායෝ පිටියේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් සිම්බාබ්වේ පන්දු යවන්නා බවට පත් වුණු හීත් ස්ට්‍රීක් දවාගත් කඩුලු ප්‍රමාණය 24ක්. මෙහි දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් විදෙස් පන්දු යවන්නා වුණු ඇෆ්ගනිස්ථානයේ ඩව්ලාට් සඩ්‍රාන් දවා ගත් කඩුලු ප්‍රමාණය 16ක්. ඔවුන් දෙදෙනාම වේග පන්දු යවන්නන් වීමෙන් පැහැදිලි වන්නේ මෙම තණතීරුව වඩාත් යෝග්‍ය වේගපන්දු යවන්නන්ට බව යි.

හීත් ස්ට්‍රීක් – gettyimages.com

බුලවායෝ හිදී අවසන් වරට පැවති එක්දින තරග 5දී පන්දුවට මුලින් පහර දුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු සාමාන්‍ය 266ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙම තණතීරුව වර්තමානය වන විට පිතිකරණය සඳහා වඩාත් යෝග්‍ය වී තිබෙනවා. මෙම පිටියේ දී අවසන් වරට පැවති එක්දින තරග 5දී වේග පන්දු යවන්නන් කඩුලු 36ක් දවා ගනිද්දී දඟපන්දු යවන්නන් දවාගෙන තිබෙන්නේ කඩුලු 19ක් පමණයි. එයින් නිගමනය කළ හැක්කේ බුලවායෝ තණතීරුව තවමත් වේගපන්දු යවන්නන්ට හොඳ සහායක් ලබා ගෙන බවයි.

කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් ද?

එදා සිට අද දක්වා හරාරේ සහ බුලවායෝ යන ක්‍රීඩා පිටිවල පැවති එක්දින තරගවල දී කාසියේ වාසිය එතරම් තීරණාත්මක සාධකයක් බවට පත් වී නැහැ. එහි දී හරාරේ පිටියේ පැවති තරගවල දී කාසියේ වාසිය ජය ගත් කණ්ඩායම තරග ජයග්‍රහණය කළ ප්‍රතිශතය 44.51%ක් ලෙසින් සටහන් වුණා.

මෙම පිටියේ දී අවසන් වරට පැවති එක්දින තරග 5ක දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ අවස්ථා 3කදී පමණ යි. බුලවායෝ හි පැවති එක්දින තරගවල දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 46.99%ක් ලෙසින් සටහන් වුණා.

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 5දී කාසිය වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායමට ජයග්‍රහණය හිමි වුණේ තරග 2ක දී පමණ යි. එයින් නිගමනය කළ හැක්කේ සිම්බාබ්වේ දේශයේ තණතීරුවල දී කාසියේ වාසිය එතරම් තීරණාත්මක නොවන සාධකයක් නොවන බව යි.

හරාරේ ක්‍රීඩා පිටිය – gettyimages.com

තරගාවලිය ශ්‍රී ලංකා පිලට අභියෝගයක් ද?

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සිම්බාබ්වේ දේශයේ දී එක්දින තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2016 වසරේ දීයි. අවසන් වසර 10 දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හිදී ක්‍රීඩා කර තිබෙන්නේ එක්දින තරග පහකට පමණ යි. මෙම තරගාවලිය සඳහා සහභාගි වන අනිකුත් කණ්ඩායම් ඊට සාපේක්ෂව සිම්බාබ්වේ දේශයේ තණතීරු මත වැඩි එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා.

එනිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ඔවුන්ට සිම්බාබ්වේ තණතීරුවල හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් තිබෙනවා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරමක් දුරට අවාසියක්.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම – gettyimages.com

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවල දී තරග වදින්නේ ප්‍රබල කණ්ඩායම් සමඟ යි. මෙම තරගාවලිය සඳහා සහභාගි වන සෙසු කණ්ඩායම්වලට එක්දින පිටියේ සිටින ප්‍රබල කණ්ඩායම් සමඟින් තරග වැදීමට අවස්ථාව හිමිවන්නේ අඩුවෙන්. එනිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරමින් විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම අත්දැකීම් නිසි පරිදි භාවිත කරමින් මෙම තරගාවලිය ක්‍රීඩා කළොත් ඔවුන්ට මෙම කඩඉම ජයගෙන 2023 එක්දින ලෝක කුසලානයට පිවිසීම විශාල අභියෝගයක් නොවනු ඇති.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසුව- gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricbuzz.com

Related Articles