Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට බේබි මාලිංග එපා ද?

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මීට සති කිහිපයකට පෙර තරග 3කින් සමන්විත T20 තරගාවලියක් ක්‍රියාත්මක වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා සංචිතයට 20 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත් වුණා. සාමාන්‍යයෙන් නවසීලන්තයේ තණතීරු හැසිරෙන්නේ වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත ආකාරයට යි.

එවැනි තත්ත්වයක් යටතේ වුව ද මතීෂට නවසීලන්ත T20 තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ගැන එම දිනවල සමාජ ජාල මාධ්‍යවල පවා දැඩි කතාබහට ලක් වුණා.

ක්‍රිකට් විචාරකයන්ගේ පවා අවධානය දිනාගත් පන්දු යවන්නෙක්

එම තරගාවලිය අවසන් වීමෙන් පසුව මතීෂ ඉන්දියාව බලා ගියේ IPL තරගාවලියට සහභාගි වීම සඳහා යි. ඒ අයුරින් IPL තරගාවලියට එක් වුණු මතීෂ නියෝජනය කරන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම යි. මෙම යොවුන් ක්‍රීඩකයා සතුව ඇති දක්ෂතාව අවබෝධ කරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් පරිපාලනය මෙවර IPL තරගාවලියේ තරග කිහිපයක දී ඔහුගේ සේවය ලබා ගත්තා.

එම තරගවල දී දස්කම් අතරට පිවිසි මතීෂ අද වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව ක්‍රිකට් විචාරකයන්ගේ පවා අවධානය දිනාගත් පන්දු යවන්නෙක් බවට පත් ව සිටිනවා.

2023 IPL තරගාවලියේ දී චෙන්නායි පිල නියෝජනය කරන මතීෂ – gettyimages.com

මතීෂ මෙවර IPL තරගාවලියේ දී දැක්වූ සුවිශේෂී දස්කම්

මෙවර IPL තරගාවලියේ දී මතීෂ මුල්ම වරට තරග බිමට අවතීර්ණ වුණේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර බැංගලෝර් හිදී පැවති තරගයේ දී යි. එම තරගය පැවති චින්නස්වාමී ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය එකක්.

එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 226ක් රැස් කළා. එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන් ද සාර්ථක අයුරින් පිතිහරඹයේ නිරත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මතීෂගේ මුල් පන්දු වාර දෙකේ දී ඔහුගෙන් ලකුණු 28ක් උදුරා ගැනීමට බැංගලෝර් පිතිකරුවන් සමත් වුණා.

මතීෂ සිදු කළ දක්ෂ පන්දු යැවීම චෙන්නායි පිලට තරගය ජයග්‍රහණය කිරීමට වඩාත් උපකාරී වුණා – twitter.com/ChennaiIPL

බැංගලෝර් තරගයේ දී තීරණාත්මක මොහොතක පන්දුවෙන් දස්කම් දැක්වීම

බැංගලෝර් පිතිකරුවන් පන්දුවට දක්ෂ ලෙස පහර දුන් නිසා අවසන් පන්දු 18දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වුණේ ලකුණු 35ක් පමණ යි. එම තීරණාත්මක අවස්ථාවේ දී චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි ඉතාමත් විශ්වාසයෙන් මතීෂ පතිරණ අතට පන්දුව ලබා දුන්නා. ඒ මොහොතේ දෝනිගේ විශ්වාසය අකුරට ම ඉටු කළ මතීෂ බැංගලෝර් ඉනිමේ 18 වන පන්දු වාරයේ දී ලකුණු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුල්ලක් දවා ගත්තා.

ඉන් නොනැවතුණු මතීෂ ඉනිමේ අවසන් පන්දු වාරයත් හොඳින් ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 10ක් පමණක් ලබා දී කඩුල්ලක් බිඳ දැමුවා. ඒ අනුව ඔහු එම තරගයේ දී පන්දු වාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත්තා. එහි දී ඉනිමේ අවසන් පන්දු වාරවල දී මතීෂ සිදු කළ දක්ෂ පන්දු යැවීම චෙන්නායි පිලට තරගය ජයග්‍රහණය කිරීමට වඩාත් උපකාරී වුණා.

මතීෂ බැංගලෝර් තරගයේ දී පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

හයිද්‍රාබාද් තරගයේ දී ඉනිමේ අවසන් පන්දු වාරවල දී හොඳින් පන්දු යැව්වා

ඉන් පසුව චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර පැවති තරගයේ දී මතීෂ දස්කම් අතරට යළි පිවිසියා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 15ක් නිමාවට පත්වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 102ක් ලබා සිටියා. එම අවස්ථාව වන විට මතීෂ එක් පන්දු වාරයක් යවා ප්‍රතිවාදීන්ට ලකුණු 7ක් ලබා දී තිබුණා.

සාමාන්‍යයෙන් මතීෂ වැඩි දක්ෂතාවක් පෙන්වන්නේ ඉනිමේ අවසන් පන්දු වාරවල දී පන්දු යැවීමට යි. එය මනාව තේරුම් ගෙන සිටින චෙන්නායි නායක දෝනි 15 වන පන්දු වාරයේ සිට මතීෂ පන්දු යැවීම සඳහා කැඳවීමට තීරණය කළා. එම තීරණයට සාධාරණයක් ඉටු කළ මතීෂ ඉනිමේ යැවූ අවසන් පන්දු වාර 3දී ප්‍රතිවාදීන්ට ලකුණු 15ක් පමණක් ලබා දී කඩුල්ලක් දවා ගත්තා. එම තරගයේ දී ඔහු සිය පන්දු වාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 22ක් ලබා දී කඩුල්ලක් බිඳ දැමුවා.

හයිද්‍රාබාද් තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරතවෙමින් – iplt20.com

කොල්කටා තරගයේ දී අවශ්‍ය ම මොහොතේ ඇන්ඩ්‍රේ රසල්ගේ කඩුල්ල දවා ගත්තා

2023 IPL තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර තරගයක් කොල්කටා නුවර ඊඩ්න් ගාඩන්ස් පිටියේ දී ඊයේ (23) පැවැත්වුණා. එම තරගය සඳහා ලබා දී තිබුණු තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය එකක්. තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් චෙන්නායි පිල නියමිත පන්දු වාර 20 දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 235ක් ලබා ගත්තා. ඉලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දු වාර 16ක් අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා.

එම අවස්ථාවේ දී චෙන්නායි නායක දෝනි මතීෂ පතිරණ අතට පන්දුව ලබා දුන්නා. ඒ ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස් කළ හැකි පිතිකරුවෙක් ලෙසින් ප්‍රසිද්ධව සිටින ඇන්ඩ්‍රේ රසල්ගේ කඩුල්ල ලබා ගැනීම සඳහා යි. එම තීරණාත්මක මොහොතේ වඩාත් උපක්‍රමශීලී ව පන්දු යැවූ මතීෂ ලකුණු 9ක් ලබා සිටි රසල්ගේ කඩුල්ල දවා ගත්තා.

එපමණක් නොව ඉන් පසුව ද ඉතාමත් හොඳින් පන්දු යැවූ මෙම යොවුන් ක්‍රීඩකයා සිය පන්දු වාර 4 දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 27ක් පමණ යි. එය එම තරගයේ දී යම් පන්දු යවන්නෙක් රඳවාගත් පන්දු වාරයකට ලකුණු ලබාදීමේ වේගය (Economy Rate) ලෙසින් සටහන් වුණා.

අවශ්‍ය ම අවස්ථාවක රසල්ගේ කඩුල්ල දවා ගත් මතීෂ – iplt20.com

ක්‍රිකට් විචාරකයන් මතීෂ හඳුන්වන්නේ බේබි මාලිංග නමින්

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වුණු දක්ෂත ම වේගපන්දු යවන්නන් කිහිපදෙනා අතර ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ද අයත්. එපමණක් නොව IPL තරග ඉතිහාසයේ දී බිහි වුණු දක්ෂත ම පන්දු යවන්නන් අතර ද ඔහු ඉදිරියෙන් ම සිටිනවා. ඒ අයුරින් මාලිංග පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ ඔහු ක්‍රිකට් පිටිය තුළ පෙන්වූ සුපිරි දස්කම් නිසා ම පමණක් ම නොවෙයි. මාලිංග අනුගමනය කර අමුතු ම ආකාරයේ පන්දු යැවීමේ ඉරියව්ව ද ඔහු කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු වීමට විශාල හේතුවක් වුණා.

මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව 1970 සහ 80 දශකවල දී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ අධිවේගී පන්දු යවන්නෙක් වුණු ජෙෆ් තොම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්වට වඩාත් සමාන යි. අද වන විට ක්‍රිකට් විස්තර විචාරකයන් මතීෂ පතිරණ බේබි මාලිංග යන සුරතල් නාමයෙන් හඳුන්වන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ද ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන නිසා යි.

ලසිත් මාලිංග – gettyimages.com

පන්දු යැවීමේ ඉරියව්ව විතරක් නෙවෙයි වැඩත් මාලිංග වගේමයි

පරණ පන්දුව හොඳින් පාලනය කිරීමට ලසිත් මාලිංග සතු ව තිබුණේ විශාල හැකියාවක්. එනිසා ඔහුට ඉනිමේ අවසන් පන්දු වාරවල දී මනා පාලයකින් යුතුව පන්දු යැවීමේ හැකියාව තිබුණා. මතීෂටත් එම හැකියාව ඉතා හොඳින් තිබෙන බව පසුගිය දිනවල ඔහු ක්‍රීඩා කළ IPL තරගවල දී අපට දැකගන්නට ලැබුණා. මාලිංග ඕනෑම අවස්ථාවක යෝකර් පන්දුව භාවිතයෙන් කඩුලු ලබා ගත් ක්‍රීඩකයෙක්.

මතීෂටත් එම හැකියාව යම් තරමකට තිබෙන නිරීක්ෂණය කරන්නට පුළුවන්. වයිඩ් යෝකර් පන්දුව සහ වේගය අඩාල කර යවන බවුන්සර් පන්දුව මාලිංගගේ පන්දු ගබඩාවේ තිබුණු ප්‍රධානත ම අවි 2ක්. මතීෂ ද පසුගිය තරගවල දී මාලිංග පිතිකරුවන් මුලා කිරීමට භාවිත කළ එම අවි දෙක යොදා ගනිමින් ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ කරන අයුරු දැක ගන්නට ලැබුණා. එයින් පැහැදිලි වන්නේ ලසිත් මාලිංග සතු ව තිබුණු හැකියාවන් අතුරින් වැඩි ප්‍රමාණයක් මතීෂ ද සතු ව තිබෙන බව යි.

ලසිත් මාලිංගගෙන් මතීෂට ගුරුහරුකම් ලැබුණු අවස්ථාවක් – gettyimages.com

මතීෂ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් පිල IPL සටනේ පෙරමුණට

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තරග 33ක් මේ වන විට අවසන්. එම තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ මතීෂ පතිරණ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම යි. මේ වන විට ඔවුන් තරග 7කට ක්‍රීඩා කර ලබා ගෙන තිබෙන ජයග්‍රහණ ප්‍රමාණය 5ක්. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ මතීෂ ක්‍රීඩා කළ තරග 3දී ම චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කිරීම යි.

එම තරග ජය ගැනීම සඳහා මතීෂගෙන් චෙන්නායි පිලට විශාල සහායක් ලැබුණා. මෙවර තරග වාරයේ දී චෙන්නායි පිල සතුව ඉතාමත් ප්‍රබල පන්දු බළ ඇණියක් සිටිනවා. ඊට සාපේක්ෂ ව ඔවුන්ගේ පන්දු යැවීමේ බළ ඇණිය සතුව තිබෙන අත්දැකීම් ප්‍රමාණය ඉතාමත් අඩු යි. චෙන්නායි පිලේ සිටින ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනා වන මතීෂ පතිරණ, තුෂාර් දේශ්පණ්ඩේ සහ ආකාශ් සිං යන ක්‍රීඩකයන් අතුරින් ජාත්‍යන්තර T20 තරග වරම් හිමි ව තිබෙන්නේ මතීෂට පමණ යි. එනිසා ඔහු මේ වන විට චෙන්නායි වේග පන්දු බළ ඇණියේ ප්‍රධාන තුරුම්පුව බවට පත් ව සිටිනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම – iplt20.com

මතීෂ මෙරට ක්‍රිකට් බලධාරීන්ට කියා දුන් පාඩම

මතීෂ පතිරණ මුල් ම වරට IPL තරගාවලිය සඳහා සහභාගි වුණේ 2022 වසරේ දී යි. එම තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ගුජරාට් ටයිටන්ස් පිලේ ශුබ්මන් ගිල් සහ හාර්ඩික් පාණ්ඩ්‍යා යන ප්‍රබල පිතිකරු යුගළය දවා ගැනීමට සමත් වුණා. ඒ සමඟ ම මතීෂගේ හැකියාවන් පිළිබඳ ව ක්‍රිකට් විස්තර විචාරකයන් කතා කරන්නට පටන් ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහුට T20 තරග වරම් හිමි වුණා. එම තරගාවලියේ දී එක් තරගයකට පමණක් සහභාගි වුණු මතීෂට ක්‍රියාත්මක කිරීමට ලැබුණේ එකම එක පන්දු වාරයක් පමණ යි.

මතීෂ 2022 IPL තරගාවලියේ දී දස්කම් දැක්වූ අයුරු – iplt20.com

එම තරගාවලිය මාස 2කට පමණ පසුව T20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු තණතීරු වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර යි. එවැනි තත්ත්වයක් යටතේ පවා තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට මතීෂගේ නම ඇතුළත් වුණේ නැහැ. එම තරගාවලිය අතරතුර වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක් ආබාධයට පත්වීමෙන් පසුව මතීෂට ශ්‍රී ලංකා සංචිතය සඳහා කැඳවීමක් ලැබුණ ද ඔහුට එක තරගයක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. පසුගිය දිනවල නිමා වුණු නවසීලන්ත T20 තරගාවලියේ දී පවා ඔහුට එක තරගයක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතු වටිනා සම්පතක්

තවමත් 20 හැවිරිදි වියේ පසුවන මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සතු ව තිබෙන වටිනා සම්පතක්. අද වන විට එම වටිනා ක්‍රීඩකයා නිසි පරිදි කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නොහැකි වී තිබෙනවා. මතීෂගේ වටිනාකම තේරුම් ගත් චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රිකට් පරිපාලනය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීත් ඔහු සිය කණ්ඩායම සඳහා එක් කර ගත්තා. එපමණක් නොව ඔහුට තරග සඳහා සහභාගි වීමට ද අවස්ථාව ලබා දුන්නා. එසේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් මතීෂ එම තරගවල දී කැපී පෙනන දස්කම් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අපූරු පාඩමක් කියා දීමට සමත් ව සිටිනවා.

කවරයේ ඡායාරූපය- මතීෂ පතිරණ IPL තරගාවලියේ දී දස්කම් දක්වමින් - gettyimages.com
මූලාශ්‍ර:
iplt20.com
espncricinfo.com
howstat.com

Related Articles