Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL අවසන් වටයට පිවිසීමට වැඩි ම අවස්ථාවක් ඇති කණ්ඩායම් මොනවා ද?

2023 IPL ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. පසුගිය වසරවලට වඩා මෙවර තරගාවලියේ උද්වේගකර බව ඉතාමත් වැඩියි. එනිසා කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් ගැටුම්වලට පැටලෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා.

ඒ අතුරින් කාගේත් අවධානය වැඩිපුර දිනා ගත්තේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ විරාත් කෝලි ලක්නව් සුපර්ජයන්ට්ස් පිලේ නවීන් උල් හක් සහ ගෞතම් ගාම්භීර් සමඟින් ඇති කර ගත් ගැටුම යි. එම ගැටුම හේතුවෙන් එම ක්‍රීඩකයන් සියලු දෙනාට ම විශාල දඩ මුදලක් ගෙවීමට පවා සිදු වුණා.

කෝලි සහ ගාම්භීර් අතර ඇති වුණු ගැටුමෙන් පසුව – gettyimages.com

එලෙස ක්‍රියාත්මක වන IPL තරගාවලියේ මූලික තරග වටයේ අවසන් භාගයේ තරග මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මූලික වටයේ තරග 51ක් නිමාවට පත්ව තිබුණා. එම තරගවල ප්‍රතිඵලවලට අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණ 8ක් සමඟින් ලකුණු 16ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඔවුන් සමඟින් කරට කර සටනක නිරත වන චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග්‍රහණ 6ක් සමඟ ලකුණු 13ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

තරග 51 අවසන් වෙද්දී තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන දිස්වුණු අයුරු – espncricinfo.com

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වලට මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සඳහා පිවිසීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. එම කණ්ඩායම්වලට අමතර ව තවත් කණ්ඩායම් 5ක් ජයග්‍රහණ 5 බැගින් වාර්තා කරගෙන ප්‍රසාද ලකුණු 10 සීමාවට පැමිණ තිබෙනවා. මේ වන විට කණ්ඩායම් 7ක් මෙවර IPL තරගාවලියේ අවසන් සටනට පිවිසීම සඳහා ප්‍රබල සටනක නිරත වෙමින් සිටිනවා. ඒ අතුරින් මෙවර IPL තරගාවලියේ අවසන් වටයට පිවිසීමට වැඩිම අවස්ථාව තිබෙන කණ්ඩායම් 4 පිළිබඳවයි මෙම ලිපිය.

1). ගුජරාට් ටයිටන්ස්- ප්‍රසාද ලකුණු 16 (තරග 11)

2022 IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් ගුජරාට් ටයිටන්ස් පිල මෙවර IPL තරගාවලියේ දීත් සුපුරුදු දස්කම් පෙන්වමින් සිටිනවා. සාමාන්‍යයෙන් ගුජරාට් ටයිටන්ස් ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන් තරග දිනවන කණ්ඩායමක් ලෙස යි. ඔවුන් සතුව සිටින ප්‍රබලත ම පිතිකරුවා වන ශුබ්මන් ගිල් මෙවර IPL තරගාවලිය තුළ ඉනිම් 11කදී ලකුණු 469ක් ලබාගෙන සිටිනවා.

ඔහුට අමතරව නායක හාර්ඩික් පාණ්ඩ්‍යා ඉනිම් 9කදී ලකුණු 277ක්ද, රිද්දිමන් සහා ඉනිම් 11කදී ලකුණු 273ක් ලබාගෙන ගුජරාට් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වා තිබෙනවා.

ශුබ්මන් ගිල් – iplt20.com

මෙවර IPL තරගාවලියේ හොඳ ම පන්දු බළ ඇණිවලින් එකක් සිටින්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සතුව යි. වර්තමාන T20 පිටියේ සිටින දක්ෂතම පන්දු යවන්නෙක් වන රෂීඩ් ඛාන් ගුජරාට් කණ්ඩායමේ ප්‍රධානත ම පන්දු තුරුම්පුව යි. රෂීඩ්ට අමතර ව මොහොමඩ් ෂමී ගුජරාට් පන්දු බළ ඇණිය ශක්තිමත් කරනවා.

එම පන්දු යවන්නන් දෙදෙනා මේ වන විට මෙවර IPL තරගාවලියේ තරග 10 බැගින් ක්‍රීඩා කර කඩුලු 18 බැගින් දවා ගැනීම විශේෂත්වයක්. එම පන්දු යවන්නන් දෙදනාට අමතරව නූර් අහමඩ්, අල්සාරි ජෝශප් සහ මෝහිත් ෂර්මා යන දක්ෂ පන්දු යවන්නන් ගුජරාට් කණ්ඩායම සතුව සිටිනවා. එනිසා ඔවුන්ට ඕනෑම ප්‍රබල පිතිකරු බළ ඇණියක් මෙල්ල කිරීමේ හැකියාව පවතිනවා.

රෂීඩ් ඛාන් පන්දුවෙන් දස්කම් දක්වමින් – iplt20.com

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වන විට ඔවුන් සහභාගි වුණු තරග 11න් 8ක් ජයග්‍රහණය කර තිබෙනවා. එහි දී ගුජරාට් පිල පරාජය වුණු තරග 3 ම ඔවුන්ගේ සත්කාරක ක්‍රීඩාංගණය වුණු අහමදාබාද් හිදී පැවැත්වීම විශේෂත්වයක්. එම ප්‍රතිඵලවලට අනුව ගුජරාට් කණ්ඩායමට අවසන් තරගයට පිවිසීම සඳහා ඉතිරි තරග 3න් 1ක් ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත්. එහි දී ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ තරගයක් ඉතිරි ව තිබෙනවා. එම තරගය ජයග්‍රහණය කළහොත් ගුජරාට් පිලට පහසුවෙන් ම මෙවර IPL තරගාවලියේ අවසන් සටනට පිවිසෙනු ඇති.

2). චෙන්නායි සුපර් කිංග්ස්- ප්‍රසාද ලකුණු 13 (තරග 11)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ දී සාර්ථක වුණේ ඔවුන්ගේ මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දස්කම් නිසා යි. එහි දී චෙන්නායි ආරම්භක පිතිකරු යුගළය වන ඩෙවොන් කොන්වේ සහ රුතුරාජ් ගයික්වාඩ් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඉනිම් 10කදී ශතක සබඳතාවක් සහ අර්ධ ශතක සබඳතා 3ක් ගොඩනැගුවා.

ඒ අනුව කොන්වේ සහ ගයික්වාඩ් ඉනිම් 10 බැගින් ක්‍රීඩා කරමින් පිළිවෙළින් ලකුණු 458ක් සහ 384ක් ලබා තිබෙනවා. ඊට අමතරව අංක 3 සහ 4 ස්ථානයේ පන්දුවට පහරදෙන අජින්කයා රහ්නේ සහ ෂිවම් ඩුබේ පිළිවෙළින් ලකුණු 245ක් සහ 290ක් ලබා පිත්තෙන් දස්කම් දක්වා තිබෙනවා.

චෙන්නායි පිලේ ලකුණු මැෂිම ඩෙවොන් කොන්වේ – iplt20.com

චෙන්නායි පිතිකරු අංශයට සාපේක්ෂව පන්දු යැවීමේ අංශය එතරම් ප්‍රබල මට්ටමක නැහැ. චෙන්නායි පිල සතුව සිටි ප්‍රධානත ම වේග පන්දු යවන්නා වුණු දීපක් චහාර් තරගාවලියේ මුල් භාගයේ ආබාධයකට ලක් වීම ඔවුන්ට විශාල පාඩුවක් වුණා. එවැනි තත්ත්වයක් යටතේ තුෂාර් දේශ්පාණ්ඩේ සහ රවීන්ද්‍ර ජඩේජා පිළිවෙලින් කඩුලු 19ක් සහ 15ක් ලබා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සිය උපරිම මෙහෙය ඉටු කළා.

ඊට අමතරව මතීෂ පතිරණ තරග 7කදී කඩුලු 10ක් බිඳ දැමුවා. එහි දී ඔහු ඉනිමේ අවසන් පන්දු වාරවල දී දක්ෂ ලෙස පන්දු යැවීම චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණ කිහිපයක් හිමිවීමට විශාල හේතුවක් වුණා.

මතීෂ පතිරණ සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් – iplt20.com

චෙන්නායි කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තවත් තරග 3ක් ඉතිරි ව තිබෙනවා. ඔවුන්ට එයින් තරග 2කදී ම උරෙනුර ගැටීමට සිදුව තිබෙන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ යි. ඉතිරි තරගයේ දී ඔවුන්ට තරග වැදීමට සිදුව තිබෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ යි. එම කණ්ඩායම් 2ක මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් 9 සහ 8 යන ස්ථානවල පසුවෙනවා.

එනිසා එම තරගවල දී වැඩි වාසිය හිමිවන්නේ චෙන්නායි කණ්ඩායමට යි. එහි දී එම තරග 3න් 2ක් චෙන්නායිවල දී පැවැත්වීම චෙන්නායි කණ්ඩායමට අමතර වාසියක්. ඒ අනුව චෙන්නායි කණ්ඩායම එයින් තරග 2ක් ජයගත්තොත් ඔවුන්ට පහසුවෙන් ම මෙවර IPL තරගාවලියේ අවසන් වටයට පිවිසෙන්නට පුළුවන්. එසේ ම එම තරගවලින් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ද ඔවුන්ට එම අවස්ථාව හිමිවීමට ඉඩකඩ තිබෙනවා.

3). ලක්නව් සුපර්ජයන්ට්ස්- ප්‍රසාද ලකුණු 11 (තරග 11)

2023 IPL තරගාවලියේ අවසන් තරග වටයට පිවිසීමට ප්‍රබල සටනක නිරතවෙමින් සිටින කණ්ඩායම් අතරට ලක්නව් සුපර්ජයන්ට්ස් පිල ද අයත්. ඔවුන්ගේ නිත්‍ය නායකයා වන ලෝකේෂ් රාහුල් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීම ලක්නව් පිලට විශාල පාඩුවක්. ඔහුගේ ඉවත්වීමත් සමඟ ආරම්භක පිතිකරු ස්ථානයේ ඇති වුණු හිඩැස පිරවීම සඳහා මේ වන විට කුයින්ටන් ඩි කොක් යොදාගෙන තිබෙනවා.

එනිසා ලක්නව් පිලේ පිතිකරණ ශක්තිය තවමත් එලෙස ම පවතිනවා. ඒ අනුව මේ වන විට කුයින්ටන් ඩි කොක්, කයිල් මේයර්ස්, මාකස් ස්ටොයිනිස්, නිකලස් පූරන් යන ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරුවන් සිව්දෙනා ලක්නව් පිලට ඇතුළත් වී සිටින නිසා ඔවුන්ට විශාල ඉලක්ක හඹායමින් තරග ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

කයිල් මේයර්ස් පිත්තෙන් දස්කම් දක්වමින් – iplt20.com

ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු බළ ඇණිය එතරම් ප්‍රබල මට්ටමක නැහැ. ලක්නව් පිල සතුව සිටි ප්‍රබලත ම පන්දු යවන්නෙක් වුණු මාක් වුඩ්ගේ සේවය ද මේ වන විට ඔවුන්ට අහිමි ව තිබෙනවා. එනිසා ලක්නව් පන්දු බළ ඇණියේ ශක්තිමත් කරන්නේ රවී බිෂ්නෝයි, ආවේෂ් ඛාන්, කෘනාල් පාණ්ඩ්‍යා, නවීන් උල් හක් යන පන්දු යවන්නන් සිව්දෙනා යි.

එම පන්දු යවන්නන් අතුරින් වැඩි දස්කම් දැක්වූ රවී බිෂ්නෝයි තරග 11කදී බිඳ දැමූ කඩුලු ප්‍රමාණය 12ක්. ලක්නව් පිලේ පන්දු යැවීමේ අංශයේ ශක්තිය තරමක් දුරට හීනවී තිබෙන නිසා තරග ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ගේ පිතිකරුවන්ගේ දස්කම් වැඩිපුර මතුවිය යුතු යි.

රවී බිෂ්නෝයි කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – iplt20.com

ලක්නව් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තවත් තරග 3ක් ඉතිරි ව තිබෙනවා. ඔවුන්ට එයින් තරග 2කදී උරෙනුර ගැටීමට සිදු ව තිබෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් සමඟ යි. එම කණ්ඩායම් 2ක මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් 10 සහ 8 යන ස්ථානවල පසුවෙනවා. එනිසා එම තරගවල දී වැඩි වාසිය හිමි වන්නේ ලක්නව් කණ්ඩායමට යි. ඒ අනුව ලක්නව් කණ්ඩායම එයින් තරග 2ක් ජයගත්තොත් ඔවුන් මෙවර IPL තරගාවලියේ අවසන් වටයට පිවිසීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

4). රාජස්තාන් රෝයල්ස්- ප්‍රසාද ලකුණු 10 (තරග 10)

රාජස්තාන් රෝයල්ස් අවසන් වරට 2022 දී පැවති IPL තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් කණ්ඩායම යි. මෙවර IPL තරගාවලියට සහභාගි වන වඩාත් ප්‍රබල කණ්ඩායමක් වන රාජස්තාන් රෝයල්ස් පිලට ශක්තිමත් ආරම්භක පිතිකරු යුගළයක් සිටිනවා. ඒ අතුරින් පිත්තෙන් ඉහළ දස්කම් දැක්වූ යෂස්වි ජයිස්වාල් ඉනිම් 10කදී ශතකයක් සමඟින් ලකුණු 442ක් ලබා ගනිද්දී ජෝස් බට්ලර් ඉනිම් 10කදී ලබාගත් ලකුණු ප්‍රමාණය 297ක්.

එලෙස තරගාවලිය පුරා ලකුණු අතර සිටි ඔවුන් දෙපළ මෙවර IPL තරගාවලියේ දී ඉනිම් 9කින් 5කදී ලකුණු 70කට වඩා වැඩි ආරම්භක සබඳතා ගොඩනැඟීම සුවිශේෂී සිදුවීමක්. රාජස්තාන් පිලේ මැද පෙළ පිතිකරුවන් මෙවර තරගාවලියේ දී දස්කම් අතර සිටියේ නැහැ. ඔවුන් ලකුණු අතරට නොසිටීම හේතුවෙන් රාජස්තාන් පිලට පන්ජාබ් සහ බැංගලෝර් තරගවල දී පහසුවෙන් ලබා ගැනීමට තිබුණු ජයග්‍රහණ අහිමි ව ගියා.

යෂස්වි ජයිස්වාල් සිය මංගල IPL ශතකය ලබාගත් මොහොත – iplt20.com

පසුගිය IPL තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා වුණු යුස්වේන්ද්‍ර චහාල් මෙවරත් රාජස්තාන් රෝයල්ස් පිල නියෝජනය කරනවා. චහාල්ට අමතර ව රවිචන්ද්‍රන් අශ්වින්, ට්‍රෙන්ට් බෝල්ට් සහ සන්දීප් ෂර්මා රාජස්තාන් පන්දු බළ ඇණිය ශක්තිමත් කරනවා. එම පන්දු යවන්නන් සියලුදෙනා ම අත්දැකීම් සහිත පන්දු යවන්නන් නිසා රාජස්තාන් පන්දු බළ ඇණිය ඕනෑම කණ්ඩායමක පිතිකරු බළ ඇණියට ප්‍රබල අභියෝගයක්.

මෙවර IPL තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරගවල දී අශ්වින් සහ චහාල් කඩුලු 13 බැගින් දවා ගත්තා. ඊට අමතර ව ට්‍රෙන්ට් බෝල්ට් තරග 8කට පමණක් සහභාගි වෙමින් දවා ගත් කඩුලු ප්‍රමාණය 10ක්. එම පන්දු යවන්නන් දැක්වූ දස්කම් නිසා රාජස්තාන් පිලට මෙවර IPL තරගාවලියේ අවසන් සටනට පිවිසීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙනවා.

යුස්වේන්ද්‍ර චහාල් පන්දුවෙන් දස්කම් දක්වමින් – iplt20.com

රාජස්තාන් කණ්ඩායමට 2023 IPL තරගාවලියේ මූලික වටයේ තවත් තරග 4ක් ඉතිරි ව තිබෙනවා. ඔවුන්ට අවසන් වටයට පිවිසීමට එයින් තරග 3ක් ජයග්‍රහණය කළ යුතු යි. එහි දී රාජස්තාන් කණ්ඩායමට ප්‍රසාද ලකුණු පුවරුවේ පහළ සිටින හයිද්‍රාබාද් සහ කොල්කටා කණ්ඩායම් සමඟින් සිදුවෙනවා. එම තරග ජයග්‍රහණය කිරීමට ඔවුන්ට වැඩි හැකියාවක් පවතිනවා.

එසේ වුණොත් බැංගලෝර් සහ පන්ජාබ් යන කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරගවලින් 1ක් ජයග්‍රහණය කළොත් රාජස්තාන් පිලට IPL අවසන් සටනට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. රාජස්තාන් කණ්ඩායම මේ වන 0.488ක දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන සිටිනවා. එනිසා ඔවුන්ට ඉතිරි තරග 4න් 2ක් ජයග්‍රහණය කළත් අවසන් වටයට පිවිසෙන්නට අවස්ථාවක් තිබෙන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය- මෙවර IPL සටනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් පිල - gettyimages.com

මූලාශ්‍ර:
espncricinfo.com
iplt20.com
howstat.com

Related Articles