Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තෙවන පාර්ශවීය මැදිහත්වීමකින් විලංගු වැටුණු ශ්‍රී ලංකා පාපන්දුව

අවසන් වරට නිකුත් කළ පාපන්දු ශ්‍රේණි ගත කිරීම් ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව රටවල් 211ක් අතුරින් 207 වන ස්ථානයේ රැඳී සිටියා. දිනෙන් දින පහළට යන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය සතියේ තවත් විශාල ගැටලුවකට මුහුණ දුන්නා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තාවකාලික තහනමක් පැනවීමත් සමඟ යි. එම තහනම 2023 ජනවාරි 21 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන එකක්.

ශ්‍රී ලංකා පාපන්දුව – www.facebook.com

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පසුගිය ජනවාරි 14 වැනිදා පැවැත්වුණා. එම නිලවරණය සම්බන්ධ කාරණාවල දී තෙවන පාර්ශවීය මැදිහත්වීමක් සිදු වුණු නිසා මෙම තහනම පනවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැනවූ තහනම ඉවත් වන තුරු අප රටට ජාත්‍යන්තර පාපන්දු තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමිව යනවා. මේ ආකාරයට ම පසුගිය වසරේ අගෝස්තුවේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ඉන්දියාවේ පාපන්දු සම්මේලනයට ද තහනමක් පැනවූවා.

ආසනල් පිල එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ තවත් ඉදිරියට

2022/23 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය අගෝස්තු මාසයේ මුල් සතියේ දී ආරම්භ වුණා. ගෙවුණු මාස 5කට වැඩි කාලයක දී එම තරගාවලියේ තරග සති 21ක් තිස්සේ ක්‍රියාත්මක වුණා. එහි දී ඉහළ දස්කම් දැක්වූ ආසනල් කණ්ඩායම තරග 19කට සහභාගි වී ජයග්‍රහණ 16ක් වාර්තා කළා.

එසේ ලබා ගත් ජයග්‍රහණ 16ත් සමඟින් ලකුණු 50 සීමාවට පැමිණි ආසනල් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඔවුන්ට ප්‍රබල සටනක් ලබා දෙමින් සිටින මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ජයග්‍රහණ 14ක් සමඟින් ලකුණු 45ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ආසනල් කණ්ඩායම – gettyimages.com

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තොරතුරු

ආසනල් කණ්ඩායම මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුල් ම වරට පෙරමුණ ගත්තේ තෙවන තරග සතියේ දී යි. එතැන් සිට විශිෂ්ට දස්කම් දැක්වූ ආසනල් ක්‍රීඩකයන් මේ දක්වා අඛණ්ඩ ව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට සමත් වුණා. එහි දී ඔවුන් ලිවර්පූල්, මැන්චෙස්ටර් යුනයිටඩ්, ටොටෙන්හැම් හොට්ස්පර්, සහ චෙල්සි යන ප්‍රබල කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා.

ආසනල් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට වැඩි ම ගෝල ප්‍රමාණයක් ලබා සිටින්නේ මාටින් ඕඩ්ගාඩ් නම් ක්‍රීඩකයා යි. කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන ඕඩ්ගාඩ් ලබා ගත් සමස්ත ගෝල ප්‍රමාණය 8ක්. ඊට අමතර ව ගේබ්‍රියල් මාටිනෙල්ලී සහ බුකායෝ සාකා ආසනල් කණ්ඩායම වෙනුවෙන් ගෝල 7 බැගින් ලබා දස්කම් දැක්වූවා.

ආසනල් නායක මාටින් ඕඩ්ගාඩ් – gettyimages.com

ප්‍රබල ආසනල් කණ්ඩායමට කරට කර සටනක් ලබා දෙමින් සිටින මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලිවර්පූල්, චෙල්සි, බ්‍රයිටන්, මැන්චෙස්ටර් යුනයිටඩ්, ටොටෙන්හැම් හොට්ස්පර් යන ප්‍රබල කණ්ඩායම් සමඟින් ජයග්‍රහණ වාර්තා කළා. මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල මැෂිම බවට පත් ව සිටින්නේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ අර්ලින්ග් හාලන්ඩ් නම් ක්‍රීඩකයා යි.

ඔහු මේ වන විට තරග 19කට සහභාගි වී ගෝල 25ක් ලබා තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා. එහි දී ඔහු ක්‍රිස්ටල් පැලස්, නොටිංහැම් ෆොරස්ට්, මැන්චෙස්ටර් යුනයිටඩ්, සහ වොල්වර්හැම්ටන් වොන්ඩරර්ස් යන කණ්ඩායම් හමුවේ ත්‍රිත්ව ගෝල රැස් කිරීම විශේෂත්වයක්. මේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් ස්ථාන 5 හි රැඳී සිටින කණ්ඩායම් 5 යි.

අර්ලින්ග් හාලන්ඩ් ගෝලයක් ලබා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

1). ආසනල්- ප්‍රසාද ලකුණු 50 (තරග- 19)

2). මැන්චෙස්ටර් සිටි- ප්‍රසාද ලකුණු 45 (තරග- 20)

3). නිව්කාසල් යුනයිටඩ්- ප්‍රසාද ලකුණු 39 (තරග- 20)

4). මැන්චෙස්ටර් යුනයිටඩ්- ප්‍රසාද ලකුණු 39 (තරග- 20)

5). ටොටෙන්හැම් හොට්ස්පර්- ප්‍රසාද ලකුණු 33 (තරග- 20)

ආසනල් කණ්ඩායම අවසන් වරට එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාව ජයග්‍රහණය කළේ 2003/04 තරග වාරයේ දී යි. එම දස්කම 19 වසරකට පසු ව නැවතත් දැක්වීමට මෙවර ඔවුන්ට හොඳ ම අවස්ථාවක් උදා වී තිබෙනවා.

2003/04 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරයන් වුණු ආසනල් කණ්ඩායම – gettyimages.com

න්දියාවට තවත් එක්දින තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත ඉන්දු-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරග දෙක පසුගිය සතියේ දී පැවැත්වුණා. එම තරග දෙක ම ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම තරගයක් ඉතිරි ව තිබිය දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තරගාවලියේ පළමු තරගය හයිද්‍රාබාද් හිදී පසුගිය බදාදා (18) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහරදුන්නේ ඉන්දියාව යි.

ඉනිම ආරම්භයේ සිට ම විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ශුබ්මන් ගිල් හතරේ පහර 19ක් සහ හයේ පහර 9ක් සමඟින් පන්දු 149කින් ලකුණු 208ක් ලබා ගත්තා. එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ද්විත්ව ශතකයක් ලබා ගත් ළාබාල ම පිතිකරුවා ලෙසින් ඔහු ඉතිහාසගත වුණා. ගිල්ගේ එම සුපිරි ඉනිම නිසා ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස් කළා.

ශුබ්මන් ගිල් ද්විත්ව ශතකය ලබා ගත් අවස්ථාව – espncricinfo.com

ලකුණු 350ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 131ක දී බිඳ වැටුණා. ඒ මොහොතේ පිටියේ එක් වුණු මයිකල් බ්‍රේස්වෙල් සහ මිචෙල් සැන්ට්නර් 7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක අගනා සබඳතාවක් ගොඩනැඟුවා. පන්දු 45කින් ලකුණු 57ක් ලබා සිටි සැන්ට්නර් දැවීයාමෙන් පසුව එම සබඳතාව බිඳ වැටුණා.

ඉන් නොසැලුණු බ්‍රේස්වෙල් හයේ පහර 10ක් සමඟ පන්දු 78කින් ලකුණු 140ක් ලබා ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම නිසා තරගය තියුණු අතට හැරුණා. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා පන්දු 5කින් ලකුණු 13ක් අවශ්‍ය වුණු මොහොතේ බ්‍රේස්වෙල් දැවී යාමත් සමඟින් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ මයිකල් බ්‍රේස්වෙල් (espncricinfo.com)

මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 349/8 (50), (ගිල්- 208, රෝහිත්- 34, සූර්යකුමාර්- 31, මිචෙල්- 30/2, ෂිප්ලි- 74/2)
නවසීලන්තය- 337/10 (49.2), (බ්‍රේස්වෙල්- 140, සැන්ට්නර්- 57, ඇලන්- 40, සිරාජ්- 46/4, කුල්දීප්- 43/2)
ඉන්දියාවට ලකුණු 12ක ජයක්
තරගයේ වීරයා- ශුබ්මන් ගිල්


ඉන්දු-නවසීලන්ත එක්දින තරගාවලියේ දෙවන තරගය රායිපූර් හිදී පසුගිය සෙනසුරාදා (21) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 15ක දී බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉන් පසුව කිසිදු නවසීලන්ත පිතිකරු යුගළයකට කඩා වැටුණු ඉනිම ගොඩනැඟීමට හැකි වුණේ නැහැ. අවසන නවසීලන්ත ඉනිම පන්දු වාර 34.3ක දී ලකුණු 108කට සීමා වුණා.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මොහොමඩ් ෂමී ලකුණු 18කට කඩුලු 3ක් බිඳ දැමුවා. ඉන් අනතුරු ව ලකුණු 112ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දු වාර 20.1ක දී කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාවට තරගාවලියේ ජය හිමි වුණා.

පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් ෂමී (espncricinfo.com)

මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.
කෙටි ලකුණු පුවරුව

නවසීලන්තය- 108/10 (34.3), (පිලිප්ස්- 36, සැන්ට්නර්- 27, ෂමී- 18/3, සුන්දර්- 7/2, හාර්ඩික්- 16/2)
ඉන්දියාව- 111/2 (20.1), (රෝහිත්- 51, ගිල්- 40*, සැන්ට්නර්- 28/1, ෂිප්ලි- 29/1)
ඉන්දියාවට කඩුලු 8ක ජයක්
තරගයේ වීරයා- මොහොමඩ් ෂමී

2023 පිරිමි හොකී ලෝක කුසලානයේ පළමු වටයේ තරග අවසන්

2023 පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී පසුගිය ජනවාරි 13 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලියේ තරග පැවැත්වෙන්නේ බුබනේෂ්වර් සහ රූර්කේලා යන නගර ආශ්‍රිත ව යි. මෙවර පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, බෙල්ජියම, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, වේල්ස්, චිලී, දකුණු කොරියාව, ජපානය, නවසීලන්තය සහ මැලේසියාව යන රටවල් 16 සහභාගි වෙනවා.

එම තරගාවලියේ පළමු තරග වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන් දිස් වුණු ආකාරය යි මේ.

A කාණ්ඩය
1). ඕස්ට්‍රේලියාව- ලකුණු 7
2). ආජන්ටිනාව- ලකුණු 5
3). ප්‍රංශය- ලකුණු 4
4). දකුණු අප්‍රිකාව- ලකුණු 0

B කාණ්ඩය
1). බෙල්ජියම- ලකුණු 7
2). ජර්මනිය- ලකුණු 7
3). දකුණු කොරියාව- ලකුණු 3
4). ජපානය- ලකුණු 0

ඕස්ට්‍රේලියා-ආජන්ටිනා තරගයේ අවස්ථාවක් – sportstar.thehindu.com

C කාණ්ඩය
1). නෙදර්ලන්තය- ලකුණු 9
2). මැලේසියාව- ලකුණු 6
3). නවසීලන්තය- ලකුණු 3
4). චිලී- ලකුණු 0

D කාණ්ඩය
1). එංගලන්තය- ලකුණු 7
2). ඉන්දියාව- ලකුණු 7
3). ස්පාඤ්ඤය- ලකුණු 3
4). වේල්ස්- ලකුණු 0

නෙදර්ලන්ත-චිලී තරගයේ අවස්ථාවක් – gettyimages.com

පළමු තරග වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සෘජුව ම සුදුසුකම් ලබා ගත්තා. ඉන් අනතුරුව සෑම කාණ්ඩයක ම දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත් කණ්ඩායම් 8 අතුරින් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට තෝරා ගැනීම සඳහා දෙවන තරග වටය පැවැත්වුණා.

එම වටයේ තරග 2ක් ඊයේ (22) පැවැත්වුණා. එහි දී සත්කාරක ඉන්දීය කණ්ඩායම නවසීලන්තය හමුවේ පරාජය ලැබීම කාගේත් අවධානයට ලක් වුණු සිදුවීමක් වුණා.මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.
1). මැලේසියාව සහ ස්පාඤ්ඤය- ගෝල 2-2 (දඬුවම් පහර 4-3කින් තරගයේ ජය ස්පාඤ්ඤයට)
2). නවසීලන්තය සහ ඉන්දියාව- ගෝල 3-3 (දඬුවම් පහර 5-4කින් තරගයේ ජය නවසීලන්තයට)

ඉන්දු-නවසීලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙම තරග වටයේ තරග 2ක් අද (23) පැවැත්වෙනවා. එහි දී ජර්මනිය සහ ප්‍රංශය එක් තරගයක දී උරෙනුර ගැටෙද්දී ඉතිරි තරගයේ දී තරග වදින්නේ ආජන්ටිනාව සහ දකුණු කොරියාව යන කණ්ඩායම් 2යි. එම තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම්වලට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. මේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාල සටහන යි.

1). පළමු අර්ධ අවසන් පූර්ව තරගය- ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය- ජනවාරි 24
2). දෙවන අර්ධ අවසන් පූර්ව තරගය- බෙල්ජියම සහ නවසීලන්තය- ජනවාරි 24
3). තෙවන අර්ධ අවසන් පූර්ව තරගය- නෙදර්ලන්තය සහ ආජන්ටිනාව/දකුණු කොරියාව- ජනවාරි 25
4). සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය- එංගලන්තය සහ ජර්මනිය/ප්‍රංශය- ජනවාරි 25

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම 2019 දී - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricbuzz.com
premierleague.com
fih.hockey
fifa.com

Related Articles