Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත T20 තරගාවලිය ජයග්‍රාහී ලෙස ඇරඹූ ශ්‍රී ලංකා පිල

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් පිටියේ දී ඊයේ (02) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.

ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ද නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කළා. ඒ අනුව දෙපිලේ ලකුණු සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා. එම පන්දු වාරයේ දී නවසීලන්තය අභිබවා ගිය ශ්‍රී ලංකා පිල 17 වසරකට පසුව නවසීලන්ත බිමේ දී T20 තරග ජයග්‍රහණයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු T20 තරගයේ අවස්ථාවක් – gettyimages.com

චරිත් අසලංකගේ සුපිරි දස්කම් නිසා ශ්‍රී ලංකාවට වටිනා T20 තරග ජයග්‍රහණයක්

2023 ශ්‍රීලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් පිටියේ දී ඊයේ (02) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී යාම විශේෂ සිදුවීමක් වුණා. එලෙස පැතුම් නිස්සංකගේ කඩුල්ල අහිමිවීමෙන් පසුව පිටියේ එකතු වුණු කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 47ක ඉතාමත් වටිනා සබඳතාවක් ගොඩනැගුවා.

එහි දී කුසල් මෙන්ඩිස් පන්දු 9කින් වේගවත් ලකුණු 25ක් රැස් කළා. තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිලට හිමි ව තිබුණු ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු නවසීලන්ත පන්දු යවන්නන් ඉක්මනින් කඩුලු 2ක් දවා ගත්තා. එනිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 65/3ක් දක්වා පල්ලම් බැස්සා.

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

ශ්‍රී ලංකා ඉනිම බිඳවැටෙමින් තිබුණු එම අවස්ථාවේ පිටියේ එකතු වුණු චරිත් අසලංක සහ කුසල් පෙරේරා යන වමත් පිතිකරු යුගළය නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත අයුරින් පන්දුවට පහර දුන්නා. එහි දී ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 68කින් ලකුණු 103ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුණා.

එම සබඳතාව වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන් චරිත් අසලංක පන්දු 41කින් හයේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 67ක් රැස් කළා. එසේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමට ඉහළ දායකත්වයක් ලබා දුන් අසලංක දැවී යාමත් සමඟින් නවසීලන්ත පන්දු යවන්නන් යළි තරගයට යළි අවතීර්ණ වුණා.

චරිත් අසලංකගේ වටිනා ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

එවැනි වටපිටාවක සිය පිත්ත ක්‍රියාත්මක කළ වනිඳු හසරංග පන්දු 11කින් ලබා ගත් ලකුණු 21 නිසා නියමිත පන්දු වාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම 196/5 ලෙසින් නිමාව දුටුවා. එහි දී කලකට පසුව ශ්‍රී ලංකා T20 පිලට එකතු වුණු කුසල් පෙරේරා ඉතා වගකීමෙන් පන්දුවට පහරදෙමින් පන්දු 45කින් නොදැවී ලකුණු 53ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් එසේ පිත්තෙන් දස්කම් දක්වද්දී නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජිමී නීෂම් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා. ඉන් අනතුරු ව ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු යුගළය ඉක්මනින් ම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා – gettyimages.com

නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 3ට කඩුලු 2ක් ලෙසින් දිස් වුණු අවස්ථාවේ පිටියේ එක් වුණු ඩාර්ලි මිචෙල් සහ ටොම් ලේතම් තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 63ක සබඳතාවක් ගොඩනැඟුවා. ඉන් පසුව ඩර්ලි මිචෙල් සහ මාක් චැප්මන් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 66ක සබඳතාවක් ගොඩනැඟුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නවසීලන්තයට තරගයට යළි අවතීර්ණ වීමට හැකි වුණා. එහි දී ඉතා වගකීමෙන් පන්දුවට පහරදුන් මිචෙල් අර්ධ ශතකයක් ලබමින් එක් අන්තයක් රැක ගනිමින් සිය කණ්ඩායමක ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල සටනක නිරත වුණා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල ඩාර්ලි මිචෙල් - gettyimages.com

ඒ අනුව නවසීලන්තයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 36ට ලකුණු 65ක් අවශ්‍ය වුණා. එම අවස්ථාව වන විට කඩුලු 7ක් ඔවුන් අතැති ව තිබුණු නිසා තරගය දෙපිලට ම විවෘතව පැවතුණා. එවැනි ඉතාමත් තීරණාත්මක මොහොතක පන්දුවෙන් දස්කම් අතරට පැමිණි වනිඳු හසරංග සහ දසුන් ශානක කඩුලු 2 බැගින් දවා ගෙන තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිලට හිමි කර දුන්නා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන්ට අවසන් පන්දුවෙන් ලකුණු 7ක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ පරාජය භාර ගැනීමට අකමැති වුණු නවසීලන්ත පිතිකරු ඉෂ් සෝඩි ඉනිමේ අවසන් පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් ලකුණු සම කළා. එනිසා තරගයේ ජයග්‍රාහකයා තේරීමට සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වුණා.

පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග - gettyimages.com

එහි දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ මහීෂ් තීක්ෂණ සුපිරි පන්දු වාරය තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත්තා. ඉන් පසුව එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු 3ක දී අවශ්‍ය වුණු ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.

එහි දී යළිත් දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අසලංක පිට පිට ම පන්දු 2කදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. ඒ අනුව ශ්‍රී ලංකා පිල 17 වසරකට පසුව නවසීලන්ත බිමේ දී T20 තරග ජයග්‍රහණයක් වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ එම ජයග්‍රාහී තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

දක්ෂ ලෙස සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ - gettyimages.com

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව- 196/5 (20), (අසලංක- 67, කුසල්- 53*, මෙන්ඩිස්- 25, හසරංග- 21*, නීෂම්- 30/2)
නවසීලන්තය- 196/8 (20), (මිචෙල්- 66, චැප්මන්- 33, ශානක- 20/2, හසරංග- 30/2, ප්‍රමෝද්- 37/2)

තරගයේ ලකුණු සම වුණා (සුපිරි පන්දු වාරයේ ජය ශ්‍රී ලංකාවට)
තරගයේ වීරයා- චරිත් අසලංක

ශ්‍රී ලංකා පිල 44 වසරකට පසුව එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය පසුගිය සතියේ හැමිල්ටන් හි දී නිමාව දුටුවා. එම තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායම යි. එහි දී නවසීලන්ත පිල තරගාවලියේ පළමු සහ තෙවන තරග පිළිවෙළින් ලකුණු 198කින් සහ කඩුලු 6කින් ජයගනිද්දී දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

ශ්‍රී ලංකා පිල එසේ ලැබූ එක්දින තරගාවලි පරාජයත් සමඟින් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව ම සුදුසුකම් ලබා ගැනීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියා.

එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම - gettyimages.com

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයකට එක් වන්නේ වසර 44කට පසුව යි. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ දේශයේ දී එළඹෙන ජූනි 18 වැනිදා ආරම්භ වීමට නියමිත යි.

ඒ සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය, නේපාලය ඇතුළු රටවල් 10ක් සහභාගි වන බවට වාර්තා වෙනවා. එම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ඉහළ දස්කම් දක්වන කණ්ඩායම් 2කට පමණක් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට වරම් ලැබෙනු ඇති.

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයන්ගෙන් තවත් ජාත්‍යන්තර පදක්කම් 2ක්

2023 ඕස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය බ්‍රිස්බේන් නුවර දී පසුගිය දිනවල පැවැත්වුණා. ඒ යටතේ පැවති පැරා මලල ක්‍රීඩා ඉසව් සඳහා පැරා ඔලිම්පික් පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක යුගළයක් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් සහභාගි වුණා. එම තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතර පැමිණි දිනේෂ් ප්‍රියන්ත F46 ආබාධිත කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

එහි දී ඔහු මීටර් 63.18ක දුරකට හෙල්ලය විසි කළා. F44 ආබාධිත කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට සහභාගි වුණු සමිත දුලාන් මීටර් 64.20ක දුරකට හෙල්ලය විසි කරමින් රිදී පදක්කම දිනා ගත්තා.

දිනේෂ් ප්‍රියන්ත - paralympic.org

වසර 10කට පසුව ශ්‍රී ලංකා පිතිකරුවකුගෙන් IPL අර්ධ ශතකයක්

2023 IPL ක්‍රිකට් තරගාවලිය අහමදාබාද් හිදී පසුගිය සිකුරාදා (31) ආරම්භ වුණා. එහි දී තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණේ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් දෙක යි. එහි දී දස්කම් අතරට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළා. එම තරගාවලිය යටතේ පැවැති දෙවන තරගයේ දී උරෙනුර ගැටුණේ පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් දෙක යි. එම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 7ක ජයක් හිමි වුණේ පන්ජාබ් කණ්ඩායමට යි.

එහි දී ජයග්‍රාහී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 32කින් වේගවත් ලකුණු 50ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවෙක් වසර 10කට පසුව IPL අර්ධ ශතකයක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

අවසන් වරට IPL අර්ධ ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් ව සිටියේ මහේල ජයවර්ධන යි. ඔහු 2013 IPL තරගාවලියේ දී එම අර්ධ ශතකය වාර්තා කර තිබුණා. එහි දී මහේල දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 43කින් ලකුණු 59ක් ලබා ගෙන එම දස්කම දක්වා තිබුණා.

පන්ජාබ් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ – iplt20.com

දකුණු අප්‍රිකාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට T20 තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත වුණු දකුණු අප්‍රිකා-බටහිර ඉන්දීය කොදෙව් T20 තරගාවලිය ජොහැන්ස්බර්ග් හිදී පසුගිය අඟහරුවාදා (28) නිමාවට පත් වුණා. එම තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් හිමි වුණේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට යි.

එසේ වාර්තා කළ ජයග්‍රහණයත් සමඟින් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වුණේ බටහිර ඉන්දීය කොදෙව් පිලට යි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල වසර 8කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ T20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා. මේ එම තරගාවලිය යටතේ පැවති තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

තරගාවලිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – gettyimages.com

පළමු T20 තරගය

දකුණු අප්‍රිකාව- 131/8 (11)
බටහිර ඉන්දීය කොදෙව්- 132/7 (10.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 3ක ජයක්
තරගයේ වීරයා- රොව්මන් පවෙල් (බටහිර ඉන්දීය කොදෙව්)

දෙවන T20 තරගය
බටහිර ඉන්දීය කොදෙව්- 258/5 (20)
දකුණු අප්‍රිකාව- 259/4 (18.5)

දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- කුයින්ටන් ද කොක් (දකුණු අප්‍රිකාව)

තෙවන T20 තරගය
බටහිර ඉන්දීය කොදෙව්- 220/8 (20)
දකුණු අප්‍රිකාව- 213/6 (20)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- අල්සාරි ජෝශප් (බටහිර ඉන්දීය කොදෙව්)
තරගාවලියේ වීරයා- ජොන්සන් චාල්ස් (බටහිර ඉන්දීය කොදෙව්)

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ T20 ජය ලබා ගත් මොහොත - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
iplt20.com
dailynews.lk

Related Articles