Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ දී දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා IPL වරම් ලද දසුන්  

2023 IPL T20 ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද් හි දී පසුගිය මාර්තු 31 වැනිදා ආරම්භ වුණා. මෙවර IPL තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණේ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් යුගළය යි. එම තරගය අතරතුර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩක කේන් විලියම්සන් නොසිතූ ලෙස ආබාධයකට ලක් වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. විලියම්සන්ගේ නික්ම යාමෙන් පසු ව ඇති වුණු පුරප්පාඩුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවීමට එම කණ්ඩායම් කළමනාකාරීත්වය පසුගිය අඟහරුවාදා (4) තීරණය කළා.

ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක දසුන් ශානක – gettyimages.com

ඒ අනුව දසුන්ට IPL තරගාවලිය සඳහා එක්වීමට මුල් ම වරට වරම් හිමි වුණා. දසුන් අවසන් වරට ඉන්දියාවේ දී ක්‍රීඩා කළ T20 ඉනිම් 5දී නොදැවීම් 3ක් සමඟ ලකුණු 245ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 122.50ක් ලෙසින් සටහන් වුණා. ඒ වාගේම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 199.18ක් ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් දසුන් අවසන් වරට ඉන්දීය බිමේ පැවති T20 තරගවල දී පිත්තෙන් දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා ම ඔහුට මෙවර IPL තරගාවලිය සඳහා එකතු වීමට වරම් හිමි වුණා.

IPL තරග බිමේ කණ්ඩායම් 6ක් අතර ප්‍රබල සටනක්

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තරග 14ක් මේ වන විට පවත්වා අවසන්. එම තරගවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණු රාජස්තාන් රෝයල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් ජයග්‍රහණය 2 බැගින් වාර්තා කරගෙන ලකුණු 4 බැගින් ලබා සිටිනවා. ඒ අනුව 2023 IPL තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගන්නා ලකුණු දැනටමත් පෙනෙන්නට තිබෙනවා. මේ 2023 IPL තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස්- ගුජරාට් පිලට කඩුලු 5ක ජයක්
2). පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස්- පන්ජාබ් පිලට ලකුණු 7ක ජයක්
3). ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස්- ලක්නව් පිලට ලකුණු 50ක ජයක්
4). රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද්- රාජස්තාන් පිලට ලකුණු 72ක ජයක්
5). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස්- බැංගලෝර් පිලට කඩුලු 8ක ජයක්

ගුජරාට් සහ චෙන්නායි කණ්ඩායම් අතර පැවති තරගයේ අවස්ථාවක් – iplt20.com

6). චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස්- චෙන්නායි පිලට ලකුණු 12ක ජයක්
7). ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස්- ගුජරාට් පිලට කඩුලු 6ක ජයක්
8). පන්ජාබ් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස්- පන්ජාබ් පිලට ලකුණු 5ක ජයක්
9). කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- කොල්කටා පිලට ලකුණු 81ක ජයක්
10). ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද්- ලක්නව් පිලට කඩුලු 5ක ජයක්

පන්ජාබ් පිල, රාජස්තාන් පිල හමුවේ තරගය ජයගත් මොහොත – iplt20.com

11). රාජස්තාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස්- රාජස්තාන් පිලට ලකුණු 57ක ජයක්
12). චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස්- චෙන්නායි පිලට කඩුලු 7ක ජයක්
13). කොල්කටා නයිට් රයිඩර්ස් සහ ගුජරාට් ටයිටන්ස්- කොල්කටා පිලට කඩුලු 3ක ජයක්
14). සන්රයිසස් හයිද්‍රාබාද් සහ පන්ජාබ් කිංග්ස්- සන්රයිසස් පිලට කඩුලු 8ක ජයක්

IPL තරග බිමේ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම්

2023 IPL තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරගවල දී සුවිශේෂී සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඒ අතුරින් අමතක නොවන සිදුවීම් 3ක් වාර්තා වුණේ ඊයේ (9) දිනයේ පැවති තරගවල දී යි. මේ එම සිදුවීම් පිළිබඳ ව තොරතුරු යි.

1). රෂීඩ් ඛාන්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය

සාමාන්‍යයෙන් IPL තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එනිසා ගෙවුණු වසර 15ක කාලයේ දී IPL තරග බිමේ දී වාර්තා වී තිබෙන්නේ කඩුලු ත්‍රිත්ව 22ක් පමණ යි. ගුජරාට් ටයිටන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර ඊයේ (9) දිනයේ පැවැත්වුණු තරගයේ දී මෙවර IPL තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා වුණා.

එහි දී ගුජරාට් පිලේ රෂීඩ් ඛාන් කොල්කටා ඉනිමේ 17 වන පන්දු වාරයේ පළමු පන්දු 3දී ඇන්ඩ්‍රේ රසල්, සුනිල් නරීන් සහ ෂාඩූල් ටාකූර් යන පිතිකරුවන්ගේ කඩුලු දවා ගෙන සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. එය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ යම් කිසි පන්දු යවන්නෙක් IPL තරග ඉතිහාසයේ දී ලබා ගත් මුල් ම කඩුලු ත්‍රිත්වය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

රෂීඩ් කඩුලු ත්‍රිත්වය ලබා ගත් අවස්ථාව – iplt20.com

2). රිංකු සිංගේ අරුම පුදුම තරග නිමා කිරීම

2023 IPL තරගාවලියේ 13 වන තරගය ගුජරාට් ටයිටන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර අහමදාබාද් හිදී ඊයේ (9) පැවැත්වුණා. එහි දී ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා පිලට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 5දී ලකුණු 28ක් අවශ්‍ය වුණා.

ඒ මොහොතේ කිසිවෙක් බලාපොරොත්තු නොවුණු අයුරින් සුපිරි පිතිහරඹයක නිරත වුණු රිංකු සිං පිට පිට ම හයේ පහර 5ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහි දී රිංකු සිං හමුවේ දරුණු ප්‍රහාරයකට ලක් වුණේ යාෂ් දයාල් නම් පන්දු යවන්නා යි.

රිංකු සිං කොල්කටා පිලේ ජයග්‍රහණය තහවුරු කළ මොහොත (iplt20.com)

3). ෂිකාර් ධවාන්ට අහිමි වුණු ශතකය

මෙවර IPL තරගාවලියේ 14 වන තරගය පන්ජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් පන්ජාබ් කණ්ඩායමේ කඩුලු 9ක් ලකුණු 88ක දී බිඳ වැටුණා. ඒ මොහොතේ හුදෙකලා සටනක නිරත වුණු ෂිකර් ධවාන් පන්දු 66කින් නොදැවී ලබා ගත් ලකුණු 99 නිසා නියමිත පන්දු වාර 20 අවසානයේ දී පන්ජාබ් ඉනිම 143/9 ලෙසින් නිමාව දුටුවා.

එලෙස ධවාන්ගේ පිත්තෙන් නොදැවී වාර්තා වුණු ලකුණු 99 මෙවර IPL තරගාවලියේ දී දක්නට ලැබුණු විශිෂ්ට ගණයේ ඉනිමක් බවට පත් වුණා. ඔහුට පෙර සුරේෂ් රයිනා, ක්‍රිස් ගේල් සහ මයන්ක් අගර්වාල් යන පිතිකරුවන් IPL ඉනිම්වල දී නොදැවී ලකුණු 99ක් වාර්තා කිරීමට සමත් වුණා.

ධවාන්ගේ සටන්කාමී ඉනිමේ අවස්ථාවක් (iplt20.com)

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට T20 තරගාවලි පරාජයක්

2023 ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එසේ ලද ජයග්‍රහණය හේතුවෙන් තරගාවලි ජයග්‍රහණයක් පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බලාපොරොත්තු තබාගෙන සිටියා. එම ජයග්‍රාහී බලාපොරොත්තුව පසුගිය සතියේ දී බොඳවී ගියා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති ඉතිරි T20 තරග දෙකේ ජයග්‍රහණය නවසීලන්තයට හිමිවීමත් සමඟ යි. ඒ අනුව එම T20 තරගාවලියේ ජයග්‍රහණය තරග 2-1ක් ලෙසින් හිමි වුණේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට යි. මේ එම තරගාවලිය යටතේ පැවති අවසන් තරග දෙකේ කෙටි ලකුණු පුවරු යි.

තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම – gettyimages.com

දෙවන T20 තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව- 141/10 (19), (ධනංජය- 37, පෙරේරා- 35, මිල්න්- 26/5, ලිස්ටර්- 26/2)
නවසීලන්තය- 146/1 (14.4), (සෙයිෆර්ට්- 79*, බෝව්ස්- 31, ලේතම්- 20*, රාජිත- 25/1)

නවසීලන්තයට කඩුලු 9ක ජයක්
තරගයේ වීරයා- ඇඩම් මිල්න්

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ඇඩම් මිල්න් – gettyimages.com

තෙවන T20 තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව- 182/6 (20), (මෙන්ඩිස්- 73, පෙරේරා- 33, ලිස්ටර්- 37/2, මිල්න්- 30/1, සෝඩි- 30/1)
නවසීලන්තය- 183/6 (19.5), (සෙයිෆර්ට්- 88, ලේතම්- 31, කුමාර- 38/3, තීක්ෂණ- 22/1)

නවසීලන්තයට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- ටිම් සෙයිෆර්ට්
තරගාවලියේ වීරයා- ටිම් සෙයිෆර්ට්

වේගවත් ලකුණු 88ක් ලබා ගත් ටිම් සෙයිෆර්ට් – gettyimages.com

ලෝක ශූර ආජන්ටිනාව පාපන්දු ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නවත ම පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුව පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. එම ලැයිස්තුවට අනුව එහි පළමු ස්ථානය හිමි ව තිබෙන්නේ ලියොනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමට යි. ඔවුන් පසුගිය කාලයේ ජාත්‍යන්තර පාපන්දු පිටියේ දී අඛණ්ඩව දස්කම් දැක්වීමට සමත් වුණා. එයින් කැපී පෙනෙන ජයග්‍රහණය බවට පත් වුණේ 2022 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය යි.

ඒ අයුරින් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණට පැමිණියේ 2017 මාර්තු මාසයෙන් පසුව වීම විශේෂත්වයක්. ආජන්ටිනාව ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණට පැමිණෙද්දී පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ප්‍රංශය නවත ම ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. බ්‍රසීලය, බෙල්ජියම සහ එංගලන්තය යන කණ්ඩායම්වලට එම ශ්‍රේණිගතකිරීම්වල පිළිවෙළින් 3, 4 සහ 5 වන ස්ථාන හිමි ව තිබෙනවා.

ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- දසුන් ශානක T20 තරගයක දී පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages.com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
iplt20.com
fifa.com

Related Articles