Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාල්ලෙන් ඇරඹුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ඊයේ (16) ආරම්භ වුණා. එය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ටෙස්ට් තරගයක දී මුණ ගැසුණු මුල් ම අවස්ථාව යි. එනිසා එම ටෙස්ට් තරගය දෙපිලට ම ඓතිහාසික එකක් වුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ම තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එහි දී නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කිරීම විශේෂත්වයක් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ ශතක ලාභීන් වුණු දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් – gettyimages.com

අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා-අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පන්දුවට මුලින් පහරදීමට තීරණය කළා. ඒ ගාලු තණතීරුව තරගයේ මුල් දිනයේ පිතිකරණයට වඩාත් යෝග්‍ය නිසා යි.

මෙම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සුසංයෝගයේ වෙනසක් සිදු කරමින් නායක දිමුත් කරුණාරත්න සමඟින් ඉනිම ආරම්භ කළේ නිෂාන් මදුෂ්ක යි. එහි දී ඔවුන් දෙපළ පළමු කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟුවා. එම සබඳතාව නිමාව දුටුවේ මදුෂ්ක ලකුණු 29කට දැවීයාමත් සමඟ යි.

දිමුත් සහ මදුෂ්ක පන්දුවට පහරදෙමින් – gettyimages.com

මදුෂ්කගේ දැවීයාමෙන් පසුව පිටියේ එක් වුණු නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ ඉතාමත් පහසුවෙන් ලකුණු ලබා ගත්තා. එහි දී කිසිදු අයර්ලන්ත පන්දු යවන්නකුට ඔවුන් දෙදෙනා පාලනය කිරීමට හැකි වුණේ නැහැ. එනිසා දිමුත් සහ කුසල් අගනා ශතක ලබාගනිමින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුවා.

එය යම් පිතිකරු යුගළයක් ගාලු පිටියේ පැවති ටෙස්ට් තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟූ ඉහළ ම සබඳතාව යි. එහි දී ඔවුන් දෙදෙනා අභිබවා ගියේ බංග්ලාදේශයේ මොහොමඩ් අෂ්‍රෆුල් සහ මුෂ්ෆිකර් රහීම් 2013 දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 267ක සබඳතාවක් ගොඩනඟමින් තබා තිබුණු වාර්තාව යි.

දිමුත් සිය ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

එසේ දිමුත් සහ කුසල් ගොඩනැගූ විශිෂ්ට සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 345/1 බවට පත් වුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ පාලනය සියතට ගෙන තිබුණු අවස්ථාවක ක්‍රියාත්මක වුණු අයර්ලන්ත පන්දු යවන්නන් කඩුලු 3ක් ඉක්මනින් දවා ගත්තා. එහි දී ලකුණු 140ක් ලබා ගෙන සිටි කුසල් සහ ලකුණු 179ක් ලබා ගෙන සිටි දිමුත් දැවී යාම බලවත් පාඩුවක් වුණා.

කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳවැටීමෙන් පසුව සැඳෑ රක්ෂක පිතිකරු ලෙසින් පිටියට පැමිණි ප්‍රභාත් ජයසූරිය අනිත් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල්ට හොඳ සහයෝගයක් ලබා දෙමින් දිනය නිමාවන තුරු සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තා. එනිසා තරගයේ පළමු දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 386/4 ලෙසින් දිස් වුණා. මේ පළමු දිනයේ තරග සාරාංශය යි.

කුසල්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

පළමු දිනයේ තරග සාරාංශය

ශ්‍රී ලංකා පළමු ඉනිම- 386/4 (88)

දිමුත් කරුණාරත්න- 179 (235)
කුසල් මෙන්ඩිස්- 140 (193)
නිෂාන් මදුෂ්ක- 29 (48)

කර්ටිස් කැම්පර්- 44/1 (12)
ජෝර්ජ් ඩොක්‍රල්- 65/1 (13)

රාජස්තාන් රෝයල් කණ්ඩායම IPL සටනේ පෙරමුණට

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තරග 23ක් මේ වන විට පවත්වා අවසන්. එම තරගවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණු රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරග 5කට සහභාගි වී එයින් ජයග්‍රහණය 4ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 8ක් ලබා ගෙන මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම යි. 2023 IPL තරගාවලියේ මූලික වටයේ තවත් තරග 9ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම – iplt20.com

1).ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- ලක්නව් පිලට කඩුලු 1ක ජයක්
2). මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස්- මුම්බායි පිලට කඩුලු 6ක ජයක්
3). රාජස්තාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් – රාජස්තාන් පිලට ලකුණු 3ක ජයක්
4). ගුජරාට් ටයිටන්ස් සහ පන්ජාබ් කිංග්ස්- ගුජරාට් පිලට කඩුලු 6ක ජයක්
5). සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් – හයිද්‍රාබාද් පිලට ලකුණු 23ක ජයක්

කොල්කටා පිල හමුවේ ශතකයක් ලැබූ හයිද්‍රාබාද් පිතිකරු හැරී බෘක් – iplt20.com

6). රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල්ස්- බැංගලෝර් පිලට ලකුණු 23ක ජයක්
7). පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස්- පන්ජාබ් පිලට කඩුලු 2ක ජයක්
8). මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස්- මුම්බායි පිලට කඩුලු 5ක ජයක්
19). රාජස්තාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස්- රාජස්තාන් පිලට කඩුලු 3ක ජයක්

මුම්බායි පිල හමුවේ ශතකයක් වාර්තා කළ කොල්කටා පිතිකරු වෙන්කටේෂ් අයියර් – iplt20.com

විරළ ගණයේ IPL වාර්තාවක් තැබූ ටෙන්ඩුල්කාර් පිය-පුතු යුගළය

ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටත ම ක්‍රිකට් තරුවක් වන සචින් ටෙන්ඩුල්කාර් 2008-2013 යුගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලිය සඳහා සහභාගි වුණා. එහි දී ඔහු ඉනිම් 78කදී පන්දුවට පහර දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2334ක් ලබා ගත්තා.

එසේ IPL තරග බිමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ සචින්ට ඊයේ (16) අමතක නොවන දිනයක් බවට පත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර ඊයේ (16) පැවති තරගයේ දී සචින්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර් IPL තරග වරම් හිමි කර ගැනීම යි. ඒ අනුව IPL වරම් ලැබූ මුල් ම පිය-පුතු යුගළය ලෙසින් සචින් ටෙන්ඩුල්කාර් සහ අර්ජුන් ටෙන්ඩුල්කාර් ඉතිහාසගත වුණා.

සචින් ටෙන්ඩුල්කාර් සහ අර්ජුන් ටෙන්ඩුල්කාර් – sports.ndtv.com

2023 IPL තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අතර ඊයේ (16) පැවති තරගයේ දී තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩුවාන් යැන්සන්ට IPL තරග වරම් හිමිවීම යි.

ඩුවාන්ගේ නිවුන් සොහොයුරු මාර්කෝ යැන්සන් 2021 සිට IPL තරගාවලිය සඳහා සහභාගි වෙනවා. ඒ අනුව IPL වරම් හිමි කර ගත් මුල් ම නිවුන් සොහොයුරු යුගළය ලෙසින් මාර්කෝ යැන්සන් සහ ඩුවාන් යැන්සන් වාර්තා අතරට එක් වුණා.

මාර්කෝ යැන්සන් සහ ඩුවාන් යැන්සන් – firstpost.com

UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ඇරඹෙයි

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන වඩාත් ජනප්‍රියත ම පාපන්දු තරගාවලිය වන්නේ UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය යි. යුරෝපීය පාපන්දු සංගමය මඟින් වාර්ෂික ව සංවිධානය කරන එම තරගාවලිය සඳහා යුරෝපයේ ප්‍රබල පාපන්දු සමාජ සියල්ල ම වාගේ සහභාගි වෙනවා.

2022/23 තරග වාරයේ UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අර්ධයේ තරග පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එම තරගවල දී රියාල් මැඩ්‍රිඩ්, ඉන්ටර් මිලාන්, AC මිලාන් සහ මැන්චෙස්ටර් සිටි යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). රියාල් මැඩ්‍රිඩ් සහ චෙල්සි- 2-0
2). මැන්චෙස්ටර් සිටි සහ බයෙන් මියුනිච්- 3-0
3). AC මිලාන් සහ නපොලි- 1-0
4). බෙන්ෆිකා සහ ඉන්ටර් මිලාන්- 0-2

මැන්චෙස්ටර් සිටි-බයෙන් මියුනිච් තරගයේ උණුසුම් අවස්ථාවක් – gettyimages.com

2023 FIDE ලෝක චෙස් ශූරතා තරගාවලියේ තොරතුරු

2023 FIDE ලෝක චෙස් ශූරතා තරගාවලිය කසකස්තානයේ ඇස්ටානා හි දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ගෙවුණු දශකයේ අඛණ්ඩව චෙස් ලෝක ශූරයා ලෙසින් වැජඹුණු නෝර්වේ රාජ්‍යයේ මැග්නස් කාල්සන් මෙවර ලෝක චෙස් ශූරතා තරගාවලිය සඳහා සහභාගි නොවන බව කල් ඇතිව ම ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව වසර 10කට පසුව මෙවර නව ලෝක චෙස් ශූරයෙක් බිහිවනු ඇති. 2023 ලෝක චෙස් ශූරතා තරගාවලියේ දී උරෙනුර ගැටෙන්නේ රුසියාවේ ඉයන් නෙපොම්නියාචි සහ චීනයේ ඩින්ග් ලිරන් නැමති චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් ක්‍රීඩක යුගළය යි.

ඉයන් නෙපොම්නියාචි සහ ඩින්ග් ලිරන් ලෝක චෙස් ශූරතා තරගාවලියේ දී – gettyimages.com

මෙවර ලෝක චෙස් ශූරතා තරගාවලිය යටතේ මේ වන විට ඔවුන් දෙදෙනා අතර පැවති තරග 6න් 2ක ජය නෙපොම්නියාචිට හිමි වෙද්දී ලිරන් ද තරග 2ක් ජයග්‍රහණය කළා. ඔවුන් දෙදෙනා අතර පැවති ඉතිරි තරග 2ක ජයපැරදුමෙන් තොර ව අවසන් වුණා. ඒ අනුව තරගාවලියේ මුල් තරග 6 අවසන් වෙද්දී තරගකරුවන් දෙදෙනා ම ලකුණු 3 බැගින් ලබාගෙන සිටිනවා.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන සමස්ත තරග ප්‍රමාණය 14ක්. එම තරග 14 අවසානයේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ක්‍රීඩකයා මෙවර ලෝක චෙස් ශූරයා ලෙසින් කිරුළු පැළඳීමට නියමිත යි. එම තරග 14 අවසානයේ දී තරගකරුවන් දෙදෙනාගේ ලකුණු සමාන වුණොත් සමතාව බිඳීම (Tie breaks) මඟින් ජයග්‍රාහකයා තීරණය කිරීමට සිදු වෙනවා.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය ඇරඹීමට පෙර දෙපිලේ නායකයෝ - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
iplt20.com
uefa.com
fide.com

Related Articles