Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා පිලට අහිමි වුණු ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හි හේග්ලි ඕවල් පිටියේ දී පසුගිය බ්‍රහස්පතින්දා (9) ආරම්භ වුණා. එම තරග ආරම්භයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩා කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ සිවු වන දිනයේ අවසන් හෝරාවේ දී නවසීලන්ත පිලට ලකුණු 285ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන් දිනය නිමා වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.

නවසීලන්ත පිතිකරුවන් කඩුලු 8ක් දැවී තිබිය දී අවසන් පන්දුවේ දී තරගය ජයග්‍රහණය කළා – twitter.com/OfficialSLC/

අභියෝගය සාර්ථක ව ජය ගත් නවසීලන්ත පිතිකරුවෝ

තරගයේ 5 වන දිනයේ දී තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබුණේ ශ්‍රී ලංකා පිලට යි. එවැනි වටපිටාවක තරගයේ අවසන් දිනයේ උදෑසන සිට හේග්ලි ඕවල් පිටියට වර්ෂාව පතිත වුණා. එනිසා තරගය ආරම්භ කිරීමට සිදු වුණේ අධික ප්‍රමාදයකින් පසුව යි. ඒ මොහොතේ නවසීලන්තයට තරගය ජයගැනීම සඳහා පන්දු වාර 53කින් ලකුණු 257ක් අවශ්‍ය වුණා.

එම අභියෝගය සාර්ථක ව ජය ගත් නවසීලන්ත පිතිකරුවන් කඩුලු 8ක් දැවී තිබිය දී අවසන් පන්දුවේ දී තරගය ජයග්‍රහණය කළා. එසේ ලැබූ අනපේක්ෂිත පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට 2021-23 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි ව ගියා.

නවසීලන්තය තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් උරුම වුණු ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගය

ක්‍රයිස්චර්ච් හි හේග්ලි ඕවල් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක ටිම් සවුති පන්දුවට මුලින් පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. වේගපන්දු යවන්නන්ට වඩාත් වාසිදායක වුණු තණකොළ සහිත තණතීරුවක සාර්ථක ව පිතිකරණයේ යෙදුණු ශ්‍රී ලංකා පිතිකරුවන් එක් අවස්ථාවක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 151ක් ලබා සිටියා.

එහි දී කුසල් මෙන්ඩිස් පන්දු 83කින් ලකුණු 87ක් ලබා ගෙන වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා. එසේ මුල් පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය නිසා සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා ම දැවී ලකුණු 355ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එහි දී පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළ තෙවන ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස වාර්තා අතරට එක් වුණා. ඔහුට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එම දස්කම දක්වා තිබුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් – gettyimages.com

ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ට ශ්‍රී ලංකා වේගපන්දු ත්‍රිත්වය ඉදිරියේ සුපුරුදු දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ කසුන් රාජිත නිවැරදි එල්ලයකට සිදු කළ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 188ක දී බිඳ වැටුණා.

ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු ඩාර්ලි මිචෙල් අගනා ලකුණු 102ක් ලබා බිඳ වැටී තිබුණු නවසීලන්ත ඉනිම ගොඩ නැඟුවා. එම අවස්ථාවේ නවසීලන්ත ලකුණු පුවරුව 291/8 බවට පත් කරමින් මිචෙල් දැවී ගියත් ඉන් නොසැලුණු අග පෙළ පිතිකරු මැට් හෙන්රි පන්දු 75කින් වේගවත් ලකුණු 72ක් රැස් කළා. එනිසා නවසීලන්තයට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 373ක් ලබා ගැනීමට හැකි වුණා.

මිචෙල්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 95ක දී දැවී ගියා. එම කඩුලු 4ම බ්ලෙයාර් ටික්නර්ගේ පන්දු හමුවේ බිඳ වැටීම විශේෂත්වයක් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියක වැටී සිටි එම අවස්ථාවේ පිටියේ එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවක් ගොඩ නැගුවා.

එම සබඳතාව අතරතුර චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000ක් ලබා ගත් 11 වන පිතිකරුවා බවට පත් වුණා. ඉන් පසුව ලකුණු 42ක් ලබා සිටි චන්දිමාල් දැවී ගියත් ඉන් නොසැලුණු මැතිව්ස් අගනා ලකුණු 115ක් ලබා සිය ටෙස්ට් තරග දිවියේ 14 වන ශතකය වාර්තා කළා. මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු එම සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 302ක දී නිමාව දුටුවා.

මැතිව්ස් සිය ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය තරගයේ සිවු වන දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා. එනිසා අවසන් දිනයේ තරගය ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම් දෙකට ම හොඳ අවස්ථාවක් තිබුණා. තරගයේ අවසන් දිනයේ දී ක්‍රීඩා පිටියට අධික ලෙස වර්ෂාව පතිත වීම නිසා පැය 4කට අධික ප්‍රමාදයකින් පසුව තරගය ආරම්භ වුණා. එහිදී නවසීලන්තයට ජයග්‍රහණය සඳහා පන්දු වාර 53කින් ලකුණු 257ක් ලබා ගැනීමට සිදු වුණා. එම අභියෝගය ඉතාමත් සාර්ථකව භාර ගත් නවසීලන්ත පිතිකරුවන් තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඒ වන විට ඔවුන්ගේ කඩුලු 8ක් දැවී ගොස් තිබුණා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදැවී ලකුණු 121ක් රැස් කරද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් ඩාර්ලි මිචෙල් ලකුණු 81ක් ලබා ගත්තා. විලියම්සන් ලකුණු 33ක් ලබා සිටි අවස්ථාවේ ලබා දුන් උඩ පන්දුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල රැක ගත්තා නම් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමි වීමට විශාල ඉඩක් තිබුණා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පළමු ඉනිම- 355/10, (මෙන්ඩිස්- 87, දිමුත්- 50, මැතිව්ස්- 47, සවුති- 64/5, හෙන්රි- 80/4)
නවසීලන්ත පළමු ඉනිම- 373/10, (මිචෙල්- 102, හෙන්රි- 72, ලේතම්- 67, අසිත- 85/4, කුමාර- 76/3)
ශ්‍රී ලංකා දෙවන ඉනිම- 302/10, (මැතිව්ස්- 115, ධනංජය- 47*, ටික්නර්- 100/4, හෙන්රි- 71/3)
නවසීලන්ත දෙවන ඉනිම- 285/8, (විලියම්සන්- 121*, මිචෙල්- 81, අසිත- 63/3, ජයසූරිය- 92/2)
නවසීලන්තයට කඩුලු 2ක ජයක්
තරගයේ වීරයා- ඩාර්ලි මිචෙල් (නවසීලන්තය)

ලෝක ශූරයන් හමුවේ බංග්ලාදේශයට T20 තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත එංගලන්ත-බංග්ලාදේශ T20 තරගාවලිය බංග්ලාදේශයේ දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලිය යටතේ පැවති මුල් තරග 2ක ජයග්‍රහණය කළේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම යි. ඒ අනුව බංග්ලාදේශය ලෝක ශූර එංගලන්ත පිලට එරෙහි ව පැවති T20 තරගාවලිය කල් වේලා ඇතිව ම ජය ගත්තා. එහි දී ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නජ්මුල් හුසේන් ෂැන්ටෝ පිත්තෙන් දස්කම් දක්වද්දී, හසන් මිරාස් පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූවා. මේ එම තරගවල කෙටි ලකුණු පුවරු යි.

පළමු T20 තරගය
එංගලන්තය- 156/6 (20), (බට්ලර්- 67, සෝල්ට්- 38, මහමුඩ්- 26/2, ශකිබ්- 26/1)
බංග්ලාදේශය- 158/4 (18), (ෂැන්ටෝ- 51, ශකීබ්- 34*, වුඩ්- 24/1, රෂීඩ්- 25/1)
බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්
තරගයේ වීරයා- නජ්මුල් හුසේන් ෂැන්ටෝ (බංග්ලාදේශය)

පිත්තෙන් දස්කම් පෑ නජ්මුල් ෂැන්ටෝ – gettyimages.com

දෙවනT20 තරගය
එංගලන්තය- 117/10 (20), (ඩකට්- 28, සෝල්ට්- 25, මෙහිදි- 12/4, මහමුඩ්- 10/1, ශකිබ්- 13/1)
බංග්ලාදේශය- 120/6 (18.5), (ෂැන්ටෝ- 46*, මෙහිදි- 20, ජොෆ්රා- 13/3, රෙහාන්- 11/1)
බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- මෙහිදි හසන් මිරාස් (බංග්ලාදේශය)

පන්දුවෙන් හපන්කම් පෑ මෙහිදි හසන් – gettyimages.com

යුරෝපා පාපන්දු ලීග් තරගාවලිවල තොරතුරු

2022/23 තරග වාරයේ යුරෝපා රටවල ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ අතුරින් බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ ස්පාඤ්ඤ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (La Liga), එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය (EPL), ජර්මානු ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Bundesliga), ප්‍රංශ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Ligue 1), ඉතාලි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Serie A) යන පාපන්දු තරගාවලි පිළිබඳව යි.

La Liga පාපන්දු තරගාවලියේ 25 වන සතියේ තරග අවසන් වෙද්දී බාර්සිලෝනා කණ්ඩායම ජයග්‍රහණ 21ක් සමඟ ලකුණු 65ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ට පිටුපසින් සිටින රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම ලකුණු 56ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙනවා. බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරන රොබට් ලෙවොන්ඩොස්කි ගෝල 15ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

බාර්සිලෝනා කණ්ඩායම දස්කම් දක්වමින් – gettyimages.com

Bundesliga පාපන්දු තරගාවලියේ 24 වන සතියේ තරග නිමා වෙද්දී බයන් මියුනික් කණ්ඩායම ජයග්‍රහණ 15ක් සමඟින් ලකුණු 52ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ට කරට කර සටනක් ලබා දෙමින් සිටින බොරුසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම ලකුණු 50ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. වර්ඩර් බ්‍රිමන් කණ්ඩායමේ නිකලස් ෆුල්කෘග් ගෝල 15ක් වාර්තා කරමින් මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 27 වන සතියේ තරග අවසන් වෙද්දී ආසනල් කණ්ඩායම ජයග්‍රහණ 21ක් සමඟ ලකුණු 66ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන් සමඟ කරට කර සටනක නිරත වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු 61ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන අර්ලින්ග් හාලන්ඩ් ගෝල 28ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

අර්ලින්ග් හාලන්ඩ් – gettyimages.com

Ligue 1 පාපන්දු තරගාවලියේ 27 වන සතියේ තරග අවසන් වෙද්දී PSG කණ්ඩායම ජයග්‍රහණ 21ක් සමඟ ලකුණු 66ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. මාර්සෙල්ලි කණ්ඩායම ලකුණු 56ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. PSG කණ්ඩායම නියෝජනය කරන කිලියන් එම්බාපේ සහ ලිලී කණ්ඩායම නියෝජනය කරන ජොනතන් ඩේවිඩ් ගෝල 19 බැගින් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභීන් බවට පත් ව සිටිනවා.

Serie A පාපන්දු තරගාවලියේ 26 වන සතියේ තරග අවසන් වෙද්දී නපොලි කණ්ඩායම ජයග්‍රහණ 22ක් සමඟ ලකුණු 68ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඉන්ටර් මිලාන් කණ්ඩායම ලකුණු 50ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. නපොලි කණ්ඩායම නියෝජනය කරන වික්ටර් ඔසිම්හෙන් ගෝල 19ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්ව සිටිනවා.

දකුණු අප්‍රිකාවට විශිෂ්ට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

තරග දෙකකින් සමන්විත දකුණු අප්‍රිකා-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ දී පසුගිය සෙනසුරාදා නිමාව දුටුවා. එම තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 284ක දැවැන්ත ජයක් හිමි වුණා.

එහි දී දකුණු අප්‍රිකා දෙවන ඉනිමේදී නායක ටෙම්බා බවුමා ලබා ගත් ලකුණු 172 අමතක නොවන ඉනිමක් බවට පත් වුණා. ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු පිලට හැකි වුණා. මේ එම ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ටෙම්බා බවුමා ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා පළමු ඉනිම- 320/10, (මාක්‍රම්- 96, සොර්සි- 85, මේයර්ස්- 32/3, ජෝශප්- 60/3, මෝටි- 75/3)
කොදෙව් පළමු ඉනිම- 251/10, (හෝල්ඩර්- 81*, මේයර්ස්- 29, කොට්සේ- 41/3, රබාඩා- 19/2)
දකුණු අප්‍රිකා දෙවන ඉනිම- 321/10, (බවුමා- 172, මල්ඩර්- 42, මේයර්ස්- 46/3, හෝල්ඩර්- 48/3)
කොදෙව් දෙවන ඉනිම- 106/10, (ජෝෂුවා- 34, කොට්සේ- 37/3, හාමර්- 45/3, මහරාජ්- 4/2)
දකුණු අප්‍රිකාවට ලකුණු 284ක ජයක්
තරගයේ වීරයා- ටෙම්බා බවුමා (දකුණු අප්‍රිකාව)
තරගාවලියේ වීරයා- ඒඩන් මාක්‍රම් (දකුණු අප්‍රිකාව)

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායම gettyimages.com

කවරයේ ඡායාරූපය- නවසීලන්තය ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
howstat.com
goal.com
premierleague.com

Related Articles