Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවසීලන්ත බිමේ දැක්වූ ටෙස්ට් දස්කම්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නවසීලන්ත බිමේ දී මේ දිනවල පැවැත්වෙනවා. එය ශ්‍රී ලංකා පිලක් නවසීලන්තයේ දී ක්‍රීඩා කරන 10 වන ටෙස්ට් තරගාවලිය යි. මීට පෙර පැවති ටෙස්ට් තරගාවලි 9 අතුරින් 6ක ජය නවසීලන්තයට හිමි වෙද්දී ශ්‍රී ලංකාව ජය ගත්තේ එක් තරගාවලියක් පමණ යි. එය ශ්‍රී ලංකාව විදෙස් රටක දී හිමි කර ගත් මුල් ම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නවසීලන්ත බිමේ දී මුල්ම වරට ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළේ 1983 දීයි. එදා සිට ගෙවුණු 40 වසරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවසීලන්තයේ දී ටෙස්ට් තරග 20ක් ක්‍රීඩා කර තිබෙනවා. එයින් තරග 12ක ජය නවසීලන්තයට හිමි වෙද්දී ශ්‍රී ලංකාවට තරග 2ක ජයග්‍රහණය හිමි වුණා. ඉතිරි තරග ජය පැරදුමෙන් තොර ව අවසන් වුණා.

මේ ඔබට කියන්නට යන්නේ එම තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ විශේෂ දස්කම් පිළිබඳව යි.

1). සිදත් වෙත්තමුණි 40 වසරකට පෙර ක්‍රීඩා කළ ඉවසිලිමත් ඉනිම

1983 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හි දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 344ක් ලබා ගත්තා. එහි දී නවසීලන්ත ඉනිම වර්ණවත් කළ වොරන් ලීස් සහ ජෙරමි කෝනි පිළිවෙලින් ලකුණු 89ක් සහ 84ක් රැස් කළා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 104ක් ලබා ගෙන ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා. ඒ මොහොතේ දී ක්‍රියාත්මක වුණු රිචඩ් හැඩ්ලි සහ ලාන්ස් කෙයාන්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 40ක දී බිඳ දැමුවා.

රිචඩ් හැඩ්ලි – gettyimages.com

ඒ අයුරින් ශ්‍රී ලංකා කඩුලු එක පිට එක බිඳ වැටෙද්දී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 63ක් ලබා ගත්තා. ටෙස්ට් තරගයක ඉනිම ආරම්භ කරමින් එම ඉනිමේ අවසානය දක්වා නොදැවී පන්දුවට පහරදුන් මුල් ම ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසින් සිදත් ඉතිහාසගත වුණා.

ඔහුගෙන් පසුව මාවන් අතපත්තු, රසල් ආනල්ඩ්, සහ දිමුත් කරුණාරත්න යන ශ්‍රී ලාංකික පිතිකරුවන් එම දස්කම දැක්වීමට සමත් වුණා. එම ටෙස්ට් තරගයේ දී එකම පවුලේ සොහොයුරන් වුණු සිදත් වෙත්තමුණි සහ මිත්‍ර වෙත්තමුණි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට පෙර එලෙස ක්‍රීඩා කළේ එංගලන්තයේ ග්‍රේස් සොහොයුරන් සහ පාකිස්තානයේ මොහොමඩ් සොහොයුරන් පමණ යි.

සිදත් වෙත්තමුණි – gettyimages.com

2). විදේශයක දී ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ මුල්ම ශ්‍රී ලාංකික පිතිකරුවා

1991 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය වෙලිංටන් හි බේසින් රිසව් ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 174ක් පමණ යි.

එහි දී රුමේෂ් රත්නායක සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියා. ඉන් අනතුරු ව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 497ක් ලබා ගත්තා. එය එම අවධියේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක දී ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා අතරට එක් වුණා.

රුමේෂ් රත්නායක – firstpost.com

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු අරවින්ද ද සිල්වා හතරේ පහර 40ක් සමඟින් අගනා ලකුණු 267ක් රැස් කළා. එය එම අවධියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක දී ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණා.

එහි දී ඔහු බිඳ දැමුවේ බ්‍රෙන්ඩන් කුරුප්පු 1987 දී නවසීලන්තයට එරෙහි ව නොදැවී ලකුණු 201ක් ලබා ගනිමින් තබා තිබුණු වාර්තාව යි. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් විදේශයක දී රැස් කළ මුල්ම ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසින් ද ඉතිහාසගත වුණා.

අරවින්ද ද සිල්වා – gettyimages.com

3). එකම ටෙස්ට් තරගයක දී ශතක 2ක් රැස් කළ අසංක ගුරුසිංහ

නවසීලන්ත බිමේ පැවැත්වෙන ටෙස්ට් තරගයක ඉනිම් 2දී ම ශතක ලබා ගැනීම විදෙස් පිතිකරුවකුට එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම සුවිශේෂී දස්කම දැක්වීමට හැකියාව ලැබුණේ පිතිකරුවන් පස් දෙනකුට පමණයි.

ඒ අතරට ශ්‍රී ලංකා පිතිකරු අසංක ගුරුසිංහ ද ඇතුළත් වීම ශ්‍රී ලාංකිකයන් වන අපට පුංචි ආඩම්බරයක්. ඔහුට අමතර ව ඉයන් චැපල්, ග්‍රේග් චැපල් සහ ඇලන් බෝඩර් යන ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනා මෙන් ම රාහුල් ඩ්‍රාවිඩ් යන ඉන්දීය පිතිකරුවා ද එම ලැයිස්තුවට ඇතුළත් වුණා.

අසංක ගුරුසිංහ – gettyimages.com

ගුරුසිංහ එම දස්කම දැක්වූයේ 1991 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය යටතේ හැමිල්ටන් හි සෙඩොන් පාක් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී යි. එය එම පිටියේ පැවැත්වුණු මුල් ම ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක් වුණා. එම තරගයේ දී මැනවින් පන්දුවට පහරදුන් ගුරුසිංහ පළමු ඉනිමේ දී ලකුණු 119ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 102ක් රැස් කරමින් දස්කම් දැක්වූවා.

4). ශ්‍රී ලංකාවට මුල් ම විදෙස් ටෙස්ට් ජයග්‍රහණය හිමි කර දුන් චමින්ද වාස්

1995 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නේපියර් නුවර මැක්ලීන් පාක් පිටියේ දී පැවැත්වුණා. වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත අයුරින් සකසා තිබුණු තණතීරුවක පැවති එම තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 183ක් ලබා ගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 109ක් පමණ යි. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු චමින්ද වාස් ලකුණු 47කට කඩුලු 5ක් බිඳ දැමුවා.

චමින්ද වාස් – gettyimages.com

පළමු ඉනිමේ දී නවසීලන්තයට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් සිය දෙවන ඉනිමේ දී වඩාත් හොඳින් පන්දුවට පහරදෙමින් සියලු දෙනාම දැවී ලකුණු 352ක් ලබා ගත්තා. එහි දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චාමර දුනුසිංහ අගනා ලකුණු 91ක් ලබා ගනිද්දී හෂාන් තිලකරත්න සහ අරවින්ද ද සිල්වා අර්ධ ශතක රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 427ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන්ට සියලු දෙනා ම දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 185ක් පමණ යි.

හෂාන් තිලකරත්න – gettyimages.com

එහි දී නවසීලන්ත පිතිකරුවන්ට යළි දැඩි හිසරදයක් වුණු වාස් ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ අනුව වාස් සමස්ත ටෙස්ට් තරගය පුරාවට ලකුණු 90කට කඩුලු 10ක් බිඳ දැමුවා. එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් ටෙස්ට් තරගයක දී කඩුලු 10ක් බිඳ දැමූ මුල්ම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක් වුණා.

වාස් ඒ අයුරින් සිදු කළ සුපිරි පන්දු යැවීම නිසා එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 241ක ජයක් හිමි වුණා. එය ශ්‍රී ලංකාව විදෙස් රටක දී ලබා ගත් මුල් ම ටෙස්ට් තරග ජයග්‍රහණය බවට පත් වුණා. ඉන් පසුව ඩනිඩීන් හි පැවති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසානයේ දී ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගත්තා.

5). නවසීලන්ත බිමේ දී වඩාත් සාර්ථක වුණු ශ්‍රී ලංකා පිතිකරුවා

නවසීලන්තයේ ක්‍රීඩා කළ ටෙස්ට් තරගවල දී වැඩි ම පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණේ කුමාර් සංගක්කාර යි. ඔහු 2005-2015 යුගයේ දී නවසීලන්ත බිමේ දී ටෙස්ට් ඉනිම් 11කදී පන්දුවට පහරදෙමින් ශතක 3ක් සමඟින් ලකුණු 549ක් ලබා ගත්තා.

එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 61ක් තරම් ඉහළ අගයක් ගත්තා. සංගක්කාර එසේ ලබා ගත් ලකුණු 549න් 433ක් වෙලිංටන් හි බේසින් රිසව් පිටියේ දී ලබා ගැනීම විශේෂත්වයක් වුණා.

කුමාර් සංගක්කාර – gettyimages.com

එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණේ 2015 දී ලබා ගත් ලකුණු 203 යි. ඊට අමතර ව 2006 දී පැවති ටෙස්ට් තරගයේ දී ඔහු නොදැවී ලකුණු 156ක් රැස් කරමින් සිය කණ්ඩායමට නවසීලන්තයේ දී ටෙස්ට් ජයග්‍රහණයක් උරුම කර දීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ

2006 දී ක්‍රයිස්චර්ච් හි පැවති ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදීමට ඉතාමත් අසීරු තණතීරුවක සංගක්කාර නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

වෙලිංටන් හිදී නොදැවී ලකුණු 156ක් ලබා ගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

6). මැතිව්ස් සහ මෙන්ඩිස් එක්ව ටෙස්ට් තරගයක් පරාජයෙන් බේරා ගත් හැටි

2018 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 282ක් ලබා ගත්තා. එහි දී නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ ටිම් සවුති ලකුණු 68කට කඩුලු 6ක් බිඳ දැමුවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා ම දැවී ලකුණු 578ක් ලබා ගත්තා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ටොම් ලේතම් නොදැවී ලකුණු 264ක් රැස් කළා.

ටොම් ලේතම් ද්විත්ව ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 296ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 3 ලකුණු 13ක දී බිඳ වැටුණා. එනිසා ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයක් ලබනු ඇති බවට විචාරකයන් අනාවැකි පළ කළා. ඒ අයුරින් ශ්‍රී ලංකා පිල පරාජය කරා යමින් සිටි මොහොතක පිටියේ එකතු වුණු කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් නොබිඳුණු ලකුණු 274ක සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තා.

එහි දී වටිනා ඉනිමක් ක්‍රීඩා කළ මෙන්ඩිස් නොදැවී ලකුණු 141 රැස් කරද්දී ඔහුට අගනා සහායක් ලබා දුන් මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ලබා ගත්තා. එය ශ්‍රී ලංකා පිතිකරු යුගළයක් නවසීලන්ත බිමේ දී ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙසින් වාර්තා අතරට එකතු වුණා.

කුසල් මෙන්ඩිස්ගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ සබඳතාවයේ එක් අවස්ථාවක් – gettyimages.com

කවරයේ ඡායාරූපය- සංගක්කාර වෙලිංටන් හිදී ද්විත්ව ශතකය ලබා ගත් මොහොත (gettyimages.com)

මූලාශ්‍ර- espncricinfo.com
cricbuzz.com
howstat.com
Benson and hedges cricket year book 1991

Related Articles