Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියාගේ පැතුම් ක්‍රිකට් ලොවෙන් ජය ගත් විරාත් කෝලි

2006/07 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලි සහ කර්ණාටක කණ්ඩායම් අතර පැවති තරගය දිල්ලියේ ෆෙරෝසා කොට්ලා පිටියේ දී 2006 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වුණා. එම තරගයේ දෙවන දිනය වන විට කර්ණාටක කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත් වී තිබුණා.

එවැනි වටපිටාවක දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කළ විරාත් කෝලි නම් 18 හැවිරිදි පිතිකරුවා සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම සඳහා සටන් කරමින් සිටියා. ඒ අතරතුර විරාත්ට හදිසි පණිවිඩයක් ලැබී තිබුණා. එම පණිවිඩයේ සඳහන් වී තිබුණේ ඔහුගේ පියා වුණු ප්‍රේම් කෝලි හදිසියේ ඇති වුණු හෘදයාබාධයකින් මිය ගිය බව යි.

විරාත් කෝලි සහ ප්‍රේම් කෝලි – youtube.com/Movie Talkies

බලාපොරොත්තු නොවුණු මොහොතක අසන්නට ලැබුණු එම කනගාටුදායක පුවත නිසා විරාත් දැඩි ලෙස සසල වුණා. ප්‍රේම් කෝලිගේ එකම බලාපොරොත්තුව වුණේ සිය පුත්‍රයා වුණු විරාත් යම් කිසි දිනයක ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු දැකීම යි. එනිසා සිය පියාට ගරු කිරීමක් ලෙස එම තරගයේ දී අඛණ්ඩ ව පන්දුවට පහර දුන් විරාත් ලකුණු 90ක් රැස් කරමින් දිල්ලි කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තා.

එදා සිට සිය පියාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට කැප වුණු විරාත් කැපවීමෙන් පුහුණුවීම් කර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වුණා. එයින් නොනැවතුණු මෙම සුපිරි තරුව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට ද පත් වුණා. මේ ඔබට කියන්න යන්නේ විරාත් කෝලි සිය පියාගේ මරණය හමුවේ නොසැලී ක්‍රිකට් ලොව ජය ගත් ආකාරය පිළිබඳව යි.

ජීවිතයේ මුල් අවධිය

1988 නොවැම්බර් 5 වැනිදා නව දිල්ලියේ දී උපත ලැබූ විරාත් කෝලිගේ පියා වුණු ප්‍රේම් කෝලි වෘත්තියෙන් නීතිඥවරයෙක්. විරාත්ගේ මව වුණු සරෝජ් කෝලි ගෘහණියක්. ප්‍රේම් කෝලි ඉහළ පෙළේ රැකියාවක නිරත වුණු නිසා ඔවුන්ගේ පවුලට එතරම් අගහිඟකම් දැනුණේ නැහැ. විරාත්ට, විකාෂ් සහ භව්නා නමින් වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියා. කුඩා විරාත්ගේ ළමා කාලය ගෙවුණේ ඔවුන් දෙදෙනා සමඟ යි.

කුඩා අවධියේ සිටම ක්‍රිකට් පිත්තට පෙම් බැඳී විරාත් සිය වැඩිමහල් සහෝදරයා සහ සහෝදරිය සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තක් දැක්වූවා. එවැනි අවස්ථාවල කුඩා විරාත් පන්දුවට පහර දෙන ආකාරය දෙස බලා සිටිමට ඔහුගේ පියා පුරුදු ව සිටියා. ඒ කුඩා විරාත්ට පන්දුවට පහර දීමට හොඳ හැකියාවක් ඇති බව ඔහුට ඒත්තු ගොස් තිබුණු නිසා යි. එනිසා සිය බාල පුත්‍රයා ඉදිරි අනාගතයේ දී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කළ යුතු බවට ප්‍රේම් කෝලි තීරණය කළා.

විරාත් කෝලි කුඩා අවධියේ දී – thequint.com

ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීම

නිසි වයස එළඹුණු පසුව කුඩා විරාත්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට ඔහුගේ පියා කටයුතු කළා. විරාත්ගේ මුල්ම පාසල බවට පත් වුණේ විශාල් භාරතී නම් පාසල යි. එම පාසලට ඇතුළත් වී හොඳින් සිය අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට විරාත්ට හැකි වුණා. ඔහු පාසලේ පස්වන ශ්‍රේණියට ඇතුළත් වෙද්දී කිසිදු ක්‍රීඩාවකට සම්බන්ධ වී සිටියේ නැහැ. එවැනි කාල වකවානුවක රාජ්කුමාර් ෂර්මා නම් පුහුණුකරුවා බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමිය ආරම්භ කළා. ඒ 1998 මැයි 30 වැනිදා යි. එම ඇකඩමිය පිළිබඳ තොරතුරු ප්‍රේම් කෝලිට ද දැනගන්නට ලැබුණා. ඉන් පසු ව ඔහු සිය බාල පුත්‍රයා එම ඇකඩමියට ඇතුළත් කළා.

පසු යුගයක කෝලි බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියට ගිය අවස්ථාවක් -sportsjig.com

විරාත්ගේ ක්‍රිකට් හැකියාව ගැන ලැබුණු මුල්ම ඉඟිය

1998 ජූනි මාසයේ එක්තරා දවසක විරාත් පුහුණුවීම් සඳහා බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමිය වෙත ගියා. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට විරාත් සතු ව තිබුණු හැකියාව ඒ වන විට පුහුණුකරුවා හඳුනා ගෙන තිබුණේ නැහැ. එම දිනයේ ද විරාත් සුපුරුදු පරිදි පුහුණුවීම්වල නිරතවෙමින් සිටියා. එහි දී ඔහුගේ සහෝදර ක්‍රීඩකයෙක් එල්ල කළ පහරක් හතරේ සීමාව අසල දී රැක ගත් විරාත් පන්දුව විදුලි වේගයෙන් එක් වර ම කඩුලු රකින්නා වෙත යොමු කළා.

එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 9ක දරුවකුගෙන් බලාපොරොත්තු වෙන්න අමාරු දෙයක්. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ පුහුණුකරු රාජ්කුමාර් එතැන් සිට විරාත් ගැන හොඳින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. එම අධ්‍යයනයන්ගෙන් පසු ව පුහුණුකරුවා නිගමනය කළේ විරාත්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් හොඳ අනාගතයක් තිබෙන බව යි.

ජීවිතයේ තීරණාත්මක වසර 4ක්

එම යුගයේ දී දිල්ලි වැනි නගරයකින් බිහි වුණු කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුට ක්‍රිකට්වලින් ඉදිරියට යාම ලෙහෙසි පහසු වුණේ නැහැ. ඒ එකල දිල්ලි ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ අයගේ හිතමිත්‍රයන්ට පමණක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අවස්ථාව තිබුණු නිසා යි. විරාත්ගේ පියා වුණු ප්‍රේම්ට එවැනි හිතමිත්‍රකම් තිබුණේ නැහැ. එනිසා විරාත්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි වුණේ දස්කම් පෙන්වීම මඟින් පමණ යි. එවැනි තත්ත්වයක් යටතේ විරාත් කැපවීමෙන් පුහුණුවීම් කළා. ප්‍රේම් සිය දරුවා එම පුහුණුවීම්වලට රැගෙන ගියා. ඉන් නොනැවතුණු ප්‍රේම් විරාත්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය වුණු සියලු ම පහසුකම් ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් 14 හැවිරිදි වියට එළඹෙද්දී දිල්ලි හි දක්ෂත ම කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට එකතු වීමට විරාත්ට හැකි වුණා.

දිල්ලි කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් දැක්වූ දස්කම්

2002/03 තරග වාරයේ පොලී උම්රිගාර් කුසලානය සඳහා ක්‍රීඩා කළ දිල්ලි අවුරුදු 15න් පහළ කණ්ඩායමට විරාත් ද ඇතුළත් වුණා. ඔහුට එම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්වීමට හැකි වුණේ හර්යානා කණ්ඩායමට එරෙහි ව පැවති තරගයේ දී පමණ යි. එම තරගයේ පළමු ඉනිමේ දී විරාත් අගනා ලකුණු 70ක් ලබා ගත්තා.

2003/04 තරග වාරයේ දී පොලී උම්රිගාර් කුසලානය සඳහා ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ විරාත් කෝලිට යි. එවර තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ විරාත් ඉනිම් 5කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 390ක් ලබා ගත්තා.

කෝලි දිල්ලි 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ අවධිය – twitter.com/anushkaalo

එසේ දැක්වූ සුපිරි දස්කම් නිසා 2004/05 තරග වාරයේ විජේ මර්චන්ට් කුසලානය සඳහා ක්‍රීඩා කළ දිල්ලි 17න් පහළ කණ්ඩායමට විරාත්ගේ නම ඇතුළත් වුණා. එම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ විරාත් තරග 4කදී ශතක 2ක් සමඟින් ලකුණු 480ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය බවට පත් වුණේ හිමාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 251 යි.

2005/06 තරග වාරයේ දීත් විජේ මර්චන්ට් කුසලානයේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ විරාත් තරග 7කදී ලකුණු 757ක් රැස් කරමින් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. එහි දී ඔහු බැරෝඩා සහ පන්ජාබ් යන කණ්ඩායම්වලට එරෙහි ව පිළිවෙළින් ලකුණු 228ක් සහ 227ක් ලබා ගත්තා. විරාත් දැක්වූ එම සුපිරි දස්කම් නිසා දිල්ලි කණ්ඩායමට විජේ මර්චන්ට් කුසලානය දිනාගැනීමට හැකි වුණා.

කෝලි දිල්ලි කණිෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කළ අවධිය – twitter.com/anushkaalo

සිය ක්‍රිකට් ජීවිතයේ ක්‍රීඩා කළ වේදනාත්මක ම ඉනිම

විජේ මර්චන්ට් කුසලාන තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් නිසා විරාත්ට දිල්ලි ක්‍රිකට් කණ්ඩායමට එකතු වීමට අවස්ථාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට 2006 දී List A සහ පළමු පෙළ තරග වරම් ලැබුණා. ඒ අනුව 2006/07 රංජි කුසලානය සඳහා ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට විරාත් ද ඇතුළත් වුණා.

එවර රංජි කුසලානය තරගාවලිය යටතේ කර්ණාටක සහ දිල්ලි කණ්ඩායම් අතර තරගය ෆෙරෝසා කොට්ලා පිටියේ දී පැවැත්වුණා. 2006 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වුණු එම තරගයේ පළමු දිනය නිමා වෙද්දී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කර්ණාටක කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 299ක් ලබා ගෙන සිටියා. තරගයේ දෙවන දිනයේ දිල්ලි පන්දු යවන්නන් පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා කර්ණාටකට පළමු ඉනිම ලකුණු 446කට සීමා වුණා.

ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි දිල්ලි කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 14ක් තුළ බිඳ වැටුණා. එසේ දිල්ලි කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි මොහොතක විරාත් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. එතැන් සිට ඉතාමත් සංයමයකින් පන්දුවට පහරදුන් විරාත් දිනය නිමාවෙද්දී නොදැවී ලකුණු 40ක් ලබා ගෙන සිටියා. ඒ වන විට දිල්ලි කණ්ඩායමේ ලකුණු තත්ත්වය 103/5 ලෙස සටහන් වුණා.

එදින තරගය නිමා වී ක්‍රීඩාගාරය වෙත ගිය විරාත්ට ඉතාමත් කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණා. එමඟින් කියවුණේ ඔහුගේ පියා වුණු ප්‍රේම් කෝලි හෘදයාබාධයක් වැලඳී මිය ගිය බව යි. එය අසා විරාත් දැඩි ලෙස ශෝකයට පත් වුණා. ඒ මොහොතේ ඔහුට තරගය අත හැර සිය නිවසට යාමට කණ්ඩායම කළමනාකාරීත්වයෙන් අවසර ලැබුණා. විරාත්ගේ පියාගේ එකම පැතුම වුණේ සිය බාල පුත්‍රයා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනු දැකීම යි. එනිසා විරාත් දිගට ම පන්දුවට පහර දීමට තීරණය කළා.

කර්ණාටක කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් – circleofcricket.com

එදා සිය පියාගේ වෙන්වීම අසීරුවෙන් දරා ගෙන වේදනාත්මක ඉනිමක් ක්‍රීඩා කළ විරාත් අවසානයේ ලකුණු 90කට දැවී ගියා. ඔහු ලබා ගත් එම ලකුණු 90 නිසා සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 308ක් ලබා ගැනීමට දිල්ලි කණ්ඩායමට හැකි වුණා. අවසානයේ දී එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ද ඔවුන්ට හැකි වුණා.

විරාත්ගේ පියා මිය යද්දී ඔහු 18 වැනි වියේ පසු වුණා. ඔහු මිය ගිය දිනය දෙසැම්බර් 18 ලෙස සටහන් වුණා. එනිසා විරාත් ජාත්‍යන්තර පිටියෙන් පිවිසීමෙන් පසුව සිය ජර්සි අංකය ලෙස භාවිත කළේ අංක 18 යි. ඒ සිය පියාට ගෞරව දැක්වීමක් ලෙස යි.

කෝලි අංක 18 ජර්සිය පැළඳගෙන සිටින අවස්ථාවක් – youtube.com/one india news

පියාගේ සිහිනය සැබෑ කරමින් එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසීම

පියාගේ මරණයෙන් පසු ව විරාත් ගත කළේ තරමක් දුෂ්කර ජීවිතයක්. ඒ ආර්ථික අපහසුතා මධ්‍යයේ ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිදු වුණු නිසා යි. එවැනි තත්ත්වයක් යටතේ පෙරටත් වඩා කැපවීමකින් පුහුණුවීම්වල යෙදුණු විරාත් සිය පියාගේ එකම පැතුම ඉටු කිරීමට මහත් වෙහෙසක් ගත්තා.

දිගින් දිගටම සිදු කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් 2008 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත්ට හිමි වුණා. මැලේසියාවේ දී පැවති එම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ඉන්දීය 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. එම තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ විරාත් ඉනිම් 6ක දී ශතකයක් සමඟින් ලකුණු 235ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම 19න් පහළ ලෝක කුසලානය දිනාගත් මොහොත – gettyimages.com

එසේ දැක්වූ දස්කම් නිසා 2008 දී පැවති මංගල IPL තරගාවලියේ දී ඔහුට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟින් එකතු වීමට වරම් ලැබුණා. එම තරගාවලිය අවසන් වී මාස 2-3ක් ගතවෙද්දී විරාත්ට මුල් ම වරට ඉන්දීය ජාතික කණ්ඩායමෙන් කැඳවීමක් ලැබුණා.

ඒ 2008 අගෝස්තුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා යි. එසේ ඉන්දීය එක්දින කණ්ඩායමට එකතු වීමට වරම් ලැබීම විරාත්ගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් බවට පත් වුණා. ඒ ඔහුට සිය පියාගේ ප්‍රාර්ථනය ඉටු කිරීමට හැකි වුණු නිසා යි.

විරාත් කෝලි එක්දින පිටියට පිවිසි මුල් යුගයේ දී දස්කම් දැක්වූ අයුරු – gettyimages.com

ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගැනීම

ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රීඩා කළ මංගල එක්දින තරගයේ දී විරාත්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 12ක් පමණ යි. එතැන් සිට ගත වුණු වසරක පමණ කාලයේ ඔහුට එක්දින පිටියේ දී විශේෂ දස්කමක් දැක්වීමට හැකි වුණේ නැහැ. මෙම ක්‍රීඩකයා ගැන සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වුණේ 2009 දෙසැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයක දී ලබා ගත් ලකුණු 107 නිසා යි.

ඊට සති 2කට පසුව බංගලිදේශයේ දී ආරම්භ වුණු තුන්කොන් එක්දින තරගාවලියේ දී පිත්තෙන් යළි දස්කම් දැක්වූ විරාත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 71ක්ද බංග්ලාදේශයට එරෙහිව 91 සහ නොදැවී 102ක් ලෙස ලකුණු ලබා ගත්තා. එම ඉනිම් නිසා ඔහු ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගත්තා. එනිසා 2010 ජූනි මාසයේ දී ඔහුට 20/20 ජාත්‍යන්තර තරග වරම් ලැබුණා.

මංගල එක්දින ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම

2011 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 6ක ජයක් ලබා ගත් ඉන්දියාව දෙවන වරටත් එක්දින ක්‍රිකට් කිරුළට උරුමකම් කීවා. එම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ විරාත් ඉනිම් 9කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 282ක් ලබා ගත්තා.

එහි දී ඔහුගේ හොඳම ඉනිම වුණේ බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 100 යි. එසේ එක්දින පිටියේ දී දැක්වූ දස්කම් නිසා 2011 ජූනි මාසයේ දී විරාත්ට ටෙස්ට් වරම් ද හිමි වුණා.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම් දැරූ පිතිකරුවෙක් බවට පත් වීම

2013 ජනවාරි මාසය ආරම්භ වෙද්දී විරාත් එක්දින සහ 20/20 පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල මුල් පිතිකරුවන් පස් දෙනා අතර සිටියා. 2014 පෙබරවාරිය වෙද්දී ඔහු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල මුල් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියා. 2014 ජනවාරි 22 වැනිදා මුල්ම වරට එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල අංක 1ට පැමිණි විරාත්, මුල්ම වරට 20/20 පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල අංක 1ට පැමිණියේ 2014 සැප්තැම්බර් 8 වැනිදා යි.

ඒ වාගේම 2018 අගෝස්තු 4 වැනිදා ඔහු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල අංක 1ට පැමිණියා. ඒ අනුව ඔහු ගෙවුණු දශකය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම් දැරූ පිතිකරුවෙක් බවට පත්ව සිටියා.

ටෙස්ට් තරගයක දස්කම් දැක්වූ අවස්ථාවක් (gettyimages.com)

21 වන සියවසේ බිහි වුණු විශිෂ්ටත ම පිතිකරුවෙක්

2008-2022 යුගය තුළ ජාත්‍යන්තර 483කට සහභාගි වුණු විරාත් ඉනිම් 538ක දී පන්දුවට පහරදෙමින් ශතක 72ක් සහ අර්ධ ශතක 129ක් සමඟින් ලකුණු 24573ක් ලබා ගෙන සිටිනවා. එහි දී ශතක 1ක් සමඟින් 20/20 ලකුණු 4008ක් ලබා සිටින විරාත් 20/20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම ලකුණු ලාභියා ලෙස වැජඹෙනවා.

එක්දින ශතක 44ක් සමඟ ලකුණු 12471ක් ලබා සිටින මොහු සචින් ටෙන්ඩුල්කාර්ට පසුව වැඩි ම එක්දින ශතක ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත්ව සිටිනවා. මෙම විශිෂ්ටයා ටෙස්ට් ශතක 27ක් සමඟින් ලකුණු 8094ක් ලබා සිටිනවා. එයින් පැහැදිලි වන්නේ විරාත් කෝලි නම් පිතිකරුවා ක්‍රිකට් තරග රටා තුනේදී ම එක ම ආකාරයට දස්කම් පෙන්වා ඇති බව යි. එනිසා ඔහු 21 වන සියවස තුළ බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවෙක් බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.

කවරයේ ඡායාරූපය- විරාත් කෝලි (gettyimages.com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
icc-cricket.com
historydraft.com
timesofsports.com
thefamouspeople.com

Related Articles