Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 7කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දු බිමේ පෑ T20 දස්කම්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ කළේ සත්කාරක ඉන්දීය කණ්ඩායම යි. එහි දී ICC T20 ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායමට ප්‍රබල සටනක් ලබා දීමට අපේ ක්‍රීඩකයන්ට හැකි වුණා.

ඒ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වසර 7කට පසුව ඉන්දීය බිමේ දී T20 තරගයක් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකාව ජය ගත් T20 තරගයේ අවස්ථාවක් – espncricinfo.com)

පළමු T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 2ක තියුණු ජයක්

ඉන්දු-ශ්‍රී ලංකා T20 තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී පසුගිය අඟහරුවාදා (3) පැවති තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එම තරගය ආරම්භ වුණු මොහොතේ සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉන්දීය පිතිකරුවන්ට කිසිදු බුරුලක් ලැබුණේ නැහැ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 94ක දී බිඳ වැටුණේ පන්දු වාර 14.1ක් ඇතුළත යි. ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවක පිටියේ එක් වුණු දීපක් හූඩා සහ අක්සාර් පටෙල් 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 35කින් නොබිඳුණු ලකුණු 68ක සබඳතාවක් ගොඩනැඟුවා. එම සබඳතාව සමඟ නියමිත පන්දු වාර 20 අවසානයේ දී ඉන්දීය ඉනිම 162/5 ලෙසින් නිමාව දුටුවා.

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – espncricinfo.com

ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ ඉන්දීය පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසා යි. ඉන්දීය පන්දු යවන්නන් දිගින් දිගට ම ලබා දුන් පීඩනය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 94ක දී බිඳ වැටුණා. එම අවස්ථාවේ දසුන් ශානක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න යන පිතිකරුවන් සටන්කාමී ලෙස පන්දුවට පහර දුන් නිසා පන්දු වාර 16.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 129/6 බවට පත් ව තිබුණා. එම අවස්ථාව වන විට ජයග්‍රහණය සඳහා පන්දු 21කින් ලකුණු 34ක් අවශ්‍ය ව තිබුණා.

තීරණාත්මක මොහොතක දසුන් දැවී යාම

එවැනි තීරණාත්මක මොහොතක දසුන් ලකුණු 45කට දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවක් වුණා. දසුන්ගේ කඩුල්ලෙන් සෑහීමකට පත් නොවුණු ඉන්දියානුවන් ඉක්මනින් ම මහීෂ් තීක්ෂණගේ කඩුල්ල ද දවා ගත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 132/8 බවට පත් වුණා.

ඒ මොහොතේ සටන අත් නොහැරි චාමික කරුණාරත්න සහ කසුන් රාජිත පන්දු 11කින් එකතු කළ ලකුණු 26 නිසා පන්දුවාර 19.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 158/8 බවට පත් ව තිබුණා. ජයග්‍රහණය සඳහා පන්දු 3කින් ලකුණු 5ක් අවශ්‍ය වුණු මොහොතේ චාමික කල්පනාකාරීව පන්දුවට පහර නොදුන් නිසා ශ්‍රී ලංකාවට ලකුණු 2ක පරාජයක් උරුම වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඉන්දියාව තරගය ජයග්‍රහණය කළ මොහොත – espncricinfo.com

කෙටි ලකුණු පුවරුව

ඉන්දියාව- 162/5 (20), (හූඩා- 41*, කිශාන්- 37, අක්සාර්- 31*, ධනංජය- 6/1, වනිඳු- 22/1, චාමික- 22/1)
ශ්‍රී ලංකාව- 160/10 (20), (දසුන්- 45, කුසල්- 28, චාමික- 23*, මාවි- 22/4, මලික්- 27/2, හර්ෂාල්- 41/2)
ඉන්දියාවට ලකුණු 2ක ජයක්
තරගයේ වීරයා- දීපක් හූඩා

දසුන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

තරගාවලියේ දෙවන තරගය පූනේ හි දී පසුගිය බ්‍රහස්පතින්දා (5) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පන්දු 50කින් ලකුණු 80ක් එකතු කළා.

එම සබඳතාව බිඳී යාමෙන් පසු ව ශ්‍රී ලංකා කඩුලු එක පිට එක බිඳ වැටෙන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 16 වන පන්දු වාරය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 138/6ක් බවට පත්ව තිබුණා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් – espncricinfo.com

තරගයේ වැඩි වාසි ඉන්දියාවට හිමි ව තිබුණු මොහොතේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක හයේ පහර 6ක් සමඟින් පන්දු 22කින් නොදැවී ලකුණු 56ක් රැස් කළා. දසුන් පන්දු 20කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ම T20 අර්ධ ශතකය ලබා ගත් පිතිකරුවා ලෙසින් වාර්තා අතරට එක් වුණා.

එහි දී ඔහු බිඳ දැමුවේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පන්දු 21කින් T20 අර්ධ ශතක ලබා ගෙන තබා තිබුණු වාර්තාව යි. දසුන්ගේ එම සුපිරි ඉනිම නිසා නියමිත පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 206/6 ලෙසින් සටහන් වුණා.

දසුන් ශානකගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කසුන් රාජිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ අසීරු තත්ත්වයකට පත් වුණා. එහිදී ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 57ක දී බිඳ වැටුණා. ඉන්දියානුවන් පරාජය කරා යමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු සූර්යකුමාර් යාදව් සහ අක්සාර් පටෙල් පන්දු 40කින් ලකුණු 91ක සබඳතාවක් ගොඩනැඟුවා. එනිසා ඉන්දීය ලකුණු පුවරුව 148/5 බවට පත් වුණා.

අක්සාර් අවසන් පන්දුවාරය දක්වා ප්‍රබල සටනක

ඒ මොහොතේ සූර්යකුමාර් ලකුණු 51කට දැවී ගිය ද ඉන් නොසැලුණු අක්සාර් අවසන් පන්දු වාරය දක්වා ප්‍රබල සටනක නිරත වුණා. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 21ක් අවශ්‍ය වුණු මොහොතේ පන්දුව අතට ගත් නායක දසුන් ප්‍රතිවාදීන්ට ලකුණු 4ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගෙන සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ දී T20 තරග ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 7කට පසුව යි. ඔවුන් එම ජයග්‍රහණය ද පූනේ හි දී ලබා තිබීම විශේෂත්වයක්.

මේ එම ජයග්‍රාහී තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

දසුන් අවසන් පන්දුවාරයේ දී අක්සාර්ගේ කඩුල්ල දවාගත් මොහොත – espncricinfo.com

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව- 206/6 (20), (දසුන්- 56*, කුසල්- 53, අසලංක- 37, මලික්- 48/3, අක්සාර්- 24/2)
ඉන්දියාව- 190/8 (20), (අක්සාර්- 65, සූර්යකුමාර්- 51, මාවි- 26, දසුන්- 4/2, රාජිත- 22/2, මදුසංක- 45/2)
ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්
තරගයේ වීරයා- දසුන් ශානක

සූර්යකුමාර්ගේ ශතකය බිඳ දැමූ 41 වසරක ශ්‍රී ලංකා සිහිනය

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීය බිමේ දී මුල් ම වරට ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කළේ 1982 දී යි. එදා සිට අද දක්වා ගෙවුණු වසර 41ක කාලයේ ටෙස්ට්, එක්දින සහ T20 තරගාවලියකින් ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ බිමේ දී පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණේ නැහැ. එනිසා ශ්‍රී ලංකාව රාජ්කොට් හි පැවති අවසන් T20 තරගයට අවතීර්ණ වුණේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමේ අරමුණ ඇතිව යි.

එය දසුන් ශානකගේ T20 තරග දිවියේ 85 වන තරගය යි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම T20 තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහි දී ඔහු අභිබවා ගියේ ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරග 84ක් ක්‍රීඩා කරමින් පිහිටුවා තිබුණු වාර්තාව යි.

ලසිත් මාලිංග – gettyimages.com

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින් පහර දුන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 52ක දී බිඳ වැටුණා. ඉන් අනතුරු ව පිටියේ එක් වුණු සූර්යකුමාර් යාදව් සහ ශුබ්මන් ගිල්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහර දුන්නා.

එහි දී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් සමඟින් පන්දු 51කින් නොදැවී ලකුණු 112ක් රැස් කළා. එය ඔහුගේ T20 තරග දිවියේ තෙවන ශතකය බවට පත් වුණා. සූර්යකුමාර්ගේ පිත්තෙන් වාර්තා වුණු විශිෂ්ට ශතකය නිසා නියමිත පන්දුවාර 20 දී ඉන්දීය ඉනිම 228/5 ලෙසින් නිමාව දුටුවා.

සූර්යකුමාර් යාදව් ශතකය ලබා ගත් මොහොත – espncricinfo.com

ජයග්‍රහණය සඳහා ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ලකුණු 44ක ආරම්භක සබඳතාවක් ගොඩ නැඟුවා. ඒ මොහොතේ ලකුණු 23ක් ලබා සිටි කුසල් දැවීයාමත් සමඟින් ශ්‍රී ලංකා පිලේ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගියා.

එසේ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු ශ්‍රී ලංකා පිතිකරු යුගළයකට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 16.4ක දී ලකුණු 137කට සීමා වුණා. ඒ අනුව ඉන්දියාව 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළා. මේ අවසන් T20 තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 228/5 (20), (සූර්යකුමාර්- 112*, ගිල්- 46, ත්‍රිපති- 35, මදුසංක- 55/2, රාජිත- 35/1)
ශ්‍රී ලංකාව- 137/10 (16.4), (දසුන්- 23, කුසල්- 23, අර්ශ්දීප්- 20/3, හාර්ඩික්- 30/2, චහාල්- 30/2)
ඉන්දියාවට ලකුණු 91 ජයක්
තරගයේ වීරයා- සූර්යකුමාර් යාදව්
තරගාවලියේ වීරයා- අක්සාර් පටෙල්

තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම – espncricinfo.com

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ගුවහාටි හි දී හෙට (10) ආරම්භ වීමට නියමිත යි.

ආසනල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ පෙරමුණේ

2022/23 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය අගෝස්තු මාසයේ දී ආරම්භ වුණා. ගෙවුණු මාස 5ක කාලයේ දී එම තරගාවලියේ තරග සති 19ක් ක්‍රියාත්මක වුණා. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණු ආසනල් කණ්ඩායම තරග 17කට සහභාගි වී ජයග්‍රහණ 14ක් සමඟ ලකුණු 44ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

ආසනල් කණ්ඩායම – gettyimages.com

එහි දී ආසනල් කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ගේබ්‍රියල් මාටිනෙල්ලි, සහ මාටින් ඕඩ්ගාර්ඩ් ගෝල් 7 බැගින් වාර්තා කළා. ආසනල් කණ්ඩායම අවසන් වරට එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාව ජයග්‍රහණය කළේ 2003/04 තරග වාරයේ දී යි. එම දස්කම 19 වසරකට පසු ව නැවතත් දැක්වීමට මෙවර ඔවුන්ට හොඳ ම අවස්ථාවක් උදා වී තිබෙනවා.

ආසනල් කණ්ඩායම සමඟ කරට කර සටනක නිරත වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායම තරග 17කට සහභාගි වී ලකුණු 39ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙද්දී, තරග 18කට ක්‍රීඩා කර ලකුණු 35ක් ලබා සිටින නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ගේබ්‍රියල් මාටිනෙල්ලී – gettyimages.com

ජය පැරදුමෙන් තොර ව අවසන් වුණු පාකිස්තාන-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

තරග 2කින් සමන්විත වුණු පාකිස්තාන-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය කරච්චි හිදී පසුගිය සිකුරාදා (6) නිමාවට පත් වුණා. එහි දී ලකුණු 319ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 304ක් ලබා සිටියා.

ප්‍රේක්ෂකයන්ට කලකට පසු උණුසුම් ටෙස්ට් තරගයක් නැරඹීමට අවස්ථාව ලැබුණා. මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ද ජය පැරදුමෙන් තොර ව නිමා වුණා. මෙම තරගයේ දීත් ඊට සමාන ප්‍රතිඵලයක් ලැබුණු නිසා තරගාවලිය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණා. මේ කරච්චි ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.
කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත පළමු ඉනිම 449/10, (කොන්වේ- 122, ලේතම්- 71, හෙන්රි- 68*, අහමඩ්- 149/4)
පාකිස්තාන පළමු ඉනිම- 408/10, (ෂකීල්- 125*, ඉමාම්- 83, සෆ්රාස්- 78, අජාස්- 88/3, සෝඩි- 95/3)
නවසීලන්ත දෙවන ඉනිම- 277/5, (බ්‍රේස්වෙල්- 74*, බ්ලන්ඩල්- 74, ලේතම්- 62, හම්සා- 38/1)
පාකිස්තාන දෙවන ඉනිම- 304/9, (සෆ්රාස්- 118, මසූඩ්- 35, බ්‍රේස්වෙල්- 75/4, සවුති- 43/2)
තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණා
තරගයේ වීරයා- සෆ්රාස් අහමඩ්
තරගාවලියේ වීරයා- සෆ්රාස් අහමඩ්

තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ සෆ්රාස් අහමඩ් – gettyimages.com

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (9) කරච්චි හි දී ආරම්භ වීමට නියමිත යි.

19න් පහළ කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය

19න් පහළ කාන්තා T20 මංගල ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී එළඹෙන ජනවාරි 14 වැනි දා ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සිකුරාදා (6) දිවයිනෙන් පිටත්ව ගියා. මේ එම කණ්ඩායම යි.

විශ්මි ගුණරත්න (නායිකා), දැහැමි සෙනෙත්මා, උමායා රත්නායක, රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, දෙව්මි විහංගා, මනුදි නානායක්කාර, සුමුදු නිසංසලා, පමෝද ෂයිනි, විදුෂිකා පෙරේරා, දුලංගා දිසානායක, රිශ්මි සන්ජනා, නෙත්මි සේනාරත්න, හරිනි පෙරේරා, විහාරා සෙව්වන්දි

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම – newswire.lk

එම තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ අමෙරිකාව යන රටවල් සමඟින් තරග වැදීමට සිදු වෙනවා. මේ තරගාවලියේ ශ්‍රී ලංකා තරග කාලසටහන යි.
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව- ජනවාරි 14 – ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.15
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය- ජනවාරි 16 – ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව- ජනවාරි 18 – ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30

කවරයේ ඡායාරූපය- ඉන්දියාවට එරෙහිව පිත්තෙන් දස්කම් පෑ දසුන් - espncricinfo.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
howstat.com
premierleague.com

Related Articles