Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මංගල 19න් පහළ බාලිකා T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය බාලිකාවෝ

19න් පහළ බාලිකා T20 පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ එංගලන්තය සහ ඉන්දියාව යි. පොට්චෙෆ්ස්ටෘම් හි සෙන්වෙස් පාක් පිටියේ දී ඊයේ දිනයේ (29) පැවති එම අවසන් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන්නේ එංගලන්තය යි

පන්දු යවන්නන්ට වඩාත් හිතකර අයුරින් සකසා තිබුණු එම තණතීරුවේ එංගලන්ත පිතිකාරිණියන්ට ලකුණු රිසි සේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්ත පිලේ මුල් කඩුලු 6 ලකුණු 43ක දී බිඳ වැටුණා.

ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

එසේ බිඳ වැටුණු එංගලන්ත ඉනිම යළි ගොඩනැඟීමට කිසිදු පිතිකාරිණියන් දෙපළකට හැකි වුණේ නැහැ. එනිසා පන්දු වාර 17.1ක් අවසානයේ එංගලන්ත ඉනිම ලකුණු 68 කට සීමා වුණා. ඉන් පසු ව ලකුණු 69ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලේ මුල් කඩුලු 2ක ලකුණු 20ක දී දැවී යාමත් සමඟින් තරගය දෙපිලට ම විවෘත වුණා.

එම තීරණාත්මක අවස්ථාවේ පිටියේ එකතු වුණු සෞම්‍යා තිවාරි සහ ගොන්ගාඩි ට්‍රිෂා තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 46ක සබඳතාව 19න් පහළ බාලිකා ඉන්දීය කණ්ඩායම ජය මාවතට රැගෙන ගියා. පන්දු වාර 14ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

එංගලන්තය- 68/10 (17.1)

රයනා මැක්ඩොනල්ඩ්- 19 (24)
සොෆියා ස්මේල්- 11 (7)
ටිටාස් සධූ- 6/2 (4)
පර්ෂවී චොප්රා- 13/2 (4)
අර්චනා දේවි- 17/2 (3)

ඉන්දියාව- 69/3 (14)

සෞම්‍යා තිවාරි- 24* (37)
ගොන්ගාඩි ට්‍රිෂා- 24 (29)
ෂෆාලි වර්මා- 15 (11)
ඇලෙක්සා ස්ටෝන්හවුස්- 8/1 (2)

තරගයේ වීරයා- ටිටාස් සධූ (ඉන්දියාව)
තරගාවලියේ වීරයා- ග්‍රේස් ස්ක්‍රිවන්ස් (එංගලන්තය)

2023 පිරිමි හොකී ලෝක කුසලානය ජර්මනියට

2023 පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ බුබනේෂ්වර් සහ රූර්කේලා යන නගර ආශ්‍රිත ව පසුගිය දිනවල පැවැත්වුණා. එම තරගාවලියේ අවසන් තරගය සඳහා ජර්මනිය සහ බෙල්ජියම යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා. එම අවසන් තරගය බුබනේෂ්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේ දී ඊයේ දිනයේ දී (29) පැවැත්වුණා.

තරග ආරම්භයේ සිට දක්ෂ ලෙස තරග වැදුණු බෙල්ජියම් ක්‍රීඩකයන් 10 වැනි සහ 11 වැනි විනාඩිවල දී වාර්තා කළ ගෝල නිසා තරගයේ පළමු කාර්තුව අවසන් වෙද්දී බෙල්ජියම ගෝල 2-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා.

අවසන් තරගයේ තීරණාත්මක අවස්ථාවක් – gettyimages.com

ඉන් පසුව තරගයට අවතීර්ණ වුණු ජර්මානු ක්‍රීඩකයන් 29 වැනි සහ 41 වැනි විනාඩිවල දී ලබා ගත් ගෝල නිසා තරගයේ තෙවන කාර්තුව අවසන් වෙද්දී ගෝල තත්ත්වය 2-2 ලෙසින් සටහන් වුණා. තීරණාත්මක තරගයේ අවසන් කාර්තුවේ දී දෙපිල ම ගෝලය බැගින් ලබා ගත් නිසා නියමිත කාලය අවසානයේ දී ගෝල තත්ත්වය 3-3ක් ලෙස සටහන් වුණා.

එනිසා දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට සිදු වුණා. එහි දී දඬුවම් පහර 5-4ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ ජර්මානු කණ්ඩායම යි. ජර්මනිය මෙවර පිරිමි හොකී ලෝක කුසලානය ජයග්‍රහණය කළේ තෙවන වතාවට යි. ඊට පෙර 2002 සහ 2006 වසරවල දී ඔවුන් එම දස්කම දක්වා තිබුණා.

ශූරතාවය දිනා ගත් ජර්මානු කණ්ඩායම – gettyimages.com

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ 10 වන වරටත් දිනූ සර්බියානුවා

2023 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අවසන් තරගය මෙල්බර්න් හි දී ඊයේ දිනයේ (29) පැවැත්වුණා. සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිට්සිපාස් එම තරගයේ දී උරෙනුර ගැටුණා.

ආරම්භයේ සිට තියුණු මුහුණුවරක් ගත් එම තරගය අවසානයේ තරග වට 3-0ක් ලෙස ජයගන්නට ජොකොවිච් සමත් වුණා. එහි දී ලකුණු තත්ත්වය සටහන් වුණේ 6-3, 7-6, සහ 7-6 ලෙස යි.

ජොකොවිච් පිරිමි ඒකල අවසන් තරගය ජයගැනීමෙන් පසුව (gettyimages.com)

ජොකොවිච් 10 වන වරටත් ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් ඒකල ශූරතාව දිනා ගත්තා. ඊට පෙර ඔහු 2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021 යන වසරවල දී එම ශූරතාව දිනා ගෙන තිබුණා. එලෙස ලබා ගත් ජයග්‍රහණ සමඟින් ජොකොවිච් දිනා ගත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඒකල ශූරතා ගණන 22 දක්වා ඉහළ ගියා.

ඒ සමඟ ම වැඩි ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඒකල ශූරතා ප්‍රමාණයක් දිනා ගෙන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් තබා තිබුණු වාර්තාව සම කිරීමට ද ජොකොවිච්ට හැකි වුණා.

නොවැක් ජොකොවිච් ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ තොරතුරු

111 වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දී ඊයේ දිනයේ (29) නිමාවට පත් වුණා. එහි දී විශිෂ්ට දස්කම් දැක්වූ සර්බියාවේ නොවැක් ජොකොවිච් 10 වන වරටත් පිරිමි ඒකල ශූරතාව දිනා ගනිද්දී අරීනා සබලෙන්කා කාන්තා ඒකල ශූරතාව දිනා ගත්තා.

එහි දී සබලෙන්කා හමුවේ අවසන් තරගයේ දී පරාජය වුණේ පසුගිය වසරේ එම ඉසව්වේ ශූරතාව දිනා ගත් කසකස්තානයේ එලේනා රයිබකිනා ක්‍රීඩිකාව යි.

අරීනා සබලෙන්කා අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

උපතින් බෙලරුසියානු ක්‍රීඩිකාවක් වන සබලෙන්කා මෙවර තරගාවලියේ දී සිය නම ඉදිරියේ කිසිදු ධජයක් භාවිත නොකිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අනුව මධ්‍යස්ථ ධජයක් යටතේ තරග වදිමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව ලෙසින් ඇය ඉතිහාසගත වුණා. එසේ නිමා වුණු ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්වල ප්‍රතිඵලයි මේ.

1) පිරිමි ඒකල ශූරතාව- නොවැක් ජෝකොවිච් (සර්බියාව)
2) කාන්තා ඒකල ශූරතාව- අරීනා සබලෙන්කා
3) පිරිමි යුගල ශූරතාව- රින්කි හිජිකාටා සහ ජේසන් කුබ්ලර් (ඕස්ට්‍රේලියාව)
4) කාන්තා යුගල ශූරතාව- බාර්බරා ක්‍රෙජිකෝවා සහ කැතරිනා සිනිකෝවා (චෙක් ජනරජය)
5) මිශ්‍ර යුගල ශූරතාව- ලුයිසා ස්ටෙෆනි සහ රෆායෙල් මාටෝස් (බ්‍රසීලය)

අරීනා සබලෙන්කා ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාවට එක්දින තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත එංගලන්ත-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆන්ටේන්හි දී පසුගිය සතියේ ආරම්භ වුණා. එම තරගාවලිය යටතේ පැවති මුල් තරග 2ක ජයග්‍රහණය කළ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම කල්වේලා ඇතිව ම එක්දින තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වුණා.

එසේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් එංගලන්තය හමුවේ එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ 2016 වසරෙන් පසුව යි. දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ දෙවන එක්දින තරගයේ දී ඔවුන් 343ක් වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් තරගය ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව පළමු එක්දින තරගය ජය ගත් මොහොත – gettyimages.com

මේ දකුණු අප්‍රිකාවට ජය හිමි වුණු එම තරග දෙකේ කෙටි ලකුණු පුවරු යි.
පළමු තරගය

දකුණු අප්‍රිකාව- 298/7 (50), (ඩූසන්- 111, මිලර්- 53, කොක්- 37, කරන්- 35/3, ස්ටෝන්- 37/1)
එංගලන්තය- 271/10 (44.2), (රෝයි- 113, මලාන්- 59, බට්ලර්- 36, නොකියා- 62/4, මගාලා- 46/3)

දකුණු අප්‍රිකාවට ලකුණු 27ක ජයක්

තරගයේ වීරයා- සිසන්ඩා මගාලා

දෙවන තරගය
එංගලන්තය- 342/7 (50), (බට්ලර්- 94*, බෘක්- 80, අලී- 51, කරන්- 28*, නොකියා- 64/2, මාක්‍රම්- 26/1)
දකුණු අප්‍රිකාව- 347/5 (49.1), (බවුමා- 109, මිලර්- 58*, මාක්‍රම්- 49, ස්ටෝන්- 48/2, රෂීඩ්- 72/2)

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා- ටෙම්බා බවුමා

ටෙම්බා බවුමා ශතකය ලබා ගත් අවස්ථාව – gettyimages.com

ටාටා ස්ටීල් මාස්ටර්ස් චෙස් ශූරතාව නෙදර්ලන්තයේ අනීෂ් ගිරීට

85 වන ටාටා ස්ටීල් මාස්ටර්ස් චෙස් තරගාවලිය නෙදර්ලන්තයේ වයික් ආන් සී හිදී ඊයේ දිනයේ (29) නිමාව දුටුවා. එය සෑම වසරක ම ජනවාරි මාසයේ එහි පැවැත්වෙන ඉහළ පෙළේ ජාත්‍යන්තර චෙස් තරගාවලියක්. ඒ සඳහා ලොව මුල් පෙළේ චෙස් ක්‍රීඩකයන් 14 දෙනෙක් සහභාගි වුණා.

වත්මන් ලෝක චෙස් ශූර නෝර්වේ රාජ්‍යයේ මැග්නස් කාල්සන්, නෙදර්ලන්තයේ අනීෂ් ගිරී, උස්බෙකිස්තානයේ නොඩිර්බෙක් ඇබ්ඩුසට්‍රොව්, අමෙරිකාවේ ෆැබියානෝ කරුවානා සහ ලෙවොන් අරෝනියන්, චීනයේ ඩිංග් ලිරේන්, ඉන්දියාවේ ඩොම්මරාජු ගුකේෂ් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඒ අතර සිටියා.

අනීෂ් ගිරී – gettyimages.com

එහි දී සියලු ම ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා ගිය නෙදර්ලන්තයේ අනීෂ් ගිරී තරග වට 13කින් ලකුණු 8.5ක් ලබා ගෙන තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. ඔහු එම ලකුණු 8.5 ලබා ගැනීමේ දී මැග්නස් කාල්සන්, රිචඩ් රැපෝට්, ඩිංග් ලිරේන්, ඩොම්මරාජු ගුකේෂ් යන ක්‍රීඩකයන් හමුවේ ජයග්‍රහණ ලබා ගෙන ඉතිරි තරග සියල්ල ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත්තා.

ඒ අනුව ඔහු අපරාජිත ව තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

කවරයේ ඡායාරූපය-මංගල 19න් පහළ බාලිකා T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
tatasteelchess.com
ausopen.com

Related Articles