Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර T20 ලෝක කුසලාන අවසන් තරගයේ වැඩි වාසිය කාටද?

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වටය පසුගිය ඔක්තෝබර් 22 වැනිදා ආරම්භ වුණා. එම තරග වටයේ දී ඉහළ දස්කම් දැක්වූ නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ දී ප්‍රබල නවසීලන්ත සහ ඉන්දීය කණ්ඩායම් අභිබවා ගිය පාකිස්තානය සහ එංගලන්තය මෙල්බර්න් පිටියේ දී හෙට (13) දිනයේ පැවැත්වෙන අවසන් තරගය සඳහා සුදුසුකම් සැපිරුවා.

2022 T20 ලෝක කුසලානය – gettyimages.com

එහි දී එංගලන්තය 2016 වසරෙන් පසුව T20 ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා ගනිද්දී පාකිස්තානයට එම අවස්ථාව උදා වුණේ 2009 වසරෙන් පසු ව වීම විශේෂත්වයක්. එනිසා මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙවර T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා මාන බලමින් සිටිනවා.

වර්තමාන T20 ක්‍රිකට් පිටියේ සිටින දක්ෂත ම කණ්ඩායම් 2ක් වන එංගලන්තය සහ පාකිස්තානය නවත ම T20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල 2 සහ 3 ස්ථානවල පසු වෙනවා. එනිසා එම කණ්ඩායම් අතර පැවැත්වෙන T20 ලෝක කුසලාන අවසන් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවට ක්‍රිකට් විස්තර විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබෙනවා. එවැනි වටපිටාවක මෙවර T20 ලෝක කුසලාන අවසන් තරගයේ වාසිය කුමන කණ්ඩායම සතුව තිබේ ද යන්න ගැන කතා කිරීමට අප කල්පනා කළා.

කණ්ඩායම් දෙක අවසන් තරගය දක්වා පැමිණි ගමන් මඟ

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ දී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු එංගලන්ත කණ්ඩායම ඔවුන් මුහුණ දුන් පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 5ක ජයක් වාර්තා කළා. එංගලන්තය සහ අයර්ලන්තය අතර ඉන් පසුව පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 5ක පරාජයක් උරුම වුණා.

ඒ අයුරින් ලද අනපේක්ෂිත පරාජයෙන් පසු ව ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගය ද වර්ෂාවට සේදී යාම නිසා එංගලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට අසීරු වටපිටාවක් නිර්මාණය වුණා. එවැනි තත්ත්වයක් යටතේ සටන අත් නොහැරි එංගලන්ත කණ්ඩායම නවසීලන්තය සහ ශ්‍රී ලංකාව හමුවේ ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඉන් නොනැවතුණු එංගලන්තය අවසන් පූර්ව වටයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුස්සන් බවට පත් වුණා.

ඉන්දු-එංගලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් – gettyimages.com

එංගලන්ත කණ්ඩායම වර්ෂාව සමඟ සටන් කරමින් අවසන් තරගය කරා පැමිණෙද්දී පාකිස්තාන කණ්ඩායම ද අවසන් තරගය දක්වා පැමිණියේ අභියෝග කිහිපයක් ජය ගැනීමෙන් පසුව යි. පාකිස්තාන කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ සහභාගි වුණු මුල් ම තරග 2ක පරාජයට පත් වුණා. එහි දී පාකිස්තානය සිය මුල් ම තරගයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 4ක පරාජයක් ද, පසුව සිම්බාබ්වේ හමුවේ ලකුණු 1ක තියුණු පරාජයක් ද ලැබුවා. එනිසා පාකිස්තානයේ ලෝක කුසලාන ගමන සුපිරි කණ්ඩායම් 12 වටයෙන් අවසන් වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

එවැනි තත්ත්වයක් යටතේ පාකිස්තාන කණ්ඩායම නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග දෙක ජයග්‍රහණය කළා. ඒ අතරතුර දකුණු අප්‍රිකාව නොසිතූ අයුරින් නෙදර්ලන්තය හමුවේ පැවති තරගය පරාජයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජයග්‍රාහකයන්ට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව ලැබුණා.

එම තරගයේ දී බංග්ලාදේශය හමුවේ කඩුලු 5ක ජයක් ලැබූ පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියා. ඉන් අනතුරුව අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය හමුවේ කඩුලු 7ක ජයක් වාර්තා කළ පාකිස්තානය වසර 13කට පසුව T20 ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

පාකිස්තාන-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් – gettyimages.com

තරගාවලි ඉතිහාසයේ වැඩි ගෞරව එංගලන්තයට

T20 ලෝක කුසලාන තරගාවලිය 2007 දී ආරම්භ වුණා. එදා සිට අද දක්වා පැවති තරගාවලිවල දී එංගලන්ත සහ පාකිස්තාන යන කණ්ඩායම් අවස්ථා 2කදී එකිනෙකා හමු ව තිබෙනවා. මෙම කණ්ඩායම් දෙක මුල් ම වරට T20 ලෝක කුසලාන තරගයක දී උරෙනුර ගැටුණේ 2009 T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී යි. එම තරගයෙන් ලකුණු 48ක ජයක් හිමි වුණේ එංගලන්තයට යි. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

එංගලන්තය- 185/5 (20), (පීටර්සන්- 58, රයිට්- 34, ෂා- 33, අජ්මාල්- 23/2, ගුල්- 37/2)
පාකිස්තානය- 137/7 (20), (යුනිස්- 46*, බට්- 28, බ්‍රෝඩ්- 17/3, මැස්කරේනස්- 14/1, රයිට්- 24/1)
එංගලන්තයට ලකුණු 48ක ජයක්
තරගයේ වීරයා- ලුක් රයිට්

2009 T20 ලෝක කුසලානයේ එංගලන්ත-පාකිස්තාන තරගයේ අවස්ථාවක් – gettyimages.com

පාකිස්තානය සහ එංගලන්තය T20 ලෝක කුසලාන තරගයක දී අවසන් වරට මුණ ගැසුණේ 2010 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 තරග වටය යටතේ පැවති තරගයක දී යි. එම තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් හිමි කර ගත්තේ එංගලන්තය යි. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පාකිස්තානය- 147/9 (20), (බට්- 34, උමාර්- 30, යාර්ඩි- 19/2, බ්‍රෝඩ්- 25/2, සයිඩ්බොටම්- 28/2)
එංගලන්තය- 151/4 (19.3), (පීටර්සන්- 73*, ලම්බ්- 25, කීස්වෙටර්- 25, අජ්මාල්- 18/2)
එංගලන්තයට කඩුලු 6ක ජයක්
තරගයේ වීරයා- කෙවින් පීටර්සන්

T20 ලෝක කුසලාන අවසන් තරග 2 බැගින් ක්‍රීඩා කර තිබෙන කණ්ඩායම් 2ක්

පාකිස්තාන කණ්ඩායම මෙවර සහභාගි වන්නේ සිය තෙවන T20 ලෝක කුසලාන අවසන් තරගයට යි. ඔවුන් මීට පෙර 2007 සහ 2009 T20 ලෝක කුසලාන අවසන් තරග සඳහා ක්‍රීඩා කර තිබෙනවා. එහි දී 2007 අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 5කින් පරාජය වුණු පාකිස්තානය 2009 අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 8ක ජයක් වාර්තා කළා.

2009 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම – gettyimages.com

එංගලන්තය මුල් ම වරට 20/20 ලෝක කුසලාන අවසන් තරගයකට සහභාගි වුණේ 2010 වසරේ දී යි. එවර ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළේ එංගලන්තය යි.

ඉන් අනතුරු ව 2016 දී කොදෙව්වන්ට එරෙහි ව T20 ලෝක කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කළ එංගලන්තය එම තරගය කඩුලු 4කින් පරාජය වුණා. ඒ අනුව එංගලන්තය මෙවර සහභාගි වන්නේ සිය තෙවන T20 ලෝක කුසලාන අවසන් තරගය සඳහා යි.

2010 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම – gettyimages.com

කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් නොවෙයි

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී යි. 2008 සිට මේ දක්වා මෙල්බර්න් පිටියේ දී T20 තරග 21ක් පවත්වා තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලැබී තිබෙන්නේ T20 තරග 17කදී පමණ යි. ඒ අතුරින් තරග 9ක් කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම් ජය ගනිද්දී ඉතිරි තරග 8 කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. එයින් පැහැදිලි වන්නේ මෙල්බර්න් පිටියේ පැවැත්වෙන T20 තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් නොවන බව යි.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටිය – gettyimages.com

කණ්ඩායම් දෙක මෙල්බර්න් හිදී තවමත් T20 තරගයක් ජය ගෙන නැහැ

2022 T20 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වෙන මෙල්බර්න් පිටිය එංගලන්තය සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකට ම එතරම් වාසනාවන්ත බිමක් නොවෙයි. ඒ මෙම කණ්ඩායම් යුගළය ම මෙල්බර්න් පිටියේ දී මේ දක්වා කිසිදු T20 තරගයක් ජයග්‍රහණය කර නොමැති නිසා යි. එහි දී එංගලන්තය මෙල්බර්න් පිටියේ දී T20 තරග 4ක් පරාජයට පත් ව තිබෙනවා.

ඔවුන් එයින් තරග 3ක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙද්දී ඉතිරි තරග පරාජය ලැබුවේ මෙවර 20/20 ලෝක කුසලානයේ දී අයර්ලන්තය හමුවේ යි. පාකිස්තානය මෙම පිටියේ දී මුලින් ම T20 තරග පරාජයක් ලැබුවේ 2010 දී ඕස්ට්‍රේලියාව හමුවේ යි. ඉතිරි තරග පරාජය ලැබුවේ මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ යි. එනිසා මෙම කණ්ඩායම් දෙක මෙල්බර්න් පිටියේ දී සිය මුල් ම T20 තරග ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණ ඇති ව නොවැම්බර් 13 වැනිදා තරගයට අවතීර්ණ වීමට නියමිත යි.

එංගලන්ත පිතිකරුවන් සහ පාකිස්තාන පන්දු යවන්නන් අතර සටනක්

මෙම කණ්ඩායම් දෙක සංසන්දනය කිරීමේ දී පිතිකරණ ශක්තිය අතින් ඉදිරියෙන් සිටින්නේ එංගලන්තය යි. එංගලන්ත ආරම්භක පිතිකරු යුගළය වන ජෝස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් ඔවුන් සහභාගි වුණු අවසන් T20 තරග 3 දී පළමු කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් 81, 75 සහ 170* ලෙසින් ආරම්භක සබඳතා ගොඩනැඟුවා.

ඇලෙක්ස් හේල්ස් සහ ජෝස් බට්ලර් gettyimages.com

ඒ අතුරින් ඉන්දියාවට එරෙහි ව ගොඩනැඟූ ලකුණු 170ක නොබිඳුණු සබඳතාව T20 ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟුණු ඉහළ ම සබඳතාව ලෙස වාර්තා අතරට එක් වුණා. බට්ලර් සහ හේල්ස්ට අමතර ව ලියාම් ලිවිංස්ටන්, මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, හැරී බෘක් වැනි ප්‍රබල පිතිකරුවන් රැසක් එංගලන්තය සතු යි. ඊට අමතර ව එංගලන්ත පන්දු යවන්නන්ට ද පන්දුවට හොඳින් පහර එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව එංගලන්ත සතුව ප්‍රබල පිතිකරු ලැයිස්තුවක් සිටිනවා.

එංගලන්තය සහ පාකිස්තානය යන කණ්ඩායම් අතුරින් වඩාත් ප්‍රබල පන්දු යැවීමේ බළ ඇණියක් සිටින්නේ පාකිස්තාන කණ්ඩායම සතුව යි. ඒ ෂහීන් අෆ්රීඩි, හැරිස් රවුෆ්, නසීම් ෂා, මොහොමඩ් වසීම් යන වේගපන්දු යවන්නන් සිව්දෙනා සහ ෂඩාබ් ඛාන් යන දඟපන්දු යවන්නා පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන නිසා යි. එනිසා හෙට පැවැත්වෙන අවසන් තරගයේ දී එංගලන්ත පිතිකරුවන් සහ පාකිස්තාන පන්දු යවන්නන් අතර ප්‍රබල සටනක් පවතිනු ඇති.

ෂහීන් අෆ්රීඩි – gettyimages.com

අවසන් තරගයේ වැඩි වාසිය එංගලන්තයට

පාකිස්තානය 1992 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිය ජය ගත් ආකාරයට ම මෙවර T20 ලෝක කුසලානය ද ජයග්‍රහණය කරනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කරනවා. ඒ එවර තරගාවලියේ සිදු වුණු දේවල්වලට වඩාත් සමාන සිදුවීමක් රැසක් මෙවර තරගාවලියේ දී සිදු වුණු නිසා යි. එයින් සිදුවීම් කිහිපයක් මෙසේ යි.

1). මූලික වටයේ පළමු තරගය මෙල්බර්න් පිටියේ දී පරාජයට පත් වීම

2). 1992 දී පාකිස්තානය ඇඩිලේඩ් පිටියේ දී එංගලන්තය හමුවේ ලකුණු 74කට දැවී ගිය ද එම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයක් රහිත ව අවසන් වුණා. එනිසා පාකිස්තානයට ලැබුණු ලකුණු 1ක ඔවුන්ට අවසන් පූර්ව වටයට යාමට පිහිට වුණා. මෙවර T20 ලෝක කුසලානයේ දී ඇඩ්ලේඩ් පිටියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය නිසා පාකිස්තානයට අවසන් පූර්ව වටයට යාමට අවස්ථාව ලැබුණා. එයින් පැහැදිලි වන්නේ 1992 දී පමණක් නොව 2022 දීත් ඇඩිලේඩ් පිටිය පාකිස්තානයට ඉතාමත් වාසනාවන්ත ස්ථානයක් වී ඇති බව යි.

3). මූලික වටයේ අවසන් තරග තුන ම ජයග්‍රහණය කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම

4). අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය පරාජයට පත් කිරීම

5). අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම හමුවීම

ඉහත කරුණු කාරණාවලට අනුව පාකිස්තානය මෙවර T20 ලෝක කුසලානය දිනා ගන්නා බවට ප්‍රබල මතයක් ගොඩ නැඟී තිබුණත් අවසන් තරගයේ වැඩි වාසියක් තිබෙන්නේ එංගලන්තයට යි.

එංගලන්ත කණ්ඩායම 2022 T20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර – gettyimages.com

එංගලන්තය අවසන් වසර 6ක කාලය ඇතුළත පාකිස්තානය හමුවේ T20 තරගාවලියක් පරාජයට පත් නොවීම ඊට ප්‍රධානත ම හේතුවක් ලෙසින් දක්වන්නට පුළුවන්. මෙවර T200 ලෝක කුසලානය ආරම්භ වීමට මාසයකට පමණ පෙර එංගලන්තය සහ පාකිස්තානය අතර පාකිස්තානයේ දී තරග 7කින් සමන්විත T20 තරගාවලියක් පැවැත්වුණා. ප්‍රබල ක්‍රීඩකයන් නොමැතිව පවා එම තරගාවලිය තරග 4-3ක් ලෙසින් ජයග්‍රහණය කළේ එංගලන්තය කණ්ඩායම යි. මෙම කණ්ඩායම් දෙක සංසන්දනය කිරීමේ දී වඩාත් සමබර කණ්ඩායමක් සිටින්නේ එංගලන්තයට යි. එනිසා මෙවර T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට පාකිස්තානයට වඩා වැඩි අවස්ථාවක් තිබෙන්නේ එංගලන්තයට යි.

අවසන් තරගය වැස්සට සේදෙයි ද?

2022 T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් තරගය මෙල්බර්න් පිටියේ දී නොවැම්බර් 13 වැනි ඉරිදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1.30ට) ආරම්භ වීමට නියමිත යි. එදින කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ මුළු දවස පුරාම මෙල්බර්න් පිටිය පිහිටි ප්‍රදේශයට වර්ෂාව පතිත වන බව යි. එලෙස වර්ෂාව ඇද වැටීම නිසා තරගය නියමිත දිනයේ පැවැත්වීමට නොහැකි වුණොත් ඊට පසු දිනයේ එනම් නොවැම්බර් 14 වඅනි දා (සඳුදා) එම තරගය පැවැත්වීමේ හැකියාව තිබෙනවා.

නොවැම්බර් 14 වැනි දා (සඳුදා) ද මෙල්බර්න් පිටිය පිහිටි ප්‍රදේශයට අඛණ්ඩව වර්ෂාව පතිත වන බව කාලගුණ වාර්තාවේ දැක්වෙනවා. එසේ වර්ෂාව නිසා තරගය පැවැත්වීමට නොහැකි වුණොත් මෙම කණ්ඩායම් දෙකට ම 2022 T20 ලෝක කුසලාන සම ශූරතාව පිරිනැමෙනු ඇති. 2002 දී පැවති ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට සම ශූරතාව හිමි වීම එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය- එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම්වල නායකයෝ - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
Howstat.com
Cricbuzz.com
wisden.com

Related Articles