Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළේ අයිතිය කාටද?

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය සති අන්තයේ දී නිමාව දුටුවා. එම තරගවල ප්‍රතිඵලවලට අනුව ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබුවා.

එහි දී ගුජරාට් කණ්ඩායම ජයග්‍රහණ 10ක් සමඟ ප්‍රසාද ලකුණු 20ක් ලබා පහසුවෙන් අවසන් වටයට සුදුසුකම් ලබාගනිද්දී, චෙන්නායි සහ ලක්නව් කණ්ඩායම් ජයග්‍රහණ 8ක් සමඟ ප්‍රසාද ලකුණු 17 බැගින් ලබා අවසන් වටයට පිවිසියා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ප්‍රබල සටනකින් පසුව ප්‍රසාද ලකුණු 16ක් ලබා අවසන් තරග වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.

මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන දිස් වුණු ආකාරය – espncricinfo.com

මෙවර IPL තරගාවලියේ අවසන් වටයේ තරග එළඹෙන අඟහරුවාදා (23) ආරම්භ වීමට නියමිත යි. එම තරග වටය යටතේ Qualifier 1, Eliminator, Qualifier 2 සහ අවසන් තරගය යන තරග පැවැත්වීමට නියමිත යි. එම තරග වටය පැවැත්වෙන ආකාරය, එම තරග සඳහා භාවිත කරන තණතීරුවල හැසිරීම මෙන්ම මෙවර IPL කිරුළ දිනා ගැනීමට එක් එක් කණ්ඩායමට තිබෙන අවස්ථාව පිළිබඳව විශ්ලේෂණයක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

තරගාවලියේ අවසන් තරග වටය පැවැත්වෙන ආකාරය

IPL තරගාවලියේ අවසන් තරග වටය යටතේ මුලින් ම පැවැත්වෙන්නේ Qualifier 1 තරගය යි. එහි දී තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 2 දිනා ගත් කණ්ඩායම් දෙක යි. ඒ අනුව චෙන්නායි හි චිදම්බරම් පිටියේ දී හෙට (23) පැවැත්වෙන Qualifier 1 තරගයේ දී හමුවන්නේ ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් දෙක යි. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් තරගය සඳහා පිවිසීමට සෘජුව ම වරම් හිමිවෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම – gettyimages.com

Eliminator තරගයේ දී හමු වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 3 සහ 4 ස්ථාන දිනා ගත් කණ්ඩායම් දෙක යි. ඒ අනුව මෙවර IPL තරගාවලියේ Eliminator තරගයේ දී තරග වදින්නේ මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් දෙක යි.

එම තරගය චෙන්නායි හි චිදම්බරම් පිටියේ දී පැවැත්වෙන්නේ මැයි 25 වැනි බදාදා යි. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාමට අවස්ථාව හිමි වෙද්දී පරාජිත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – gettyimages.com

Qualifier 2 තරගයේ දී හමු වන්නේ Qualifier 1 තරගය පරාජය වුණු කණ්ඩායම සහ Eliminator තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම යි. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙවර IPL තරගාවලියේ Qualifier 2 තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි පිටියේ දී මැයි 26 සිකුරාදා පැවැත්වීමට නියමිත යි.

IPL තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබෙන්නේ Qualifier 1 සහ Qualifier 2 යන තරග ජය ගන්නා කණ්ඩායම්වලට යි. 2023 IPL තරගාවලියේ අවසන් තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි පිටියේ දී මැයි 28 ඉරිදා පැවැත්වීමට නියමිත යි.
ඊළඟට අපි අවධානය යොමු කරන්නේ අවසන් වටයේ තරග පැවැත්වෙන තණතීරුවල හැසිරීම පිළිබඳව යි.

චිදම්බරම් තණතීරුවේ කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් නොවෙයි

අවසන් තරග වටයේ Qualifier 1 සහ Eliminator යන තරග පැවැත්වෙන්නේ චෙන්නායි හි චිදම්බරම් පිටියේ දී යි. එම පිටියේ දී මෙවර IPL තරගාවලියේ තරග 7ක් පැවැත්වුණා. එයින් තරග 5ක් පැවැත්වුණේ රාත්‍රී තරග ලෙස යි. අවසන් තරග වටයේ Qualifier 1 සහ Eliminator යන තරග පැවැත්වෙන්නේ ද රාත්‍රී තරග ලෙස යි. එනිසා තරගාවලියේ මූලික තරග වටය යටතේ මෙම පිටියේ පැවති රාත්‍රී තරගවල දී තණතීරුව හැසිරුණු ආකාරය පිළිබඳ ව සොයා බැලීම වැදගත්. එම තරගවල දී පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම් ලකුණු ලබා ගත් ආකාරය මෙසේ දක්වන්නට පුළුවන්.

1). චෙන්නායි සුපර් කිංග්ස්- 217/7 (20)
2). රාජස්තාන් රෝයල්ස්- 175/8 (20)
3). සන්රයිසස් හයිද්‍රාබාද්- 134/8 (20)
4). චෙන්නායි සුපර් කිංග්ස්- 167/8 (20)
5). චෙන්නායි සුපර් කිංග්ස්- 144/6 (20)


ඉහත දත්තවලට අනුව මෙවර IPL තරගාවලිය යටතේ චෙන්නායි හිදී පැවති රාත්‍රී තරගවල පන්දුවට මුලින් පහර දුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු ප්‍රමාණවල සාමාන්‍ය අගය 167ක්. එයින් පැහැදිලි වන්නේ මෙම තණතීරුවේ පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම තරමක් දුරට අභියෝගයක් බවයි.

එලෙස මෙම පිටියේ පැවති තරගවල දී දඟපන්දු යවන්නන් කඩුලු 31ක් දවා ගනිද්දී වේගපන්දු යවන්නන් කඩුලු 27ක් දවා ගත්තා. ඒ අනුව මෙම තණතීරුව දඟපන්දු යවන්නන්ට සේම වේගපන්දු යවන්නන්ට ද එක සේ සහාය ලබා දෙන බව මනාව පෙනී යන කරුණක්.

චිදම්බරම් පිටියේ පැවති IPL තරගයක අවස්ථාවක් – gettyimages.com

2023 IPL තරගාවලිය යටතේ මෙම තණතීරුව මත පැවති තරග 5දී කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරද්දී කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කළා. පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරද්දී ලකුණු හඹා ගිය කණ්ඩායම තරග 2ක් ජය ගත්තා. එයින් පැහැදිලි වන්නේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම චිදම්බරම් තණතීරුව මත තරග ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි.

අහමදාබාද් තණතීරුව වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත යි

මෙවර IPL තරගාවලියේ අවසන් තරග වටයේ Qualifier 2 තරගය සහ අවසන් තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි පිටියේ දී යි. එම පිටියේ දී මෙවර IPL තරගාවලියේ තරග 7ක් පැවැත්වුණා. එයින් තරග 5ක් පැවැත්වුණේ රාත්‍රී තරග ලෙස යි. අවසන් වටය යටතේ ද මෙහි තරග පැවැත්වෙන්නේ රාත්‍රී තරග ලෙස යි.

එනිසා තරගාවලියේ මූලික තරග වටය යටතේ මෙම පිටියේ පැවති රාත්‍රී තරගවල දී තණතීරුව හැසිරුණු ආකාරය පිළිබඳව සොයා බැලීම වැදගත්. එම තරගවල දී පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම් ලකුණු ලබා ගත් ආකාරය මෙසේ දක්වන්නට පුළුවන්.

1). චෙන්නායි සුපර් කිංග්ස්- 178/7 (20)
2). ගුජරාට් ටයිටන්ස්- 177/7 (20)
3). ගුජරාට් ටයිටන්ස්- 207/6 (20)
4). දිල්ලි කැපිටල්ස්- 130/8 (20)
5). ගුජරාට් ටයිටන්ස්- 188/9 (20)


ඉහත දත්තවලට අනුව මෙවර IPL තරගාවලිය යටතේ අහමදාබාද් හිදී පැවති රාත්‍රී තරගවල පන්දුවට මුලින් පහර දුන් කණ්ඩායම් ලබා ගත් ලකුණු ප්‍රමාණවල සාමාන්‍ය අගය 176ක්. එයින් පැහැදිලි වන්නේ මෙම තණතීරුව පිතිකරුවන්ට සෑහෙන දුරට හිතකර බව යි. ඒ අයුරින් මෙම පිටියේ පැවති තරගවල දී වේගපන්දු යවන්නන් කඩුලු 50ක් දවා ගනිද්දී දඟපන්දු යවන්නන් දවා ගත්තේ කඩුලු 18ක් පමණ යි. එයින් නිගමනය කළ හැක්කේ අහමදාබාද් තණතීරුව වේගපන්දු යවන්නන්ට ඉතාමත් හිතකර එකක් බව යි.

අහමදාබාද් පිටියේ පැවති IPL තරගයක අවස්ථාවක් – gettyimages.com

2023 IPL තරගාවලිය යටතේ මෙම තණතීරුව මත පැවති තරග 5දී කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරද්දී කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කළා. පන්දුවට මුලින් පහරදුන් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරද්දී ලකුණු හඹා ගිය කණ්ඩායම තරග 2ක් ජය ගත්තා. එයින් පැහැදිලි වන්නේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම අහමදාබාද් තණතීරුව මත තරග ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව යි.

කුසලානය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින්නේ ගුජරාට් කණ්ඩායම යි

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ තරගවල දී කැපී පෙනෙන දස්කම් දැක්වූයේ ගුජරාට් ටයිටන්ස් පිල යි. එහි දී ඔවුන් තරග 14කින් තරග 10ක් ජය ගැනීමට සමත් වුණා. ඉතාමත් සමබර කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස් හි පිතිකරණ අංශයට වඩා පන්දු යැවීමේ අංශය ශක්තිමත්. මේ වන විට තරගාවලියේ වැඩි ම සම කඩුලු ලාභීන් දෙදෙනා වන රෂීඩ් ඛාන් සහ මොහොමඩ් ෂමී නියෝජනය කරන්නේ ගුජරාට් කණ්ඩායම යි. එම පන්දු යවන්නන් දෙදෙනා මේ වන විට කඩුලු 24 බැගින් දවා ගෙන තිබෙනවා.

ගුජරාට් පිලේ කඩුලු මැෂිම රෂීඩ් ඛාන් – gettyimages.com

ඊට අමතර ව මෝහිත් ෂර්මා, නූර් අහමඩ් වැනි පන්දු යවන්නන් ගුජරාට් පන්දු බළ ඇණිය ශක්තිමත් කරනවා. ගුජරාට් කණ්ඩායමේ සිටින ප්‍රධානත ම වේගපන්දු යවන්නා වන මොහොමඩ් ෂමී අහමදාබාද් හි පැවැත්වුණු රාත්‍රී තරග 5දී බිඳ දැමූ කඩුලු ප්‍රමාණය 13ක්. ඒ අනුව අහමදාබාද් තණතීරුවේ දී ෂමීගේ පන්දු යැවීම ප්‍රතිවාදී පිතිකරුවන්ට ඉතාමත් ප්‍රබල අභියෝගයක් වනු ඇති.

ගුජරාට් පිතිකරණ අංශය ශක්තිමත් කරන ශුබ්මන් ගිල් ඉනිම් 14කදී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 680ක් ලබා ගෙන තරගාවලියේ දෙවන වැඩි ම ලකුණු ලාභියා බවට පත්ව සිටිනවා. එම ක්‍රීඩකයන් අවසන් වටයේ තරගවල දී සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය කළොත් ගුජරාට් පිලට පිට පිට ම දෙවන වරටත් IPL කිරුළ දිනා ගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.

චෙන්නායි ආරම්භක පිතිකරු යුගළයට වැඩි වගකීමක්

2023 IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස වුණේ ඔවුන්ගේ පිතිකරණ ශක්තිය යි. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ ඩෙවොන් කොන්වේ සහ රුතුරාජ් ගයික්වාඩ් යන චෙන්නායි ආරම්භක පිතිකරු යුගළය යි. ඔවුන් දෙදෙනා මේ වන විට ඉනිම් 14 බැගින් ක්‍රීඩා කර පිළිවෙලින් ලකුණු 585ක් සහ 504ක් ලබාගෙන තිබෙනවා.

එහි දී කොන්වේ ඉනිම් 6කදී අර්ධ ශතක ලබාගැනීම විශේෂ සිදුවීමක්. මෙම පිතිකරු යුගළය මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සඳහා ශතක සබඳතා 2ක් සහ අර්ධ ශතක සබඳතා 3ක් ගොඩ නැගුවා. එනිසා චෙන්නායි කණ්ඩායමට අවසන් වටයේ තරගවල දී සාර්ථක වීමට නම් කොන්වේ සහ ගයික්වාඩ් ලකුණු අතරට පිවිසිය යුතු යි.

චෙන්නායි පිලේ සුපිරි ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ – gettyimages.com

චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන්නේ රවීන්ද්‍ර ජඩේජා, මතීෂ පතිරණ සහ තුෂාර් දේශ්පාණ්ඩේ යන පන්දු යවන්නන් තිදෙනා යි. එහි දී දේශ්පාණ්ඩේ කඩුලු 20ක් දවාගනිද්දී ජඩේජා සහ මතීෂ පිළිවෙළින් කඩුලු 17ක් සහ 15ක් දවා ගෙන තිබෙනවා. ආබාධයකට ලක්ව සිට කණ්ඩායමට එකතු වුණු දීපක් චහාර් අවසන් තරග 4දී දවාගත් කඩුලු ප්‍රමාණය 10ක්. චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන ඔහු දස්කම් අතරට යළි පිවිසීම හරහා එම කණ්ඩායමේ පන්දු බළ ඇණිය තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව ගුජරාට් කණ්ඩායමෙන් IPL කිරුළ උදුරාගැනීමට වැඩිම අවස්ථාවක් තිබෙන්නේ චෙන්නායි පිලට යි.

මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීම දුර්වලයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් තරග වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රබල සටනකින් පසුව යි. තරගාවලිය ආරම්භයේ සිට මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීම දුර්වල තත්ත්වයක පැවතුණු බව හොඳින් නිරීක්ෂණය වුණා. එහි දී මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන් තරග 14න් 7කදී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 190කට වඩා ලබා දුන්නා. මුම්බායි පන්දු යවන්නන් අතුරින් සැලකිය යුතු තරම් දස්කම් දස්කම් දැක්වූයේ පියුෂ් චව්ලා පමණයි. එහි දී ඔහු දවාගත් කඩුලු ප්‍රමාණය 20ක්.

මුම්බායි කණ්ඩායම ප්‍රබල පිතිකරුවන් රැසක් සිටින කණ්ඩායමක්. ඔවුන්ගේ ලකුණු මැෂිම වන සූර්යකුමාර් යාදව් ඉනිම් 14කදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලබාගෙන තිබෙන ලකුණු ප්‍රමාණය 511ක්. Iඊට අමතරව ඉෂාන් කිශාන් සහ කැමරන් ග්‍රීන් පිළිවෙලින් ලකුණු 439ක් සහ 381ක් ලබා මුම්බායි පිතිකරණ අංශය ශක්තිමත් කර තිබෙනවා. මුම්බායි කණ්ඩායමට මෙවර IPL කිරුළ දිනාගැනීමට නම් ඔවුන්ගේ පන්දු යවන්නන් අවසන් වටයේ තරගවල දී සිය උපරිම වගකීම ඉටු කළ යුතුයි.

සූර්යකුමාර් යාදව් පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ලක්නව් කණ්ඩායමට අවසන් තරග වටය ප්‍රබල අභියෝගයක්

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් දෙකට ම මෙවර IPL කිරුළ දිනා ගැනීම සඳහා අවසන් තරග වටයේ දී පිට පිටම තරග 3ක් ජය ගත යුතු යි. එය ඕනෑම කණ්ඩායමකට ඉතාමත් ප්‍රබල අභියෝගයක්. IPL තරගාවලි ඉතිහාසය තුළ එම අභියෝගය ජයගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පමණ යි.

ඔවුන් 2016 තරගාවලියේ දී එම දස්කම දක්වමින් IPL කිරුළ දිනා ගත්තා. තරගාවලිය අතරතුර ලක්නව් කණ්ඩායමේ නායක ලෝකේෂ් රාහුල් ආබාධයකට ලක් වුණා. එනිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම නිසා ලක්නව් කණ්ඩායමේ පිතිකරණ ශක්තිය සෑහෙන දුරට අඩු වුණා.

මෙවර IPL තරගාවලියේ දී ලක්නව් පිල වෙනුවෙන් මාකස් ස්ටොයිනිස් ලකුණු 368ක් සහ නිකලස් පූරන් ලකුණු 358ක් ලෙස ලකුණු ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වූවා. එම කණ්ඩායමේ වඩාත් සාර්ථක පන්දු යවන්නා බවට පත් වුණු රවී බිෂ්නෝයි දවාගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 16ක්.

ලක්නව් පන්දු යවන්නන් සහ පිතිකරුවන් අඛණ්ඩව දස්කම් අතර නොසිටීම විශාල අඩුපාඩුවක්. එනිසා IPL දිනාගැනීමට නම් ලක්නව් පිතිකරුවන් සහ පන්දු යවන්නන් අඛණ්ඩව දස්කම් අතර සිටිය යුතු යි. එසේ නොවුණොත් ඔවුන්ට අවසන් තරග වටය තුළ වැඩි දුරක් යාමට අවස්ථාව නොලැබෙනු ඇති බව විශේෂයෙන්ම කිව යුතු යි.

ලක්නව් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ස්ටොයිනිස් – gettyimages.com

කවරයේ ඡායාරූපය- IPL තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
iplt20.com

Related Articles