Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තා T20 ලෝක කුසලානය 6 වන වරටත් දිනූ ඕස්ට්‍රේලියානුවෝ

2023 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී ඊයේ (26) පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් තරග වැදුණා.

එම තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6 වන වරටත් කාන්තා T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඊට පෙර ඔවුන් 2010, 2012, 2014, 2018, සහ 2020 යන වසරවල දී කාන්තා T20 ලෝක කුසලානය දිනා ගෙන තිබුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගයේ තොරතුරු

කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් පිටියේ දී ඊයේ (26) දිනයේ පැවති කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ග් පන්දුවට මුලින් පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණියන් යුගළය වුණු ඇලීසා හීලි සහ බෙත් මූනි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නැඟුවා.

ඒ මොහොතේ සිදු වුණු හීලිගේ දැවී යාමෙන් පසුව පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබ පිටියට පිවිසි ඈෂ්ලේ ගාඩ්නර් පන්දු 21කින් ලබා ගත් ලකුණු 29 නිසා ඕස්ට්‍රේලියානු ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ ගියා.

ඈෂ්ලේ ගාඩ්නර් අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් – gettyimages.com

එසේ දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි ගාඩ්නර් දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු ඉනිමේ බර කරට ගත් මූනි එක් අන්තයක් ආරක්ෂා කර ගෙන දක්ෂ පිතිහරඹයක නිරත වුණා. එහි දී පන්දු වාර 20ම කඩුල්ලේ රැඳී සිටි මූනි පන්දු 53කින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.

මීට පෙර 2020 දී පැවති කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගයේ දීත් මූනි ඉන්දියාවට එරෙහි ව පන්දු 54කින් නොදැවී ලකුණු 78ක් රැස් කළා. ඒ අනුව කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරග 2ක දී අර්ධ ශතක ලබා ගත් මුල් ම ක්‍රීඩිකාව ලෙසින් ඇය ඉතිහාසගත වුණා. මූනිගේ එම දක්ෂ පිතිහරඹය නිසා ඕස්ට්‍රේලියානු ඉනිම නියමිත පන්දු වාර 20 ඇතුළත 156/6 ලෙස නිමාව දුටුවා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි – gettyimages.com

ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඉනිම ආරම්භයේ සිට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. එනිසා පන්දු වාර 10.4 අවසන් වෙද්දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 54/3ක් ලෙසින් දිස් වුණා. දකුණු අප්‍රිකාව පරාජය කරා යමින් සිටි ඒ මොහොතේ සටන්කාමී සබඳතාවක් ගොඩනැඟූ ලෝරා වොල්වාඩ් සහ ක්ලෝයි ට්‍රයෝන් පන්දු 35කින් ලකුණු 55ක් එකතු කළා.

එම අවස්ථාවේ ලකුණු 61ක් ලබා ගෙන සිටි වොල්වාඩ් දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු බලාපොරොත්තු බොඳ වී ගියා. එනිසා දකුණු අප්‍රිකාවට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 137ක් පමණ යි. ඒ අනුව ඕස්ට්‍රේලියාව ලකුණු 19ක ජයක් හිමි කරගනිමින් 6 වන වරටත් කාන්තා T20 ලෝක කුසලානය දිනා ගත්තා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාඩ් (gettyimages.com)

මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියාව- 156/6 (20
බෙත් මූනි- 74* (53)
ඈෂ්ලේ ගාඩ්නර්- 29 (21)
ෂබ්නම් ඉස්මයිල්- 26/2 (4)
මැරිසේන් කැප්- 35/2 (4)

දකුණු අප්‍රිකාව- 137/6 (20)

ලෝරා වොල්වාඩ්- 61 (48)
ක්ලෝයි ට්‍රයෝන්- 25 (23)
ඈෂ්ලේ ගාඩ්නර්- 20/1 (4)
ජෙස් ජොනසන්- 21/1 (3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 19ක ජයක්
තරගයේ වීරයා- බෙත් මූනි
තරගාවලියේ වීරයා- ඈෂ්ලේ ගාඩ්නර්

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

නවසීලන්ත සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටක් ව යයි

2021-2023 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු 9 වැනිදා ආරම්භ වෙනවා. එම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. මේ එම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය යි.

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, අන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිෂාන් මදුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක

මෙම ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග ක්‍රයිස්චර්ච් හි හේග්ලි ඕවල් සහ වෙලිංටන් හි බේසින් රිසව් යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත යි. එම ටෙස්ට් තරග ද්විත්වය ජයග්‍රහණය කිරිමට හැකි වුණොත් මෙවර ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වෙනවා. එනිසා මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක්. මේ එම ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන යි.

1). පළමු ටෙස්ට් තරගය- මාර්තු 9-13- ක්‍රයිස්චර් හි දී
2). දෙවන ටෙස්ට් තරගය- මාර්තු 17-21 වෙලිංටන් හි දී

සංචාරය සඳහා එක් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම – facebook.com/sri lanka cricket

නැවතත් අලුත් වුණු පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව

වර්තමානයේ රිටි පැනීමේ ලෝක ශූරයා ලෙසින් වැජඹෙන ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් සිය ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට සමත් වුණා. ඒ ප්‍රංශයේ ක්ලෙමන්ට් ෆෙරන්ඩ් හි පසුගිය සෙනසුරාදා (25) පැවති ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියක දී යි.

එහි දී ඔහු මීටර් 6.22ක උසක් සාර්ථක ව තරණය කරමින් එම ලෝක වාර්තාව බිහි කළා. එහි දී ඩුප්ලැන්ටිස් බිඳ දැමුවේ ඔහු 2022 දී මීටර් 6.21ක් උසක් තරණය කරමින් තබා තිබුණු ලෝක වාර්තාව යි. ඩුප්ලැන්ටිස් මුල් ම වරට පිරිමි රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කළේ 2020 පෙබරවාරි මාසයේ දී යි. ඔහු එදා සිට අද දක්වා 5 වාරයක් සිය ලෝක වාර්තාව අලුත් කර තිබීම විශේෂත්වයක්.

ආමන්ඩ් ඩුප්ලැන්ටිස් නව වාර්තාව පිහිටවීමෙන් පසුව උද්දාමයට පත්වී – gettyimages.com

එංගලන්තයේ හැරී බෘක් බිඳ දැමූ වසර 29ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාව

තරග 2කින් සමන්විත එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එම තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී හැරී බෘක් පන්දු 176කින් වේගවත් ලකුණු 186ක් රැස් කළා. ඒ සමඟ ම ඔහු සිය ටෙස්ට් තරග දිවියේ මුල් ඉනිම් 9දී ලකුණු 800 ඉක්මවා ගිය මුල් ම පිතිකරුවා ලෙසින් සුවිශේෂී ලෝක වාර්තාවක් බිහි කළා.

මේ වන විට ටෙස්ට් ඉනිම් 9ක් ක්‍රීඩා කර තිබෙන බෘක් ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 809ක් ලබා තිබෙනවා. එහි දී ඔහු අභිබවා ගියේ ඉන්දීය පිතිකරු විනෝද් කම්බ්ලි ලකුණු 798ක් ලබා 1994 පෙබරවාරියේ දී පිහිටුවා තිබුණු වාර්තාව යි. මේ සිය ටෙස්ට් දිවියේ මුල් ඉනිම් 9 තුළ වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවන් පස් දෙනා යි.

1). හැරී බෘක් (එංගලන්තය)- ලකුණු 809
2). විනෝද් කම්බ්ලි (ඉන්දියාව)- ලකුණු 798
3). හර්බට් සට්ක්ලිෆ් (එංගලන්තය)- ලකුණු 780
4). සුනිල් ගවස්කාර් (ඉන්දියාව)- ලකුණු 778
5). එවර්ටන් වීක්ස් (බටහිර ඉන්දීය කොදෙව්)- ලකුණු 777

හැරී බෘක් ලකුණු 186 ලබා ගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

සිය ජාත්‍යන්තර තරග දිවියට සමු දුන් සුපිරි ස්පාඤ්ඤ පාපන්දු තරුව

ගෙවුණු දශකය තුළ ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර ආරක්ෂක පෙළ ක්‍රීඩක සර්ජියෝ රාමෝස් පෙරමුණේ සිටියා. ඔහු 2010 දී ලෝක පාපන්දු ශූරතාව දිනා ගත් ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණා.

රාමෝස් එම තරගාවලියේ දී දැක්වූ විශිෂ්ට දස්කම් නිසා තරගාවලිය අවසානයේ තේරූ තරු කණ්ඩායමට ඔහුගේ නම ඇතුළත් වුණා. 2005 සිට මේ දක්වා ජාත්‍යන්තර තරග 180කට ක්‍රීඩා කළ රාමෝස් එහි දී ගෝල 23ක් ලබා ගත්තා.

සර්ජියෝ රාමෝස් 2010 පාපන්දු ලෝක කුසලානය අතරතුර – gettyimages.com

ඒ අනුව ඔහු ස්පාඤ්ඤය වෙනුවෙන් වැඩි ම ජාත්‍යන්තර පාපන්දු තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. එසේ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රිඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ සර්ජියෝ රාමෝස් ජාත්‍යන්තර පාපන්දු තරග දිවියෙන් සමු ගන්නා බව පසුගිය සතියේ නිවේදනය කළා. රාමෝස්ගේ එම හදිසි තීරණයට හේතු වුණේ ඉදිරි පාපන්දු සැලසුම්වල ඔහු නොමැති බව ස්පාඤ්ඤ පාපන්දු පුහුණුකරු පැවසීම යි. ඒ අයුරින් ඔහු ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගත්ත ද ක්‍රීඩා සමාජ තරගවල දී ප්‍රංශයේ PSG කණ්ඩායම වෙනුවෙන් ඉදිරියටත් ක්‍රීඩා කරනු ඇති.

කවරයේ ඡායාරූපය- T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
t20worldcup.com
goal.com
bbc.com

Related Articles