Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඇති අභියෝග

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය එළඹෙන ජූනි මාසයේ දී ආරම්භ වීමට නියමිත යි. ඒ සඳහා සහභාගි වන එක් එක් කණ්ඩායමට හිමි වන ටෙස්ට් තරග ප්‍රමාණය මේ වන විට ප්‍රකාශයට පත් කර අවසන්. ඒ අනුව මෙවර තරගාවලිය යටතේ ද ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙනවා. එයින් ටෙස්ට් තරග 6ක් ශ්‍රී ලංකාවේ ද ඉතිරි ටෙස්ට් තරග 6 විදෙස් රටවල්වල දී ද පැවැත්වීමට නියමිත යි.

අවසන් වරට පැවති 2021-2023 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව සැලකිය යුතු තරම් දස්කම් පෙන්වීමට සමත් වුණා. එනිසා මෙවර ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරගය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව පිළිබඳව යම් විශ්ලේෂණයක් මෙලෙසින් ඔබ වෙත ගෙන එනවා.

තරගාවලිය පැවැත්වෙන ආකාරය

2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී වැඩි ම තරග ප්‍රමාණයක් හිමි ව තිබෙන්නේ එංගලන්තයට යි. එහි දී ඔවුන්ට හිමිව ඇති තරග ප්‍රමාණය 21ක්. Iඊට අමතරව ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ටෙස්ට් තරග 19 බැගින් හිමි ව තිබෙනවා. මේ 2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ එක් එක් කණ්ඩායමට හිමිව තිබෙන ටෙස්ට් තරග ප්‍රමාණ යි.

1). එංගලන්තය- තරග 21
2). ඕස්ට්‍රේලියාව- තරග 19
3). ඉන්දියාව- තරග 19
4). නවසීලන්තය- තරග 14
5). පාකිස්තානය- තරග 14
6). බටහිර ඉන්දීය කොදෙව්- තරග 13
7). ශ්‍රී ලංකාව- තරග 12
8). දකුණු අප්‍රිකාව- තරග 12
9). බංග්ලාදේශය- තරග 12

2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී රටවල් තරග වදින අයුරු – espncricinfo.com

එහි දී සෑම කණ්ඩායමකටම ලබා ගන්නා ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 12ක් හිමි වෙනවා. තරගයක් ජය පැරදුමෙන් තොර ව අවසන් කරගත් විට හිමිවන ප්‍රසාද ලකුණු ප්‍රමාණය 4ක්. ඉන් පසුව සෑම කණ්ඩායමකම ජයග්‍රාහී ලකුණු ප්‍රතිශත ගණනය කරනවා. ඒ සඳහා උදාහරණයක් පහත දැක්වෙනවා.
කණ්ඩායම තරග කළ ටෙස්ට් තරග ප්‍රමාණය- 12
ලබා ගත් ජයග්‍රහණ ප්‍රමාණය- 6
ඒ සඳහා ලැබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය- 12 x 6 = 72
ජය පැරදුමෙන් තොර ව අවසන් වුණු ටෙස්ට් තරග ප්‍රමාණය- 3
ඒ සඳහා ලැබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය- 4 x 3 = 12
ලබා ගත් මුළු ප්‍රසාද ලකුණු ප්‍රමාණය- 72 + 12= 84
ඔවුන්ට ලබා ගත හැකි මුළු ප්‍රසාද ලකුණු ප්‍රමාණය- 12 x 12 = 144
ජයග්‍රාහී ප්‍රතිශතය- 84/144= 58.33%


තරගාවලියේ ලීග් වටයේ තරග අවසන් වීමෙන් පසුව එසේ සෑම කණ්ඩායමක ම ජයග්‍රාහී ප්‍රතිශතය ගණනය කරනවා. ඉන් පසුව වැඩි ම ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනවා.

ලෝක ටෙස්ට් ශූරයන්ට පිරිනමන කුසලානය – gettyimages.com

2021-2023 ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්

2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙක යි. එහි දී ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 19කට ක්‍රීඩා කර ජයග්‍රහණ 11ක් සහ ජය පැරදුමෙන් තොරව නිමා කර ගත් තරග 5ක් ද සමඟින් 66.67%ක තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගෙන තිබුණා.

අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අනිත් කණ්ඩායම වුණු ඉන්දියාව ටෙස්ට් තරග 18කට ක්‍රීඩා කර එයින් තරග 10ක් ජයග්‍රහණ කර තරග 3ක් ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත්තා. ඒ අනුව ඉන්දියාවේ තරග ජයග්‍රාහී ප්‍රතිශතය 58.79%ක් ලෙසින් සටහන් වුණා.

2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන (espncricinfo.com)

ශ්‍රී ලංකාව මෙවර ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම්

ශ්‍රී ලංකාවට 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බව මෙම ලිපියේ ඉහත සඳහන් කළා. පසුගිය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රතිඵල දෙස අවධානය යොමු කරද්දී මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ආසන්න වශයෙන් 60%ක වත් තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවා ගත යුතුයි. ඒ සඳහා අවම වශයෙන් ටෙස්ට් තරග 6ක් වත් ජයග්‍රහණය කර තරග 2ක් හෝ 3ක් ජය පැරදුමෙන් තොරව නිමා කර ගත යුතුයි. එහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිම දස්කම් පෙන්විය යුතු යි.

ශ්‍රී ලංකාවට මෙවර මව්බිමේ දී ටෙස්ට් තරග ජයගැනීම තරමක අභියෝගයක්

ශ්‍රී ලංකාව පසුගිය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී මෙරට පැවති ටෙස්ට් තරගවල දී තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් සමඟ යි. එහි දී ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහි ව පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළා. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන කණ්ඩායම්වලට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලි 1-1 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත්තා.

2021 කොදෙව් ටෙස්ට් තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා පිල – gettyimages.com

මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ මෙරට දී තරග වැදීමට සිදු වෙනවා. ඊට අමතර ව මෙරටට පැමිණෙන අනිත් කණ්ඩායම වන්නේ නවසීලන්තය යි. ඒ අනුව පසුගිය තරගාවලියේ දී මෙරටට පැමිණි කොදෙව්වන් වෙනුවට මෙවර පැමිණෙන්නේ නවසීලන්ත කණ්ඩායම යි. එම කණ්ඩායම් 2ක සන්සන්දනය කරද්දී නවසීලන්තය ප්‍රබල කණ්ඩායමක් ලෙස සලකන්නට පුළුවන්.

මෙවර ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මෙරට දී තරග වැදීමට සිදුව තිබෙන්නේ ප්‍රබල කණ්ඩායම් 3ක් සමඟ යි. ඒ අතුරින් ඕස්ට්‍රේලියාව ඉතාමත් සමබර කණ්ඩායමක්. ඔවුන් සතුව ස්ටීව් ස්මිත්, මානස් ලබුෂේන්, උස්මන් කවාජා, ඩේවිඩ් වෝනර්, ට්‍රැවිස් හෙඩ් වැනි ප්‍රබල පිතිකරුවන් මෙන්ම, නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, ජෝස් හේසල්වුඩ් වැනි ප්‍රබල පන්දු යවන්නන් සිටිනවා. එනිසා ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකට එරෙහිව 2-0 ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම ලෙහෙසි පහසු අභියෝගයක් නොවෙයි. එනිසා එම ටෙස්ට් තරගාවලිය අවම වශයෙන් 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ යුතුයි.

ප්‍රභාත් ජයසූරියට වැඩි වගකීමක්

පාකිස්තානය කවදත් හොඳ දඟපන්දු යවන්නන්ගෙන් සමන්විත වුණු කණ්ඩායමක්. එනිසා මෙරට තණතීරු මත දී පාකිස්තාන දඟපන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබෙනවා. පාකිස්තානය සතුව බාබර් අසාම්, ඉමාම් උල් හක්, සෆ්රාස් අහමඩ්, ෂාන් මසූඩ් වැනි අත්දැකීම් සපිරි පිතිකරු ලැයිස්තුවක් සිටිනවා. මේ දිනවල පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම එතරම් දස්කම් අතර නොසිටීම ශ්‍රී ලංකාවට තිබෙන විශාල වාසියක්.

පාකිස්තාන පිතිකරුවන් කවදත් වමත් දඟපන්දු යවන්නන්ට පහරදීමේ දී යම් කිසි දුර්වලතාවක් පෙන්නුම් කළා. එහි වාසිය ප්‍රභාත් ජයසූරිය උපරිමයෙන් ලබා ගත යුතු යි. එසේ වුණොත් ශ්‍රී ලංකාවට 2-0 ලෙසින් වුණත් තරගාවලිය ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව බොහෝ විට මෙය ශ්‍රී ලංකා සහ පාකිස්තාන දඟපන්දු යවන්නන් උරෙනුර ගැටෙන ටෙස්ට් තරගාවලියක් වීමට ඉඩ තිබෙනවා.

ප්‍රභාත් ජයසූරිය පාකිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළේ 2019 වසරේ දී යි. එම තරගාවලිය අවසන් වුණේ 1-1ක් ලෙස යි. ගෙවුණු දශක කිහිපය තුළ නවසීලන්ත කණ්ඩායම් මෙරට තුළ පැවති ටෙස්ට් තරගවල දී අසාර්ථක වුණේ දක්ෂ දඟපන්දු යවන්නන් නොමැති වුණු නිසා යි.

අතීතයේ දී එසේ වුණත් අද වන විට නවසීලන්තය සතුව ඉෂ් සෝඩි, අජාස් පටෙල්, මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර් වැනි දක්ෂ දඟපන්දු යවන්නන් කිහිපදෙනෙක් සිටිනවා. එනිසා නවසීලන්තය පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් නවසීලන්ත දඟපන්දු යවන්නන් අභිබවා යා යුතුයි. එසේ වුණොත් ශ්‍රී ලංකාවට එම ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස වුණත් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතිනවා.

මෙරට පැවැත්වෙන ටෙස්ට් තරගවලින් 4ක ජයග්‍රහණය අවශ්‍යම යි

සාමාන්‍යයෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී බොහෝ කණ්ඩායම් සිය මව්බිමේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිවල දී උපරිම වාසිය ලබා ගන්නවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව ද මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරගවලින් අවම වශයෙන් තරග 4ක් වත් ජයග්‍රහණය කළ යුතුයි. ඉතිරි තරග 2 ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට උත්සාහ කළ යුතුයි. එවිට මෙරට පැවැත්වෙන ටෙස්ට් තරග 6න් ශ්‍රී ලංකාවට ලකුණු 72න් 56ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේ වුණොත් විදේශයන් හිදී පැවැත්වෙන ටෙස්ට් තරග 6න් ජයග්‍රහණ 2ක් ලබා ගත්තත් ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමට යම් අවස්ථාවක් තිබෙනවා.

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ඉතාමත් වැදගත්

2023-25 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට හිමිවන විදෙස් ටෙස්ට් තරගාවලි අතුරින් පහසුවෙන් ජයග්‍රහණය කළ හැක්කේ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය යි. ශ්‍රී ලංකාව පසුගිය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දීත් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාව එදා මෙදාතුර බංගලිදේශයේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වී නැහැ. එනිසා මෙවර තරගාවලිය ද ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළොත් එය ශ්‍රී ලංකාවට විශාල වාසියක් බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

2022 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ අවස්ථාවක් – gettyimages.com

එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලි ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්

මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගාත්මක ම තරගාවලිය වන්නේ එංගලන්තයට එරෙහි ව එරට දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය යි. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තයේ දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කළේ 2014 දී යි. එවැනි තත්ත්වයක් යටතේ එංගලන්ත බිමේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වුණත් එය ශ්‍රී ලංකාව ලබා ගන්නා විශාල ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තයේ දී ටෙස්ට් ජයග්‍රහණය ලැබූ මොහොත – gettyimages.com

ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. ඊට සාපේක්ෂව මේ දිනවල දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම දස්කම් අතර සිටිනවා. ඔවුන් අවසන් වරට සිය රටේ දී පැවති ටෙස්ට් තරග 6ම ජයග්‍රහණ කිරීමෙන් එය වඩාත් පැහැදිලි වෙනවා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ද අවම වශයෙන් තරග 1-0ක් ලෙසින් ජය ගත යුතුයි.

ශ්‍රී ලංකාව 2019 දී දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් ජයක් ලැබූ අවස්ථාවක් – gettyimages.com

මේ දිනවල එංගලන්තයේ දී හෝ දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකාව වැනි රටකට ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීම විශාල අභියෝගයක්. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එම රටවල් දෙකෙන් එකක දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා එය අමතර වාසියක්.

මෙවර ලෝක ටෙස්ට් ශූරතා අභියෝග ජයගැනීමට නම්

2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙරට දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 2ක් පරාජයට පත් වුණා. එහි දී ඕස්ට්‍රේලියාව හමුවේ ගාල්ලේ දී ලද පරාජයට ප්‍රධානතම හේතුව වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය යි. එසේ ම එම තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් පන්දු යැව්වේ ඉතාමත් දුර්වල ආකාරයට යි.

පාකිස්තානයට එරෙහි ව ගාල්ලේ දී පරාජය වුණු ටෙස්ට් තරගයේ දී පාකිස්තාන පිතිකරුවන් සිව්වන ඉනිමේ දී ලකුණු 342ක් තරම් විශාල ඉලක්කයක් හඹා ගොස් තරගය ජයග්‍රහණය කළා. එම තරගයත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට තිබුණු එකක්. ඒ අනුව මෙවර ලෝක ටෙස්ට් ශූරතා අභියෝගය ජයගැනීමට නම් මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උපරිම වගකීමෙන් ක්‍රීඩා කළ යුතු වනවා.

පාකිස්තාන පිල ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් ජයග්‍රහණය ලැබූ මොහොත – gettyimages.com

පසුගිය ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිලට නොසිතූ පරාජයක් උරුම වුණා. එම තරගය පැහැදිලිව ම ජය පැරදුමෙන් තොරව නිමා වන්නට තිබුණු එකක්. විශේෂයෙන්ම විදෙස් රටවල පැවැත්වෙන ටෙස්ට් තරගවල දී එවැනි අත්වැරදීම් නොවිය යුතු යි. එංගලන්තයේ දී සහ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ටෙස්ට් තරගවල දී වඩාත් වැඩි වගකීමක් පැවරී ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට යි.

එවැනි රටවල ක්‍රීඩා කරද්දී අපේ පිතිකරුවන් දිගු ඉනිම්වලට යා යුතු යි. එහි දී දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් වැනි අත්දැකීම් සපිරි පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙනවා. ඒ අයුරින් ඔවුන් පිත්තෙන් සිය වගකීම් කොටස ඉටු කළොත් අවම වශයෙන් තරගය පරාජයෙන් බේරා ගැනීමට අවස්ථාව තිබෙනවා. එසේ වුණොත් මෙවර ලෝක ටෙස්ට් ශූරතා අභියෝගය ජයගන්නට අපට පුළුවන්.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
cricbuzz.com

Related Articles