Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාල අඩන්තේට්ටම් පිළිබඳව ඔබ දැනුවත් ද?

අන්තර්ජාලයේ සිදුවූ සීග්‍ර විකාශනයත් සමඟ දිනෙන් දින අන්තර්ජාලගත වන සංඛ්‍යාව ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් පොදුයි. විවිධාකාර පහත් මානසිකත්වයන්ගෙන් හෙබි මිනිසුන් අන්තර්ජාලය තමන්ගේ ඒ පහත් අරමුණු මුදුන්පත් කරගැනීම සඳහාත් භාවිතා කරනා ආකාරය අපිට නිතරම දකින්න පුළුවනි. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරනා විවිධාකාර අඩන්තේට්ටම් පිළිබඳව වාර්තා වෙන ප්‍රමාණය දිගින් දිගටම ඉහළ යෑමට පටන්ගෙන තිබීම මේ තත්ත්වය පිළිබඳව සාක්ෂි සපයනවා. මේ ලිපිය කියවන ඔබවත් කවුරුන් හෝ විසින් ඒ ආකාරයෙන් අන්තර්ජාලය තුළදී අඩන්තේට්ටමකට ලක්කරනවාද? එසේ අඩන්තේට්ටම් කිරීමකට ලක්වීමෙන් වැළකෙන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය කෙබඳුද? අන්තර්ජාල අඩන්තේට්ටම් සහ ඉන් සිදුවිය හැකි දේ පිළිබඳව සාකච්ඡා කිරීමටයි අද අපි මේ සූදානම් වෙන්නේ.

මොකක්ද මේ අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම?

sanpedrosun.com

අන්තර්ජාලය උපයෝගී කරගෙන යමෙක් විසින් තවකෙකු හට සිදුකරනා තර්ජනය කිරීම, බියවැද්දීම, ලිංගිකව හැසිරීම සඳහා ආරාධනා කිරීම, ව්‍යාජ ලෙස සිදුකරන දෝෂාරෝපණය, නින්දා අපහාස කිරීම, අපකීර්තියට පත් කිරීමට කටයුතු කිරීම, පුද්ගල අනන්‍යතාවය ව්‍යාජ ලෙස සොරාගැනීම, සහ පුද්ගලයෙකු අරභයා ම්ලේච්ඡ ලෙස කටයුතු කිරීම අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම (Cyber stalking) යනුවෙන් හඳුන්වනවා. මේ ලෙසින් අඩන්තේට්ටම් සිදුකිරීමට ඊමේල්, වෙබ්/බ්ලොග් අඩවි, කථිකා මණ්ඩප (Forum), සමාජජාල මාධ්‍ය වැනි අන්තර්ජාල උපාංග භාවිතා කිරීම සිදුකරනවා. වර්තමානයේදී මේ ආකාරයේ අන්තර්ජාල අඩන්තේට්ටම් වැඩිපුරම සිදුකරනු ලබන්නේ සමාජජාල මාධ්‍යයන් හරහායි. අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම යන වචනය, අර්ථ දැක්වීමේ සඳහන් වෙන ආකාරයටම, මේ හරහා පුද්ගලයෙකුව කෙතරම් මානසික පීඩාවකට ලක් කළ හැකිද කියා දැන් ඔබට වැටහීමක් ඇති. මේ ආකාරයට අඩන්තේට්ටම් කරනා පුද්ගලයා සමහර විට වින්දිතයාව හොඳින් දන්නා හඳුනන කෙනෙකු හෝ කිසිසේත්ම හඳුනන්නේ නැති කෙනෙක් වුවත් විය හැකියි. බොහෝ දියුණු රටවල අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන අපරාධයක්.

අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම සිදුකරන්නේ ඇයි?

says.com

මේ ප්‍රශ්නයට පිළිතුර බොහෝ මනෝවිද්‍යාඥයින් විසින් වසර ගණනාවක් පුරාම සොයමින් සිටිනවා. විවිධ අයට විවිධ හේතූන් තිබෙන්නට පුළුවනි. නමුත් බොහෝ දෙනා එකඟවෙන පොදු අදහස වන්නේ එලෙස අඩන්තේට්ටම් කිරීම සිදුකිරීමෙන් වින්දිතයාව බියෙන් තැතිගන්වා, තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවාගැනීම සිදුකිරීම වෙනුවෙන් යනුවෙනුයි. බොහෝවිට පුද්ගලයෙකුගේ හෝ යම් ආයතනයක කීර්තිනාමය විනාශ කර ඔවුන්ව සමාජය ඉදිරියේ අපහසුතාවයට හෝ ලැජ්ජාවට පත්කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කිරීම සිදුකරනවා. සමහර අවස්ථාවලදී ඒ ආකාරයට යම් කෙනෙකුව හෝ ආයතනයක් අපහසුතාවයට පත්කිරීම වෙනුවෙන් වෙනත් පාර්ශවයක් මුදල් හෝ වෙනත් වරදානයන් ප්‍රදානය කිරීම වුවත් සිදුවෙන්න පුළුවනි. වෘත්තියක් වශයෙන්ම අන්තර්ජාල අඩන්තේට්ටම් (Cyber Stalking) සිදුකරනා පුද්ගලයන් සහ පිරිස් සිටිනා බව ඔබ දන්නවාද? තමන් මේ සිදුකරන්නේ විශාල අපරාධයක් බව මේ පුද්ගලයින් බොහොම හොඳින් දන්නවා. ඒ වගේම අනිකුත් සෑම අපරාධකරුවෙකු මෙන්ම මොවුනුත් තමන්ව නීතියේ රැහැනට හසුවීමට ඇති ඉඩකඩ අවම කරමින් තමයි අපරාධයේ නියැලෙන්නේ. මේ සඳහා ඔවුන් විවිධාකාර තාක්ෂණික ප්‍රයෝගයන් සහ උපාය උපක්‍රම භාවිතා කිරීම සිදුකරනවා.

bmartin.cc

තමන්ගේ පෞද්ගලික හේතූන් වෙනුවෙන් වුවත් අඩන්තේට්ටම් සිදුකරනා පුද්ගලයන් සිටිනවා. මහපොළොවේදී තමන්ට පළිගැනීමට නොහැකි පුද්ගලයින්ගෙන් පලිගැනීම පිණිස බොහෝ දෙනා තෝරාගන්නේ අන්තර්ජාලයයි. ඊට හේතුව මහපොළොවේදී තමන්ට අසළටවත් යන්න බැරි සතුරන්ට හිතේ හැටියට අන්තර්ජාලයේ දී පහරගැසීමට හැකිවීම බවයි අපේ නම් අදහස. නමුත් ඒ ආකාරයට පළිගැනීම පිණිස අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම තුළින් වින්දිතයා දැඩි පීඩාවකට පත්වෙන බවත් සඳහන් කළ යුතුමයි. බොහෝ වේලාවට මේ පුද්ගලයින් තමන් සිදුකරන්නේ අපරාධයන් යන වග පිළිබඳව දැනුවත්භාවයෙන් තොරයි.

ඒ වගේම සමහර පුද්ගලයන් තමන්ගේ විනෝදය පිණිසත් තවකෙකුට අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම සිදුකරනවා. ඔවුන්ට එය ක්‍රීඩාවක්. නමුත් ඒ ක්‍රීඩාවෙන් බොහෝ අහිංසකයන් ඉමහත් මානසික පීඩාවන්ට සහ ආතතියට පත්වෙන බවට ඔවුන්ට හැඟීමක් නැහැ. මොවුනුත් තමන් සිදුකරන්නේ අපරාධයක් බව නොදැන ඒ ක්‍රියාවේ නියැලෙන්නන් ලෙස වර්ග කරන්නට පුළුවනි.

sites.psu.edu

තවත් සමහර පුද්ගලයින් නොදන්නා කම නිසාත් අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීමේ යෙදෙනවා. බොහෝ විට අන්තර්ජාල සංවාද මණ්ඩපවලදී මේ ආකාරයේ අඩන්තේට්ටම් කිරීම දකින්නට පුළුවනි. එහිදී අදාළ පුද්ගලයා යම් යම් කරුණු දැක්වීම් හෝ අදහස් ප්‍රකාශ කිරීම සිදුකරන්නේ යහපත් චේතනාවෙන් වුවත් ඒ හරහාත් තවකෙක්ව අඩන්තේට්ටම් කිරීමක් සිදුවන්නට හැකියාව තිබෙනවා. මොවුනුත් තමන් විසින් අපරාධයක් සිදුකරනා බව නොදැන නමුත් ඒ අපරාධයේ යෙදෙන්නන් වීම ඛේදවාචකයක්.

ඉහත දැක්වූ කරුණු සියල්ල සම්පිණ්ඩනය කිරීමෙන් පහත නිගමන වලට එළඹීමට පුළුවනි. එනම්, වෘත්තීය වශයෙන් මෙම අපරාධය සිදුකරනා තනි පුද්ගලයන් සහ පුද්ගල සමූහ සිටිනවා. ඒ වගේම තමන් කරන්නේ අපරාධයක් බව නොදැන එම අපරාධයේ නියැලෙන පුද්ගලයිනුත් සිටිනවා. මේ කොටස් දෙකෙන්ම සමාජයට සිදුවන්නේ හානියක් පමණයි.

අපිව අන්තර්ජාල අඩන්තේට්ටමකට ලක්වෙන බව දැනගන්නේ කොහොමද?

facts.net

ඔබට යම්කිසි කෙනෙක් විසින් තර්ජනාත්මක ඊමේල් පණිවිඩ එවනවා නම්, වෙබ් අඩවි බ්ලොග් අඩවි හරහා ඔබගේ කීර්තිනාමය විනාශ කිරීමට යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම්, ඔබ ගැන අසත්‍ය පුවත් අන්තර්ජාලයේ පැතිරෙනවා නම්, ෆේස්බුක් හෝ ඒ ආකාර සමාජ ජාලවලදී සත්‍ය (Real) හෝ ව්‍යාජ/ අන්වර්ථ (Fake/Pseudonymous) නම්වලින් පෙනී සිටින පුද්ගලයින් විසින් ඔබට ආක්‍රෝශ පරිභව කරනවානම් ඔබත් අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීමක ගොදුරක් වී ඇති බව පවසන්නට පුළුවනි.

ඒ වගේම යම්කිසි කෙනෙක් ඔබගේ පෞද්ගලික තොරතුරු රැස්කරනා වග ඔබට දැනෙනවා නම්, ඔබගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් සිටිනවා යැයි ඔබට හැඟෙනවා නම්, ඔබ නොදන්නා කෙනෙක් ඔබේ අන්තර්ජාල මිතුරන්ගෙන් ඔබ ගැන විමසීම් සිදුකරනවා නම්, ඔබ නොදන්නා කෙනෙක් හදිසියේ ඔබ හා බොහෝ ලෙස ඇඟෑලුම් වී ඔබගේ තොරතුරු විමසා සිටිනවා නම්, වහාම ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම ඉතාම වැදගත් බවයි අපේ නිර්දේශය. වැස්සට කළින් අහස කළුකරනවා වගේ මේ ආකාර හැසිරීම්වලින් අනතුරුව අනිවාර්යෙන්ම ඔබ ඉලක්ක කර විශාල අඩන්තේට්ටමක් සිදුවීමේ ඉතා ඉහළ ඉඩක් පවතින බව සඳහන් කරන්නම අවශ්‍යයි.

ඔබ දන්නවාද?

dailymail.co.uk

ලෝකයේ වැඩි වශයෙන්ම අන්තර්ජාල අඩන්තේට්ටමට ලක්වන්නේ වයස් අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන්. සරලව පැවසුවෝතින්, 1990 දශකයේ සහ 2000 දශකයේ උපත ලැබූවන් වැඩි වශයෙන් මේ අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා ඔබ මේ වයසේ පසුවෙනවානම්, ඔබගේ දරුවන් මේ වයස් කාණ්ඩයේ පසුවෙනවානම්, වැඩි අවධානයක් මේ වෙනුවෙන් යෙදවීම අතිශය වැදගත් බවයි අපේ අදහස.

ඒ වගේම අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීමේදී වින්දිතයන්ගෙන් 60%ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන්. ඒ වගේම මේ අපරාධයේ නියැලෙන්නන්ගෙන් 56%ක් පුරුෂයින් වශයෙනුත් හඳුනාගෙන සිටිනවා. අන්තර්ජාල අඩන්තේට්ටමට ලක්වන පිරිසගෙන් 50%ක් පමණ එයට ලක්වන්නේ තමන්ගේ කළින් සහකරු/සහකාරිය අතිනුයි. ඒ වගේම Facebook සහ ඊමේල් මාර්ගයෙන් තමයි මේ අපරාධය සිදුවන මූලික වශයෙන්ම සිදුවන්නේ.

අන්තර්ජාල අඩන්තේට්ටම්වලින් මිදීම පිණිස

rafahacker.net

අන්තර්ජාල අඩන්තේට්ටම්වලින් මිදීමට ඇති හොඳම ක්‍රමය විදියට අපි දකින්නේ හැකිතාක් අන්තර්ජාලය තුළ ආරක්ෂාකාරීව හැසිරීම. උදාහරණයක් විදියට දැක්වූවෝතින්, ඔබගැන අන්තර්ජාලයේ ඇති තොරතුරු අවම වෙන තරමට ඔබව ඉලක්කයක් බවට පත්වීමත් අවම වෙනවා. තමන්ගේ සියළු තොරතුරු, දිනචර්යාව, ඡායාරූප ආදිය අන්තර්ජාල ගතකරන්න පෙර දෙපාරක් නෙමේ කීපපාරක්ම කල්පනාකාරී වෙන්න කියලා අපි දැඩිව නිර්දේශ කරනවා.

ඔබගේ ඊමේල් ලිපිනයත් වෙනත් පාර්ෂවයන් අතට ලබාදීම හැකිතාක් අවම කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ඔබගේ ප්‍රධාන ඊමේල් ලිපිනය සමාජ ජාලවල Profile හදන්න භාවිතා කරන්නේ නැතිනම් ගොඩක් හොඳයි. ඔබට පුළුවනි වෙනත් අතිරේක ඊමේල් ලිපිනයක් ඒ වෙනුවෙන් භාවිතා කරන්න. ඒ වගේම ඔබගේ රූපය සහිත ඡායාරූප, නිවසේ හෝ රැකියා ස්ථානයේ ඡායාරූප, පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප ආදිය අන්තර්ජාලයට එකතු කිරීමේදී හැකිතාක් ඔබ හොඳින්ම දන්නා හඳුනන මිතුරන්ට පමණක් ඒවා පෙනෙන ආකාරයට සැකසීම් සිදුකිරීම වැදගත්. අන්තර්ජාලය තුළදී අන්වර්ථනාමයකින් පෙනී සිටීම මගිනුත් ඔබව ඉලක්කයක් බවට පත්වීම අවම කරගන්න තිබෙන ඉඩ විශාලයි.

ඔබගේ ප්‍රේම සම්බන්ධය හෝ විවාහය අවසන් වූ විටකදි හැකිතාක් ඉක්මනින් ඔබගේ සෑම password එකක්ම වෙනස් කිරීම අතිශයින්ම වැදගත්. මොනම ආකාරයකින්වත් ඔබගේ අතීත සහකරු/සහකාරිය ට අනුමාන කළ නොහැකි ආකාරයේ password ඒ සඳහා යෙදීම සිදුකරන්න කියන එකයි අපේ නිර්දේශය.

Google, Yahoo, Bing වැනි search engine භාවිතයෙන් ඔබ පිළිබඳව ගවේශනය කිරීම නිතරම සිදුකිරීම තවත් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස දක්වන්නට පුළුවනි. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ඔබ ගැන අන්තර්ජාලයට එකතු කර ඇති දේවල් ඉතා පහසුවෙන් මේ හරහා ඔබට සොයාගැනීමට හැකි වෙනවා.

ඔබ භාවිතා කරන සමාජ ජාල මාධ්‍ය, අන්තර්ජාල සේවා සැපයුම්කරු ආදියේ Privacy Policy Document එක පිළිබඳවත් අවධානය යොමුකිරීම වැදගත්. ඒවා Cyber stalking, Cyber Bullying වැළක්වීමට හෝ ඒ සඳහා අනුබල නොදීමට කටයුතු සිදුකරනවාද යන්න පිළිබඳව හොඳින් විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඔබට එය සොයාගැනීමට නොහැකිනම්, ඊමේල් පණිවිඩයක් මඟින් ඒ බව ඔවුන්ගෙන් විමසා සිටිය හැකියි. සෑමවිටම ඔබට සත්‍ය පිළිතුරු ලබාදීමට ඔවුන් බැඳී සිටින බව අමතක කරන්න එපා.

කවුරුන් හෝ ඔබට අන්තර්ජාලයේදී අඩන්තේට්ටම් කිරීමක් සිදුකරනවා නම්

icetoday.net

අපි කොයිතරම් ආරක්ෂාකාරී වුවත්, අපේ ඉතා කුඩා අතපසුවීමක් හරහා තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න සයිබර් අපරාධකරුවෙකුට හැකියාව තිබෙනවා. මේ නිසා යම්කිසි කෙනෙක් විසින් ඔබට අන්තර්ජාල අඩන්තේට්ටමක් කරන අවස්ථාවකදී, එය වැළක්වීම පිණිස යම් යම් දේ සිදුකිරීමට ඔබට පුළුවනි.

1. ඔබගේ ඉව විශ්වාස කරන්න

ඔබව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවෙන බව ඔබට දැනෙනවානම්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වෙන්න. සමාජජාල මාධ්‍ය තුළදී ඔබට කරදරකාරී පුද්ගලයින්ව block කර දැමීමට පුළුවනි. ඒ ආකාර සැකසුම් ලබා දී තිබෙන්නේ ඔබගේ ආරක්ෂාව සඳහා බැවින් ඒවා පාවිච්චි කිරීමට පසුබට වෙන්න එපා කියන එකයි අපේ අදහස.

2. සියළු සාක්ෂි එකතුකරගන්න

ඔබව අපහසුතාවයට, පීඩාවට පත්කිරීම පිණිස සිදුකර ඇති සියළුම ප්‍රකාශ, සටහන්, රූප ආදියේ පිටපතක් ලබාගන්න. Screen shot එකක් ලෙස ඒවා ලබාගැනීම වඩාත් පහසුයි. නීතිය ඉදිරියට යෑමේදී මේ සාක්ෂි ඉතා වැදගත් බැවින් ආරක්ෂිත ස්ථානයක ඒවා ගබඩාකර තබාගැනීමත් වැදගත්. ඒ වගේම ඒ කිසිම ප්‍රකාශනයක් වෙනස් කිරීම හෝ සංස්කරණය කිරීම සිදුකරන්න එපා. ඒ වගේම ඔබගේ Facebook wall එකේ හෝ Blog අඩවියේ ඒ ආකාරයෙන් ඔබට පහරදීම සිදුකරනවානම්, පිටපත් ලබාගැනීමෙන් අනතුරුව ඒ ප්‍රකාශයන් මකා දැමීම සිදුකරන්න. යළි යළිත් ඒවා දැකීමෙන් පීඩාවට පත්වන්නේ ඔබම බව නිතරම සිහිතබාගන්න.

3. වෙබ් අඩවි සංස්කාරකවරුන්ට ඒ බව දැනුම් දෙන්න

යම් අපරාධකරුවෙක් යම් ප්‍රසිද්ධ වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඔබට පහර දීම සිදුකරනවානම්, ඒ වෙබ් අඩවියේ සංස්කාරකවරුන්ට ඒ බව දැනුම්දීම සිදුකරන්න. ඔවුන් හරහා ඒ වෙබ් අඩවියේ තිබෙන ඔබට හානිකර දේවල් ඉවත් කිරීම සිදුකරගන්නට පුළුවනි.

4. ඔබේ ඥාති හිතවතුන්ව දැනුවත් කරන්න

ඔබ ඉලක්ක කරගනිමින් සයිබර් අපරාධකරුවන් විසින් ප්‍රහාර එල්ලකරනා බව ඔබගේ පවුලේ ඥාතීන්ට, හිතවත්ම මිතුරන්ට දැනුම් දෙන්න. සාක්ෂි එකතු කරගැනීම, වෙබ් අඩවි සංස්කාරකවරුන්ව දැනුවත් කිරීම සඳහා ඔවුන්ගේ සහයත් ලබාගන්න. මේ හේතුවෙන් ඔබගේ හිස මත ඇති බර සැහැල්ලුවෙනවා වගේම, වඩාත් ඉක්මනින් සහ කාර්යක්ෂමව අවශ්‍ය ආරක්ෂණ පියවර ගැනීමත් සිදුවෙනවා.

5. නොපමාව නීතියේ පිහිට පතන්න

අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීම අපරාධයක් බව ඔබ දන්නවා. අපරාධකරුවන්ට දඬුවම් දිය හැක්කේ නීතිය හරහා බැවින් හැකි ඉක්මනින් ළඟම ඇති පොලීසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කිරීම සිදුකළ යුතුමයි.

ඒ වගේම +94 112 691 692, +94 112 695 749, +94 112 679 888 යන දුරකථන අංක හරහා මේ ගැන පරිගණක ආරක්ෂාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට (SL CERT) ආයතනයට පැමිණිලි කළ හැකියි. නීතිය හරහා ඔබට සාධාරණයක් ඉටුකරදීමට ඔවුන්ගේ මැදිහත්වීම නිරන්තරයෙන් ඔබට ලබාගන්නට පුළුවනි.

ඔබට පුළුවනි ජාතික ළමා රක්ෂණ අධිකාරියටත් මෙවන් අපරාධයන් ගැන පැමිණිලි කරන්නට. පැය 24 පුරාම ක්‍රියාත්මක +94 773 220 032 හෝ +94 713 220 046 දුරකථන අංක ඔබ වෙනුවෙන්ම විවෘතව පවතිනවා. ඒ වගේම මේ අංකවලට Viber, WhatsApp, IMO වැනි සේවාවන් ඔස්සේත් ඔබේ තොරතුරු හෝ පැමිණිලි ලබාදෙන්න පුළුවනි.

කිසිම අවස්ථාවකදී මේ ආකාර අපරාධයක් සුළුකොට තැකීම සිදු කරන්න එපා කියලයි අපි නම් නිර්දේශ කරන්නේ. අද ඔබට සිදුවූ අසාධාරණයට ඔබ නිශ්ශබ්ද වූවෝතින් හෙට එම අපරාධකරුවා ඊට වඩා වැඩි උද්‍යෝගයකින් තමන්ගේ අපරාධය සිදුකරාවි. ඒ ආකාරයට කටයුතු සිදුවෙනවාට අපි කවුරුවත් කැමති නැහැ නේද.

6. අන්තර්ජාල අඩන්තේට්ටම් කිරීමට සෑමවිටම එරෙහි වන්න

යම්කිසි කෙනෙක් තවත් පුද්ගලයෙකුට අඩන්තේට්ටම් කිරීමක් සිදුකරනවා ඔබ දුටුවෝතින් එයට ක්ෂණිකව විරුද්ධ වන්න. දිගින් දිගටම තමන්ට එල්ලවන සමාජ ප්‍රතිරෝධය හමුවේ අපරාධකරුවා පසුබැස යාම බොහෝවිට සිදුවිය හැකියි.

අන්තර්ජාල අඩන්තේට්ටමට එරෙහි වන්න. ඒ වෙනුවෙන් මුළු ලොවම ඔබට සහය දෙනවා.

පසුගිය අගෝස්තු 26/27 දෙදිනේදී ශ්‍රී ලංකාවේත් Comic Con Festival එකක් පැවැත්වුනා. එහිදී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් තමන් ප්‍රිය කරනා සිනමා චරිතයේ ආකාරයට ඇඟළුම් නිර්මාණය කරගෙන ඒ සඳහා සහභාගී වුනා. මේ උත්සවයේ ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වූ විට, ෆේස්බුක් ආශ්‍රිතව සක්‍රීයව ක්‍රියා කරනා Cyber Stalkersලා විශාල ප්‍රමාණයක් එයට සහභාගී වී සිටි එක් තරුණියක් ඉලක්ක කර ඉතා තදබල ලෙස අපහාස කිරීම සහ නිග්‍රහ කිරීම සිදුකළා. මෙයට විරුද්ධ වූ තවත් තරුණ පිරිස් ඒ පිළිබඳව තම විරෝධතාවය ට්විටර් ඔස්සේ පලකළ විට ඒ වෙනුවෙන් විශාල රැල්ලක් ඇතිවූවා. අවසානයේ එම තරුණිය තම ඇඳුම නිර්මාණය කළ චරිතය ඇති චිත්‍රපටයේ (Wonder Woman) අධ්‍යක්ෂකවරිය (Patty Jenkins) සහ එම නිළියට රඟපෑ නිළියත් (Gal Gadot) එම තරුණියගේ උත්සාහය අගය කරමින් සහ ඇයව දිරිමත් කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කළා. අන්තර්ජාල අඩන්තේට්ටමට විරුද්ධ වීමට දේශසීමා මායිම්, දැනහැඳුනුම්කම, ප්‍රසිද්ධිය හෝ ආර්ථික තත්ත්වය වැනි කාරණා කිසිසේත්ම බලපාන්නේ නැතිබවට මේ සිද්ධිය ඉතා හොඳ නිදර්ශනයක්.

අඩන්තේට්ටම් කිරීම, එයට විරුද්ධ වීම සහ වින්දිතයාව ආරක්ෂා කිරීම

අපි කැමති වුනත්, අකමැති වුනත් අන්තර්ජාලය අද වනවිට අපේ ජීවිතයේ විශාල කොටස්කරුවෙක් බවට පත්වෙලා අවසානයි. අන්තර්ජාලය තුළ අපි ගතකරනා කාලය, වඩාත් ආරක්ෂිතව ගතකිරීමේ අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා. මේ නිසා මේ ආකාර අපරාධයන්ට වැට බැඳීම අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක් නේද.

Cover image: clclt.com

Related Articles