Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව තුළ සමාගමක් ලියාපදිංචි කිරීමේදී දැන සිටිය යුතු දේවල්

ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? ව්‍යාපාරයක් කරගෙන යාමේදී ඇති වෙන්න පුළුවන් ගැටළු අඩු කර ගන්නත්, ආයෝජකයන් සොයා ගැනීම පහසු වෙන්නත් හොඳම ක්‍රමයක් වෙන්නේ එය සමාගමක් විදිහට ලියාපදිංචි කිරීමයි. මේ ක්‍රියාවලිය එහි ස්ථායී බවට හොඳ අත්තිවාරමක් වුණත්, වැඩේ කෙරෙන හැටි ගැන දල අදහසක්වත් නැත්නම් ශ්‍රී ලංකාව තුළ ඒක තරමක් පැටළිලි සහගත වැඩක් වෙන්න පුළුවන්. පටන් ගන්නේ කොහොමද, කොතනින්ද කියන එක වුණත් එක පාරටම හිතා ගන්න අපහසු වෙන්න ඉඩ තියෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව ව්‍යාපාරයක් සිදු කිරීමේ පහසුව දක්වන දර්ශකයේ ලෝකයෙන් 110 වැනි ස්ථානයේයි තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පහසුව අනුව අපි ඉන්නේ 74 වන ස්ථානයේ. මේ ඉලක්කම් ඇත්තටම ගොඩක් නරකයි කියලා කියන්න බැහැ, ඒත් මීට වඩා හොඳ තත්ත්වයකට එන්න පහසුවෙන්ම පුළුවන් අපි ටිකක් උනන්දු වුණොත්.

මේ වන විට ශ්‍රී ලංකාවේ අලුත් රැල්ලක් බවට පත් වෙලා තියෙන ස්ටාර්ට් අප් තරගාවලි නිසා ව්‍යවසායකයන් විශාල ගණනක් ව්‍යාපාරික අදහස් සැබෑ ලෝකයේ ව්‍යාපාර බවට පත් කරන්න මහන්සි වෙනවා. බොහෝ දේවල් ඉංග්‍රීසියෙන් ලියැවිලා තිබුණත් මේ ගැන සරල බසින් පැහැදිලි කෙරෙන (කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර පටන් ගන්න අයට ලෝකේ තියෙන සේරම ආර්ථික සිද්ධාන්ත මහප්‍රාණ සිංහලයෙන් මතක තියා ගන්න අවශ්‍ය නැහැනේ) ලිපි තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි කරන විදිහ ගැන සරල සිංහලෙන් ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන දැනගන්න අවශ්‍ය හැම දෙයක්ම 2007 වර්ෂයේ අංක 07 දරන සමාගම් පනත තුළ අඩංගුයි. කොහොම වුණත් පිටු 500ක් විතර තියෙන මේ පනත කියවලා ව්‍යාපාරයක් කරන්න හදන එක; ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගැන දැනගන්න තියෙන අනික් මූලාශ්‍රය තමයි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, නැතිනම් ROC එක. කොහොමත් ඔබට ව්‍යාපාරයක් සමාගමක් විදිහට ලියාපදිංචි කරගන්න නම් ROC එක වෙත යන්නම වෙනවා.

2007 අංක 07 දරන සමාගම් පනතේ පහතින් සඳහන් කාරණා ගැන අවධානය යොමු කෙරෙනවා.

  1. පුද්ගලික සීමිත වගකීම් සමාගම් සංස්ථාපිත කිරීම.
  2. පොදු සීමිත වගකීම් සමාගම් සංස්ථාපිත කිරීම.
  3. විදෙස් සමාගම් ලියාපදිංචි කිරීම.
  4. අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීම.
  5. සීමාරහිත සමාගම් සංස්ථාපිත කිරීම.
  6. නියම කරන ලද පොදු සමාගම් සංස්ථාපිත කිරීම.
  7. ඇපකරු සමාගම් සංස්ථාපිත කිරීම.
  8. හවුල් සමාගම් සංස්ථාපිත කිරීම.
  9. විගණන නිලධාරීන් සහ සමාගම් ලේකම්වරු ලියාපදිංචි කිරීම.

කොහොම නමුත් අපි මෙතනදී මූලික වශයෙන් උත්සාහ කරන්නේ සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගම් (සරලව කිව්වොත් පුද්ගලික සමාගම්) සංස්ථාපිත කරන එක ගැන කතා කරන්නයි. සංස්ථාපිත කරනවා කියන්නේ සරලව හිතුවොත් ලියාපදිංචි කරලා සමාගම් ලැයිස්තුවකට එක් කරන එකටයි. එසේ කිරීම මගින් ව්‍යාපාරයට නීතිය ඉදිරියේ පුද්ගලයෙකුට සමාන තත්ත්වයක් හිමි වෙනවා. මේකෙන් අදහස් කරන්නේ සමාගමත් එක්ක එකතු වෙලා ඉන්න පුද්ගලයන්ගෙන් වෙන් වුණු, වෙනම නීතිමය ව්‍යුහයක් බවට ව්‍යාපාරය පත් වෙනවා කියන එකයි.

ඒ වගේ සමාගමකට තියෙන්නේ සීමිත වගකීමක් විතරයි කියලා කියවෙනවා. ඒ කියන්නේ තමන් සමාගම තුළ ආයෝජනය කරන මුදල හෝ තමන් සතු කොටස් ප්‍රමාණයේ වටිනාකම ඉක්මවලා තමන්ගෙන් පාඩු අය කරගන්න හැකියාවක් නැහැ කියන එකයි. මේ විදිහේ සීමිත වගකීම් පුද්ගලික සමාගමක සිටිය හැකි උපරිම කොටස්කරුවන් ගණනට සහ විවෘත වෙළඳපොළ තුළ කොටස් විකිණීම හා මිලදී ගැනීමටත් යම් සීමාවන් පැනවෙනවා.

ඕනෑම කෙනෙකුට (ඇපයක් මගින් සීමා කෙරුණු සමාගම් හැර) ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත අයැදුම්පතක් යොමු කරලා ව්‍යාපාරයක් සංස්ථාපිත සමාගමක් බවට පත් කර ගන්න පුළුවන්. දැනට භාවිතයේ පවතින පනතට අනුව තනි කොටස්කරුවෙකුට වුණත් සමාගමක් සංස්ථාපිත කර ගන්න හැකියාව තියෙනවා.

නමක් සොයා ගැනීම

ලෝක වෙළඳ මධ්‍යස්ථානය (youtube.com)

හැම දේටම කලින් කරන්න අවශ්‍ය දේ තමයි සමාගම සඳහා නමක් තෝරා ගෙන එය අනුමත කරගන්නා එක.

මෙතනදී ඔබ තෝරා ගන්න නම වලංගුද කියලා බලන්න ලියාපදිංචි කරලා තිබෙන සමාගම් ලැයිස්තුව පිරික්සා බැලීම වැදගත් වෙනවා. ඒ සඳහා ROC එකේ අදාල ස්ථානය පාවිච්චි කරන එක වඩාත් පහසුයි. කැමති නම් ROC එකේ තබා ඇති ලේඛන පෙරළලා බලන්නත් අවස්ථාව තියෙනවා.

තමන් සමාගම සඳහා තෝරා ගත්තු නම මීට පෙර ලියාපදිංචි කරලා නැති බව තහවුරු කරගත්තාට පස්සේ ඔබට නම් පිරික්සීමේ පෝරමයක් පුරවන්න සිදු වෙනවා. මෙතනදීත් වඩාත් පහසු හා ඉක්මන් ක්‍රමය වෙන්නේ ROC එකේ (සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ) වෙබ් අඩවියට ගිහින් ඒ දේ සිදු කරන එකයි. කොහොම නමුත් එතැනට ගිහින් මීට අදාල පෝරමයක් ලබා ගෙන ඒක පුරවලා දෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ සඳහා යම් ගෙවීමක් කරන්න ඕනේ, එය ROC කාර්යාලයට ගිහින් හරි, අන්තර්ජාලය හරහා හරි ගෙවන්න අවස්ථාව තියෙනවා.

ඒ මොන ක්‍රමයට හරි මේ පෝරමය පුරවලා ගාස්තුව ගෙව්වාට පස්සේ එය අධීක්ෂකවරයෙක් වෙත යොමු කෙරෙනවා. එහිදී සිදු කෙරෙන්නේ ඔබ සමාගම සඳහා තෝරා ගත් නමට ආසන්න වශයෙන් සමාන, දැනට ලියාපදිංචි කර ඇති අනෙකුත් සමාගම්වල නම් ලැයිස්තුවක් සකසන එකයි. ඔබ තෝරා ගත් නමත්, මේ ආසන්න වශයෙන් සමාන නම් ලැයිස්තුවත් ඉන් පස්සේ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වෙත යවනවා.

ඔබ තෝරා ගත් සමාගම් නාමය අනුමත කිරීමට හෝ ඒ සඳහා වෙනත් නමක් ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කිරීමට රෙජිස්ට්‍රාර් වෙත පූර්ණ බලතල පවතිනවා. සමාගම් නාමය අනුමත වුණොත් ඒ සඳහා අනුමත අංකයක් ලබා දෙනවා. මේක ඔබ අයදුම්පත යොමු කරපු ආකාරය අනුව ඊමේල් මගින් හරි, ROC කාර්යාලයේ තොරතුරු කවුළුවෙන් හරි ලබා ගන්න පුළුවන්.

මේ විදිහට අංකයක් ලබා දුන්නාට පස්සේ අයදුම්පත යොමු කළ දවසේ ඉඳලා මාස තුනක කාලයක් සඳහා ඒ සමාගම් නාමය ඔබට හිමියි.

සමාගම ලියාපදිංචි කිරීම

කලින් කියලා තියෙන විදිහට නම අනුමත කරගත්තාට පස්සේ පහතින් දැක්වෙන පෝරම තුන පුරවා යවන්න අවශ්‍යයි.

1 වැනි පෝරමය – සමාගමක් ලියාපදිංචි කිරීමේ පෝරමය

18 වැනි පෝරමය – අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත සහ සහතිකය

19 වැනි පෝරමය – ලේකම්වරයා/වරුන්ගේ කැමැත්ත සහ සහතිකය

මේ හැම පෝරමයක්ම ROC එකේ වෙබ් අඩවියට ගිහින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඔබට එය පුරවා එවීම වඩාත් පහසු කිරීම වෙනුවෙන් මේවා ලැබෙන්නේ ‘වර්ඩ්’ වර්ගයේ ෆයිල් විදිහටයි. (.doc හා .docx වර්ගයේ ෆයිල් විදිහට. .pdf ෆයිල් වගේ නෙවෙයි, මේවාට පහසුවෙන්ම දත්ත එකතු කරන්න හැකියාව තියෙනවා.) කොහොම නමුත් මේ ලබා ගන්නා පෝරම පුරවලා ආපසු එවන්න වෙන්නේ නම් මුද්‍රණය කරලා තමයි. (යතුරුලියනය කරලා එවිය යුතුයි කියලයි කියලා තියෙන්නේ, ඒත් අද කාලේ ටයිප්රයිටර් තියෙන්නේ කවුරු ළඟද?)

නිවැරදිව පුරවලා මුද්‍රණය කරපු මේ පෝරම එක්කම හවුල් ලියැවිල්ලේ/ලියැවිලිවල (Articles of Association) පිටපත් දෙකකුත් එවන්න අවශ්‍යයි. හවුල් ලියැවිල්ලක් කියන්නේ සමාගමේ වැඩකටයුතු ගැන විස්තර කෙරෙන ලියැවිල්ලක්, මේකට කොටස් හිමිකාරීත්වය, කොටස් හිමිකරුවන්ගේ රැස්වීම් පැවැත්වීම, ගණපූර්ණය (රැස්වීමක අවම සහභාගීත්වය),ඡන්දය පළ කිරීම ඇතුළු සමාගමේ කටයුතු සිදු කෙරෙන විදිහ නිශ්චය කෙරෙන කාරණා බොහොමයක් අඩංගු වෙනවා. ඇත්තටම මේ  නම් ලියවිල්ල තරමක් සංකීර්ණ එකක්. නමුත් කැමති නම් සමාගම් පනතේ අවසාන පිටුවේ තියෙන ආකෘතිය ආදර්ශයට ගන්න පුළුවන්. කොහොම නමුත් මේ ලියැවිල්ල හදා ගන්න නම් සුදුසුකම් සහිත නීතීඥවරයෙකුගේ සහාය ලබා ගන්න එක ඉතා වැදගත්. එය අනිවාර්ය දෙයක් නොවුණත් එය බොහෝ නීතිමය ගැටළුවලින් අත් මිදෙන්න හොඳම ක්‍රමයක් වේවි.

ඉතින් ඒ විදිහට සකස් කර ගන්නා හවුල් ලියවිල්ලේ පිටපත් දෙකක් සහ කලින් කියපු විදිහට නිවැරදිව සම්පූර්ණ කරලා මුද්‍රණය කරපු පෝරම තුනත් සමාගම් රෙජිස්ට්‍රාර් වෙත යොමු කරන්න අවශ්‍යයි. ඒ සඳහා ගාස්තුවක් ගෙවන්නත් සිදු වෙනවා. මේ සියලු ගාස්තු ප්‍රමාණයන් මෙතනින් දැන ගන්න පුළුවන්.

හැම දෙයක්ම නිසි ආකාරයෙන් සිදු කරලා තියෙනවා නම් එය අනුමත කෙරෙනවා. ඔබේ සමාගම සංස්ථාපිත කළ බවට වන සහතික ලියැවිල්ල ඉන් පසුවදාම ROC කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. ඉන් පස්සේ දවස් තිහක කාලයක් තුළ ඒ පිළිබඳව ප්‍රසිද්ධ කරමින් ගැසට් පත්‍රයේ සහ දිනපතා පුවත්පතක දැන්වීම් පළ කළ යුතුයි. ඉන් පස්සේ ඔබේ ව්‍යාපාරය හවුල් ලියවිල්ලේ සඳහන් කාරණාවලට අනුව සමාගමක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්.

අනෙකුත් සමාගම් වර්ග

අපි මේ කිව්වේ සාමාන්‍යයෙන් වඩාත් වැදගත් වෙන පෞද්ගලික සීමාසහිත සමාගමක් සංස්ථාපිත කර ගන්නා ක්‍රමය ගැනයි. කොහොම නමුත් මීට අමතරව පොදු සමාගම්, විදේශ සමාගම් සහ අක්වෙරළ සමාගම් වගේ තවත් සමාගම් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා සඳහා අවශ්‍ය පෝරම සහ නීති රීති වෙනස් වෙනවා වගේම ගෙවන්න වෙන ගාස්තුවේත් ලොකු වෙනස්කම් තියෙනවා. (උදාහරණයක් විදිහට අක්වෙරළ සමාගමක් ලියාපදිංචි කරන්න රුපියල් 150,000ක් ගෙවන්න අවශ්‍යයි) මේ වගේ සමාගම් අනුමත කරගන්න තියෙන අවශ්‍යතාත් ඉතාම සංකීර්ණයි. කොහොම නමුත් ඒ ගැන හොයලා බලන්න කැමති නම් එය සිදු කළ යුතු ආකාරය ගැන පැහැදිලි කෙරෙන, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් නිකුත් කරපු උපදෙස් මාලාවක් මෙතැනින් ලබා ගන්න පුළුවන්.

මේ ඕනෑම සමාගමක් ලියාපදිංචි කරන්න අවශ්‍ය පෝරම සහ උපදෙස් ඕනෑම එකක් ROC එකේ (සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ) වෙබ් අඩවියෙන් හරි, කැමති නම් කාර්යාලයට ගිහින් හරි ලබා ගන්න අවස්ථාව තියෙනවා.

විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු

මේ වගේ කාරණාවලදී පොදුවේ සහ නොමිලේ ලබා ගන්න පුළුවන් නිවැරදි තොරතුරු ප්‍රමාණය අඩු කමේ යම් ගැටළුවක් තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවෙන් පළ කෙරුණු උපදෙස් මාලාවේත් ආරම්භයේම තියෙන්නේ මෙවැන්නක්: “අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳව තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව අවම වීමද ව්‍යාපාරයක ජීවන චක්‍රයේ විවිධ අදියරවලදී ව්‍යවසායකයෙකු මුහුණ දෙන අපහසුතා ගණනාවක් අතරින් එකකි.”

මේ තත්ත්වයට ඇත්තටම හේතු වෙලා තියෙන්නේ මීට අදාල සේවාවන් සපයන පිරිස්වල වෘත්තීයමය තත්වයන්. ඔවුන් අපිට අවශ්‍ය සම්පූර්ණ තොරතුරු නොමිලේ ලබා දෙන්නේ නැහැ. මේ තොරතුරු යම් ගාස්තුවක් අය කරලා සේවාවක් විදිහට සපයා දෙන සමාගම් ලේකම්වරුන්, නීතීඥයන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ලබා ගන්න පුළුවන් වුණත් ඒ යම් නිශ්චිත ව්‍යාපාරයක් සඳහා පමණයි. හැම ව්‍යාපාරයකටම ගැලපෙන විදිහට තොරතුරු සියල්ල ඔවුන්ගෙන් ලබා ගන්න බැහැ. (යම් රෝගයක් සඳහා වෛද්‍යවරයෙක් බෙහෙත් ලබා දුන්නත් ඕනෑම රෝගියෙකුට එම රෝගය සඳහා ලබා දිය යුතු බෙහෙත් තීරණය කරන හැටි ගැන ඔවුන් අපට සම්පූර්ණ තොරතුරු ලබා දෙන්නේ නැහැ වගේම තමයි) ඒ නිසා මේ වගේ ලිපියක් තුළින් සමාගම් ලියාපදිංචියට අදාළ සියලුම තොරතුරු කියන්න අපහසු බවත් මතක තබා ගන්න.

කොහොම නමුත් ව්‍යාපාරයක් සමාගමක් විදිහට සංස්ථාපිත කරන එකේ වැදගත් කම වගේම, සාමාන්‍යයෙන් කාටත් වඩාත් වැදගත් වන පෞද්ගලික සීමා සහිත ලියාපදිංචිය ගැනත්, එය සිදු කළ යුතු ආකාරය ගැනත් හොඳ අදහසක් ලබා ගන්න මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියා බලාපොරොත්තු වෙනවා.

කවරයේ රූපය : කොළඹ නගරයේ දසුනක්.

මෙම ලිපිය Roar Reports සඳහා ඉංග්‍රීසි බසින් ලියැවුණු මුල් ලිපියේ සිංහල අනුවාදයකි.

පරිවර්තනය:- ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles