එදිනෙදා සිරිලක

විනාඩි 3 ක කියවීමක්

මහින්ද රාජපක්ෂ 2017 දී බලය ගන්නා ආකාරය​

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම වසර ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී මෙම වසර තුළ ආණ්ඩු බලය ගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. තමන්ට රාජ්‍ය නායකයා වීම සඳහා ව්‍යවස්ථාමය බාධාවක් ඇති බව පිළිගත් ඔහු තමන්ට රාජ්‍ය නායකයා නොවී රට පාලනය කළ හැකි බවත් කියා සිටියා.

රාජපක්ෂ මෙම අදහස් පළ කළේ 2016 දෙසැම්බර් 29 වනදා ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන් සමඟ කළ සාකච්ඡාවකදී.

මින් ටික දිනකට පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් බලය ලබා ගන්නේ එළිපිට මිස කුමන්ත්‍රණවලින් නොවන බවයි. එම ප්‍රකාශය මගින් ඔහු වක්‍රාකාරයෙන් පහර ගැසුවේ තම රජය තුළ සිට ඉන් ඉවත්ව විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යි.

ඉතින් රාජපක්ෂට පවතින තත්ත්වය යටතේ බලය ලබාගත හැකි ද? මේ ගැන පොඩි සොයාබැලීමක් කරන්න අපි තීරණය කළා.

පාර්ලිමෙන්තුවේ බලය ඇල්ලීම

රාජ්‍ය නායකයා බවට පත් වීමට පැහැදිලිවම ඉඩක් නොමැති නිසා රාජපක්ෂ බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන අගමැති ධූරය ලබා ගැනීමට බව සිතන්න පුලුවනි. ඔහු දෙසැම්බර් 29 වනදා කළ තවත් ප්‍රකාශයක් ඒ ගැන ඉඟියක් දක්වනවා.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල​ (parliament.lk)

දැනට රජයට තුනෙන් දෙකක බලයක් ඇති නමුත්, රජය තුළ ගැටුම් වර්ධනය වන බව රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නා. ඔහුගේ අදහස මේ මතභේද අතරේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඔහුගේ පැත්තට නම්මා ගැනීමයි.

ඒ අතරේම රජය කෙරේ කළකිරුණ එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනෙකු ද රාජපක්ෂට සහය දැක්වීමට සූදානමින් සිටින බව ඔහුගේ පාර්ශවයෙන් නිතර කියැවෙනවා. එසේ ප්‍රකාශ කිරීමට හේතුව නම්, පාර්ලිමේන්තුවේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂවල සාමාජිකයන් සහය දුන්නත් රජයක් පිහිටුවීම සඳහා බහුතරයක් ඔවුනට නොමැති වීමයි.

ජනරජයේ ජනාධිපතිවරයා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ ජනරජයේ රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයා ය​. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තිය පහත ආකාරයෙන් එම ධූරය විස්තර කරනවා.

30 (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය​. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද​, විධායකයේ ප්‍රධානයා ද​, ආණ්ඩුවේ ප්‍රධානයා ද​, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය​.

(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාළයක් ධූරය දරන්නේ ය​.

ඒ වගේම අමාත්‍ය මණ්ඩලය පිළිබඳවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහි

42 (1) වගන්තිය අනුව ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් සිටින අතර 42 (3) අනුව එම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද ජනාධිපතිවරයා යි.

තව ද 42 (4) අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයාට හැඟෙන මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.

රටේ ජනාධිපති ලෙස පත් වීමට ව්‍යවස්ථාමය බාධාවක් තිබෙන නමුත් රටේ අගමැති ලෙස පත්වීමට රාජපක්ෂට බාධාවක් නැහැ. නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඔහුට ආරාධනාවක් කළ යුතුයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන (PMD)

මේ අනුව පැහැදිලි වෙන්නේ රාජපක්ෂට 2017 දී බලය ලබාගැනීමට අවශ්‍ය නම් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ එකඟතාවයකින් තොරව එය කළ නොහැකි බවයි.

සිරිසේන ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීම පිළිබඳ දෙසැම්බර් 29 වනදා පැවති මාධ්‍ය හමුවේදී රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ 1970 ගණන්වල සිට හොඳින් අඳුනන අයකු සමඟ තමන්ට වැඩ කළ හැකි බවයි.

නමුත් එවන් තත්ත්වයකදී කටයුතු සිදුවනු ඇත්තේ තමන්ගේ කොන්දේසි අනුව බවත් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එයින් ඔහු අදහස් කරන්නට ඇත්තේ ඔහුට පාර්ලිමේන්තුවේ බලය ලැබුණහොත් එමගින් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ බලයක් ලැබෙනු ඇත යන්නයි. නමුත් පාර්ලිමේන්තුව ඇතුලතින් වන බලමාරුවක් සිදුවීමේ ඉඩකඩ ඉතාම අල්ප වන අතර​, එසේ රාජපක්ෂට බලය ලැබුණත් ජනාධිපතිවරයා එය පිළිගනීවි යයි සිතන්න අමාරුයි.

එයට හොඳ උදාහරණයක් මීට දින කිහිපයකට පෙර දකින්න ලැබුණා. ජනවාරි 27 වනදා, මහින්ද රාජපක්ෂ පාර්ශවය නොහොත් “ඒකාබද්ධ විපක්ෂය​” නුගේගොඩ දී විශාල රැළියක් පැවැත්වූවා. මෙයට ප්‍රතිචාර දක්වන්නට මෙන් මෛත්‍රිපාල සිරිසේන ගේ නිල සමාජජාල පිටුවල පැරණි වීඩියෝවක් යළි උඩුගත කෙරුණා. ඒ යහපාලන රජයේ දෙවන සංවත්සරය අවස්ථාවේ සිරිසේන කළ කතාවෙහි කොටසක් – එහිදී ඔහු කියා සිටින්නේ ආණ්ඩු පෙරලන්නට උත්සාහ කරන අයට පාරේ ඇවිද ඇවිද ඉන්නට සලස්වන බවයි.

සිරිසේන ජනාධිපතිවරයා ව සිටින තුරු රාජපක්ෂට රජයක් පිහිටුවීමට ඉඩක් නොමැති බවට සංඥාවක් ඉන් ලබා දුන්නා.

ජනාධිපති ධූරයෙහි වෙනසක්?

යම් කිසි ආකාරයකින් ජනාධිපති ධූරයෙහි වෙනසක් සිදු වුවහොත් කුමක් වේද යන්න සළකා බලන්නට පුලුවන්. ජනාධිපති ධූරයෙහි වෙනසක් සිදු වීම විවිධ ක්‍රමවලින් වෙන්නට පිළිවන්. ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත වීම​, ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තුව විසින් ඔහු ඉවත් කිරීම මේ අතර වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) අ වගන්තිය අනුව සිය ධූර කාළය අවසන් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඒ සඳහා තෝරා ගත හැකියි.

එතෙක් කල් වැඩ බැලීම අගමැති විසින් කෙරෙනු ඇති. අගමැති ධූරය ද හිස් ව පවතී නම් කතානායකවරයා එසේ වැඩ බැලිය යුතු වෙනවා.

එවැනි අවස්ථාවක වුණත් පාර්ලිමේන්තුවේ බලය නොමැතිව රටේ පාලනය අතට ගන්නට රාජපක්ෂ පාර්ශවයට හැකි වන්නේ නැහැ.

තවද 19 වන සංශෝධනය අනුව වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට නොහැකි හෙයින් නව මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමේ හැකියාව ද 2017 තුළ රාජපක්ෂ පාර්ශවයට නැහැ.

රාජපක්ෂ විසින් සිදු කරන ලද ප්‍රකාශය සිහිනයක් ම පමණකැයි අමාත්‍ය එස්. බී. දිසානායක මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතූන් නිසාවෙන්.

ඒ වගේම, එක්සත් ජාතික පක්ෂය සමඟ පවතින ඇයි හොඳයිය අවසන් කර නව එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් නිර්මාණය කරන්නට සූදානම් නම් තමන් ද සිරිසේන ජනාධිපතිවරයාට සහය දක්වන බව උග්‍ර මහින්ද පාක්ෂික උදය ගම්මන්පිල ජනවාරි මාසයේදී සඳහන් කළා. එම ප්‍රකාශය තුළ ගැබ් ව ඇති සත්‍යය නම් වර්තමාන තත්ත්වයන් යටතේ සිරිසේනගේ සහයකින් තොරව රාජපක්ෂ පාක්ෂිකයන්ට බලය ලබාගත නොහැකි බවයි.

එහෙයින් පවතින තත්ත්වයන් යටතේ 2017 දී ආණ්ඩු පෙරලීම යථාර්තයක් වීමේ ඉඩකඩ ඉතා අඩු බව පෙනී යනවා.

මූලාශ්‍ර​: 2017 දී ආණ්ඩුව පෙරළනවා – මහින්ද (බීබීසී සිංහල​, 2016 දෙසැම්බර් 29),  ආණ්ඩුව පෙරළීමේ මහින්ද සිහිනය යථාර්ථයක් නොවෙයි- එස්.බී (බීබීසී සිංහල​, 2016 දෙසැම්බර් 29), Gammanpila Prepared To Support Sirisena Form New Alliance (Asian Mirror, Jan 23, 2017)

Cover Image: මහින්ද රාජපක්ෂ (AFP)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්