Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩවලින් පොඩි නැති Mini කාර් එකේ කතාව

මුලින්ම කියන්න ඕනේ මේක මළමිනී ගෙනියන “හර්ස්” ගැන ලිපියක් නෙවෙයි කියන එක. සිංහල භාෂාවෙන් “mini” කියන වචනය “මිනී” වගෙත් ඇහෙන නිසා “මිනි” කියලා පාවිචිචි කරාම ඇති වෙන ප්‍රශ්න ගැන කියවෙන ලස්සන සින්දුවකුත් තියෙනවානේ.

හැබැයි මේ ලිපියෙන් අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවත් ඇතුළත්ව මුළු ලෝකයේම අවධානය දිනා ගත්තු, වාහන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු කාර් එක ගැනයි. මෑතකදී තිබුණු Mini කාර් ප්‍රදර්ශනයකට ආපු “මයිකල් ග්‍රෙග්සන්” කියලා විදේශික මහත්මයෙක් අතින් ලියැවුණු ලස්සන ඉංග්‍රීසි ලිපියක් Roar Life හි ඉංග්‍රීසියෙන් පළ වෙලා තිබුණා. එය සිංහලෙනුත් පළ කරන්න හිතුවේ අපේ සිංහල පාඨකයන් අතර සිටින වාහන ලෝලීන් වෙනුවෙන්මයි.

ශ්‍රී ලාංකිකයන් විදිහට බොහෝ දෙනෙකුට Mini එක නුපුරුදු වාහනයක් නෙවෙයි, කවුරු කවුරුත් එක වරක් හරි මේ අපූරු කාර් එක දැකලා ඇති. දැක්ක ගමන් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් මේ කාර් එකට ආදරය කරන පිරිසක් එකතු වෙලා පසුගිය මැයි 28 වැනිදා Mini ප්‍රදර්ශනයක් පවා පවත්වා තිබුණා.

Mini කාර් අයිති බොහෝ දෙනෙක් විවිධ වර්ග සහ මාදිලි 21 කට අයත් Mini 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් එක්ක කොළඹ රේස් කෝස් පිටියට එකතු වෙලා තිබුණේ අවුරුදු 60 කට වැඩි ප්‍රෞඩ ඉතිහාසය මතක් කර ගන්න අතරේ තමන්ගේ ආදරණීය වාහනය කාටත් දැක බලා ගන්න ඉඩ සලසන්නයි.

ටිකන් කාලෙකට කලින් රේස් කෝස් එකේ පැවැත්වුණු “Mini සැණකෙළියේ”දී ලංකාවේ කවුරුත් ආදරය කරන Mini කාර් විශාල ගණනක් දැක ගන්න පුළුවන් වුණා. (Roar/Nazly Ahmed)

මේ සැණකෙළිය සංවිධානය කරලා තිබුණේ ශ්‍රී ලංකාවේ Mighty Mini Club එකෙන්. ඒ දවස්වල අපේ රටේ බොහෝ දෙනා අධික වැසි සහ නාය යාම් තත්ත්වයෙන් පීඩාවට පත් වෙලා හිටපු කාලයක් නිසා ඔවුන්ට සහනයක් දෙන්න අරමුදලක් රැස් කිරීමත් මේ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණක් වුණා.

ලෝකය පුරා Mini වර්ගයේ කාර් මිලියන 50කටත් වඩා අලෙවි වෙලා තියෙනවා. ඒ අතරින් දහස් ගණනක් ශ්‍රී ලංකාවේත් අලෙවි වුණා. අදටත් පාරේ තොටේ Mini කාර් බොහොමයක් ඉතාම හොඳ තත්ත්වයෙන් ධාවනය කෙරෙනවා දැක ගන්න පුළුවන්. දශක ගණනාවක් ගෙවිලා ගිහිල්ලත් මේ කාර් අදටත් මේ තත්ත්වයෙන් පවතින්නේ Mini එකට හදවතින්ම ආදරය කරන හිමිකරුවන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් ඒ වෙනුවෙන් කැප කෙරෙන නිසාමයි.

මෙහි මුල් ලිපිය ලියපු මයිකල් ග්‍රෙග්සන් එංගලන්තයේ ලන්ඩන්වල උපත ලැබූ කෙනෙක්. ඔහුගේ පියා සතුව මේ Mini කාර් එකේ අධිබල මාදිලියක් වන Mini Cooper S එකක් තිබිලා තියෙනවා. ඒ කාලයේ තිබුණු අනිත් මොන වාහනයකටත් වඩා ඉක්මනින් Mini Cooper S එකට පැයට හැතැප්ම 60ක වේගය ලබා ගන්න පුළුවන්ලු, ඉතින් ඔහුගේ පියා ට්‍රැෆික් ලයිට්වල නැවතිලා ඉඳලා ගමන් අරඹන වෙලාවට ඒ හැකියාව පෙන්වන එක පුරුද්දක් කරගෙන ඉඳලා තියෙනවා. ප්‍රමාණයෙන් විශාල සහ මිලෙන් අධික Aston Martin වගේ කාර්වලට මේ කාර් එකත් එක්ක හැරෙන්නවත් පුළුවන් වෙලා නැහැ. මයිකල්ගේ මවටත් Mini එකේම තවත් මාදිලියක් වන Mini Traveller එකක් තිබිලා තියෙනවා. පුංචි කාලේ නගරයෙන් එපිට පිටිසර ප්‍රදේශවලට පික්නික් යනකොට ගෙදර සුරතලේට ඇති කරන බල්ලාත්, ගෙනියන බඩුමුට්ටු ආදියත් එක්ක මයිකල් එහෙමත් ගොඩ වෙන්නේ මේ කාර් එකේ පිටිපස්සටලු.

මයිකල් ශ්‍රී ලංකාවට ආවට පස්සේ තමන් පුංචි කාලේ ඉඳන් ආදරය කරපු Mini කාර් විශාල ප්‍රමාණයක් මෙහෙදීත් ධාවනයේ යෙදෙනවා දැකලා ගොඩක් සතුටු වෙලා. ඔහු තමන්ගේ නෝනාත් එක්ක කොළඹ අවට ත්‍රීවීල්වලින් ගමන් බිමන් යන අතරේ මුලින්ම Mini එකක් දකින්නේ කවුද කියලා බලන්න පුංචි ගේම් එකකුත් කරනවාලු. මුලින්ම Mini එකක් දකින කෙනාට එක ලකුණක් ලැබෙනවා. රේස් කෝස් එකේ තිබුණු Mini ප්‍රදර්ශනයට තනිවම ඇවිත් හිටපු නිසා නෝනාට වඩා ලකුණු 120ක් විතර වැඩියෙන් ගන්න මයිකල්ට පුළුවන් වෙන්න ඇති.

Mini වර්ගයේ මුල්ම මාදිලියේ කාර් නිෂ්පාදනය ආරම්භ කෙරෙන්නේ 1959 අවුරුද්දේදීයි. එංගලන්තයේ මැදි කොටසේ තියෙන බර්මිංහැම් ප්‍රදේශයේ ඇති Longbridge සහ ඔක්ස්ෆර්ඩ්වල සරසවි නගරයේ තියෙන Cowley කියන වාහන නිෂ්පාදනාගාර දෙකේ තමයි මේ මුල්ම මාදිලිය නිපදවෙන්නේ. මෙය වෙළඳපොළට ඇවිත් වැඩි කාලයක් යන්න කලින් ඉතා ජනප්‍රිය වුණා. මිල දී ගන්න වගේම නඩත්තුවට සහ පෙට්‍රල්වලටත් බොහොම අඩු මුදලක් විතරයි වැය වුණේ.

Mini එක බිහි වීමට පදනම වැටෙන්නේ 1956 දී ඇති වුණු සූවස් ඇළේ ප්‍රශ්නයක් නිසා. ඒ කාලේ ඊජිප්තුව පාලනය කළ දේශමාමක පිරිස් සූවස් ඇළ ජනසතු කරන්න කටයුතු කළා. ඉතාම වැදගත් නැව් ගමන් ගණනාවක් සිදු කරපු සූවස් ඇළ බාධාවක් නැතිව පාවිච්චි කිරීමේ අයිතිය තහවුරු කර ගන්න මහා බ්‍රිතාන්‍යය ප්‍රංශයේ සහ ඊශ්‍රායලයේද උදව් ඇතිව ඊජිප්තුවට එරෙහිව හමුදා මෙහෙයුමක් ආරම්භ කළා. මෙහෙයුම සාර්ථක වුණත් එහි ප්‍රතිඵලයක් විදිහට ඇති වුණු දේශපාලන සහ ආර්ථික කරුණු බ්‍රිතාන්‍යයට ඉතාම අවාසිදායක වුණා. අන්තිමේදී තමන්ගේ හමුදා ඉවත් කර ගන්නත් ඔවුන්ට සිද්ධ වුණා.

මේ හේතුවෙන් ඇති වුණු ලොකුම ගැටළුවක් වුණේ දෙවන ලෝක යුද්ධ කාලේ වගේම පෙට්‍රල් භාවිතයට සීමා පනවන්න සිදු වුණු එකයි. (අපේ රටේ 1970 ගණන්වල තිබුණු ක්‍රමයට මේක පෙට්‍රල් පොල්ලක් කියන්න පුළුවන්) මේ හේතුව නිසා විශාල ලෙස ඉන්ධන පාවිච්චි කරපු ලොකු ලොකු කාර්වල අලෙවිය ශීඝ්‍රයෙන් පහත වැටිලා ජර්මනියේ නිෂ්පාදිත කුඩා කාර්වලින් බ්‍රිතාන්‍ය පාරවල් පිරී යන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය මෝටර් රථ සංස්ථාවේ (British Motor Corporation – BMC) ප්‍රධානියා වුණු ලෙනාඩ් ලෝඩ් මේ පුංචි ජර්මන් කාර් ගැන ලොකු කේන්තියකින් හිටියේ. “හරි විදිහේ කුඩා කාර් එකක්” නිර්මාණය කරලා තමන්ගේ රටේ පාරවල්වලින් මේ විදේශීය කුඩා කාර් තුරන් කරන්න ඔහු පොරොන්දුවක් දුන්නා.

මේ වැඩේ භාර වුණේ BMC එකේ නිර්මාණකරුවෙක් වුණු “ඇලෙක් ඉසිගොනිස්” මහතාටයි. කුඩා කාර් එකක් වුණත් උපරිම ඇතුළත ඉඩකඩක් තබා ගන්න ඔහු ලබා දුන්නු පෙරළිකාර අදහස තමයි එන්ජිමේ බලය ඉදිරිපස රෝදවලට ලබා දීලා හරහට එන්ජිම ස්ථානගත කරන එක. එන්ජිම බොනට් එකට යටින් හරස් අතට (සිලින්ඩර් පෙළ ඉදිරිපස රෝද දෙක අතර අක්ෂයට සමාන්තරව) සවි කෙරුණු මේ ක්‍රමය එතෙක් පැවතුණු එන්ජිම දිග අතට සවි කිරීමට වඩා ඉඩ ඉතිරි කරන්න සමත්. Mini කාර් එකේ ඉතාම කෙටි බොනට් එකක් තියෙන්නේ මේ නිසයි. මෙහි ඉතාම වැදගත් ප්‍රතිඵලය වුණේ කාර් එකේ සම්පූර්ණ දිග අඩි දහයක් පමණක් වුණත් මිනිසුන් සිටින කොටසේ අඩි 8ක ඉඩකඩක් පැවතුණු එකයි. ඒ නිසා කිසිම අපහසුවක් නැතිව වැඩිහිටි පුද්ගලයන් 4 දෙනෙකුට Mini එකක් ඇතුළේ ගමන් කරන්න පුළුවන් වුණා.

ඉඩකඩ ඉතිරි කර ගැනීමේ තවත් ක්‍රමයක් විදිහට මුල් Mini මාදිලිවල වීදුරු තිබුණේ දැන් කාලේ ලේලන්ඩ් බස්වල වගේ හරහට අරින්න වහන්න පුළුවන් වෙන ආකාරයටයි. මේ නිසා දොර ඇතුළේ අවශ්‍ය දෙයක් ගබඩා කරන්න විශාල පොකට් එකක් නිර්මාණය කරන්න හැකි වුණා. (සාමාන්‍ය ක්‍රමයට වීදුරුව අරිද්දී දොර ඇතුළේ වීදුරුවට ඇතුළු වෙන්න ඉඩකඩ තියන්න අවශ්‍යයි.) නිර්මාණකරු ඉසිගොනිස් මහතා මේ ඉඩකඩ Gordon’s වර්ගයේ ජින් (මත්ද්‍රව්‍ය වර්ගයක්) බෝතලයක් තබන්න ප්‍රමාණවත් විය යුතු බව එකහෙළාම කියා සිටියා.

මේ සියලු පෙරළිකාර අදහස් එක්ක මුල්ම Mini කාර් එක 1959 අගෝස්තු මාසයේදී වෙළඳපොළට නිකුත් කෙරුණේ “හරි විදිහේ කුඩා කාර් එකක්” හැදිය යුතු බවට BMC එක සැලසුම් ඉදිරිපත් කරලා අවුරුදු 3ක් යන්නත් කළින්. Mini එකක මිලත් ඉතාම සාධාරණයි; ඒ දවස්වල ඕනෑම කෙනෙකුට පවුම් 500කටත් අඩුවෙන් වැය කරලා අලුත්ම Mini එකක් මිලට ගන්න පුළුවන් වුණා.

මුල් කාලයේ මේ කාර් එක Austin Seven විදිහටත්, Morris Mini-Minor විදිහටත් නම් කරලා අලෙවි වුණත් BMC එක පසුව Mini කියන නමින්ම මේ කාර් එක අලෙවි කරන්න තීරණය කළා. මුලින්ම නිෂ්පාදනය කෙරුණු Mini කාර් 2,000 ක ප්‍රමාණය ලෝකය පුරා රටවල් 100 කට අපනයනය කෙරුණා. මේ රටවල් 100 ට ශ්‍රී ලංකාවත් අයත්.

මේ මුල්ම Mini කාර්වලින් කිහිපයක්ම කොළඹ තිබුණු Mini සැණකෙළියේදී දැකගන්න ලැබුණා. මේවායින් එකක් එහි වර්තමාන අයිතිකරු වන මෝටිලාල් සමරසේකරන්ගේ පියා විසින් මිලදී ගෙන තිබුණේ 1960 අවුරුද්දේදීයි. මෝටිලාල් ඉපදිලා තියෙන්නෙත් ඒ අවුරුද්දේමයි. මෝටිලාල්ගේ වයසම වුණත් අදටත් ඔහුගේ ආදරණීය Mini එක ඉතාම හොඳ තත්වයෙන් පවතිනවා.

“මම දන්න විදිහට අපේ තාත්තා මේ කාර් එක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ රුපියල් 8,500කට. තාත්තාත් අවුරුදු 50ක් විතර මේ කාර් එක පාවිච්චි කළා, දැන් මමත් පාවිච්චි කරනවා. මේ කාර් එක ලංකාවේ හැම තැනම ගිහින් තියෙනවා යාපනයටයි මඩකළපුවටයි හැර. මම හිතන්නේ හැතැප්ම 200,000කට වඩා දුවලා ඇති.” මෝටිලාල් කියා තිබෙනවා.

“මම Mini කාර්වලට ගොඩක් ආස කරන කෙනෙක්. මේ කාර් එක අනිත් වාහනවලට වඩා හරිම ශක්තිමත් බව මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. මගේ ජීවිත කාලය පුරාම කිසිම කරදරයක් නැතිව මේ කාර් එක පාවිච්චි කරන්න පුළුවන් බව මට විශ්වාසයි. මම කවදාවත් මේ කාර් එක විකුණන්නේ නම් නැහැ.” ඔහු ඉතාම ආඩම්බරයෙන් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ Mini කාර් එකට ආදරය කරන බොහෝ දෙනා එකම වයස් පරාසයකට අයත් වෙන පිරිසක් වීම පුදුමයක් නැහැ. මේ ලිපියේ මුල් කතුවරයා වන මයිකල් ග්‍රෙග්සන් මහතාත් ඇතුළුව ඔවුන් හැමෝම ටිකක් වයසින් වැඩි අයයි. 1960-70 කාලයේ තමන් කුඩා ළමුන්ව සිටි කාලයේ ඇති කරගත්තු ආදරය තමයි අදටත් ඔවුන් තුළ තියෙන්නේ. පුංචි කාලේ මේ අපූරු කාර් එකේ ගමන් බිමන් ගිහින් එකතු කරගත්තු අපූරු අත්දැකීම් ඔවුන්ට අදටත් රසවත්. කොහොම නමුත් මයිකල්ට මේ Mini සැණකෙළියේදී Mini වලට ආදරය කරන අළුත් පරම්පරාවේ කෙනෙකුත් මුණ ගැහිලා තියෙනවා: ඒ තමයි තවමත් ඉගෙන ගන්න වයසේ ඉන්න ඉෂි අබේවික්‍රම.

Mini කාර් එකක අයිතිකරුවෙක් ඔහුගේ කාර් එකේ එන්ජිම පරීක්ෂා කරමින්. (Roar/Nazly Ahmed)

“මේක තවත් එක කාර් වර්ගයක් විතරක් කියලා කියන්න බැහැ. මේක දැක්ක ගමන් කවුරුත් හඳුනන සුවිශේෂී වාහනයක් විතරක් නෙවෙයි, ඒ තත්වය 1959 ඉඳන් පරම්පරා ගාණක් තිස්සේම නොවෙනස්ව තිබුණා. අද වන තුරුත් Mini සඳහා තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේක අති විශිෂ්ඨ නිර්මාණයක් වෙන්න ප්‍රධාන හේතුව තමයි පිටතින් කොයි තරම් පුංචි වුණත් ඇතුළට ගියාම ලොකු ඉඩකඩක් තියෙන එක. ලොකු මිනිස්සු හතර දෙනෙක් නැග්ගත් කිසිම කරදරක් නැතිව සුවපහසුවෙන් ගමන් යන්න පුළුවන්. හැම අතින්ම හොඳම කාර් එකක් වගේම ලැබෙන විනෝදය අතින් ඉහළින්ම තියෙන වාහනයක්.” ඉෂිගේ ඉතා උනන්දුවෙන් අදහස් දැක්වූවා.

ඉෂි කියන විදිහට එයා මේ තරම් Mini එකට ආදරය කරන්න එක හේතුවක් තමයි ඒක සර්ව සම්පූර්ණ නොවීම. එන්ජිම හැම වෙලාවේම ස්ටාර්ට් නොවෙන්න ඉඩක් තියෙනවා; අමතර කොටස් ශ්‍රී ලංකාවේදී හොයා ගන්නත් ටිකක් අමාරු වෙන්න පුළුවන්; අමතර කොටස් අද කාලේ මිලෙනුත් ඉතා අධිකයි. ඉෂිගේ Mini එක වගේ හොඳ තත්ත්වයේ තියෙන, වායුසමීකරණයක් සවි කරපු Mini එකක අද කාලේ මිල රුපියල් ලක්ෂ 30ක් විතර වෙන්න පුළුවන්.

“ඒක තමයි Mini එකේ තියෙන විශේෂත්වය. හැම වෙලාවේම කරදරයක් නැතිව දුවයි කියලා 100%ක් විශ්වාසය තියා ගන්න බෑ, හැබැයි මේක එළවීමෙන් ලැබෙන අත්දැකීම, ඒ විනෝදය, ඒක තමයි ඇත්තටම මේ කාර් එකේ තියෙන සුවිශේෂී බව. හැම Mini එකකටම එයටම ආවේණික ගති ලක්ෂණ තියෙනවා. මගේ කාර් එකට මම කියන්නේ “බෙලා” කියලයි. මේක දැක්ක ගමන් කවුරුත් දන්න අංග සම්පූර්ණ බ්‍රිටිෂ් කාර් එකක්. මට පුංචි කාලේ ඉඳන් ඕනෙමයි කියල හිතුණේත් ඒකමයි.” ඉෂි කිව්වා.

කාලයත් එක්ක Mini මිලියන ගණනක් විකිණිලා එය 20 වැනි දශකයේ වැඩිම බලපෑමක් කළ කාර් අතර දෙවැන්න විදිහට තෝරා ගැනුණත් අවුරුදු 58කට කලින් මේ කාර් එක මුල් වරට හඳුන්වා දෙද්දී මේ තරම් ලොකු සාර්ථකත්වයක් තිබුණේ නැහැ. පළවෙනි අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් මිල දී ගත්තේ Mini කාර් 8,000 ක් පමණයි. ඒ කාලයේ තිබුණු වාහනවලට වඩා බොහෝ ඉදිරියෙන් තිබුණා විතරක් නෙවෙයි, මිල අතින් බැලුවාම ඉතාම වාසිදායක නිසා අනිත් අය තමන්ට පුළුවන්කම තියෙන්නේ ලාභ කාර් එකක් ගන්න විතරයි කියලා හිතාවි කියන අදහස නිසාත් Mini එකට ලැබුණේ අඩු ඉල්ලුමක්.

කොහොම නමුත් BMC එකේ, එහෙමත් නැතිනම් බ්‍රිතාන්‍ය මෝටර් කාර් සංස්ථාවේ ප්‍රචාරක අංශය මේ තත්වය වෙනස් කරන්න සාර්ථක උපායක් අනුගමනය කළා. ඒ කාලේ ඉතාම ජනප්‍රියව සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ට නොමිලේම Mini කාර් ලබා දීලා ඔවුන් ඒවා පාවිච්චි කරන්න පෙළඹවීම ඒ උපායයි. සුප්‍රසිද්ධ Beatles සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි, ජෝජ් හැරිසන් සහ රිංගෝ ස්ටාර් කියන හතර දෙනාම ඒ අතර සිටියා. මේ වගේ ප්‍රසිද්ධියේ හිණිපෙත්තටම ගොස් සිටි අය නිසා Mini එක බොහොම “කූල්” කාර් එකක් බවටත්, “ෆැෂනබල්” වාහනයක් බවටත් පත් වෙන අතරේ 1964, ‘65 සහ ’67 අවුරුදුවල මොන්ටි කාලෝ රැළිය ජයග්‍රහණය කරමින් වේගයෙන් හසුරවන්න ඇති හැකියාව පිළිබඳවත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්තා.

Mini කාර් එකේ ඉල්ලුම ඉතා විශාල විදිහට ඉහළ ගියේ 1969 දී නිර්මාණය කෙරුණු, රන් මංකොල්ලයක් ගැන කියැවෙන “The Italian Job” ෆිල්ම් එකත් එක්කයි. ඉතාලියේ ටියුරින් නගරයේ බොහොම වික්‍රමාන්විත රත්තරන් මංකොල්ලයක් සිදු කරන්න Mini කාර් ගණනාවක් යොදා ගන්නා හැටි එහි තිබුණා. බ්‍රිතාන්‍ය චිත්‍රපටවල අහන්න ලැබුණු සුප්‍රසිද්ධම වාක්‍යයකුත් මේ ෆිල්ම් එකේ තිබුණා: ඒ තමයි මයිකල් කේන් රඟ පාපු ප්‍රධාන චරිතය වුණු මංකොල්ලකාර නායකයා කියපු You’re only supposed to blow the bloody doors off!” කියන දෙබස් කොටස.

අති විශාල රත්තරන් ප්‍රමාණයක් ගෙන යන වෑන් එකේ පිටුපස දොර පුපුරවන ක්‍රමයක් හොයා ගන්න හිතාගෙන ඔවුන් එ් හා සමාන වෑන් එකක් යොදාගෙන පුපුරන ද්‍රව්‍ය අත්හදා බලනවා. වැඩේ භාරව සිටින කෙනා ඒ වෙලාවේ පාවිච්චි කරන පුපුරන ද්‍රව්‍යවලින් මුළු වෑන් එකම විනාශ වෙන ආකාරයේ විශාල පිපුරුමක් ඇති වෙනවා. “උඹට පුපුරවලා දාන්න දුන්නේ කෙහෙල්මල් දොර විතරයි!” කියලා ඒක දැකලා එපා වුණු මංකොල්ලකාර නායකයා කියපු මේ දෙබස් කොටස ඉතාම ප්‍රසිද්ධ වුණා.

ශ්‍රී ලංකාවේ Mighty Mini Club එකේ හිටපු සභාපතිවරයා වන මහේන් මඩුගල්ලේත් “The Italian Job” ෆිල්ම් එකේ ලොකු රසිකයෙක්, ශ්‍රී ලංකාවේ Mini එකට තිබුණු ආසාව වැඩි කරන්න ප්‍රධානම හේතුවක් විදිහටත් ඔහු මේ ෆිල්ම් එක පෙන්වා දෙනවා.

The Italian Job ෆිල්ම් එක මුළු ලෝකය පුරාම Mini කාර් එක ප්‍රචලිත කරන්න ලොකු හේතුවක් වුණා. Italian Job ෆිල්ම් එක බලන්න වැඩි දෙනා ගියේ Michael Caine හිටපු නිසා වුණත් අන්තිමේදී ඒ හින්දා Mini එකත් ගොඩක් ජනප්‍රිය වුණා. ලංකාවේ මිනිස්සු මේ ෆිල්ම් එක බලන්න ගත්තාට පස්සේ ලංකාවට Mini ආනයනය කිරීමත් වැඩි වුණා.” ඔහු කියනවා.

“Mini එකක් තිබීම හරියට නිකන් Cult එකක් වගේ. මම ඔස්ටින් Mini එකේ රසිකයෙක්. ඒක අදටත් ඉතාම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් විදිහට සැළකෙන වාහනයක්.” මහේන් කිව්වා. ඔහු Mini කාර් එකට තමන් දක්වන ආදරය අලුත් පරම්පරාවේ පිරිස අතරත් පැතිරෙන එක ගැන ලොකු උනන්දුවකින් ඉන්නේ. “අපේ අලුත් සාමාජිකයන් බොහෝ දෙනෙක් වයස 20 ගණන්වල අය. ඔවුන් Mini කාර් මිල දී ගන්න වගේම ඒවා මොඩිෆයි කරන්නත් කටයුතු කරනවා. දකින දකින සැරේට ඒවා තවත් ලස්සන වෙලා කියලා අපිට වුණත් හිතෙනවා.”

දිලිසෙන්න ඔප දමලා තියෙන Mini කාර් පෙළක් – ඉතා හොඳින් නඩත්තු කරන ශ්‍රී ලංකාවේ Mini බොහොමයක් ඉතාම හොඳ තත්වයේ පවතිනවා. (Roar/Nazly Ahmed)

මුල්ම මාදිලියේ Mini කාර් නිෂ්පාදනය මීට අවුරුදු 17 කට පෙර අවසන් කෙරුණත් තවමත් කුඩා සමාගම් කිහිපයක් විශේෂ ඇණවුම් යටතේ මුල්ම උපාංග පාවිච්චි කරලා Mini කුඩා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. Mini එකේ අලුත් මාදිලිය නිෂ්පාදනය කරන්නේ ජර්මනියේ BMW සමාගමේ හිමිකාරීත්වය යටතේයි. ඒ කාර් එකටත් ශ්‍රී ලංකාව තුළ රසිකයන් බොහොමයි, ඒක සෑහෙන දුරට ජනප්‍රිය කාර් මාදිලියක් කියලා කියන්නත් පුළුවන්.

කොහොම නමුත් ශ්‍රී ලංකාවේ Mighty Mini Club එකට නම් එදත් අදත් තිබුණේත් තියෙන්නේත් එකම එක Mini මාදිලියක් විතරයි; ඒ තමයි දැක්ක ගමන් කවුරුත් අඳුනන මුල්ම මාදිලිය. Mini කාර් මිලියන ගණනින් නිෂ්පාදනය කරපු බ්‍රිතාන්‍ය වාහන නිෂ්පාදනාගාරවල යන්ත්‍ර සූත්‍ර අද නිහඬ වෙලා වෙන්න පුළුවන්, හැබැයි ඉන්දියන් සාගරයේ කෙළවරක තියෙන පුංචි දූපතක් ඇතුළේ ඒවා තුළ තැනුණු මේ අද්විතීය “කුඩා කාර් එක” ට්‍රැෆික් පෝලිම් අස්සේ එහෙන් මෙහෙන් වෙට්ටු දමමින්, පුංචිම ඉඩකඩවලට පවා පාක් කරන්න රිංගමින් අදටත් ඒ පුරාවෘත්තය කියනවා.

කවරයේ රූපය : Roar/Nazly Ahmed

මෙම ලිපිය Roar Life හි ඉංග්‍රීසියෙන් පළ කෙරුණු මයිකල් ග්‍රෙග්සන් ගේ මුල් ලිපියේ සිංහල අනුවාදයකි.

Related Articles