එදිනෙදා සිරිලක

විනාඩි 4 ක කියවීමක්

ලංකාවේ එලවලු ගොවිතැනේ ගැටළු

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus
Amila Chathuranga

Amila Chathuranga

Contributor

ලංකාවේ ජනතාව පරිභෝජනය කරන එලවලු බොහොමයක්ම ලංකාවේම නිපදවෙන ඒවාය. එලවලු නිශ්පාදනයේදී ගොවීන් මුහුනපාන රැසකි. පාරිභෝගිකයා දෙසින් නම් එන චෝදනා කිහිපයකි. එලවලු මිල අධික වීම, එලවලු වල තත්වය බාල වීම සහ එලවලු වලට අධික ලෙස කෘමිනාශක එකතු කිරීම ඉන් කීපයකි. එසේම ගොවියාද මුහුන දෙන ගැටළු රැසකි. ඒවා කිහිපයක් සලකා බලමු.

බීජ ගැටළුව

වර්ථමානයේ එලවලු වගාවේ වගාකරෙන බීජ වලින් අති බහුතරයක් ආනයනික දෙමුහුම් සහ ජානමය වැඩිදියුනු කිරීම් සහිත බීජ වේ. ඉතා ඉක්මනින්ම පළ දැරීමත් හොද ලක්ෂණ​ සහිත අස්වැන්නක් ලැබීමත් මේ වැඩිදියුනු කල බීජ වලින් ලැබෙන වාසියකි. කලකට පෙර දේශීය පැරණි බීජ වගාකරන ඇට සිටුවා මාස දෙක තුනක් වගාවට සාත්තු කරමින් ඵල දරන තෙක් බලා සිටිය යුතුය. එසේ සිටියද වර්ථමානයේ දෙමුහුම් සහ වැඩිදියුණු කරන ලද බීජ වලින් ලැබෙන තරම් අස්වැන්ක් එකල පැරනි බීජ වලින් ලැබුනේ නැත. නමුත් අද වැඩිදියුණු කල බීජ නිසා වැටකොටලු පතෝල, වට්ටක්කා වැනි එලවලු මාස එකහමාරකින් පමණ ඉක්මනින්ම ඵලදරයි. එසේම බොහෝවිට හටගන්නා ඵල සියල්ලම පාහේ ඉහල ගුණාත්මක හැඩයකින් සහ රසකින් යුතුය.

මේ බීජ නිපදවන, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව වැනි රටවල දේශගුණය ලංකාවට වඩා මදක් වෙනස්ය. පලිබෝධකයින්ගේ පසුබිමද වෙනස් විය හැකිය. එමනිසාදෝ එම බීජ වලින් නිපදවෙන බෝගවල රෝගාබාධ වැඩිය. එසේම ඇතැම් විට බීජවල ඇතිවන බෝගවල දෝශ සහිත අවස්ථා තිබේ. මේ වැඩිදියුණු කල බීජවලින් වැටකොලු, පතෝල, වට්ටක්කා වැනි වගාවක් එක් අක්කරයක වගාවක් සදහා බීජවලට පමණක් රුපියල් 20,000 ක පමණ මුදලක් වියදම් වේ. එවන් අවස්ථාවකදී බීජවල දෝශයක් නිසා වගාවන් පාලුවන අවස්ථාවලදී ගොවියාට එය විශාල පාඩුවකි.

බෝංචි වගාවක්

කාලගුණ නිමානය කිරීම්

ගංවතුර තත්වය සහ දැඩි වැසි යනු ලාංකික ගොවියා මුහුන දෙස විශාලතම ස්වාභාවික ව්‍යසන දෙකය. වෙනත් දියුනු රටවල සැටලයිට් සහ මුහුද යට සවිකර ඇති උපාංග ආදියෙන් දත්ත ලබාගෙන මාස ගනනාවකට පෙර කාලගුණය​ ගැන නිවැරදි අනාවැකි කියනු ලබයි. එවිට ඉදිරි කාලයේදී වැසි ලැබේද නොලැබේද? අඩුවේද යන්න අනුව බෝග තොරාගත හැකිය.

නමුත් ලංකාවේ කාලගුණික සහ දේශගුණික​ නිමානයන් තවමත් එතරම්ම සාර්ථක නැත. අනෙක් පසින් ගොවීන්ටද කාලගුණය, දේශගුණය ගැන සාම්ප්‍රදායික මතවාද හැර වෙනත් අන්තර්ජාල හෝ ප්‍රවෘත්ති ගැන වැඩිමනක් විශ්වාසයක් නොමැත. නියඟය​ හෝ ගංවතුර නිසා විනාශ වී යන අස්වැන්න යනු ඒ ගොවීන්ගේ ජීවන මාර්ගයයි. එය රටේ ආර්ථිකයට සෘජුවම බලපානු ලබයි. එබැවින් ගොවීන් කාලගුණ දත්ත කෙරෙහි විශ්වාසයෙන් බැලීමට හුරු විය යුතුය. එසේම අනාවැකි කියන පාර්ශවයන් වඩාත් සාර්ථක ලෙස තාක්ෂණය යොදා ගනිමින් අනාවැකි පැවසීමට උත්සුක​ විය යුතුය.

මීදුමින් වැසුනු ලීක්ස් වගාවක්.

වගා දත්ත සහ සැලසුම්

අපේ රටේ වගාකරන එලවලු පලතුරු බොහොමයක් අපනයනය කෙරෙන්නේ නැත. අපනයනය සදහා වගා කරනු ලබන්නේ නම් ඒ සදහා ගොවිතැන මුල පටන්ම යහපත් ලෙස පවත්වාගෙන යා යුතුය. එබැවින් එකම එලවලු වර්ගය විශාල භූමි ප්‍රමාණයක වගාකොට වගා සාර්ථක වූ කල්හී එලවලු අතිරික්තයක් ඇති වේ. එවිට මිල ඉතාම තදබල ලෙස පහල වැටේ.

එලවලු මිල පාලනය යනු සරල වූ කර්තව්‍යයක් නොවේ. වගාබිම් සහ අස්වනු ගැන නිවැරදි දත්ත  එකතුවක් පවතී නම් එවිට බලධාරීන්ට​ යම් පමණකින් එලවලු මිල කෙරෙහි බලපෑම් කල හැකි වෙනු ඇත. ඇමරිකාව වැනි දියුණු රටවල එසේ ගණනය කිරිම් කොට ගොවීන්ට ඒ කාලයේදී වගා කල යුතු බෝග නිර්දේශ කරනු ලබයි.

එහෙත් අපේ රටේ තවමත් එසේ අස්වනු සහ වගාබිම් ගැන නිසි තක්සේරුවක් සංගණනයක් සිදුවන්නේ නැත. එක් අවස්ථාවක මිරිස් මිල ඉහල ගිය පසු ඊලග කන්නයේ බොහෝවිට ගොවීන් මිරිස්ම වගා කරන්නට පෙළඹේ. එවිට මිරිස් මිල ඉක්මනින්ම අඩු වේ.

බතට විකල්පයක් වූ කොස්

තාක්ෂණික දැනුම

වාණිජ පාඨමාලා, පරිගණක පාඨමාලා, භාෂා වැඩසටහන් ආදිය අපි නිතරම පුවත්පත් වල දැන්වීම් වල දකිමු. ගොවිතැන් කටයුතු සම්බන්ධ කාරණා සම්බන්ධ ඉගෙනගන්නට ඇති තැන් ඉතා සීමිතය. අද වනවිට ලෝකයේ ආහාර නිශ්පාදන වගා කටයුතු යනු දියුනු තාක්ෂණික ක්‍රමවේද වලින් යුතු විශයකි.

යන්ත්‍ර සූත්‍ර භාවිතය තුලින් වැඩි වගාබිම් ප්‍රමාණයක් එකවර වගා කල හැකිය. එසේම නවීන වගාක්‍රම ආදිය තුලින් කුඩා ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ක්‍රමවේද තිබේ. අපේ රටේ ජල සම්පත තවමත් අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය. අපේ රටේ ගොවීන්ගේ ජල කළමනාකරණය​ අනෙක් බොහෝ රටවලට වඩා නොදියුනු මට්ටමක පවතී. පාකිස්ථානය යනු වැසි සහ ගංගා ජලය වැඩිමනක් නොලැබෙන රටකි. ඔවුන් ඔවුනගේ වගාබිම් කරා ජලය ගෙනයෑමට දියුනු ක්‍රමවේද භාවිත කරති.

ඊශ්‍රායලය වැනි රටවල වර්ශාපතනය සැලකිය යුතු ලෙසින් අඩුය. ඔවුන් රාත්‍රියේ වැටෙන පිනි පවා උදේට අව්වට ගසා ගෙන යා නොදී ජලය බවට පත් කරගෙන වගා කටයුතු වලට යොදාගනිති හරිතාගාර භාවිතය, බිංදු ජල සම්පාදනය, කෘතිම මාධ්‍ය මත වගාකිරීම ආදී ක්‍රමවේද තුලින් ඊශ්‍රායලය සිය කාන්තාර පසුබිම තුල වුවද හොද වගාකරුවෙක් ලෙස සිය දක්ෂතාවය පෙන්වා තිබේ.

ලංකාවේදී සභාවල දී නම් මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු යැයි කියති. අද කාලයේ ගොවිතැනට යොමු වන බහුතර පිරිස සාමාන්‍ය අධ්‍යාපනයෙන් මගදී ඇදවැටුනු අයවලුන වෙති ඔවුන්ගේ දැනුම් මට්ටමට වුව තාක්ෂණික​ දැනුම ලබාදිය හැකිනම් ගොවිතැනින් විශාල පෙරළියක් රටතුල ඇතිකල හැකි වන්නේය.

කිරිවදින වී කරල්

කෘෂි රසායන භාවිතය

රසායනික භාවිතයෙන් තොර ස්වාභාවික ගොවිතැන යනු සැබැවින්ම පරිසර හිතකාමී දෙයක්දැයි නැවත සිතා බැලිය යුතුය. වැඩිවන ජනගහනයට ආහාර සැපයීමට රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන්නේ නම් තව තවත් අපි වනාන්තර එලිකොට තැනිතලා තණබිම් එලිකොට ජල සම්පත යොදාගෙන ගොවිතැන් කටයුතු කල යුතුය.

කෘෂි කර්මාන්තයට රසායනික යොදාගැනීම නිසා අඩු ඉඩකඩකින් සහ ජල ප්‍රමාණයකින් කුඩා කලකින් විශාල​ අස්වැන්නක් අපිට ලබාගතහැකිය. එනම් තවත් අමතර ජලය පිණිස වේලි ඉදිකර ස්වභාවික ජල පහර නවත්වන්නට උවමනා වන්නේ නැත. එසේම වනාන්තර එලිපෙහෙලි කොට නව වගාබිම් ඇතිකරන්නට වන්නේද නැත.

එහෙත් මිනිස් සිරුරට අහිතකර වන තරමට කෘෂි රසායන භාවිතය සුදුසු වන්නේ නැත. එලවලු, පළතුරු වල අන්තර්ගත කෘෂි රසායනික ප්‍රමාණ සොයාබැලිය හැකි නවීන ක්‍රමවේද අපි භාවිත කල යුතුය. වෙළදපොලේ ඇති එලවලු දෙස බලා මේවා රසායන සහිතය මේවානම් රසායන නොමැතිය යැයි පැවසීමේ හැකියාවක් කෘෂි විශේෂඥවරයෙකුට පවා නොමැත. සැබැවින්ම කෘෂි රසායන මට්ටම වැඩිද? ශරීරයට අහිතකර ලෙස මේවා කෘෂි රසායන වලින් නහවා තිබේද? ඒවායින් මනුෂ්‍ය ශරිරයට සෘජුවම බලපාන්නේ කෙසේද? යන කරුණු වෙළදපොලේ එලවලු ආශ්‍රිතව පර්යේෂණ කල යුතුය.

අප රට තාක්ෂණයෙන් මෙන්ම මුදල් අතින්ද දුප්පත් රටකි. එහෙත් ඉදහිට හෝ ගොවියාගේ එලවලු, අධික කෘෂිරසායන නිසා වෙළදපොලෙන් ඉවත් වන්නේ නම් එවිට ඔහු යම්කිසි සීමාවක් තුල කෘෂි රසායන භාවිතයට හුරු වෙනු ඇත. කෘෂි රසායනික යනු සැමවිටම දැඩි ලෙස අහිතකර ප්‍රතිපල අත්කරදෙන සංඝටක නොවෙති. උදාහරණ ලෙස සාමාන්‍ය කාබනික පසේ ඇති නයිට්‍රජන් කාලයක් වගා කිරීමේදී එම පරිසරයෙන් ඉවත් වේ. එවිට යූරියා යෙදීමෙන් පසේ නයිට්‍රජන් ප්‍රමාණය නැවත අවශ්‍ය ප්‍රමාණයට සකසා ගනු ලැබේ. එහෙත් යූරියා වුව අනුමත ප්‍රමාණයට වඩා බෝගයට යෙදීම මිනිසාට අහිතකර සංසිද්ධියක් වේ.

සලාද කොල වගාවක්

එදා සහ අද ගොවිතැන

ගොවියාද අද වාණිජ සමාජයේ මුදල් උපයන පුද්ගලයෙකි. ඔහුට පෙර කල මෙන් ස්වයංපෝෂී තත්වයෙන් ජීවත් වීමට අපහසුය. එනිසා වර්ථමානයට සරිලන ලෙස ගොවිතැන පරිවර්ථනය කල යුතු කාලය එළැඹ තිබේ. එසේ නොවුනහොත් ගොවියා යනු කතාවට පමණක් රජවන පුද්ගලයෙක් බවට සදාකල් පත්වනු ඇත.

(සියලු ඡායාරූප රචකයාගේය)​

Cover Image: එලවලු වගාවක්

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්