එදිනෙදා සිරිලක

විනාඩි 4 ක කියවීමක්

ලාංකීය රේල්ලුවේ කතාව

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

දුම්රිය සේවය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ එදිනෙදා ඔබ මොබ යන ජනතාවට ප්‍රවාහනය සැපයීම හා තැපැල් සේවය කරණ කොට ගෙන පමණක් නොවෙයි. ස්වහාවික සෞන්දර්යයෙන් අණූන වූ මේ රටට ආකර්ෂණය වන සංචාරකයන්ට ප්‍රවාහනය සැපයීම හා අවට සිරි නැරඹීම සඳහා සුදුසු, ඒ තරම් වියදම් අධික නොවූ මාධ්‍යයක් සැපයීම අතින් ශ්‍රී ලාංකීය දුම්රිය සේවය කරන මෙහෙය අති මහත්. කොළඹ සිට බදුල්ලට දිවෙන උඩ රට මාර්ගය දෙපස වූ මනස්කාන්ත කඳු වල චමත්කාරය විඳ ගැනීමට පමණක් නොවේ කොළඹ සිට මාතරට විහිදී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන විට මුහුදේ අසිරිය විඳ ගැනීමටත් දෙස් විදෙස්, බාල මහළු කොයි කවුරුත් දක්වන්නේ අතිශය කැමැත්තක්.

වර්තමානය වන විට ශ්‍රී ලාංකීය රේල්ලුවේ වතගොත එසේ වුණත් මීට වසර 160 කට පමණ පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ සඳහා අඩිතාලම දමන ලද්දේ මීට වඩා හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවයන් කරණ කොට ගෙනයි. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ ආරම්භය ගැන සවිස්තර කාරණා ඔබ වෙත ගෙන එන මේ ලිපි පෙළින් ශ්‍රී ලංකාව තුළ රේල්ලුව යන සංකල්පය මුල් බැස ගැනීමේ සිට ප්‍රායෝගික භාවිතාව දක්වා ක්‍රමික විකාශනය පිළිබඳව යමක් ඔබේ දැනුමට එකතු වේවි. මේ ලිපි පෙළෙහි පළමු ලිපියෙන් ලාංකීය දුම්රිය සේවයට අඩිතාලම වැටුණු කාරණා ගැන අපි විමසා බලමු.

railway.gov.lk

ඉංග්‍රීසීන් අත්දුටු පරිපාලනමය අපහසුතා

ක්‍රි.ව 1815 බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා විට මෙහි පැවතුණේ ප්‍රාථමික මට්ටමේ මාර්ග කිහිපයක් පමණයි. ඉංග්‍රීසීන්ට පෙර ලංකාවේ මුහුදුබඩ පෙදෙස් යටත් කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන් විසින් ඒවායේ තැනින් තැන මාර්ග තනා තිබුණද උඩරට හා පහත රට යා කරමින් මාර්ග තිබුණේ නැති තරම්.

19 වන සියවස ආරම්භයේදී මහනුවර හා උඩරට අනෙකුත් ප්‍රදේශ සෞභාග්‍යමත් යුගයක් ගත කළ නිසා එහි වෙසෙන්නන්ට නිතර පහත රටට ගමන් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ නිසා බෝහෝ විට අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පහත රටට පැමිණීම සිදුවුණ හොත් ඔවුන් පයින්, ප්‍රභූවරුන් නම් අශ්වයින් සමඟ හෝ  දෝලාවෙන් ඒ ගමනෙහි යෙදුණා. සමහර විටෙක අලි ඇතුන්ද යොදා ගත් අතර ඉතාම කඳු බෑවුම් සහිත අවදානම් ස්ථාන මේ ගමනේ දී පසු කළ යුතු වුණා.

ඉංග්‍රීසීන් ලංකාවට ගොඩබට විට හා විශේෂයෙන්ම 1803 උඩරට අල්ලා ගැනීමේ අසාර්ථක උත්සාහයේදී ප්‍රත්‍යක්ෂ කරගත් කරුණක් වූයේ ශ්‍රී ලංකාව යම් දිනයක සම්පූර්ණයෙන් යටත් කර ගැනීමට හා ඉන් පසු සාර්ථකව පාලනය කිරීමට නම් හොඳින් පැතිරුණු මාර්ග පද්ධතියක් ඇති කළ යුතු බවයි. මේ නිසා 1814 වසරේදී හෙවත් උඩරට අල්ලා ගැනීමට වසරකට පෙර රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තුමා යටතේ කොළඹ සිට ගාල්ලට සාමාන්‍ය මාර්ගයක් තනා ගැනීමට ඔවුහු ක්‍රියා කරනවා. ක්‍රි.ව 1818 කැරැල්ල ඉතා අසීරුවෙන් මැඩ පවත්වා එයින් උගත් පාඩම් විමසා බැලීමේදී ලංකාව පුරාම විසිරුණු මාර්ග පද්ධතියක් තිබීමේ වැදගත්කම ඉංග්‍රීසීන්ට මොනවට පැහැදිළි වෙනවා.

1818 කැරැල්ල-dailynews.lk

ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ යුගය ලංකාවේ වැඩිපුරම මහාමාර්ග ඉදිවුණු යුගයක් ලෙස ඉතිහාසයේ සටහන් වී තිබෙනවා. විශේෂයෙන් 1820 වසරේදී කොළඹ – නුවර මාර්ගය ඉදිකිරීම ඇරඹුණු අතර, කුරුණෑගල – නුවර මාර්ගය 1821 වසරේදීත් කොළඹ – නුවර හා කොළඹ – කුරුණෑගල මාර්ග 1825 වසරේදීත් වැඩ නිමා වුණා. දඹුල්ල නුවර එළිය වැනි ප්‍රදේශ වලටත් ඉක්මණින්ම මාර්ග තැණුනු අතර, අතරමඟ දී හමුවන ගංගා ඇළ දොළ තරණය කිරීමට ඔරු, පාරු හා පාරු පාළම් යොදා ගැණුනා.

එඩ්වඩ් බාන්ස්- en.wikipedia.org

ක්‍රි.ව 19 වන සියවසේ මැද භාගය වන විට ලංකාව පුරාම මාර්ග කිහිපයක් ඉදි වී තිබුණත් සැප පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයක් ලෙස සැළකුණේ කොළඹ – නුවර මාර්ගය පමණයි. 1831 දී එය තවත් පුළුල් කොට ගමනාගමනය පහසු වන පරිදි සකසා ආසියාවේ පළමු තැපැල් රිය සේවාව කොළඹ – මහනුවර අතර ඇති කිරීමට ඉංග්‍රීසීන් පියවර ගන්නවා. මෙය අශ්වයින් බැඳි දිගු කරත්තයක් වැනි එකක් වූ අතර ‘අශ්ව කෝච්චිය’ ලෙස හැඳින්වූවා. ඉරිදා හැර සතියේ අනෙකුත් දිනයන් වල කොළඹ සිට මහනුවරටත් යලි කොළඹටත් ගමන් කල මෙය ඒ මඟ ඇති නැවතුම් කිහිපයකින් ලිපි හුවමාරු කරගත්තා. ජනතාවටද මෙහි සුළු මුදලක් ගෙවා ගමන් කිරීමේ පහසුකම් සලසා තිබුණු අතර ලාංකීය දුම්රියේ මූල බීජය ලෙස මෙය සැළකෙනවා.

අශ්ව කෝච්චිය -sundaytimes.lk

කෝපි වගාව හා ඒ සබැඳි ප්‍රවාහනය

ක්‍රි.ව 1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කර ගැනීමෙන් අනතුරුව ඉංග්‍රීසි කෝපි වගා කරන්නන් කෝපි වගා කිරීම සඳහා බ්‍රිතාන්‍ය කිරීටයෙන් උඩරට ඉඩම් ඉල්ලා සිටියා. මේ අනුව 1841 දී මුඩු බිම් පනත ගෙන එමින් ඉංග්‍රීසි ආණ්ඩුව සිංහලයා සතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් රජයට පවරාගෙන ඒවා කෝපි වගාකරුවන්ට ලබා දුන්නා. ලාංකීය භූමියේ කෝපි වගා කිරීම සාර්ථක වූ අත නව වගා ක්‍රම වැනි දේ භාවිතයෙන් ඉතා විශාල අස්වැන්නක් වගාකරුවන්ට කාලයාත් සමඟ ලැබුණා.

කෝපි වගාව දියුණු වීමත් සමඟ උඩරට කෝපි වගාකරුවන් ප්‍රධාන ගැටළු දෙකකට මුහුණ දුන්නා. ඉන් පළමුවැන්න කෝපි වතු නිසි පරිදි නඩත්තු කිරීමට හා අස්වැන්න නෙලීමට සරිලන සේවක සංඛ්‍යාවක් උඩරට නොසිටීම යි. එකළ ලෝකයේ කෝපි වෙළඳපොළ ද ඉතා තරඟකාරී එකක් වූ නිසා බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය ඉන්දියානු දමිළ සේවකයින් ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා උඩරට වතු වල සේවය සඳහා යවනවා. මෙලෙස පැමිණි ඉන්දියානු වතු කම්කරුවන්ගේ ප්‍රමාණය 250,000 ක් පමණ වන බව සඳහන් වෙනවා.

උඩරට කෝපි වගාකරුවන් මුහුණ දුන් දෙවන ප්‍රධානම ගැටළුව තමන්ට ලැබෙන විශාල අස්වැන්න පහත රටට ප්‍රවාහනය කිරීමේදී විඳින්නට වෙන අපහසුතාවයයි. අනෙක් අතට සේවකයන්ගේ ගැටළුව ඉන්දියානු මෙහෙකරුවන්ගේ ආගමනය සමඟ පහව ගියත් උඩරට ජනගහණය වැඩි වීම නිසා කොළඹ බලා පහසුවෙන් හා කාර්යක්‍ෂමව නිතිපතා ගමන් කිරීමට හා ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සුදුසු මාධ්‍යයක් ගොඩ නැඟීම 1850 වසර පමණ වන විට අත්‍යවශ්‍ය කාරණයක් වී තිබුණා. මාර්ග තැනී තිබුණත්, මහනුවර බලා අශ්ව කෝච්චිය ගමන් කළත් ඒවා ඒ අවශ්‍යතා සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ.

ගැටළු වලට සුදුසුම විසඳුම යෝජනා වෙයි

ක්‍රි.ව 1850 වසර වන විට උඩරටට හොඳ ප්‍රවාහන මාධ්‍යක අඩුව තදින්ම දැනෙමින් තිබියදී අනෙක් අතින් බ්‍රිතාන්‍ය රජයට ඉදි කළ මහාමාර්ග ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ තබා ගැනීමට විශාල පිරිවැයක් යොදන්නට සිදු වුණා. නඩත්තුව අවම වීමත් පාවිච්චිය ඉහළ යාමත් නිසා මේ වන විට ඉදි කර තිබූ මහා මාර්ග වල තත්වයත් දවසෙන් දවස බාල වෙමින් පැවතුණා.

19 සියවසේ මැද භාගය වන විට ලෝකයේ ලංකා කෝපි වලට හොඳ ඉල්ලුමක් තිබුණා. -freshcup.com

දුම්රිය සේවාවක් ඇති කර ගැනීම මේ ගැටළු වලට හොඳම විසඳුම බව වැවිලිකරුවන් අතර දැනුමැත්තන් හඳුනාගන්නවා. මේ මඟින් භාණ්ඩ, අස්වැන්න පමණක් නොවේ මිනිසුන් ප්‍රවාහනයත් ඉතා කාර්යක්‍ෂම  වෙනවා. මේ ක්‍රමය බ්‍රිතාන්‍ය හා ඔවුන්ගේ යටත් විජිත වල සාර්ථකව යොදා ගනිමින් තිබුණා. ලංකා වැවිලි කරුවන් විසින් ලංකා දුම්රිය සංගමය 1845 වසරේදී ඇති කරගෙන ලංකාවට දුම්රිය සේවාවක් ගෙන එන්නට උත්සාහ කළත් එය එවකට සැළකුණේ මූල්‍යමය වශයෙන් ප්‍රායෝගික නැති දෙයක් හැටියටයි.1848 කැරැල්ලෙන් ආර්ථික පැත්තෙන්ද ශ්‍රී ලංකාවේ යටත් විජිත රජය යම් බැට කෑමකට ලක් වූ අතර මේ නිසා 1850 වසරේදී එවකට ආණ්ඩුකාරවරයාව සිටි ජෝර්ජ් ඇන්ඩර්සන් මහාමාර්ග වල අභ්වෘද්ධිය සඳහා මෙතෙක් කල් රජයෙන් යෙද වූ මුදල සෑහෙන ප්‍රමාණයකින් කපා හැරීමට තීරණය කරනවා. මේ සඳහා සිය නොසතුටට පළ කළ උඩරට කෝපි වැවිලිකරුවන් 1850 -1857 වසර වලදී හොඳ ප්‍රවාහන පද්ධතියක් ඇති කරගැනීම සඳහා යටත් විජිත රජයට දැඩි බලපෑම් එල්ල කරන අතර 1857 දී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඇති කර ගන්නවා. මේ වන විට නව ආණ්ඩුකාරයා වශයෙන් පත් වී ආ හෙන්රි වෝඩ් මේ කාරණය නිසා දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. රාමුවෙන් පිට සිතූ වෝඩ් ආණ්ඩුකාරතුමා කොළඹ සිට මහනුවරට දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ප්‍රායෝගික බව පිළිගෙන ඉක්මණින්ම නිල වශයෙන් එය කරළියට ගෙන එනවා.

හෙන්රි වෝඩ් -en.wikipedia.org

බ්‍රිතාන්‍යයන් දුම් රිය සාර්ථකව අත්හදා බලමින් සිටියා -historyextra.com

ලාංකීය දුම්රිය දෙපාර්තමේන්තුවේ උපත, වැඩිදුර යෝජනා හා මූලික ඉදිකිරීම් ගැන තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

(කවරයේ පින්තූරය-thewallpapers.org)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්