Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩි 7000ක් ඉහළ ජීවත්වන නැග්රැක් ගමේ මිනිස්සු

බලංගොඩට තරමක් ආසන්නයෙන් පිහිටි මිහිදුමෙන් පිරි අපූරු සීත කඳුකර ප්‍රදේශයක් තමයි, නන්පෙරියල් තේ වතුයායේ පිහිටි න්න්පෙරියල් හා නග්රැක් ගම්මාන. නන්පෙරියල් ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා උසින් පිහිටා තිබෙන අතර නැග්රැක් ගම උසින් අඩි 7000ක් වෙනවා.

වලාකුළු අතර සැඟවුණු මේ ගම අධික සීතල දේශගුණයකින් යුක්ත යි. ප්‍රවාහන පහසුකම් නැති, ඉගෙන ගන්න කිලෝ මීටර ගණනක් දුර පාසලට යන්න සිදුවන මේ පෙදෙසේ සොබා සුන්දරත්වය නම් ඉහළ යි. නමුත් ඒ සුන්දරත්වයට යටින් ඇත්තේ දුක්බර කතාවක්. අපි ඒ කතාව අහලා බලමු.

ගමට දිවෙන පාර – Travel with uma.com

ගමේ පිහිටීම

බලංගොඩ සිට බදුල්ල පාරෙ කිලෝමීටර් 18 ක් දුරින් බෙලිහුල්ඔය පසුකළ විට ගලගම කියන පුංචි නගරය හමුවෙනවා. එතැනින් තවත්  මීටර් 500 ක් වගේ යනකොට වම් පැත්තෙන් ඉහළට නන්පෙරියල් වතුයායට යන පටු මාර්ගය පිහිටා තිබෙනවා. මේ පාරේ  කිලෝමීටර් 6 ක් වගේ දුරින් කඳු අතර තමයි තේවතුවලින් වටවූ නන්පෙරියල් ගම පිහිටා තිබෙන්නේ. නන්පෙරියල් තේ ෆැක්ටරියත් පිහිටා ඇත්තේ ගමට නුදුරින්ම යි. වතුයායේ ගම්මාන පිහිටා ඇත්තේ ඊට නුදුරින්. මේ ගම් අයත් වන්නේ ගල්පොත්තැන්න ග්‍රාම නිලධාරි වසමට යි.

වතු යායේ කොටස් හතරක ගම් හතරක් පිහිටා තිබෙනවා.  ගම් තුනක් පිහිටා තිබෙන්නේ කඳුවලින් වටවූ ගැඹුරු පාතාල වැනි බිම්කොටස්වල යි. උසින් ම පිහිටා ඇති නැග්රැක් ගම පිහිටියේ හෝටන් තැනිතලාවේ ඇති ලෝකාන්තය පහළ බෑවුමෙ යි.

අවට පිහිටි අලංකාර කඳුවැටි – flickr.com

ලෝකාන්තයේ සිට එම ගම දැක ගත හැකි වෙනවා. මේ ගම්මානවලට ආසන්නත ම නගරය බෙල්හුල්ඔය යි. නන්පෙරියල් පාරේ කිලෝමීටර් 12 ක් පමණ තවත් ඉහළට ගමන් කළ විට  බේකර්ස් බෙන්ඩ් හමුවෙනවා. තවත් ඉහළට ගමන් කිරීමෙන් හෝටන් තැනිතලාවට ළඟාවීමටත් පුළුවන්.    

ගම වටා කඳුවැටි

විවිධ හැඩයේ අලංකාර කඳුවැටිවලින් ඉහළින් ම පිහිටි නැග්රැක් ගම්මානය වටවී තිබෙනවා. ඒ අතරින් උසින් වැඩි ම කඳු ඇත්තේ හෝටන් තැනිතලාව  කඳු පෙදෙස යි. හෝටන් තැනිතලාවේ පිහිටි තොටුපොළ කන්ද හා කිරිගල්පොත්ත කන්දත්, තැනිතලාවට පහළින් පිහිටි හාගල කන්ද හා ගොංමොල්ලි කන්දත් අවට පිහිටා තිබෙනවා. 

කඳුවැටිවලින් ඇද හැලෙනා දියඇලි- Travel in Sri Lanka-Sobasiri  facebook page

නන්පේරියල් ඉහළ කොටසේ කඳුවලින් හා හෝර්ටන් තැන්නේ තොටුපොළ කන්දේ සිට ගලා ගෙන එන ජල මූලාශ්‍රවලින් තමයි වතුයායේ ගම්මානවලට ජලය ලබාගන්නේ. මේ ගම දුෂ්කර වුවත් ජලයෙන් නම් පොහොසත්. පසුව බෙලිහුල්ඔය බවට පත්ව වලවේ ගඟ පෝෂණය කරනා ජල ප්‍රවාහයත් තොටුපොළ කන්දෙන් තමයි පටන් ගන්නේ.

නන්පෙරියල් තේ  කර්මාන්තශාලාව පිහිටි කොටසින් ඉහළට ගිය පසු උග්ගල්දූව, ඉහළ කොටස හා නන්පේරියල් කොටස්වලට මාර්ගය තැනින් තැන බෙදී යනවා. මෙම මාර්ගයේ නැග්රැක් ගමට  යනවිට වැලමිට වංගු 32 ක් පමණ පසුකළ යුතු වෙනවා.  මේ පාරේ සාමාන්‍ය වාහනයකට නම් ගමන් කිරිමට බැහැ. ගල් ගැලවුණු බෑවුම වැඩි දුෂ්කර මාර්ගයේ  ජීප් රථ, ලොරි, ත්‍රිරෝද, මෝටර් බයිසිකල් වැනි වාහන නම් ගමන් කළ හැකි යි.   

නන්පෙරියල්හි දියඇල්ලක්-  Gayan Thuduska facebook page

කඳුවැටි දෙකක් අතරින් වැටී ඇති නන්පෙරියල් මාර්ගයේ දකුණු පැත්තෙන් බෑවුමේ පහළ නිම්නයෙන් ගලා බසින්නේ හිරිකටු ඔය යි.  විටින් විට ඝන මීදුමෙන් මුලු කඳුවැටියම වසා ගන්නේ අලංකාර දසුනක් මවාපාමින්. කුඩා දිය ඇලි රාශියක් මඟ දෙපස දැකගත හැකි යි.  නන්පෙරියල් පාසල පසු කළ විට තරමක් විශාල අලංකාර දිය ඇලි කිහිපයක් ද පිහිටා තිබෙනවා.

ගමට යන එකම බසය 

නැග්රැක් ගම පිහිටා තිබෙන අඩි 7000කට ආසන්න ඉහළක් දක්වා අබලන් පාරේ බස් රථවලට ගමන් කිරීමට බැහැ. බලංගොඩින් දිනපතා පිටත්වත බස් රථය ගමන් කරන්නේ නන්පෙරියල් වත්තේ පහළ කොටසට පමණ යි. බලංගොඩින් පාන්දර 5.30ට පිටත් වන බසය තුඹගොඩ, රත්මල්වින්න, ඉඹුල්පේ, සීලෝගම, බෙලිහුල්ඔය පඹහින්න, හිරිකටුඔය පසුකරමින්  නන්පෙරියල් වෙත පැමිණෙනවා. ඉන් පසු තවත් ගමන් වාර කිහිපයක් ද බසය සිදු කරනවා. 

ගමට යන ලංගම බසය- යමුද  facebook page

කලකට පෙර නන්පෙරියල් තේ කම්හල දක්වා බසය ගමන් කළත් පාර අබලන්වීම නිසා දැන් එය ගම පටන් ගන්නා තැනට පමණයි ගමන් කරන්නේ. නන්පෙරියල් තේ කම්හල අසලින් ඉහළට වාහනවලින්  ගමන් කිරීමේ දී  වතු බලධාරීන්ගෙන් අවසර ගත යුතු වෙනවා. ‍ නන්පෙරියල් සිට ඉහළට දිවෙන පාරේ සමහර ස්ථානවල කොන්ක්‍රිට් අතුරා තිබුණත් බොහෝ ස්ථාන ඉතාමත් අබලන් ව පවතිනවා.

උසම නැග්රැක් ගම

නිතර මිහිදුමෙන් වැසී පවතින නැග්රැක් ගම්මානයට ඇතුළුවන තැන  වංගුවේ ගලක සටහන් කළ නාම පුවරුවක  එතැන උස අඩි 6990ක් බව සඳහන් කර තිබෙනවා. එම ස්ථානයට පිටුපසින් විශාල බෑවුමක් දැකගත හැකි යි.  ඈතින් බලංගොඩ ප්‍රදේශය මෙතැනට දිස්වෙනවා. මෙතැන සිට තවත් ඉහළට ගමන් කිරීමෙන් නැග්රැග් පැරණි වතු බංගලාවට ( දැන් නිවාඩු නිකේතනයක්) ගමන් කළ හැකි වෙනවා.  ගමට ඉහළින් පිහිටි හෝටන් තැනිතලාව පිහිටා ඇත්තේ අඩි 7200ක් උසින්.

මිහිදුමෙන් වැසුණු වතු නිවාස- Champika Nirosh facebook page

හෝටන් තැනිතලාවේ ගැවසෙන කොටින් සමහර අවස්ථාවල මේ ගමට පැමිණ ගමේ බල්ලන්, එළුවන්, ගවයන් දඩයම් කරගෙන ගිය අවස්ථා පවතිනවා. ගමේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වෙනවා.  

නිතර අව්ව වැටෙන්නෙත් නැහැ.  වැහිබර කාලගුණයක් බොහෝ දිනවල දැකගත හැකියි. ජනතාවට සෑම දිනක ම සීතලට අඳින ඇඳුම් ඇඟලාගෙන තමයි දිවි ගෙවන්න සිදු ව තිබෙන්නේ.

ගමට පිවිසෙන තැන නාම පුවරුව- යමුද   facebook page

ජිවනෝපාය දළු නෙළීමයි

දකුණු ඉන්දියාවෙන් මුලින් ම පැමිණි දා පටන් පරම්පරා කිහිපයක් තිස්සේ තේ වත්තේ වලාකුළුවල ගෑවෙමින් දිවිගෙවන මේ ජනතාවගේ එකම ජීවන වෘත්තිය දළු කැඩීම යි. නමුත් මේ වනවිට තම දරුවන්ට උගන්වා වෙනත් රැකියා සඳහා යැවීමේ බලාපොරොත්තුව ද වැඩිහිටියන් තුළ තිබෙනවා. නන්පෙරියල් විවේගානන්ද වතු පාසල පිහිටා තිබෙන්නේ නැග්රැක් කොටසට පැමිණීමට පෙර කන්ද පාමුලයි. ඒ වෙත ගමේ සිට දුර කිලෝ මීටර 12ක බෑවුමක් තරණය කළ යුතු වෙනවා. ඔවුන් උඩරට එළවළු වගාවත් ඉඳහිට කරනවා.

හාගල කන්ද –  Travel in Sri Lanka-Sobasiri  facebook page

වත්තේ බොහෝ  දරු දැරියන් එම පාසලට යන අතර එම දරුවන්ව පාසලේ නේවාසිකව නවතා ඇත්තේ මාපියන්ට ගමනාගමන පහසුකම් හෝ පොදු ප්‍රවාහන පහසුකම් එම ස්ථානයට නොමැති නිසයි.

 නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය නැග්රැක් ගම්මානයට නොඑන නිසා ගමේ ජනතාවට   තම අවශ්‍යතා ලබා ගැනීමට කිලෝ මීටර 8ක් කඳු නගින්න බසින්න සිදුවෙනවා. මේ ගම්වල වැසියන්ට තැපැල් කන්තෝරුවක් හෝ බැංකු පහසුකම් පවා නැහැ.   ප්‍රදේශයේ පිහිටා තිබෙන එකම වතු රෝහල  ඇත්තේ කන්ද නැගීම ආසන්නයේ නන්පෙරියල් කොටසේ පාමුලයි.   

දුෂ්කර මගේ ගමන් කරමින් – යමුද  facebook page

 නිවාස ප්‍රශ්නය උග්‍රයි

ගමේ වතු නිවාසවල තත්ත්වයත් සතුටුදායක නැහැ.  කුඩා ලයිම් කාමරවල විදුලිය නොමැතිව තමයි ඔවුන් දිවිගෙවන්නේ.  පෙට්‍රල් මැක්ස් ලාම්පු සහ භුමිතෙල් ලාම්පුවලින් ආලෝකය ලබා ගන්නවා. වත්තේ පහළ සමහර කොටස්වලට මේ වනවිට විදුලිය ලැබී තිබුණත්  නැග්රැක් ගම්මානයට විදුලිය නැහැ.  ඔවුන්ගේ සෑම නිවසක් ම පහේ තහඩු සෙවිලි කර තිබෙනවා. එම නිවාස පවා දැන් අබලන්ව ගොසින්. ඔවුන් කෝවිලට   නිතර යමින් දෙවියන්ගෙන් තම ගැටලුවලට පිහිට ඉල්ලන බවයි පේන්නේ.

ගමේ අබලන් නිවාස – Champika Nirosh facebook page

නැග්රැක් සහ නන්පෙරියල් යන සංචාරකයන් එහි සුන්දරත්වයෙන් සිත් වශී කරගත්තත් දිවි ගෙවන ජනතාව නම් ඉතා කටුක දිවි පෙවෙතක් තමයි ගතකරන්නේ.

කවරයේ ඡායාරූපය- නැග්රැක් අවට මිහිදුමෙන් බර කඳුවැටි -  Visit Sri lanka facebook page
මූලාශ්‍ර:
Lankadepa.lk
Travel with uma.com
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දුගේ ලිපි

Related Articles