Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වසරේ ලොව හොඳ ම නව නිපැයුම් 200ක් 

දශක දෙකක පමණක කාලයක සිට ටයිම් සඟරාව සෑම වසරක ම ලොව හොඳ ම නව නිපැයුම් 100 ලෙස ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. ලොවට වඩාත් ම බලපෑමක් සිදු කරන්න පුළුවන් ඉතාමත් ප්‍රයෝජනවත් නව නිර්මාණ සියල්ල මෙයට අන්තර්ගත වෙනවා. කොරෝනා බලපෑම, ආර්ථික අර්බුද වැනි කරුණු හේතුවෙන් මේ වසරේ නව නිර්මාණය බිහිවීම පෙරටත් වඩා ඉහළ ගොස් ඇති බව ටයිම් සඟරාව පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් නව නිපැයුම් 100 වෙනුවට මේ වසරේ ලොව හොඳ ම නව නිපැයුම් 200ක් ලැයිස්තුගත කිරීමට ටයිම් සඟරාව කටයුතු කර තිබෙනවා.

වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍ර ආශ්‍රිත නව නිපැයුම්

මෙම ලැයිස්තුව සම්පාදනය කිරීම සඳහා ඔවුන් ලෝකය පුරා සිටින ටයිම් සඟරාවේ වාර්තාකරුවන්ගෙන් නාම යෝජනා විමසනවා. ඒ වගේ ම ලෝකයේ මේ වන විට වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍ර ආශ්‍රිත නව නිපැයුම් සඳහා වැඩි අවධානයක් ලබා දෙනවා. විද්‍යුත් වාහන කර්මාන්තය, හරිත බලශක්තිය, තත්‍යාසන්නයතාර්ථ (virtual-reality) වැනි කේෂේත්‍ර ඒ අතර වෙනවා. පසුව ඒ එක් එක් ක්ෂේත්‍රයට අදාළ ව, නව නිපයුම්වල අරමුණ, නව්‍යතාව, කාර්යක්ෂමතාව හා අනෙකුත් සාධක පිළිබඳ ව ඇගයීමක් කරනවා. ඉන් පසුවයි ඒවා ලැයිස්තුගත කරන්නේ. 

ලැයිස්තුවට නව නිපැයුම් 200ක් අඩංගු වන අතර ඒ අතරින් විද්‍යා හා තාක්ෂණයට වඩා බලපෑමක් කළ හැකි නව නිපැයුම් 50ක් පිළිබඳ ව විශේෂ සටහනක් තැබීමට සඟරාව කටයුතු කරනවා. මෙම නව නිපැයුම් 200, කේෂ්ත්‍ර 27කට වෙන් කර දක්වා තිබෙනවා.  ඒ අතරින් මුළු ලෝකයේ ම අවධානය දිනා ගැනීමට සමත්වුණු නව නිර්මාණ කිහිපයක් පහත දැක්වෙනවා.

අතක් අහිමි බව අමතක කරවන Esper Hand – dezeen

අතක් අහිමි බව අමතක කරවන Esper Hand

අතක් අහිමි පුද්ගලයන්ට තමන්ගේ එදිනෙදා වැඩ අපහසුවකින් තොර ව කරගෙන යාමට කෘත්‍රීම බුද්ධිය හා මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ කරමින් කෘත්‍රීම අතක් නිපදවන්නට  Esper Bionics නම් අමෙරිකානු නව නිපැයුම් ආයතනයකට හැකියාව ලැබෙනවා.

අතක් අහිමි පුද්ගලයෙක් මෙම විශේෂිත අත පළඳා එය පාලනය කිරීමට අවශ්‍ය වූ විට,ඔහුගේ/ඇයගේ මොළය එය සක්‍රීය කිරීම සඳහා විශේෂිත මාංශ පේශි වෙත ආවේග යවනවා. මොළයෙන් ලැබෙන එම පණිවිඩ නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව මේ අතට පවතින අතර එය සාමාන්‍ය මිනිස් අතක් මෙන් ක්‍රියා කිරීම පටන් ගන්නවා. සංවේදක 30කට අධික සංඛ්‍යාවක් මඟින් මාංශ පේශි ක්‍රියාකාරිත්වය සඳහා මොළයෙන් පණිවිඩ ලබා ගන්නා අතර ඒ මඟින් අතේ ක්‍රියාකාරිත්වය ඇති කරනවා. සාමාන්‍යයෙන් දැනට වෙළෙඳපොළේ ඇති මේ හා සමාන උපකරණ හා සැසඳීමේ දී ඊට වඩා තුන් ගුණයක වේගයෙන් මෙම අත වැඩ කරන බව Esper Bionics ආයතනය සඳහන් කරනවා. 

මෙය නිර්මාණය කිරීම ආරම්භ වන්නේ 2019 වසරේ දී වන අතර  2022 වසරේ ජර්මනියේ දී මෙම කෘත්‍රීම අත් නිෂ්පාදනය ආරම්භ වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ නව නිපැයුම්වලට අදාළ සම්මාන රාශියක් මෙම කෘත්‍රීම බුද්ධි ස්වයං ඉගෙනුම් රොබෝ අතට දැනටමත් හිමි ව තිබෙනවා.

අසමස ම විද්‍යුත් මෝටර් රථය – Lucid Air – Edmunds

අසමස ම විද්‍යුත් මෝටර් රථය – Lucid Air

Lucid Air යනු මේ වන විට ලෝකයේ ඇති විද්‍යුත් මෝටර් රථවලින් ආරෝපණයෙන් පසු ව වැඩි ම දුරක් ගමන් කළ හැකි මෙන් ම, වේගවත් ම බැටරි ආරෝපණයක් සහිත අමෙරිකා එක්සත් ජනපදයේ lucid motors සමාගමෙන් නිපදවා ඇති සුඛෝපභෝගී විද්‍යුත් මෝටර් රථය යි. 

සාමාන්‍යයෙන් විද්‍යුත් මෝටර් රථයක පෙනුම එතරම් සිත් ඇදගන්නා මට්ටමක නෑ. නමුත් මෙම විද්‍යුත් මෝටර් රථයේ පෙනුම එම සම්ප්‍රදායය වෙනස් කර තිබෙනවා. මෝටර් රථයට ආසන්න ලෙස සැතපුම් 200ක් පමණ ගමන් කිරීමට අවශ්‍ය බැටරි ආරෝපණය සඳහා මිනිත්තු 12ක කාලයක් පමණයි ගත වෙන්නේ. මෙතරම් සුපිරි බැටරියක් නිපදවීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ මෙම සමාගම ආරම්භයේ දී බැටරි නිෂ්පාදන සමාගමක් ලෙස කටයුතු කිරීම හේතුවෙන්.

අශ්ව බල 1050 ක් ලෙස එන්ජිමේ බලය දැක්වෙන අතර මෝටර් රථයේ වේගය පැයට සැතපුම් 60 දක්වා ත්වරණය කිරීමට ගත වන්නේ තත්පර 3ක කාලයක් පමණ යි. මෝටර් රථය මේ වන විට වෙළෙඳපොළට පැමිණ ඇති අතර එක්සත් ජනපද ඩොලර් එක් ලක්ෂ පනස් හතර දහසකට (154,000කට) එය මිලදී ගත හැකි වෙනවා. ඊට අමතර ව මේ වන විට එය අන්තර්ජාතික සම්මාන රැසක් ද හිමි කර ගෙන තිබෙනවා.

ගැඹුරට කිමිදිය හැකි ස්වයංක්‍රීය ඩ්‍රෝන යානය – Hydrus Hydrus – advancednavigation

ගැඹුරට කිමිදිය හැකි ස්වයංක්‍රීය ඩ්‍රෝන යානය – Hydrus

ගැඹුරු සාගරයේ කිමිදෙන අනාගත ඩ්‍රෝන් විප්ලවයේ ආරම්භ අවස්ථාවක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. ගැඹුරු මුහුදේ කිමිදිය හැකි දියුණු සන්නිවේදන හා නාවික පද්ධතියකින් සමන්විත මෙයට මීටර් 3000 ක් දක්වා ගැඹුරට ගමන් කළ හැකි යි. කිලෝමීටර් 9ක 4K දෘශ්‍ය පරාසයක් ඇති අතර පැය තුනක් එක දිගට මෙහෙයුම් කටයුතුවල නිරත වීමේ හැකියාව පවතිනවා. ගැඹුරු සාගරයේ බාධක හඳුනාගැනීම හා ගැටුම් වලක්වා ගැනීම් ඇතුළු  සාගර පතුලේ බොහෝ මෙහෙයුම් සඳහා මෙම ඩ්‍රෝන යානය භාවිතා කළ හැකි බව එහි නිෂ්පාදන සමාගම වන advanced navigation ආයතනය පවසනවා.

මෙහි අඩංගු නවීන තාක්ෂණය හේතුවෙන් ඩ්‍රෝන යානයට අඩු ආලෝකය එමෙන් ම කැලැඹිලි සහිත තත්ත්ව හමුවේ පවා පැහැදිලි දර්ශන ලබා දීමට හැකියාව පවතිනවා. 

ස්වයංක්‍රීය රෝගීන් අධීක්ෂණ පද්ධතිය – kardian

xandar kardian සමාගමේ ස්වයංක්‍රීය රෝගී අධීක්ෂණ පද්ධතිය 

ලෝකයේ ප්‍රථම වරට මුදල් ගෙවා වෙළඳෙපොලෙන් ලබා ගත හැකි වයර් රහිත  රේඩාර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන ස්වයංක්‍රීය රෝගී අධීක්ෂණ පද්ධතිය මෙය ලෙස නම් කළ හැකි යි. කිසිදු කාර්ය මණ්ඩල මැදිහත්වීමකින් තොරව වැතිරී සිටින රෝගියාගේ ස්වසන වේගය, හෘද ස්පන්දන ස්වභාවය, ශරීරයේ කම්පන හා චලන නිවැරදි ව මේ මඟින් හඳුනාගන්නවා.  

 ලොව ප්‍රථම සේවා රොබෝවරයා වන LG CLOi ServeBot 

ආපනශාලා, සිල්ලර වෙළෙඳසල් සහ හෝටල් වැනි සංකීර්ණ වාණිජ පරිසරයක ආරක්ෂිත ව ක්‍රියා කිරීම සඳහා නිර්මාණය කර තිබෙන ලොව ප්‍රථම වාණිජ සේවා රොබෝවරයා ලෙස මෙම රොබෝවරයා නම් කරන්නට පුළුවන්.  පළමු වතාවට රාත්තල් 66 ක ආහාර හෝ භාණ්ඩ රැගෙන යමින් කාර්යබහුල පරිසරයක සැරිසැරීමට හැකි මේ රොබෝ සහායකයන් ඉදිරියේ දී ඔබට දකින්නට ලැබෙනු ඇති. වැඩට සහාය වීම හා වඩා හොඳ පාරිභෝගික සේවාවක් ලබා දීම මෙන් ම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම නිෂ්පාදන සමාගම රෝබෝවරයා හරහා බලාපොරොත්තු වන සේවා යි.

ලොව ප්‍රථම සේවා රොබෝවරයා වන LG CLOi ServeBot – qtxasse

ටයිම් සඟරාව ලැයිස්තුගත කළ මේ වසරේ ලොව හොඳ ම නව නිපැයුම් ලැයිස්තුවට මෙතැනින් පිවිසෙන්න. 

කවරයේ ඡායාරූපය - මේ වසරේ ලොව හොඳ ම නව නිපැයුම් අතරින් කිහිපයක් - reddit.com
මූලාශ්‍ර: 
lucidmotors.com 
esperbionics.com
advancednavigation.com
kardian.com
lg.com

Related Articles