Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදිනෙදා වැඩ පහසු කරන, වේලාව ඉතිරි කරදෙන Apps හා වෙබ් අඩවි 5ක්

දවස තුළ අපි විවිධ දේ කරගන්නට අවශ්‍ය වුණා ම ඔළුව වටේ අත දාලා නහය අල්ලනවාක් මෙන් බොහොම කරදර විඳිනවා. නැත්නම්, ඒ විෂයයට අදාළ මිතුරෙකුගෙන් උදව් ඉල්ලා ඔවුන්ටත් කරදරයක් වන්නට සිදුවෙනවා. ඒ වෙනුවට දවස තුළ අපි අනවශ්‍ය දේට ගත කරන කාලය සහ මුදල් ඉතිරි කරගත හැකි Apps කිහිපයකුයි මේ. ඒවා හරහා ජීවිතය විඳින්නට වැඩි කාලයක් ලබා ගන්නට ඔබට හැකි වේවි.

හිතට එන අදහස් වැඩිදියුණු කරන SimpleMind

හිතට එන ගොඩක් අදහස් හිත ඇතුළේ ම නැතිවෙලා යන්නේ අපි නොදැනුවත්ව ම යි. අලුත් බිස්නස් අදහස්, නිර්මාණයක්, සමාජයට යහපතක් වන ව්‍යාපෘතියක්, හෝ තමන්ගේ ම ඉදිරි දියුණුව හදාගන්න හැටි ගැන බාත්රූම් එකේ දී, බස් එකේ යන එන ගමන් කොච්චර හිතුවත් ටික වෙලාවකින් ඒ දේවල් අමතක වෙලා යනවා. ඔබ දන්නවා ද, මේ ලෝකෙ බිහිවුණු විශිෂ්ට දේවල් මුලින්ම බිහිවුණේ කාගෙහරි හිතක. හිතේ ඇති වන අදහස වැඩිදියුණු කළාට පස්සේ තමයි එය මෙලොව එළිය දකින්නේ. ඉතින් මේ වගේ හිතට එන අදහස් නිසියාකාර ව පෙළගස්වන්න පුළුවන් App එකක් තමයි SimpleMind කියන්නේ‍. හිතට අදහසක් ආපු ගමන් කොළයක් හොයමින් ඉන්නවාට වඩා අතේ තියෙන ෆෝන් එකෙන් ම රූපමය සටහන් ආකාරයට පැහැදිලි ව මින් එය සටහන් කරගෙන, එය වැඩිදියුණු කරන්නට පුළුවන්.

වෙළඳ දැන්වීම් රහිත ව නොමිලේ බාගත කරගත හැකි මෙහි ඔවුන් විසින් ම සකසන ලද templates මත හෝ අපේ හිතේ හැටියට නව Mind map එකක් සකසන්නට පුළුවන්. වසර 7ක් පුරාවට පරිශීලක අදහස් අනුව වැඩිදියුණු කරන ලද මෙය Play Store හි 4.4ක rating අගයක් ලබා තිබෙනවා.

බාගන්න: SimpleMind

වෙලාව ඉතුරු කරගන්න RescueTime

විවිධ දේට ගත කළ කාලය බලන්නට සහ ඉලක්ක සකසන්නට පුළුවන් (Google Play Store)

එදිනෙදා කාර්යාලයේ දී හෝ ගෙදර දී වැඩ කරද්දී අපි නොදැනුවත්ව ම ෆෝන් එක අතට එනවා. ඊට පස්සේ ෆේස්බුක් open වෙලා කිලෝමීටර් ගාණක් Scroll කළාට පස්සේ තමයි මතක් වෙන්නේ අපි වැඩක හිටපු බව. මානසික ආතතිය නැති කරගන්නට හිතාගෙන මෙහෙම ෆෝන් එකෙන් තාවකාලික සුවයක් ලැබුවාට, අවසානයේ වැඩ කරගන්නට වෙලාව මදි වීම නිසා තවත් මානසික ආතතිය වැඩි කරගන්නට සිදුවෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට 110 වතාවක් තමන්ගේ දුරකතනය පරීක්ෂා කරනවා. මාර්ග අනතුරුවලට පවා මේ පුරුද්ද බොහොම බලපානවා. RescueTime app එක අපි ෆෝන් එක පාවිච්චි කරන ආකාරය, විවිධ Apps පාවිච්චි කළ වේලාවන්, එම පුරුදු අවම කරගැනීමට ඉලක්ක සකසා ගැනීම් කරන්නට අවස්ථාව සලසනවා.

නූතන දුරකතන මෙහෙයුම් පද්ධති හරහා ම මෙවන් පහසුකම් ලබා දුන්නත් ඊට පෙර version තිබෙන ඔබට මේ app එකෙන් ඒ පහසුකම ලබාගන්නට පුළුවන්. දුරකතනයෙන් අන්තර්ජාලය කෙතරම් පාවිච්චි කරනවා ද, සෝෂල් මීඩියාවලට කෙතරම් කාලයක් වැය කළා ද ආදී සවිස්තර වාර්තාවක් ඔබට දිනය පුරා ම දැකගත හැකි නිසා ෆෝන් එකට වඩා ඔබේ ජීවිතය විඳින්න වැඩි කාලයක් මේ හරහා උදා කරගන්නට පුළුවන්.

බාගන්න: RescueTime

විනෝද චාරිකා සැලසුම් කරදෙන Google Trips

යාළුවොත් එක්ක plan කරපු ට්‍රිප් ඇත්තට ම ගියා නම් අපි කවුරුත් Travellersලා තමයි. එහෙනම් Instagram එක ෆොටෝවලින් පුරවලා Swarm එකෙන් මුළු ලංකාවේ ම තිත් තියන්න තිබුණා. කොහොම හරි, අපි නොදන්න පළාතක ට්‍රිප් එකක් plan කරද්දී ඒ ආසන්න ව බලන්න තියෙන තැන්, නවතින්න තැනක්, කන්න-බොන්න තැනක්, ක්‍රීඩාවන් වැනි දෙයක් ඒ ආශ්‍රිත ව කළ හැකි නම් ඒ වගේ විස්තර රැසක් මේ ඇප් එකෙන් බලාගන්නට පුළුවන්. ට්‍රිප් කිහිපයක් plan කර, ඒවායේ දිනයන් ද සමග පෙළගස්වාගත හැකි නිසා ලබන අවුරුද්දේ යන්නට අදහස් කරන ගමනක් වුවත් දැන් සිට ම සූදානම් කර තබා ගන්නට පුළුවන්. Google සමාගමේ නිෂ්පාදනයක් නිසා අපි Gmailවලින් විවිධ ස්ථාන ගැන කරන කතාබහ අනුව ඊට ගැළපෙන චාරිකාවක් ස්වයංක්‍රීය ව සකසා දෙන්නටත් මෙයට හැකියාව තිබෙනවා.

මෙහි තිබෙන තවත් විශේෂත්වයක් තමයි Instant App එකක් වීම. මේ නිසා ස්ථාපනය නොකර ම එය අත්හදා බලන්නට අවස්ථාව තිබෙනවා. ස්ථාපනය කරගැනීමෙන් පසු සිතියම් අන්තර්ජාලය රහිත ව පාවිච්චි කරන්නට බාගත කරගත හැකි නිසා ගමන යන අතරතුරේ අන්තර්ජාල සබඳතා බිඳවැටීම් ගැන වධ වෙන්නට අවශ්‍ය වන්නේත් නැහැ. සිතියම Print කරලා යන අයගේ අතට දෙනවා වෙනුවට ඇප් එකෙන් ම ඒ අයටත් බලන්න Share කරගන්න පුළුවන්.

බාගන්න: Google Trips

Invoice හදන්නට පහසු Zoho Invoice generator

පියවර තුනකින් සකසාගත හැකියි (Google Play Store)

අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා ම හෝ ඔබ තනි ව කරන part time වැඩකට මුදල් ඉල්ලද්දී කෙළින්ම Email එකකින් හෝ මැසේජ් එකකින් ගණන සඳහන් කරනවා වෙනුවට ලස්සන Invoice එකක් යවන්නට පුළුවන් නම් එයින් ඔබට වැඩි ගෞරවයක් එක් වෙනවා. එමඟින් අදාළ මුදල කුමන සේවාවන්ට බෙදී ගියා ද, කොපමණ ප්‍රමාණයක් ඔබ ඔවුන් වෙනුවෙන් discount දුන්නා ද, බදුවලට යටත් නම් එම අයකිරීම් ආදී දේ සවිස්තර ව කියන්නට හැකි නිසා වැඩි විශ්වාසයක් ගොඩනැඟෙනවා. අය කිරීම ලැබිය යුතු අවසන් දිනය (Due date) එකත් සඳහන් කළ හැකි නිසා නිතර වධ කරමින් සල්ලි ඉල්ලනවා වෙනුවට එක්වර ම ඔබට ලැබිය යුතු ගෙවීම පිළිබඳ ව ඔවුන්ට දක්වන්නට පුළුවන්. ලිඛිත සටහනක් වශයෙන් ගෙවීම පිළිබඳ ව ඔවුන්ට එය වඩාත් පහසුවක් බවට ද පත් වෙනවා.

පරිගණකයේ බ්‍රවුසරයෙන් පාවිච්චි කරනවා නම් ඔබට Invoiced වෙබ් අඩවිය පාවිච්චි කළ හැකියි. එහි ශ්‍රී ලංකා රුපියල්වලින් පවා අගයයන් සටහන් කරන්නට පුළුවන්. Phone එකට හොඳම ඇප් එක Zoho වෙතින් එන Invoice generator එක යි. එමඟින් ඍජුව ම එය Email කරන්නටත් පුළුවන්.

බාගන්න: Invoice Generator – Zoho

ඡායාරූප සංස්කරණයට පහසු Pixlr

Pixlr Editor වෙබ් අතුරුමුහුණත (Roar/@thambaru)

හදිස්සියක දී ෆොටෝ එකක් edit කරගන්න අවශ්‍ය වුණා ම Photoshop අවශ්‍ය වෙනවා. නමුත් Linux පාවිච්චි කරනවා නම්, පාවිච්චි කරන්නේ ඔබේ පරිගණකය නොවේ නම් සහ පරිගණකය slow නම් Photoshop ගැන තිබෙන අදහස අතහැර ගන්නට සිදුවෙනවා. මෙවැනි විටක දී Photoshopවලට වෙලාව වැය කරගන්නේ නැතිව පහසුවෙන් ම පාවිච්චි කරන්න පුළුවන් සේවාවක් තමයි Pixlr කියන්නේ. මෙය ආකාර දෙකකට පාවිච්චි කරන්නට පුළුවන්. Pixlr X මඟින් සාමාන්‍ය ඇප් එකක් වගේ ෆොටෝ එකට Filters දාන්න, Brightness අඩු වැඩි කරන්න වගේ මූලික දේවල් කරන්නට පුළුවන්. Pixlr Editor එක මඟින් Photoshopවලට සමාන අතුරුමුහුණතකින් සහ විශේෂාංගවලින් සමන්විත ව ඡායාරූපයට වැඩි වෙනස්කම් ප්‍රමාණයක් කරන්නට අවස්ථාව තිබෙනවා.

Pixlr X සහ Editor යන දෙකම වෙබ් අඩවිය හරහා බ්‍රවුසරයෙන් පාවිච්චි කරන්නට පුළුවන්. App එකක් වශයෙන් දුරකතනයෙන් Android සහ iOS දෙකට ම යොදාගන්නට පුළුවන්. නොමිලේ ලබාදෙමින් කිසිදු Watermark එකකුදු නොමැති ව අපිට කැමති PNG, JPG ආදී formatsවලින් සුරකින්නට ඉඩ දෙන නිසා වෙනත් නොමිලේ දෙන ඒවාට වඩා මින් ලැබෙන වාසිය මෙතෙකැ යි කියන්නට බැහැ. Photoshop හෝ Wordවලින් එකක් design කරන්නට ගතවන කාලය මෙවන් සේවාවකින් සම්පූර්ණයෙන් ම නැති කරගත හැකියි.

බාගන්න: Android | iOS

කවරය: dailymedia.case.edu

Related Articles