Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

APK ගොනු ගැන ඔබ දත යුතු සියළු දේ

වින්ඩෝස් වල දී exe වගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම හමුවන ගොනු වර්ගයක් තමයි .apk කියන්නේ. එහෙම දැක්කාම මේකෙන් මොකක්ද වෙන්නේ කියලා ගැටළුවක් තාක්ෂණයට ප්‍රිය කරන ඔබේ සිතට අනිවාර්යයයෙන්ම එන්නට ඇති. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ආශ්‍රය කරගනිමින් ඔබ උසස් භාවිතයක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගොනු වර්ගය ගැන දැන සිටිය යුතුමයි. මන්ද, දුරකථනයේ ඇති ඉතා ගොනු වර්ගයක් වශයෙන් මෙය එහි ඉතා ඉහළ කාර්යයභාර්යයක් ඉටු කරනු ලබන නිසා එහි ක්‍රියාකාරීත්වය සහ ඊට ඇති කළ හැකි බලපෑම් ආදිය ගැන මනා අවබෝධයක් ඇති කරගත්තොත් නොදැනුවත්ව දුරකථනයට සිදුවිය හැකි අවදානම් තත්ත්ව මඟහරවා ගන්නට හැකියාව ලැබෙන නිසායි.

මොකක්ද මේ APK  කියන්නේ?

bstreetphoto.com

ඕනෑම මෙහෙයුම් පද්ධතියක එහි ධාවනය කළ හැකි මෘදුකාංග සඳහා විශේෂිත දිගු නාමයක් (extention name) තිබෙනවා. ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධතිවල ධාවනය කළ හැකි ගොනු සඳහා කිසිදු extention name එකක් නොමැති අවස්ථාවනුත් නැතුවම නෙවෙයි. කොහොම නමුත්, ඇන්ඩ්‍රොයිඩ් සඳහා වූ මෘදුකාංග හෙවත් ඇප්ස් බෙදාහැරීම සහ ස්ථාපනය කිරීම සඳහා කරනු ලබන ගොනු වර්ගය තමයි මේ නාමයෙන් දකින්නට ලැබෙන්නේ.

APK යනු Android Package Kit (හෝ Android Application Package) යන වචනයේ මුල් අකුරු එකතු කොට තනනු ලැබූ නාමයක්. මෙම ගොනුවක් සතුව කිසියම් ඇප් එකක් ස්ථාපනය වී ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියළුම කොටස් අන්තර්ගත කර තිබෙනවා. එවන් ගොනුවක් පරිගණකයට ලබාගෙන WinRAR වැනි archive manager එකකින් විවෘත කළ විට එහි අන්තර්ගත ගොනු දැකබලා ගන්නට ද පුළුවන්. මෙහි අඩංගු ආරක්ෂණ සහතික සහ මෘදුකාංග කේත භාවිතයෙන් ඇප් එක අනතුරුව ස්ථාපනයෙන් පසු ධාවනය වෙනවා. නමුත් ඒ exe ගොනුවක් මෙන් ඇති සැටියෙන්ම නොව ස්ථාපනයෙන් පසු දිගහැරුණු ගොනු සමූහයක් වශයෙනුයි. මේවා නැවත බෙදාහැරීමට හෝ බැකප් කිරීම සඳහා APK බවට පත් කිරීමට ඇතැම් ඇප්ස් සමත් වෙනවා.

APK ගොනුවක් දුරකථනයට ලැබෙන්නේ කොහොමද?

medium.com

දුරකථනයේ තිබෙන සෑම ඇප් එකකටම ඇඟිල්ල තබා පෙන්වමින්, මේ දුරකථනයට APK ගොනුවක් ලැබුණු අවස්ථාවකැයි කීවොත් එහි ඇති වැරැද්දක් නැහැ. ස්මාර්ට් දුරකථනය සමඟ පෙරනිමියෙන් ස්ථාපනය කෙරෙන bloatware පමණක් නොව දුරකථන ඇමතුම් ගැනීමට ඇති Phone, මැසේජ් යැවීමට ඇති Messages, සැකසුම් වෙනස් කරනු ලබන Settings යන ඒවා පවා APK ගොනු වශයෙන් තමයි පවතින්නේ. ෆැක්ටරියෙන් පසු දුරකථනයට මූලික ක්‍රමවේදය අනුව ඇප් එකක් ලැබෙතොත් ඒ අනිවාර්යයෙන්ම Google Play Store එක හරහාම තමයි. ඒ හැර මේ වන විට නිෂ්පාදක සමාගම් විසින් ද දැන් ඇප් ගබඩා ආරම්භ කර ඇති අතර තෙවන පාර්ශවීය ඇප් ගබඩාවන් මෙන්ම කළුකඩ ද දකින්නට ලැබෙනවා. නමුත් මින් APK ලබාගැනීමේ විශ්වාසදායී එකම මඟ ගූග්ල් විසින් හෝ නිෂ්පාදන ආයතනය විසින් ලබා දෙන ලද App store පමණයි.

මීට අමතරව APK ලබා ගෙන ස්ථාපනය කරන sideloading නම් තවත් ක්‍රමයක් තිබෙනවා. මෙහිදී සිදු වන්නේ බාහිරව බාගත කරගනු ලබන APK ගොනුවක් දුරකථනයේ ස්ථාපනය කර ගැනීමයි.

පරිගණකයෙන් APK ලබාගන්නා හැටි

wccftech.com

සාමාන්‍යයෙන් පරිගණකය හරහා Google Play Store වෙත පිවිසුණු විට අපට ඇප්ස් සෙවීම මෙන්ම ඒවායේ විස්තර බලන්නට ද පුළුවන්. එය ස්ථාපනය කිරීම සඳහා Install බොත්තම ක්ලික් කළ විට එය ස්ථාපනය විය යුතු දුරකථනය විමසා ස්වයංක්‍රීයවම තෝරන ලද දුරකථනයේ ස්ථාපනය වීම සිදු වෙනවා. මීට පෙර Play store එකෙන් APK බාගන්නත් APK Downloader නම් බ්‍රවුසර් දිගුව ස්ථාපනය කර ගැනීමෙන් කළ හැකි වූවා. මෙහි Chrome extension එක මේ වන විට Chrome web store එකෙන් ඉවත් කර ඇති අතර ෆයර්ෆොක්ස් සඳහා ඇති Firefox add-on එක නම් අලුත්ම ෆයර්ෆොක්ස් ක්වන්ටම් එකට සහාය නොදක්වන බව කියමින් තවමත් එලෙසම පවතිනවා.

APK ගොනුවක් පරිගණකය හරහා බාගත කරගැනීමට අවශ්‍ය වීමට හේතු කිහිපයක් තිබිය හැකියි. විශේෂිත දුරකථනයක් හෝ ටැබ් එකක් නම් ප්ලේ ස්ටෝර් එක නොතිබීම, දුරකථනයේ අන්තර්ජාල සබඳතාවක් නොමැති බව මෙන්ම මුදල් ගෙවා ලබා ගත යුතු ඇප් එකක් හොරෙන් බාගෙන ස්ථාපනය කරගැනීම මේ අතර තිබෙන්නට පුළුවන්. අවසාන හේතුව අප නිර්දේශ නොකළත් සාධාරණ හේතුවක් වෙනුවෙන් ඔබ මේ කර්තව්‍යය කරනවා නම් ඒ සඳහා කළ යුත්තේ හුදෙක්ම “ඇප් එකේ නම apk download” ලෙස සෙවීම පමණයි. එවිට එය අඩංගු වෙබ් අඩවි ඕනෑ තරම් පැමිණෙන අතර ඒවායෙන් අවශ්‍ය APK එක බාගත කරගත හැකියි. මේවායෙන් APKMirror, AppBrain, AndroidFreeware යන වෙබ් අඩවි ටිකක් හෝ විශ්වාස කළ හැකි ඒවායි.

APK ගොනුවක් sideload කරන හැටි

gadgethacks.com

බාගත කරගත් APK එකක් දුරකථනයේ ස්ථාපනය කර ගැනීම ඉතාම සරලයි. ඊට ප්‍රථමයෙන් සැකසුම් හරහා මේ ආකාරයට ස්ථාපනය කිරීම් සඳහා අවසර ලබා දීම සිදු කළ යුතු වෙනවා. මෙසේ පෙරනිමි වශයෙන්ම එය වළකා ඇත්තේ දුරකථනයට සිදුවිය හැකි අවධානම් තත්ත්ව ගැන අප වගකීම භාරගන්නා බවට දැනුම්දීම පිණිසමයි. මෙය සබල කිරීම සඳහා Settings → Security වෙත ගොස් එහි ඇති Unknown sources යන්න සක්‍රීය කළ හැකියි. මෙම සැකසුම විවිධ දුරකථනවල අන්තර්ගත කර ඇති ස්ථානය වෙනස් නිසා ඔබට Settings වෙත පිවිස එහි (නව දුරකථන වෙළුම්වල) ඉහළ ඇති සෙවුම් තීරයේ “unknown sources” ලෙස ටයිප් කිරීමෙන් ද සොයා ගන්නට පුළුවන්.

දැන් ඔබ පරිගණකයෙන් ලබාගත් APK ගොනුව දුරකථනයේ storage එකට දමන්න. මෙසේ කිරීමේදී Downloads ෆෝල්ඩරයට දැම්මොත් ඔබට එය දුරකථනය හරහා පහසුවෙන් දැකබලා ගැනීමට හැකි වේවි. එසේ නැත්නම් දුරකථනයේ ඇති සියලු ගොනු ඒ හරහාම දැක ගැනීමට ES File explorer වැනි යෙදුමක් ස්ථාපනය කරගන්න පුළුවන්. මේ ඇප් එකත් APK එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් සහාය දක්වනවා. ඔබ දැනට භාවිත කරන Play Store එකෙන් බාගත කරගත් ඇප් එකක් වුවත් ඉන්ටර්නෙට් යහළුවෙක්ට ස්ථාපනය කරගන්න පුළුවන් වෙන්න බ්ලූටූත් හරහා වැනි ඕනෑම ක්‍රමයකින් ශෙයා කරගන්නට අවස්ථාව ලබා දෙනවා. ඉතින් කුමන ක්‍රමයකින් හෝ ඔබ දුරකථනයට එකතු කරගත් APK ගොනුව සොයාගෙන ඒ මත ක්ලික් කළ විට එය ස්ථාපනය වීම සඳහා විමසනවා. එහි Install යන්න ලබා දීමෙන් පසුව දුරකථනයේ එය ස්ථාපනය වීම සිදු වෙනවා.

ඔබ ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇප්ස් හදන කෙනෙක් නම් adb හරහා ඉතාම පහසුවෙන් ඍජුවම දුරකථනයේ ඇප් එක ස්ථාපනය කරවාගන්නට පුළුවන්. මේ සඳහා Native android සහිත Android Studio එකේ මෙන්ම Phonegap, Ionic ආදී අතිරේක ක්‍රමවේදයන්හි ද ඒවා හරහාම පහසුකම් සලසා තිබෙනවා.

Sideload කිරීමේ අවධානම

recordedfuture.com

ඔබ විසින් කේතය නොලියන ලද ඇප් එකක මොන විධියේ ඒවා තිබිය හැකිදැයි කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. විශේෂයෙන් APK බාගත කිරීමට ලබාදෙන තෙවන පාර්ශවීය වෙබ් අඩවි විසින් වෙළඳ දැන්වීම් අඩංගු කර වෙනස් කරන ලද ඇප්ස් ලබා දීමට, ඔබේ දුරකථනයේ නිරන්තරයෙන් අහඹු ලෙස විවෘත වන වෙළඳ දැන්වීම්, දුරකථනයේ ක්‍රියාකාරීත්වයට හානිදායී වෙනත් සැහැසි කේත අඩංගු සැකසුම්, ඔබේ පෞද්ගලික දත්ත සොරාගන්නා ආකාරයට සකසා අඩංගු කරන ලද දේවල් මේ හරහා ඔබට ලබා දෙන්නට පෙළඹෙන්නට පුළුවන්. එම නිසා එසේ හිතුමතේ APK සයිඩ්ලෝඩ් කිරීමෙන් වැළකෙන තරමටයි හොඳ. විශේෂයෙන් මුදල් ගෙවා ලබා ගත යුතු ඇප් එකක් මේ ආකාරයට හොර පාරෙන් ලබා ගැනීමේදී එය නීති විරෝධී සහ සදාචාර විරෝධී වන අතර ඔබේ දුරකථනයට වෛරසයක් ඔබ විසින්ම ගෙන ඒමක් වන්නට ද පුළුවන්.

කවරයේ ඡායරූපය: pctechmag.com

Related Articles