Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොළය වර්ධනයට සහ බුද්ධි මට්ටම් පරීක්ෂාවට Apps 6ක්

ජිම් ගිහින් ඇඟට ව්‍යායාම ලබා දෙනවා වගේ ම මොළයටත් නිරන්තරයෙන් ව්‍යායාම අවශ්‍ය වෙනවා. අපේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවන්, ගණිතමය, භාෂාමය හැකියාවන් සියල්ල ම ඔප මට්ටම් කර තබා ගතහොත් අපිට අනෙක් අය අභිබවා ජීවිතය ජයගන්නට අවස්ථාව උදා වෙනවා. ඕනෑම වයසක කෙනෙක්ට තමන්ගේ මොළය ක්‍රියා කරවමින් සක්‍රීය ව පවත්වා ගන්නට සහ හැකියාවන් වර්ධනය නිරන්තර ව කරනවා නම් ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්ව, අමතක වීමේ ගැටළු, මානසික ආතතියට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ආදී බොහොමයක් කෙරෙහි සාර්ථක ඵල ලබන්නට අවස්ථාව උදා වෙනවා. නිතර ම ළඟ තිබෙන ෆෝන් එකට එවන් ඇප් එකක් දාගත්තොත් නිකරුණේ ගත කරන කාලය මොළය වර්ධනයට යොදාගන්නට පුළුවන්.

Peak

ගේම් විශාල ප්‍රමාණයක් සහ ඒවායෙන් ලද ප්‍රගතිය දැකගත හැකියි (Google Play Store)

තනි ඇප් එකක් තුළ ගේම් 45කටත් වැඩි ප්‍රමාණයක් ගෙන එන මෙය විවිධ ආකාරවලින් මොළයට ව්‍යායාම දෙන්නට යොදා ගත හැකියි. කේම්බ්‍රිජ්, නිව්යෝර්ක් සරසවිය වැනි අධ්‍යාපනික ආයතනවල ද සහභාගීත්වය සහිත ව ගොඩනඟන ලද මෙය, ඕනෑම වයසක කෙනෙක්ට තමන්ගේ මොළය විවිධ අංශවලට පුහුණු කරවන්නට උපකාර වෙනවා. භාෂාව, මතකය, ගැටළු විසඳීම, හැඟීම් පාලනය ආදී ක්‍රීඩා මෙහි අන්තර්ගත වෙනවා. Play Storeහි 4.4ක rating අගයක් ලබා ඇති මෙය Editor’s Choice ඇගයුමට ද හිමිකම් කියනවා.

බාගන්න: Android | iOS

Elevate

විවිධ කුසලතා මට්ටම් දැකගත හැකියි (Google Play Store)

අවධානය, කථා කිරීමේ හැකියාවන්, යමක් විශ්ලේෂණය කිරීමේ හැකියාව, මතකය, ගණිතමය හැකියාවන් ආදී කුසලතාවන් රැසකින් මොළය පුබුදුවාලන්නට Elevate ඇප් එක දායක වෙනවා. මෙය ක්‍රීඩා කිරීමේ දී අපිට වඩාත් ගැළපෙන ආකාරයේ වැඩසටහනක් බවට ස්වයංක්‍රීය ව පත් වන නිසා දුර්වල තැන් වැඩිපුර වර්ධනය කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඥාණාත්මක හැකියා වර්ධනය හරහා ඵලදායීතාව, උනන්දුව මෙන්ම තමා පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගන්නට හැකියි. මෙහි දින 14ක Trial එකක් ලෙස හෝ සම්පූර්ණයෙන් නොමිලේ පාවිච්චි කරන්නට ද ආකාර දෙකක් ලබා දී තිබෙනවා.

බාගන්න: Android | iOS

Brainturk

Elevate your Brain Training නමින් Play Store එකෙහි යොදා ඇති මෙය, මොළය සම්බන්ධ පර්යේෂණ කරද්දී පර්යේෂක කණ්ඩායම් සහ ස්වාධීන පර්යේෂකයන් විසින් ද යොදා ගන්නා ඇප් එකක්. වැඩි කාලයක් අවධානය යොමු කරගෙන සිටීමට, කෙටිකාලීන හා දිගුකාලීන මතකය වැඩිදියුණු කරගැනීමට ඇතුළු මොළය ව්‍යායාම් කිරීමට අවශ්‍ය ක්‍රීඩාවන් රැසක් මෙය සතු වෙනවා. සම්ප්‍රදායික අංක සහ ඡායාරූප පමණක් සහිත පර්යේෂණමය ක්‍රීඩාවන්ගෙන් ඔබ්බට යමින්, සාමාන්‍යයෙන් අපි play කරන ගේම් එකක් වැනි අත්දැකීම් මෙය සතු නිසා මොළයට අමුතු වෙහෙසක් දැනෙන්නේ ද නැහැ. Dual-N-back, Flanker task, Neuro-racer, Tower of London යනු එහි ගේම් අතරින් කීපයක්.

බාගන්න: Android | iOS

Lumosity

ප්‍රහේලිකා, මතක වර්ධන ක්‍රීඩා, ගැටළු විසඳීම්, තර්කනය, ගණිතය, භාෂාව ආදී ක්‍රීඩා රැසක් එකතු කරගත් මෙය ඇන්ඩ්‍රොයිඩ් මත පමණක් 10,000,000කට වැඩි ප්‍රමාණයක් Install කරගත් ඇප් එකක්. Play Store හි 4.2ක rating අගයක් ලබා ඇති මෙය Editor’s Choice සඳහා ද හිමිකම් කියනවා. Mindfulness හෙවත් අපේ සිතට එන සිතිවිලි පිළිබඳ ව අවධානය යොමු කිරීම පිළිබඳ භාවනාවල එන ක්‍රමවේදය මේ ඇප් එකේ විශේෂාංගීකරණය කර තිබෙනවා. සිතිවිලිවලට වහල් වූ අයෙක්ට මොළයේ පාලනය තමන්ගේ අතට ගන්නට ඒ හරහා අවස්ථාව ලැබෙනවා. මෙහි ද තමාගේ දුර්වලතාවන් වෙනුවෙන් වෙහෙසකින් තොරව වැඩි අවධානයක් යොමු කරමින් පුහුණු වීමට හැකි ක්‍රමවේදයක් අඩංගු යි.

බාගන්න: Android | iOS

Memorado

මනස ඒකාග්‍ර කරන Audio track ද තිබෙනවා (Google Play Store)

මොළය ව්‍යායාම කිරීමේ ක්‍රීඩාවන් 30කටත් වැඩි ප්‍රමාණයකින් සමන්විත මෙය මනස ඒකාග්‍ර කිරීම සඳහා audio track සියයක් පමණ ද ගෙන එනවා. ක්‍රීඩාවන්ට මුහුණ දීමෙන් පසු තමන්ගේ වඩාත් දක්ෂතාවන් සහිත ක්ෂේත්‍රයන් හඳුනාගැනීමට මෙහි අවස්ථාව සලසා තිබෙනවා. එනිසා වැඩිදුර ඉගෙනීම සඳහා විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමේ දී තමාට වඩාත් උචිත දේ තෝරාගන්නට මින් ලැබෙන දත්ත ඔබට භාවිතයට ගන්නට පුළුවන්. Memorado සතු ක්‍රීඩාවන් Level 900ක් පමණ ගැඹුරට දිවෙනවා. Editor’s Choice වෙතට හිමිකම් කී මෙය නොමිලේ මෙන්ම Premium වෙළුමක් ලෙස ද ලබාගත හැකියි.

බාගන්න: Android | iOS

Brain It On!

භෞතික විද්‍යාව සමග ඔට්ටු වෙන්නට කැමති අයට මෙන්ම, ගණිත සූත්‍ර නිසා භෞතික විද්‍යාව එපා වුණු අයටත් එකසේ විනෝදය ගෙන එන ඇප් එකක් තමයි Brain It On කියන්නේ. ප්‍රහේලිකා ආකාරයට ගැටළු විසඳීමට ඇති මෙහි, දෙන ලද රූපමය ගැටළුවට වඩාත් ම උචිත විසඳුම සොයාගැනීම යි කළ යුත්තේ. භාජන තුළට ද්‍රව්‍ය ඇතුළත් කිරීම, වර්ණ අනුව බෝල වෙන් කිරීම, බිම තිබෙන පෙට්ටියක් ඉහළට එසවීම වැනි පහසු ලෙස පෙනෙන නමුත් හොඳින් මොළය වෙහෙසවන ගැටළු රැසක් මෙය සතු යි. අඩුම කාලයකින්, සරල ක්‍රමවේදයකින් විසඳූ විට වැඩිපුර ලකුණු රැස් කරගන්නට පුළුවන්.

බාගන්න: Android | iOS

මේ ගේම්වලින් ඔබ ලැබූ උපරිම ලකුණු ප්‍රමාණය කීය ද?

කවරය: mindful.org

Related Articles