Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ හොඳම Apple iOS ඇප්ස්

2019 අවසන් කාර්තුව වන විට App Store එක වෙත Apps 1,800,000ක් එක්ව තිබිණි. වසාරාවසානය සහ දශකයක අවසානය සනිටුහන් කරමින් ඒ මිලියන ගණනක් වූ Apps අතරින් හොඳම ඒවා තෝරාගන්නට කාලය එළැඹ තිබේ.

Apple සමාගම විසින් 2019 වසර තුළ දී Appsවල සාම්ප්‍රදායික ගමන වෙනස් කරමින්, වඩාත් නිර්මාණශීලීව සකසන ලද ඒවා වර්ගීකරණ කාණ්ඩ කිහිපයක් යටතේ තෝරනු ලැබීය. ඒවා මෙසේ යි;

මොබයිල් කැමරා ශිල්පය වෙනස් කළ Spectre Camera

AIවලින් බල ගැන්වූ සංස්කාරකයක් (apple.com)

iPhone සඳහා හොඳම App එක ලෙස තේරී පත් වූ මෙය, AIවලින් බල ගැන්වූ long exposure ඡායාරූප ගැනීම පහසු කරන්නකි. මීට පෙර “Editors’ Choice” ලෙස තෝරා පත් වුණු Halide Camera ඇප් එක නිර්මාණය කළ Lux Optics ආයතනය විසින්ම මෙය ද නිර්මාණය කර තිබේ.

දියපහරවල ජලය සුමටව ගලන ආකාරයට මෙන්ම පාරේ වාහනවල විදුලි ආලෝක යොදාගෙන කරන Long Exposure ඡායාරූපකරණය මෙමඟින් පහසුවෙන් සැකසිය හැකියි.

ප්‍රසිද්ධ ස්ථානයක ගන්නා ඡායාරූපවල ඇති වන ප්‍රධාන ගැටළුවක් නම්, අවට සිටින ජනයා නිසා ඡායාරූපයේ වටිනාකම අඩු වීම යි. මෑතක දී ආ Photoshop Elements මෘදුකාංගය සතුව එවන් බාධක ඉවත් කිරීමේ විශේෂාංගයක් තිබිණි. Spectre Camera ඇප් එකට පාරේ ඇති (කුඩා ප්‍රමාණයේ) වාහන පවා ඉවත් කළ හැකියි.

Spectre Camera ඇප් එක iPhone XS සහ iPhone XR සමග වඩාත් හොඳින් ක්‍රියාත්මක වේ.

බාගන්න: Spectre Camera

Apple Pencil වෙත ආලෝකයක් වූ Flow

රිසි සේ නිර්මාණශීලීත්වය විදා හරින්න (apple.com)

ඇපල් සමාගමේ Stylus නිෂ්පාදනය හෙවත් Apple Pencil එක iPad මෙන්ම iPhone X සඳහා ද ක්‍රියා කරයි. ඉන් උපරිම ඵල ලැබිය හැකි ආකාරයේ App එකක් වන Flow ඇප් එක මේ වසරේ හොඳම iPad සඳහා වූ ඇප් එක ලෙස තේරී පත් වී තිබේ. මෙය සකසා ඇත්තේ විදෙස් රටවල සටහන් පොත් නිෂ්පාදකයකු ලෙස නම් දරා ඇති Moleskine ආයතනය යි.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ විවිධ පෑන්, පැන්සල්, පින්සල් ආදිය පමණක් නොව කඩදාසියේ ස්වභාවය ද තෝරාගත හැකි වීම යි. ඇඳීමේ දී කඩදාසිය සීමාවක් නැතිව දිගහැරෙන නිසා බාධාවකින් තොරව නිර්මාණකරණයේ යෙදිය හැක. අවශ්‍ය පරිදි වර්ණ සහිතව Toolbox එකක් සකසා ගත හැකි ය. Lasso Knife වැනි Tools එය සාම්ප්‍රදායික Drawing appsවලින් ඔබ්බෙහි තබයි.

(මෙය නොමිලේ භාවිතා කළ හැක්කේ දින 7ක් පමණි.)

බාගන්න: Flow by Moleskine

රාජධානි හරහා පියඹා යන්න- Sky: Children of the Light

අභිරහස් විසඳමින් ඉදිරියට ඇදෙන්න (apple.com)

මීට පෙර Editors’ Choice බවට පත් වූ සහ 2013 වසරේ හොඳම ගේම් එක වූ Journey හි නිර්මාණකරුවන් වන ThatGameCompany ආයතනය විසින් Sky: Children of the Light මොබයිල් ක්‍රීඩාව සකසා තිබේ. එය, 2019 වසරේ හොඳම iPhone සඳහා වූ Game එක ලෙස කිරුළු පළඳන්නට සමත් විය.

රාජධානි 7ක් පුරාවට සැරිසරමින් අභිරහස් විසඳීමට, තම චරිතයට රිසි පරිදි වෙනස්කම් කරන්නට, අනෙකුත් Playersලා සමග මිතුරුදම් වර්ධනය කරගැනීමට මෙහි අවස්ථාව ලැබේ. කලාත්මක ග්‍රැෆික්වලින් යුත් මෙය, Portalsවලින් ගමන් කිරීම, පියඹා යාම, ඉටිපන්දම් දල්වමින් ගල්මත ඇති සිතුවම් මතු කරගැනීම වැනි ත්‍රාසජනක අත්දැකීම් රැසක් සමග වෙනස්ම ලොවකට ඔබව ගෙන යනු ඇති.

නොමිලේ බාගත කරගත හැකි මෙයට ඩේටා 232.8 MBක් වැය වේ. Android සඳහා ද මෙය පැමිණීමට නියමිත ය.

බාගන්න: Sky: Children of the Light

ආලෝකයේ වේගය ඇති සටන්කරුවෙක්- Hyper Light Drifter

වේගවත් සටන්කරුවෙක් වන්නට අවස්ථාව (apple.com)

8-bitවලට සමාන ග්‍රැෆික්ස් ඇති ත්‍රාසජනක ගණයේ Hyper Light Drifter ගේම් එක iPad සඳහා හොඳම Game එක ලෙස තේරී පත් විය. මීට පෙර ද එය Game Informer හි 9.5ක් වැනි ඉහළ Ratings සහ සම්මානයන්ට පාත්‍ර වී තිබේ. 

අභිරහස්වලින් පිරුණු සිතියමක් පුරාවට සැරිසරමින්, නව ආයුධ එක්රැස් කරමින්, එක්වර පහර දෙන සතුරු කණ්ඩායම්වලට පහර දෙමින් අඳුරු ඝන වනාන්තර, ගොඩනැගිලි නටබුන් අතරින් ඉදිරියට ඇදෙමින් ත්‍රාසයෙන් පිරි අත්දැකීමක් ලබන්නට Hyper Light Drifter සමග අවස්ථාව ලැබේ. වේගයෙන් එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම (Drift කිරීම) මේ සටන්කරුවාගේ ප්‍රධාන හැකියාව යි.

iPad Pro මත මෙහි 120 fps අත්දැකීමක් ලද හැකි වේ. බාගත කරගැනීමට $4.99 හෙවත් රුපියල් 900ක් පමණ වැය වේ.

බාගන්න: Hyper Light Drifter

අතරමං වූ යුවතිය- Gris

හැකියාවෙන් පිරිපුන් යුවතියක් (apple.com)

ග්‍රිස් යනු ජීවිතයේ වේදනාකාරී අත්දැකීම් සමග පොර බදන, අහිමි වූ බලාපොරොත්තු සහිත තරුණියකි. ඇගේ ඇඳුම ඒ ශෝකාන්විත කතාව විදහා දක්වන අතර, එමඟින් ඇයට සුපිරි බලයක් ලද හැකි වෙයි. ක්‍රීඩාවේ ඉදිරියට යත්ම, ඇය තමාගේ හැඟීම් වෙනස් කරගනිමින් ලෝකය දෙස වෙනස් මානයකින් බලන්නට පටන් ගන්නා අතර ඒ සමග ඇයට නව බලයයන් එක් වෙයි.

ක්‍රීඩාව ආරම්භයේ දී වරක් උඩපැන පොළො‍වට පතිත වීමේ දී වැඩි බරක් ජනනය කිරීමට ඇයට හැකිය. ගමන් කිරීමට ඇති මාර්ගය ප්‍රහේලිකාවක් විසඳනවාක් තරම් අපහසු ය. ඇතැම් අවස්ථාවක මාර්ගය එතැනින් අවසන් යැයි පෙනුණ ද, උපායශීලීව ඇගේ බලය භාවිතා කරමින් මාර්ගය වෙනස් කරගැනීමට අපට සිදු වේ.

2019 වසරෙහි හොඳම Mac පරිගණක ක්‍රීඩාව ලෙස නම් දරන්නට සමත් වූ මෙය iOSවල පවා ධාවනය කළ හැක්කකි. බාගත කරගැනීමට $4.99 (රු. 900 පමණ) වැය කරන්නට සිදු වේ.

බාගන්න: GRIS

මේ, ඇපල් සමාගම මේ වසර සඳහා තෝරාගත් ඒවා යි. ඒ හැර ඔබ අත්විඳි අලුත් Apps මොනවාද?

කවරය: apple.com

මූලාශ්‍රය: apple.com/newsroom

Related Articles