Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Call of Duty මොබයිල් සඳහා ඉඟි සහ උපක්‍රම

ළමා දිනයත් සමගම නිකුත් වුණු Call of Duty mobile ගේම් එක හැම කෙනෙක් තුළම සිටි CoD රසික කුඩා දරුවාව නැවත පිබිදුවා. Modern Warfare, Black Ops ආදියේ තිබූ සිතියම් මෙන්ම, පරිගණක ක්‍රීඩා ශ්‍රේණිය සතුව තිබූ විශේෂාංග හා ඊටත් වඩා දේවල් සමග එය අප සැවොම නවමු මානයකට ‍ඔසවා තැබුවා.

ඉතා ඉහළ ග්‍රැෆික් නිමැවුම දිහා බලද්දී ඔවුන් දැරූ මහන්සිය හොඳින් පෙනෙන අතර, එසේ තිබියදීත් එය නොමිලේ සැමට ලද හැකි වූ නිසා ඉතාම ශීඝ්‍රයෙන් එය ජනගත වූවා. ඔබ අලුතින් CoDවලට එක් වූ‍ කෙනෙක් නම්, මේ දේවල් ඔබේ ක්‍රීඩා හැකියාවන් ඔප් නංවාවි.

Multiplayer සඳහා පුහුණු වීම

Practice vs AI තෝරන්න.

ඔන්ලයින් ගේමිංවල Multiplayer සඳහා ඇතැමුන් පසුබට වීමට එක් කාරණයක් වන්නේ Noob (ආධුනිකයන්) සහ Pro (පළපුරුදු ඇති අය) ලෙස කොටස් දෙකකට බෙදී සිටීම යි. ඉතා සුළු හෝ වැරැද්දක් ආධුනිකයෙකු අතින් සිදුවුවහොත් වොයිස් හෝ චැට් එකෙන් හොඳහැටි අහගන්නට සිදුවේ.

CoD Mobile අලුතින් ආ නිසා එහි Controlsවලට හැමෝම නූබ් ලා ය. එබැවින් මේ ගැටළුව මඳක් අවම නමුත් ඔබට සත්‍ය යුද්ධයකට පෙර, වැඩි වැඩියෙන් පුහුණු වීමට අවස්ථාවක් ගේම් එක තුළින් ම ලබා දී තිබේ. ඒ, Practice vs AI ආකාරය යි.

එහි දී Botලා සමඟග සටන් වැදීමට අවස්ථාව ලැබේ. එයට පිවිසීම සඳහා Multiplayer වෙත ගොස්, දකුණුපස යටින් ඇති ගේම් වර්ගය තෝරන බොත්තමින් ලැබෙන Fronilne, Team Deathmatch ආදිය සහිත මෙනුවෙහි අවසාන අයිතමය වන Practice vs AI තෝරා රිසිසේ පුහුණු වන්න. කෙසේ වෙතත්, මෙය පූල් එකේ පිහිනීම වැනි නිසා මුහුදු රළට ම බැස එනම්, සත්‍ය ක්‍රීඩකයන් සමගම තරග වැදීමෙන් තමයි ඔබට වඩාත් හොඳ පුහුණුවක් ලද හැකි වන්නේ.

ඩ්‍රෝනවල සහාය ලබාගන්න

BR සඳහා Mechanic ඩ්‍රෝනය

Battle Royale ආකාරයේ දී Loadout වෙතින් Mechanic තෝරාගත් විට ඔබට ඩ්‍රෝනයක් ලැබෙයි. මෙය මුදාහැරි විට විදුලි ධාරා මඟින් සතුරන්ට බලපෑම් කරමින් ඔවුන්ව කෙටි කාලයකට අඩපණ කර තබයි.

Multiplayer ආකාරයේ දී තුවක්කුව ‍පමණක් නොව, ගුවන් ප්‍රහාර හා හෙලිකොප්ටර් වැනි වෙනත් සහායයන් ද ලබා ගැනීමට හැකියාව CoD පරිගණක ක්‍රීඩාවේ දී තිබුණි. මෙය මොබයිල් ගේම් එකටත් ලබා දී ඇත. ඔබ මිය නොයා එක දිගට ලකුණු රැසක් රැස් කළහොත් තිරයේ යට, වම්පසින් නව බොත්තම් කිහිපයක් රත්‍රං පැහැයෙන් සක්‍රීය වනු දකින්නට ලැබේවි.

ප්‍රථමයෙන් ලැබෙන්නේ UAV ඩ්‍රෝන පහසුකම යි. පරිගණක ක්‍රීඩාවේ දී මෙන්ම මෙමඟින් සතුරන් සිටින ස්ථානය සිතියමේ පෙන්වීමට පටන් ගන්නා අතර, මොබයිල් ගේම් එකේ විශේෂත්වය වන්නේ එය සක්‍රීය කළ පසු වෙනත් අයගේ Killsවලින් අපටත් සහයෝගීතා ලකුණු ලැබීම යි.

ScoreStreaks වෙනස් කරගත හැකියි. (activision.com)

මුල් කාලයේ දී ලැබෙන Predator missile එක මඟින් පරිගණකයේ මෙන්ම සිතියමේ එක් තැනකට මිසයිල ප්‍රහාරයක් එල්ල කොට Kills 1ක්, 2ක් පමණ ගත හැකි වෙයි. Hunter Killer ඩ්‍රෝන් එක මඟින් සතුරන් පෙනෙන මානයක දී ඩ්‍රෝනය අහසට යවා ඉන් Kill එකක් පමණ ගත හැකි වෙයි.

Rank එක වැඩිවත්ම, මේවා ඔබට ScoreStreaks වෙත ගොස් වෙනස් කරගත හැකි අතර, ඉන් මේ වෙනුවට Care package, ස්වයංක්‍රීයව ක්‍රියා කරන ස්ථාවර තුවක්කු පවා ලද හැකි වෙයි.

තුවක්කු ආම්පන්න සක්‍රීය කරගැනීම

Card එක් කරන විට කොළ පැහැයෙන් වැඩි වීම දක්වයි.

පරිගණක ක්‍රීඩාවේ දී අප පාවිච්චි කරන තුවක්කුවට සයිලන්සරයක්, රෙඩ් ඩොට් එක ආදිය රෑන්ක් එක ඉහළ යත් ම ලැබෙන නමුත්, Mobile එකේ එය වෙනස් ය. මෙහි ඒ වෙනුවට අපට Weapon Cards ලැබේ.

එහි ඇති වාසියක් වන්නේ ක්‍රීඩාවට අවශ්‍ය ලෙස නොව, අපට ඕනෑ හැටියට ගිනිඅවිවල හැකියාව වර්ධනය කරගත හැකි වීම යි. ඒ සඳහා Loadout වෙත ගොස්, Primary weapon එක මත ටැප් කර, දකුණු පස යටින් ම ඇති Upgrade යන බොත්තම ටැප් කරන්න. එවිට ලැබෙන තිරයෙන් ඔබට එක්රැස් කරගත් කාඩ්පත් යොදමින් තුවක්කුව Upgrade කළ හැක.

කාඩ් එක් කරන විට එහි හැකියාව වැඩි වන ආකාරය යට ඇති කොළ පැහැති Progress bar එකකින් පෙන්වනු ලබයි. කොළ පැහැති කාඩ්වලින් එය මඳ වශයෙනුත්, නිල් කාඩ්වලින් මධ්‍යමවත්, දම් පැහැ කාඩ් ඉතා වැඩි ප්‍රමාණයකිනුත් Upgrade කිරීමට දායක වේ. අවශ්‍ය කාඩ්පත් සංඛ්‍යාව යොදා Upgrade බොත්තම ටැප් කරන්න. Laser sight, Grip ආදී අමතර පහසුකම් එක්වන්නේ එලෙස Upgrade වන මට්ටම්වල දී යි.

නිකං දෙන දේවල් මතක ඇතුව එකතු කරගන්න

Battle Pass, Event Detail ආදියට ගොස් එකතු කරන්න.

Asphaltවල වගේ ම CoD mobile හි දීත් දෛනිකව සහ විවිධ හැකියාවන්, ක්‍රීඩා කාලයන් සම්පූර්ණ කරන විට විවිධ දේවල් නොමිලේ ලැබෙයි. මේවා ගේම් එකේ මෙනුව තුළ සැඟව ඇති අතර අප සෑම අස්සක් මුල්ලක් නෑර ම ගොස් ඒවා එකතු කරගත යුතු වෙයි.

ගේම් එකට පිවිසුණු පසු වම් පැත්තෙහි ඇති Lighting Up the world, Season ආදී ‍‍බොත්තම් (මේවා නිතර වෙනස්වන නිසා වෙනත් නම් තිබිය හැකියි) ටැප් කර ඒවා තුළ ඇති අනු-කොටස් (Battle pass, Event detail) වෙත පිවිසුණු විට Claim කිරීම සඳහා බොහෝ දෑ එක්රැස්ව තිබෙනු දැකගත හැකි වේවි. මේවායේ Weapon cards පවා අන්තර්ගත වේ.

වෙළඳ දැන්වීම්වලින් ලැබෙන දේ Inventory වෙත එක් වේ.

එසේම දකුණු පස ඉහළ ඔබේ ප්‍රොෆයිල විස්තර කොටුවට ආසන්නයෙන් රත්‍රං පැහැති වීඩියෝ අයිකනයක් තිබේ. ඉන් ඔබට විනාඩි 5-10කට පමණ වරක් (සීමා සහිතව) Ads නරඹා ත්‍යාග ලද හැකියි. ලැබෙන දේවල් Mailbox එකට යැවේ. තිරයේ ඉහළ ඇති ලියුම් කවර අයිකනයෙන් ඊට පිවිස, තෑග්ග Claim කරගන්න. දැන් Loadout හි Inventory (අවසානයට ඇති බෑගයක් වැනි අයිකනය) වෙත පිවිස එම පෙට්ටි විවෘත කරගත් විට යි ඔබට ඒවා නිසි පරිදි ලැබෙන්නේ.

Controls භාවිතය

Advanced mode මඟින් රිසි සේ වෙනස් කරගත හැකියි. (gamepress.gg)

පරිගණකයේ කීබෝඩ් එකෙන් ක්‍රීඩා කළ කෙනෙක්ට ෆෝන් එකේ Soft Keyවලින් ක්‍රීඩා කරන්නට සිදුවීම ගෑරුප්පුවකින් බත් කනවා වගේ යි. මෙයට විසඳුමක් CoD සතුව තිබෙනවා.

ගේම් Settings වෙත පිවිසුනු විට Controls යටතේ ඇති Advanced mode එක තෝරන්න. එහි Custom Layout ටැප් කළ පසු ඔබට තිරය මත ඇති බොත්තම් එහා මෙහි කිරීම, ප්‍රමාණය අඩු-වැඩි කිරීම ආදී ලෙස ඔබට වඩාත් සුදුසු ආකාරයට සකසා ගන්න. Default ලැබෙන aim බොත්තම ඉතා කුඩා නිසා හදිසි අවස්ථාවක දී එය ටැප් නොවීම මුළු කණ්ඩායමට ම අවාසියක් විය හැකියි.

වේග‍යෙන් දිවීම (sprint) සඳහා වම්පස ඇති joystick එකෙහි මඳක් ඉහළට swipe කරගෙන ඉන්න. එය තව දුරටත් ඉහළට swipe කළ විට Lock ‍වන නිසා දිගටම අල්වාගෙන සිටිය යුතු නොවෙයි. එවිට ඔබට නිදහසේ ඉලක්කය ගැනීම ගැන පමණක් සිත යොමන්නට හැකියි. එය අන්ලොක් කිරීමට රවුමේ යට කෙළවරින්, පහළට Swipe කරන්න. 

MP සහ BR තෝරා වෙන වෙනම වෙනස් කළ යුතු යි.

දුවන අතරතුරේ වාඩි වීම (crouch) ටැප් කළ විට නැවී ලිස්සා යා හැකියි. එවිට උණ්ඩවලින් බේරීම (Matrix වගේ), සතුරාගේ ඉලක්කය වෙනස් කිරීම ආදිය කළ හැකියි. Crouch බොත්තම ටික වේලාවක් තද කරගෙන සිටි විට බිම දිගා වීම සිදුවේ.

Settingsවල Basic ටැබ් එකට පිවිසීමෙන් තනි ක්ලික් එකකින් Grenade විසි කිරීම, Gyroscope සහාය ඇතුළු පුළුල් පහසුකම් රැසක් ලද හැකිවේ. මේවා සැකසීමේ දී MP mode හෙවත් Multiplayer mode එකට වෙනමත්, BR mode හෙවත් Battle Royale mode එකට වෙනමත් Settings යෙදවෙන නිසා ඒ අනු-ටැබ්වලටත් පිවිස ඔබට අවශ්‍ය සැකසුම් කරගත යුතු යි.

Battle Royale සඳහා උදව්වක්

BR සඳහා ඇති Classes

CoD ලොවට අලුත්ම හඳුන්වාදීමක් වන Battle Royale ආකාරය මොබයිල් වෙත එක්වන්නට ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ PUBG ලැබූ ඉහළ ප්‍රසිද්ධිය බව අනුමාන කළ හැකියි. මේ සඳහා චරිත තෝරාගැනීමේ දී පහත දේවල් ඔබට ලැබේ.

Defender: මොවුන්ට ඉදිරියෙන් තබා ගැති (බංකරයක් බඳු) ආවරණයක් ලැබෙන නිසා එළිමහනක වුව මුවා වී සිටීමට හැකි වේ. එසේම, උණ්ඩ හැර වෙනත් පහරදීම්වලින් ආරක්ෂා වීමට ශක්තියක් ල‍ැබේ.

Mechanic: මෙය තෝරාගත් විට වාහන, වෙනත් උපකරණ ආදිය විනිවිද දැකීමේ හැකියාව ලැබේ. පෙර සඳහන් කළ පරිදි, ඔබට ලැබෙන ඩ්‍රෝනයෙන් සතුරකු අඩපණ කොට තැබිය හැකියි.

Scout: මෙහි දී sensor dart එකක් යොමු කර එය අවට සිටින සතුරන් හඳුනාගැනීමට හැකි වේ. එසේම, Tracker හැකියාවන් නිසා සතුරු අඩි සලකුණු ආදිය දැකිය හැකියි.

Clown: මොවුන්ට Zombieලා නිකුත් කිරීමේ හැකියාව පවතී. එවිට සතුරන් පසුපස ලුහුබඳිමින් තමාට වඩා පහළ මට්ටමින් සිටින්නන් වෙත පහර එල්ල කිරීමට Zombieලාට හැකි වන අතර, ඒ අතරතුර ඔබට සතුරු පෙදෙසින් ඉවත්ව යාමට කාලය ලැබෙයි. එසේම, වෙනත් Clownලා මුදාහරින Zombieලාගෙන් ආරක්ෂා වීමට ද හැකියි.

Medic: වෙඩි වැදුණු විට තමාට ඉක්මනින් heal වීමටත්, Medical station එකක් සකසා අවට සිටින මිතුරන්ව heal කිරීමටත් මොවුන්ට හැකියි. එසේම මියගිය සාමාජිකයකුට නැවත පණ දීමට ද ගත වන්නේ අඩු කාලයකි.

Ninja: ඇවිදීමේ දී අඩු හඬක් නැඟීමත්, Hook එකක් (කොක්කක්) විසි කර ඒ හරහා තවත් තැනකට ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාවත් මෙමඟින් ලැබේ.

Battle Royale හි දී තවත් සිහිතබා ගත යුතු කරුණක් නම්, හෙලිකොප්ටර් භාවිතය යි. මෙහි සියල්ලන්ටම හෙලිකොප්ටරයක නැඟී ඉතා පහසුවෙන් සතුරන්ට පහළ එල්ල කළ හැකි නමුත්, සතුරෙකුගේ කෙටි ප්‍රහාරයකින් හෙලිකොප්ටරය විනාශ වුවහොත් මුළු කණ්ඩායම ම මරුමුවට පත් වේ.

ඉතින්, ඔබ මේ වන විට සිටින Rank එක කොතන ද? ලබා ඇති මෙඩ්ල් මොනවාද? Screenshot එකකින් ඔබේ හැකියාවන් පෙන්වන්නට අවස්ථාව යි මේ.

මූලාශ්‍රයයන්:

  • YT/Ibe
  • YT/ParkerTheSlayer
  • YT/ExxotikGaming
  • gqindia.com
  • whatculture.com

කවරය: pocket-lint.com

Related Articles