Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Windows 10වල App සහ Program අතර වෙනස මොකක්ද?

වින්ඩෝස් 10 එන්න කලින් පරිගණක මෘදුකාංග, ක්‍රමලේඛ එහෙමත් නැත්නම් කටවහරේ දී Programs යන වචනය අප නිතරම පාවිච්චි කළා. Windows 98, XP ආදියේ All programs නමින් මෙනු අයිතමයක් පවා තිබුණා. පසුව ඇන්ඩ්‍රොයිඩ්, iOS වැනි උපාංග භාවිතයට එක් වීමත් සමග ඒවායේ තිබූ මෘදුකාංගවලට අපි කියන්නේ ‘යෙදුම්’ හෙවත් Apps කියා යි.

මෙහෙම ඉන්නා අතරතුරේ එක්වරම Androidවලට Play Store වගේ වින්ඩෝස් 10 සමග Microsoft Store එකක් ආවා. එහි තිබුණු මෘදුකාංග නම් කර තිබුණේ Apps යන නමින්. එතකොට අප Install කරපු Chrome වැනි Programsවල සහ මේ අලුතින් ආපු Appsවල වෙනස මොකක් ද?

ඒවායෙන් අදහස් වන්නේ මොකක්ද?

Apps සැකසීමට UWP අවශ්‍යයි (windowscentral.com)

Program එකක් කියන්නේ මෘදුකාංගයක් හෝ ක්‍රමලේඛකයක්. App කියන වචනය හැදිලා තිබෙන්නේ Application යන්න කෙටි වීමෙනුයි. යෙදුමක් (Application) හෝ App එකක් කියන්නේත් ක්‍රමලේඛයක් හෙවත් Program එකක්. මේ දෙකෙහි වාච්‍යාර්ථ වෙනස නම්, සෑම App එකක්ම Program එකක් වන අතර, සියළුම Programs; Apps නොවේ.

Program එකක් හෝ කිහිපයක එකතුවක් වන Appවලින් සිදු වන්නේ පරිශීලකයාට කිසියම් කර්තව්‍යයක් කරගන්නට උපකාර කිරීම යි. සාමාන්‍ය Windows app එකක් බිහි වන්නේ Windows 10 සමගම හඳුන්වා දුන් Universal Windows Platform (UWP) නම් වූ විවෘත කේත API එකක් මත යි. නූතනයේ Windows 10 මෙන්ම Xbox, HoloLens ආදී Plaformවල පවා ධාවනය වන යෙදුම් UWP මත පදනම් වෙනවා. මෙය Windows Mobileවලටත් අදාල නමුත් එය දැන් මියගොස් ඇති නිසා ලැයිස්තුවට එක් කරගන්නට බැහැ.

වැඩිදුර කියැවීමට: Windows phone මළ බව බිල් ගේට්ස් තහවුරු කරයි?

Program සකසනු ලබන්නේ විශේෂිත Platform එකක (මෙහිදී, Windows) ධාවනය වීමට වන අතර Windows Apps සකසා ඇත්තේ Microsoft සමාගමේ Platforms අතරින් එකකට වඩා වැඩි ප්‍රමාණයක වුව ධාවනය වීමට හැකි වන පරිදි යි. Android Apps ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල මෙන්ම Chromebookවල පවා ධාවනය වන්නේ මේ ආකාරයටම යි.

භාවිතා වන භාෂාවන් සහ API

UWP වලින් App එකක් සකසමින් (microsoft.com)

Program එකක් කියන්නේ පරිගණකය සඳහා සපයන උපදෙස් සමූහයක්. මෙම උපදෙස් සැපයීමට පරිගණක භාෂාවක් අවශ්‍ය වෙනවා. සකසන මෘදුකාංගයේ ස්වභාවය අනුව භාෂාව තීරණය කරන්නාක් වගේම පහසුවෙන් සැකසීම සඳහා ඊට යොදාගන්නා API එකත් තීරණය කළ යුතු වෙනවා.

ඔබ පරිගණක ක්‍රමලේඛ ලිවීම පිළිබඳව උනන්දුවක් නොදක්වනවා නම් මේ කොටස අතහැර කියවන්න.

වින්ඩෝස් හරහා පරිගණක දෘඪාංග (hardware) සමග කටයුතු කිරීමට මෘදුකාංගයක් සකසද්දී Win32 API හෙවත් Windows API එක තෝරාගත යුතු වෙනවා. එමගින් C/C++ යොදා ගනිමින් දෘඪාංග වෙත ඍජු සබඳතාවක් නිදහසේ ලබා ගත හැකි වෙනවා. ඊට අමතරව, මධ්‍ය මට්ටමේ මෘදුකාංග සඳහා යොදා ගන්නේ Windows Forms හෝ Windows Presentation Foundation (WPF) හෝ නමැති API දෙක යි. ඒවා .NET මත පදනම්ව ඩෙස්ක්ටොප් ක්‍රමලේඛ සැකසීමට අවශ්‍ය UI සහයෝගය ලබා දෙනවා.

UWP මඟින් ලබාදෙන UI මෙවලම් (microsoft.com)

මේ දෙකෙන් නූතනයට වඩාත් ගැලපෙන්නේ WPF වන අතර, XAML පහසුකම සමග Apps සැකසීමට ගන්නා UWP වෙත පිවිසීමේ පහසුව ද එය ලබා දෙනවා. C#, C++, F#, VB වැනි භාෂාවන් ඒවායේ භාවිතයට ගන්නවා.

පෙර කොටසෙහි සඳහන් කළ පරිදි UWP කියන්නේ, Apps සැකසීම සඳහා වූ නවතම API එක යි. එහි ද XAML භාවිතා වන අතර Graphics සඳහා වැඩි අවධානයක් යොදන මෘදුකාංග සඳහා වඩාත් සුදුසු වෙනවා. මෙය හරහා ඍජු UX භාවිතයට WinRT API වෙත පිවිසෙන්නටත් පුළුවන්. අනෙක් API මෙන් නොව, මෙහි ටච් කිරීම්, ගේම් පෑඩ් ආදියට පවා මෙහි පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්.

Programs සහ Apps ක්‍රියා කරන ආකාරය

Windows 98 සඳහා සැකසූ වැනි පැරණි Installerවල නිල් පැහැති පසුබිම් වින්ඩෝවකුත් තිබුණා මතකද? (imgur.com)

සාමාන්‍යයෙන් අපි Program එකක් Install කරද්දී එහි .msi වැනි Installer එකක්, Wizard එකක් තිබෙනවා. ඒවා CD/DVDවලින් හෝ අන්තර්ජාලයෙන් බාගත කරගත හැකියි. Install කරද්දී Wizard එක හරහා එය ස්ථාපනය වන්නේ කොතැනට ද, Desktop Shortcut එකක් අවශ්‍ය ද, මෘදුකාංග සංවර්ධකයාගේ Agreement එක කියවන්නේම නැතිව Yes, I accept කියා හරි ලකුණක් දමා Next කිරීම වැනි මහා ක්‍රියාවලියකින් අනතුරුව යි අපට මෘදුකාංගය ලැබෙන්නේ.

නමුත් Microsoft Store එකෙන් පමණක් ගත හැකි Appsවලට හුදෙක් කළ යුත්තේ “Get” බොත්තම ක්ලික් කිරීම පමණයි. ඉන්පසු එය බාගත වී ස්ථාපනය වන අතර Programs මෙන් අන්තර්ජාලය නොමැතිව එනම්, මිතුරකුගෙන් ඉල්ලාගෙන හෝ පෙර බාගත කරගත් Setup එකකින් ඒවා නැවත ස්ථාපනය කරගන්නට බැහැ. Uninstall කිරීමේ දීත් Programs සඳහා Control Panel එකට යා යුතු නමුත් Appsවල නම්, Start Menu එකෙහි ඇති App එකේ නම right click කර Uninstall ක්ලික් කිරීම පමණ යි කරන්නට ඇත්තේ.

ක්‍රියාත්මක වීමේදී Appsවලට අනිවාර්යයෙන් අතුරුමුහුණතක් (UI) තිබෙනවා. පරිශීලකයා තමන්ගේ කටයුතු කරගැනීමෙන් පසු Close කළවිට එහි ජීවය නැතිව යනවා. නමුත් Programවලට UI එකක් තිබීම අත්‍යාවශ්‍යම නැහැ. ඔබ Task Manager එක විවෘත කළොත් එහි Program විශාල ප්‍රමාණයක් අපිට නොපෙනී ධාවනය (Background run) වෙනවා. Windows App එකකටත් Background run වෙන්න පුළුවන්, ඒත් එයට Minimize වීම ලෙස හැඳින්වීම යි වඩාත් සාධාරණ වන්නේ.

Apps සහ Programs අතර සමානකම්

එකම Game එක, Program එකක් ලෙස මෙන්ම Apps එකක් ලෙසත් දැන් තිබෙනවා (microsoft.com)

App එකකින් කරන්නේ තනි අතුරුමුහුණතක් මගින්, ඇතැම්විට Programs කිහිපයකින් පවා කරගත හැකි සේවාවක් පරිශීලකයාට සේවයක් සැපයීම යි. උදාහරණයක් ලෙස, PDF කියවීමට සහ වෙනත් ෆයිල් PDF බවට convert කරන්නට ද හැකි තනි App එකක් තිබිය හැකියි. සාමාන්‍යයෙන් ඊට Programs දෙකක් අවශ්‍ය වෙනවා. මේ නිසා යි අප මීට පෙරත්, App එකක් යනු Program එකක්ම බව සඳහන් කළේ.

Program එකක ක්‍රියාකාරීත්වයටත් තවත් Programs අවශ්‍ය වෙනවා. Windows කියන්නේ Programs සහ Apps රැසක එකතුවක්. RAM, CPU, HDD/SSD ආදී දෘඪාංග සමග කටයුතු කිරීමට මෘදුකාංගවලට එය ඉඩ සලසනවා. ඒ වගේම, App එකක ක්‍රියාකාරීත්වයටත් මූලිකව Programs අවශ්‍ය නොවුණත් Programs නැතුව එයට පැවැත්මක් ද නැහැ.

උදාහරණයක් ලෙස Microsoft Store එකෙන් Asphalt 8 වැනි ගේම් එකක් අපි දාගත්තොත්; එයට වෙනත් Program සමග සම්බන්ධ නොවී අපට හුදෙක් Game එක රසවිඳින්නට අවස්ථාව දෙන්න පුළුවන්. එනමුත් එය Open වීමට නම් Windows මෙහෙයුම් පද්ධතියේ ඇති Start Menu එක සහිත Explorer එකෙහි සහාය, Runtime Broker එකක් ආදී දේවල්වල සහාය අවශ්‍ය වෙනවා.

Apps කියන්නේ තවත් Program වර්ගයක්

Mac පරිගණකවලටත් App Store එකක් පෙර පටන්ම තිබුණා (aolcdn.com)

අපි මඳකට Windows Appsවලින් බැහැරව සිතුවොත්, App එකක් Web app, Mobile app ලෙසත් කොටස්වලට බෙදෙනවා. Gmail කියන්නේ gmail.com වෙතින් පිවිසිය හැකි වෙබ් ඇප් එකක්. ඒ වගේම අපට එය දුරකතනයේත් Mobile app එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. නමුත් තවමත් Gmail වින්ඩෝස් ඇප් එකක් ලෙස සකසා නොමැති නිසා අපට එය Chrome වැනි බ්‍රවුසරයක් නොමැතිව Windowsවල ධාවනය කරන්නට බැහැ. එනම්, Web app එකක ධාවනයට බ්‍රවුසරය නමැති Program එක අවශ්‍ය වෙනවා. බ්‍රවුසරයට අපේ RAM එක කා දමන්නට කර්නලය නමැති Program එක අවශ්‍ය වෙනවා.

ඒ අනුව, Apps යන Programsවලට අමතරව පරිගණකයේ ධාවනය වන Programs රැසක් තිබෙනවා. පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කර්නලය, Start menu එක දිස්වීමට හා ෆයිල් බැලීමට උපකාරී වන Explorer, බ්‍රවුසරය පමණක් නොව සැහැසිකේත (Malware එහෙමත් නැත්නම්, වෛරස) කියන්නේත් Program විශේෂයක්. මූලික ම වෙනස, Appsවලට UI එකක් අනිවාර්යයෙන්ම තිබීම යි.

කවරය: mspoweruser.com

Related Articles