Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොහෝ දෙනෙක් දන්නා යූටියුබ් ගැන වැඩි දෙනෙක් නොදත් කරුණු කිහිපයක්

වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල අතර ප්‍රමුඛ ස්ථානයක් “යූටියුබ්” (YouTube) ජාලයට හිමි වේ. 2005 දී ආරම්භ වූ එය 2022 වසර තුළ වැඩියෙන් ම බාගත කර ඇති ජංගම දුරකථන යෙදවුම ලෙස වාර්තා අතරට එක් විය. අධ්‍යාපනය, ඉවුම් පිහුම්, සංගීතය, කලාව, ආගම් සහ සංස්කෘතිය වැනි විවිධ තේමා ඔස්සේ නිර්මාණය කළ වීඩියෝ පට නැරඹීමට බිලියන ගණනක් වන යූටියුබ් පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

බොහෝ දෙනෙක් දන්නා යූටියුබ් පිළිබඳව වැඩි දෙනෙක් නොදත් කරුණු කිහිපයක් පිළිබඳව යි මේ ලිපිය.

වැලන්ටයින් දිනයක එළිදැක්වූ යූටියුබ්

2005 පෙබරවාරි 14, එනම් වැලන්ටයින් දිනයේ යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය මූලික වශයෙන් ඇරඹිණි. එදින මූලික එළිදැක්වීම සිදු වුවත් යූටියුබ් ජාලයට වීඩියෝ උඩුගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඒ වන විට සලසා නොතිබිණි. එම පහසුකම ඊට මාස දෙකකට පසු, එනම් 2005 අප්‍රේල් 23 දින හඳුන්වා දීමට යූටියුබ්හි සම නිර්මාතෘවරයෙක් වන ජාවෙඩ් කරීම් කටයුතු කළේ ය. පළමු යූටියුබ් වීඩියෝව උඩුගත කර ඇත්තේ ද ඔහු වීම සුවිශේෂී කරුණකි.

යූටියුබ් ලාංඡනය විකාශය වූ අයුරු – www.networthpick.com

‘Paypal’ සමඟ ඇති සම්බන්ධතාව

මේ වන විට විවිධ තේමා ඔස්සේ නිර්මාණය වූ වීඩියෝ මිලියන ගණනක් නැරඹිය හැකි වේදිකාවක් වන යූටියුබ් සහ මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ‘Paypal’ අතර සුවිශේෂී සම්බන්ධතාවක් ඇති බව ඔබ දැන සිටියා ද? චැඩ් හර්ලි, ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම් යන තිදෙනා යූටියුබ් ජාලය ආරම්භ කිරීමට පෙර ‘Paypal’ සමාගමේ සේවය කළහ. සුප්‍රසිද්ධ ‘eBay’ සමාගම ‘Paypal’ සමාගම මිල දී ගත් අවස්ථාවේ එහි සේවකයන් අතර බෙදා දුන් යම් වන්දි මුදලක් භාවිතයෙන් ඔවුහු යූටියුබ් ජාලයේ මූලික කටයුතු ආරම්භ කළහ.

පෙම්වතුන් සඳහා වන සමාජ ජාලයක් (dating site) වූ යූටියුබ්

යූටියුබ් පිළිබඳ ව බොහෝ දෙනෙක් නොදත් දෑ අතර සුවිශේෂී කරුණක් වන්නේ එය ආරම්භයේ දී පෙම්වතුන් සඳහා වෙන් වූ සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ක්‍රියාත්මක වීම යි. ‘Tune In Hook Up’ යන නමින් හැඳින්වූ එම සමාජ මාධ්‍ය ජාලය හරහා වීඩියෝ නිර්මාණ හුවමාරු කරගැනීමට සහ නව පෙම්වතුන්/පෙම්වතියන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබිණි. යූටියුබ් හි ආරම්භක පියවර වූ පෙම්වතුන් සඳහා වන සමාජ ජාලය එතරම් සාර්ථක නොවන බව වටහාගත් එහි නිර්මාතෘවරු වර්තමානයේ පවතින ආකාරයට යූටියුබ් ජාලයට වෙනස්කම් රැසක් සිදු කළහ.

යූටියුබ් නිර්මාතෘවරු – www.tunota.com

සොච්චමකට අලෙවි වූ යූටියුබ්

ලොව වඩාත් ප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රය වන ගූගල් යෙදවුම අයත් ගූගල් සමාගම 2006 ඔක්තෝබර් යූටියුබ් සමාගම මිල දී ගත්තේ ය. ඒ සඳහා ගෙවූ මිල අමෙරිකානු ඩොලර් බිලියන 1.65ක් ලෙස ගණන් බලා තිබේ. 2006 දී එම මුදල විශාල මුදලක් ලෙස සැලකිය හැකි වුවත් යූටියුබ් හරහා ඉපයීමට හැකි ආදායමට සාපේක්ෂ ව එය ඉතා සොච්චම් මුදලක් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

වීඩියෝ නිර්මාණය සඳහා භූමියක්

යූටියුබ් නාළිකා පවත්වාගෙන යන ඕනෑම තරාතිරමක පුද්ගලයන්ට සිය වීඩියෝ නිර්මාණ රූගත කිරීම සහ සංස්කරණය කිරීම වැනි කටයුතු සඳහා යූටියුබ් සමාගම එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයට අයත් භූමියක් වෙන් කර තිබේ. එහි වීඩියෝ නිර්මාණය කිරීමට අවම වශයෙන් එය 10,000කට වැඩි පරිශීලකයන් පිරිසක් සහිත යූටියුබ් නාළිකාවක් විය යුතු ය. ඊට අමතර ව මෙම භූමියේ පැවැත්වෙන යූටියුබ් නාළිකා ප්‍රවර්ධනය පිළිබඳ පාඨමාලාවලට සහභාගී වීමට ඕනෑම අයකුට හැකියාව තිබේ.

යූටියුබ් මූලස්ථානය – www.cbsnews.com

රටවල් කිහිපයක තහනම් වූ යූටියුබ්

2022 වසරේ මැද භාගය වන විට චීනය, ඉරානය, උතුරු කොරියාව සහ දකුණු සුඩානය යන රටවල යූටියුබ් තහනම් කර තිබිණි. ඊට අමතර ව රටවල් 25කට වැඩි සංඛ්‍යාවක් විවිධ හේතු, විශේෂයෙන් ම කර්තෘ භාගය සම්බන්ධ ගැටලු මුල් කරගෙන වරින් වර එය තහනම් කර තිබේ. ජර්මනිය, ෆින්ලන්තය සහ බ්‍රසීලය ඒ අතර වේ. ලොව සෑම නිවසක් වෙත ම ළඟා වීමට යූටියුබ් සමාගමට ඇති සැලසුම සාර්ථක කරගැනීම එවැනි හේතු නිසා එතරම් පහසු නොවනු ඇත.

නැරඹුම් වාර බිලියන 10 පසු කළ ‘Baby Shark’

යූටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන ඕනෑම අයකුගේ බලාපොරොත්තුව නැරඹුම් වාර වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම බව විශේෂයෙන් කිව යුතු නොවේ. නැරඹුම් වාර ලක්ෂයක් වැනි සංඛ්‍යාවක් ලබා ගැනීම පවා එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ඉතා ආකර්ශනීය සහ සුවිශේෂී අන්තර්ගතයන් සහිත වීඩියෝ පළ කළ යුතු වේ.

එවැනි පසුබිමක වීඩියෝවක් සඳහා නැරඹුම් වාර බිලියන 10ක් ලබාගැනීම සුවිශාල ජයග්‍රහණයකි. දකුණු කොරියානු සමාගමක් 2016 දී යූටියුබ් ජාලයට උඩුගත කළ ‘Baby Shark’ නම් වීඩියෝව 2022 දී නැරඹුම් වාර බිලියන 10 සීමාව පසු කළ අතර මේ වන විට එම වීඩියෝව ලබාගෙන ඇති නැරඹුම් වාර සංඛ්‍යාව බිලියන 12 කි.

‘Baby Shark’ වීඩියෝව – www.youtube.com

බිලියනයක් නැරඹු පළමු සංගීතමය වීඩියෝව

වසර කිහිපයකට පෙර නිතර අසන්නට ලැබුණු ‘Gangnam Style’ ගීතය ඉතා කෙටි කලක් තුළ ලොව පුරා ප්‍රසිද්ධ විය. මෑතක් වන තුරු බොහෝ විවාහ මංගල්‍යසහ වෙනත් උත්සව අවස්ථා අතරතුර වාදනය කළ ගීතයක් වූ එය 2012 ජූලි 15 දින යූටියුබ් ජාලයට උඩුගත කර තිබිණි. මාස පහක් වැනි කෙටි කලක දී බිලියනයක් නැරඹුම් වාර ලබා ගත් එම වීඩියෝව, නැරඹුම් වාර බිලියනයක් ලබා ගත් පළමු සංගීතමය අන්තර්ගතයක් සහිත වීඩියෝව ලෙස වාර්තා අතරට එක් විය.

පරිශීලකයන් වඩාත් අකැමැති වීඩියෝව

යූටියුබ් ජාලයට උඩුගත කරන වීඩියෝ සඳහා කැමැත්ත සහ අකැමැත්ත ප්‍රකාශ කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ. එම පහසුකම භාවිතයෙන් පරිශීලකයන් වැඩි ම පිරිසක් අකැමැත්ත ප්‍රකාශ කළ වීඩියෝව වන්නේ 2018 දී උඩුගත දී කළ ‘YouTube Rewind 2018’ වීඩියෝව යි. පරිශීලකයන් එම වීඩියෝවට අකැමැත්ත ප්‍රකාශ කර තිබූ වාර ගණන මිලියන 19කි. ඊට පෙර ජස්ටින් බීබර් ගේ ‘Baby’ ගීතය අකැමැත්ත ප්‍රකාශ කිරීම් මිලියන 10ක් ලබා තිබිණි. වීඩියෝ සඳහා අකැමැත්ත ප්‍රකාශ කළ වාර ගණන ප්‍රදර්ශනය නොකිරීමට යූටියුබ් සමාගම මෑතකදී තීරණය කළේය.

වැඩි ම පිරිසක් අකැමැත්ත ප්‍රකාශ කළ වීඩියෝව වන්නේ ‘YouTube Rewind 2018’ වීඩියෝව යි/ www.youtube.com

වීඩියෝ සම්බන්ධයෙන් වන සීමා

මුල් කාලයේ යූටියුබ් ජාලයට උඩුගත කරන වීඩියෝවල ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවන් පනවා නොතිබිණි. විවිධ අවස්ථාවල පැන නැඟුණු තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඒ සඳහා අවස්ථා කිහිපයකදී සීමාවන් පැනවීමට සමාගම කටයුතු කළේ ය. සත්‍යාපිත ගිණුම් සහ සත්‍යාපිත නොවන ගිණුම් සඳහා වෙන් වෙන් වශයෙන් එවන් සීමා තිබේ. යූටියුබ් වීඩියෝවක තිබිය හැකි උපරිම ධාරිතාව ගිගාබයිට් 256කි.

වැඩි ම ග්‍රාහකයන් සහිත නාළිකාව

ග්‍රාහකයන් මිලියන 238ක් සහිත ඉන්දියානු චිත්‍රපට සහ ගීත නිර්මාණ නිෂ්පාදන සමාගමක් වන ‘T-Series’ වැඩි ම ග්‍රාහකයන් සංඛ්‍යාවක් සහිත යූටියුබ් නාළිකාව වේ. එම නාළිකාවට දෛනික ව නව වීඩියෝ නිර්මාණ උඩුගත කෙරෙන අතර ඒවායෙන් බොහොමයක් ගීත නිර්මාණ වේ.

‘T-Series’ නාළිකාව – www.youtube.com

තනි පුද්ගලයෙක්ට අයත් වැඩි ම ග්‍රාහකයන් සංඛ්‍යාවක් සහිත යූටියුබ් නාළිකාව ‘PewDiePie’ වේ. ‘Felix Kjellberg’ නම් පුද්ගලයාට අයත් එහි ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 111කි. වසර හයක් තිස්සේ අඛණ්ඩ ව එය වැඩි ම ග්‍රාහකයන් සංඛ්‍යාවක් සහිත තනි පුද්ගලයකුට අයත් යූ ටියුබ් නාළිකාව ලෙස වාර්තා අතරට එක් වී තිබීම සුවිශේෂී කරුණකි.

මිනිත්තුවකට පැය 500ක වීඩියෝ?

සෑම මිනිත්තුවකට ම වරක් පැය 500කට අධික ධාවන කාලයක් සහිත වීඩියෝ යූටියුබ් ජාලයට එක් වේ. 2022 වසරේ මුල්භාගයේ සිදු කළ අධ්‍යයනයකට අනුව පැයකට යූටියුබ් ජාලයට උඩුගත කරන වීඩියෝ සියල්ලෙහි ධාවන කාලය ආසන්න වශයෙන් පැය 3,000කි.

යූටියුබ් සම්බන්ධ දත්ත කිහිපයක් – www.statusbrew.com

කවරයේ ඡායාරූපය - සෑම මිනිත්තුවකටම වරක් පැය 500කට අධික ධාවන කාලයක් සහිත වීඩියෝ යූටියුබ් ජාලයට එක් වේ - www.techtudo.com
මූලාශ්‍ර :
www.scrolldoll.com
www.techcrunch.com
www.youtube.com
www.statusbrew.com

Related Articles